ජනතා විමුක්ති පෙරමුණේ අරගලය බහුතර කම්කරු ජනතාවගේ සහභාගිත්වය නොමැති රහස් කුමන්ත්‍රණයක හැඩරුව ගත්තා – ලයනල් බෝපගේ

හෙන්රි වර්ණකුලසූරියගේ ‘නාඳුනන තුවක්කුකරුවාගේ කතාව, කෘතිය පසුගිය දා මහවැලි කේන්ද්‍රෙය දී ජනගත කෙරිණි. එහි දී ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ප්‍රධාන ලේකම්, වත්මන් නිදහස් මතධාරියෙක් වන ලයනල් බෝපගේ විසින් කරන ලද කතාව. මෙම ලිපියේ මුල් කොටස මීට පෙර (10) පළ විය.

2 වන කොටස

1971 දී අපේ දිගු කාලීන උත්සාහය වී තිබුනේ පක්ෂය විසින් ජනතාව වෙනුවෙන් රාජ්‍ය බලය අල්ලා ගැනීමයි. එකල පැවති සභාග රජයේ මර්දනකාරී වාතාවරණය හමුවේ එම ක්‍රියාවලිය බලාපොරොත්තු වූවාට කලින් පුපුරා ගිය බවක් කල්පනා කළ හැකි නමුත් එය එසේම සිදුවූයේයයි සැළකිය නොහැක්කේ පැරිස් කොමියුනයට වසර සියයක් සැපිරෙන මොහොතේ  ලංකාවේ සන්නද්ධ අරගලය දියත් කිරීමක් ගැන, ගජබාවත් අවුරෝරාවක් වීම ගැන, රාජ්‍ය ප්‍රචණ්ඩත්වය උත්සන්න වීම පහර දීමට පෙර නිමිත්ත වන බව ගැන පක්ෂ නායකත්වය සාකච්ඡා කළ බැවිනි.

සමාජ විප්ලවයේදී, සමාජ වෙනස සක්‍රීය බවට පත් වීමේදී වැඩ කරන ජනතාව, සමස්ත සමාජය දක්වන සහභාගිත්වය සහ ප්‍රතිචාරය පිළිබඳව අපේ සටන් සමීකරණය තුල සැලකිල්ලට ගැනුනේ නැති බව කියන්නට පුළුවන්.

1917 ලෙනින් ඉදිරිපත් කල රාජ්‍යය පිළිබඳ න්‍යාය ආශ්‍රිතව දියත් කරන ලද සන්නද්ධ අරගල ක්‍රියා මාර්ගය, පසුව ඒ ආශ්‍රිතව ස්ටාලින්, මා ඕ සේතුං යොදා ගත් සන්නද්ධ අරගලය හා සම්බන්ධ උපාය හා උපක්‍රම, උදාහරණ වශයෙන්, එවැනි ක‍්‍රියාවන් නිසා සිදු වුනු සමූහ මිනිස් ඝාතන, එසේම ආරක්ෂාවට ඇති හොඳම මාවත ප්‍රහාරය යි; සතුරා පහර දීමට පෙර සතුරාට පහර දිය යුතුයි වැනි උපාය උපක්‍රම මේ සන්දර්භය තුල භාවිතාවට එක් වී තිබෙන්නේ කෙසේද, ඒ භාවිතාවෙන් ඇති වී තිබෙන ප්‍රතිඵල මොනවාද?

ලාංකීය සන්දර්භය තුල බලහත්කාරය, විප්ලවය හා සමාජවාදය පිළිබඳව කතා කරන විට, විශේෂයෙන්ම 1960 ගණන්වල ජාත්‍යන්තර මෙන්ම දේශීය වශයෙන් පැවතුන සමාජ ආර්ථික හා දේශපාලන වාතාවරණයෙන් වියුක්ත ව අපට කතා කරන්නට නොහැකියි.

ඒ කාලයේ ඇමෙරිකන් නව යටත් විජිතවාදය තම පැවැත්ම සහතික කර ගන්නට දැන් වගේම එහෙත් බොභෝවිට විවෘතව හෝ ආවෘතව රටවල් ආක්‍රමණය කරා. හැට ගණන්වල අප්‍රිකාවේ, ආසියාවේ, යුරෝපයේ සහ ඇමෙරිකානු මහද්වීපවල හමුදා ආඥාදායකත්වයන්බොහෝ ප්‍රමාණයක් පිහිටුවා තිබුණා.

මේ අන්දමට හමුදාව බලය අල්ලා ගැනීමේ අරමුණ සාධාරණය කෙරුණේ සන්නද්ධ හමුදාව බොහෝ විට “මධ්‍යස්ථ” මතධාරීන් ලෙස, බේරුම් කරුවන් ලෙස හෝ විනිශ්චය කරුවන් ලෙස පෙනී සිටීමෙන්; ජාතිය හෝ රට දූෂිතයන් බවට පත්ව ඇති, දුර දිග බලා කටයුතු නොකරන දේශපාලනඥයන්ගෙන් රට බේරා ගන්නට ඉදිරිපත් වන ලෙසින් පෙනී සිටීමෙන්.

බොහෝ අවස්ථාවලදී මේ මිලිටරි ජුන්ටාවන් පෙනී සිටියේ “ජාතික පුනරුත්ථාපන කමිටු” හෝ “ජාතික විමුක්ති කමිටු” ලෙසයි.

මෙතන සිටින වැඩි දෙනෙක් තුන්වැනි ලෝකයේ රටවල සමාජවාදයේ ඉතිහාසය ගැන යමක් දන්නවා ඇතැයි කල්පනා කළත් යළි මතක් කර ගැනීම සඳහා උදාහරණයක් දක්වන්නට කැමතියි.

යටත් විජිත යුගයේ දී ඇමෙරිකාව දැවැන්ත ස්වාභාවික සම්පත්වලින් මූලෝපායිකව ඉතා වැදගත් වෙන කොන්ගෝ දේශයේ කොටසක් අත්පත් කර ගෙන තිබුනා. කොන්ගෝවේ පතල් වලින් ලබා ගත් යුරේනියම් යොදා ගෙනයි, ඇමෙරිකාව, හිරෝෂිමා හා නාගසාකි නගරවලට හෙළු මුල් පරමාණු බෝම්බ නිෂ්පාදනය කළේ.

1960 දි කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ ජනතාව එහි ප්‍රථම අගමැති වරයා වශයෙන් පැට්‍රිස් ලුමුම්බාව තෝරා පත් කර ගත්තා. ඇමරිකාව සහ බෙල්ජියම කුමන්ත්‍රණයක් දියත් කොට 1961 දී ලුමුම්බාව ඝාතනය කරා.

ඔවුහු මේ භයානක අපරාධයට යොදා ගත්තේ කොංගෝවේ හෙංචයියන් කිහිප දෙනෙකුත්, බෙල්ජියානු ඝාතක කල්ලියකුත්. ඒ සඳහා අවශ්‍ය මිනීමරුවන් කුලියට ගන්නට ඒ කාලයේ සිටි එක්සත් ජාතීන්ගේ මහ ලේකම් කාර්යාලය පවා යොදා ගෙන තිබුනා. අප්‍රිකාවේ වගේම උතුරු, මධ්‍යම සහ දකුණු ඇමෙරිකාවේ, ආසියාවේ සහ යුරෝපයේ රටවල් 51 කම පාහේ ඒ වන විට ආඥාදායක ආණ්ඩු පිහිටුවා තිබුනා. ආසියාවේ ඇමෙරිකන් මැදහත් වීම්වල සමූලඝාතන ස්වභාවය පැහැදිලිවම ආසන්න වශයෙන් ප්‍රකාශයට පත් වූනේ ඉන්දුනීසියාවේ.

මෙම අත්දැකීම් ආශ්‍රයෙන් ජනතා විමුක්ති පෙරමුණේ අධ්‍යාපන පංතිවල දී අපි, තුන් වැනි ලෝකයේ ආර්ථිකයන් යළි-යටත් කර ගන්නට අධිරාජ්‍යවාදී බලවේග ඒ කාලයේ අප සමාජවාදී යයි හැඳින්වූ කඳවුරට එරෙහිව විවෘත ලෙසත් ආවෘත ලෙසත් ක්‍රියාත්මක වූ ආකාරය, ආසියාවේ, අප්‍රිකාවේ සහ ලතින් ඇමරිකාවේ වර්ධනය වෙමින් තිබුන සටන්කාමී යටත් විජිත විරෝධී ව්‍යාපාරයට ප්‍රතිචාර දක්වමින් අධිරාජ්‍යවාදීහු, ඔවුන්ගේ ප්‍රතිරූපය අනුගමනය කරන දේශීය ගැත්තන් පුහුණු කළ ආකාරය පෙන්වා දුන්නා.

නව යටත් විජිතවාදය යටත් විජිතවාදයට වඩා වෙනස්; ආර්ථික පරාධීනත්වය පමණක් නොවෙයි, දේශපාලනික, ආගමික, දෘෂ්ටිමය සහ සංස්කෘතික පරාධීනත්වයත් ඇති කළා.

ලංකාවේ මේ පරාධීනත්වය හොඳින් ම නියෝජනය කලේ ඒ කාලයේ පැවති එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය.

ලංකාවේ මැතිවරණ සිතියම වසර විස්සකින් අකුලා දමන්නට 1960 ගණන්වල දී කතා කලේ යැංකි ඩිකී යනුවෙන් ඒ කාලයේ හඳුන්වනු ලැබූ ජේ ආර් ජයවර්ධන මහතා. දක්ෂිණාංශයෙන් එල්ල වී තිබුනු මේ ඒකාධිපති තර්ජනයට මුහුණ දීමේ දී අපේ මානසිකත්වය වූයේ සතුරා ආයුධ සන්නද්ධව පහර දීමට පෙර අප ආයුධ සන්නද්ධව පහර දීමට සූදානම්ව සිටිය යුතුය යන්නයි. මෙතැනත් දකින්නට තිබෙන්නේ සතුරා පහර දීමට පෙර ඔහුට පහර දෙනු, නැත්නම් අපට ඇති හොඳම ආරක්ෂාව පහර දීමයි වැනි මා ඕ වාදී සටන් පාඨ.

1960 ගණන්වල අග භාගයේ ජාත්‍යන්තර වශයෙන් පැවති ඇමෙරිකන් ආක්‍රමණත්, රටේ අභ්‍යන්තරයේ ඒකාධිපතිත්වයක් ඇති කරන්නට ඇමෙරිකන් ගැති දේශපාලකයන් දැරූ ප්‍රයත්නත් හමුවේ දේශපාලන බලය වැඩෙන්නේ තුවක්කු කඳ තුළින් ය යන ප්‍රකාශය අනුව යමින් අප ආයුධ සන්නද්ධ වෙන්නට පටන් ගත්තා. මා ඕ වාදී සටන් පාඨ අපේ උපාය මාර්ගය බවට පත් වුනා.

ලතින් ඇමරිකානු විප්ලවවාදීන් විසින් භාවිතා කරන ලද අරගල මාදිලීන්වලින් අපි දැඩි උත්තේජනයක් ලැබුවා. අප එදා විශ්වාස කළේ ශ්‍රී ලාංකික ධනවාදී රාජ්‍යයට එරෙහිව කරන අවිගත් අරගලයකින් පමණක් වැඩ කරන ජනතාව විප්ලවීය ක්‍රියාකාරිත්වය වෙත අවදි කළ හැකි බවයි.

කිසිදු විප්ලවීය මොඩලයක් කෘත්‍රීමව ශ්‍රී ලංකාවට අනුගත කළ නොහැකි බවයි අපේ නිගමනය වුනේ.

සමාජවාදී විප්ලව එක නිශ්චිත මාර්ගයක ගමන් කරන්නේ නැහැ. ඒවායේ ගමන් මග, කාලය, ස්ථානය වැනි කරුණු ඒ ඒ අවස්ථාවේ පවතින විශේෂිත විෂයමූල හා මනෝමූලතත්වයන් මත වෙනස් වෙනවා.

මේ ආකාරයෙන් චීන විප්ලවය රුසියානු විප්ලවයට වඩා වෙනස් බවත් කියුබානු විප්ලවය ඒ විප්ලව දෙකටම වඩා වෙනස් බවත් ශ්‍රී ලංකාවේ ඓතිහාසික සහ සමාජ ආර්ථික බලවේගයන්ට සුවිශේෂී වුනු ගැලපෙන ක්‍රමවේදයක් සකසාගත යුතු බවත් අප කියා සිටියා. මේ ක්‍රියා මාර්ගය හැඳින්වූනේ ඇත්තටම‘ලංකා ලයින්’ යන නමින්.

අප වඩා කැමති ක්‍රම වේදය වුනේ නගර සහ ගම් දනව් බොහොමයක එකවර සිදු කරන අවිගත් කැරැල්ලක් දියත් කිරීමයි.

රටේ කුඩා භූමි ප්‍රදේශය, හුදකලා පිහිටීම, දුර්වල හමුදා සහ පොලිස් බලය වැනි කරුණු හේතුවෙන් ශ්‍රී ලංකාවේ විප්ලවය ක්ෂණික ස්වරූපයක් ගත යුතු බව අප අදහස් කළා.

 

1971ට පෙර ජනතා විමුක්ති පෙරමුණේ ස්වභාවය

සමාජ පදනම සිංහල බෞද්ධ – යුදවාදී සංවිධානය

ඉන්දියානු ව්‍යාප්තවාදය

මර්දනය හමුවේපමණක් ගන්නා ලද එක්සත් ක්‍රියාමාර්ග

මර්දනයේ ස්වභාවය – මාඕවාදී තරුණ පෙරමුණු ප්‍රහාරය

අත් අඩංගුවට ගැනීම් – හදිසි නීතියේ තුන්වන කොටස ක්‍රියා කිරීම

පහර දීමේ තීරණයජනතා සහභාගිත්වය හෝ සහයෝගය නොමැති කම

සමස්ත ලෝකයම පාහේ රජයට සහාය වීම

හමුදාවේ ආකල්පය – සිරිල් රණතුංග

1984ට පෙර සහ පසු

1983 කළු ජූලිය

සමාජ පදනම – මැතිවරණවාදී සංවිධානය

කළු ජූලි සංහාරය සහ පක්ෂ තහනම

ඉන්දියානු ව්‍යාප්තවාදය

එක්සත් ක්‍රියා මාර්ග ප්‍රතික්ෂේප කිරීම

සන්නද්ධ සූදානම – 71 දෙවරක්

ජනතා සහභාගිත්වය හෝ සහයෝගය නොමැති කම සහ බලහත්කාරය

සමස්ත ලෝකයම තත්වය නෙසලකා හැරීම

හමුදාවේ ආකල්පය – එකට දහයක් – ජානක පෙරේරා

මෙම අවස්ථා දෙකේ දීම පාහේ පංති විඥානයෙන් සන්නද්ධ වුණ වැඩ කරන ජනතාවක් රාජ්‍ය බලය අල්ලා ගන්නට පෙළඹෙනවා වෙනුවට ජනතා විමුක්ති පෙරමුණ කළේ කම්කරු පංතියේ ගැලවුම් කාරයෙක් විදියට කටයුතු කිරීමයි. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණේ අරගලය බහුතර කම්කරු ජනතාවගේ සහභාගිත්වය නොමැති රහස් කුමන්ත්‍රණයක හැඩරුව ගත්තා.

කැරැල්ල පවතිද්දී ජනතා විමුක්ති පෙරමුණ විසින් මහජනයා තම විප්ලවකාරී ක්‍රියාවන් සමග සම්බන්ධ වූ බවට හෝ කරගත් බවට කිසිදු සාක්ෂියක් දකින්නට නැහැ. ඔවුන් පාලනය කල ප්‍රදේශවල ඉඩම් ප්‍රතිසංස්කරණයක් පවා සිදු කෙරුනේ නැහැ.

අනෙක් කරුණ නම් ලෝකයේ එතෙක් පැවැති සමාජවාදී මාදිලිය බිඳ වැටීමත් සමඟම සමාජවාදයේ වළංගුභාවය පිළිබඳව අපට මුහුණ දෙන්නට සිදු වුන අභියෝගය.

සමාජ, ආර්ථික, දේශපාලන හා සංස්කෘතික ක්ෂේත‍්‍රවල අත්දැකීම් කෙටියෙන් හෝ විවරණය කිරීමෙන් අපට මේ අභියෝගය තේරුම් ගන්නට පුළුවන්.

කාල රාමුව සලකමින් අපි ආර්ථික ක්ෂේත්‍රය දෙස සැකෙවින් බලමු.

ධනවාදී වෙ‍ළඳපොල ආර්ථිකයට කල් පවත්නා විකල්පයක්, කල් පවත්නා විකල්පයක් ඉදිරිපත් කරන්නට, ක්‍රියාවේ යොදන්නට නොහැකි වීම සමාජවාදීයයි අප හැඳින්වූ රටවල ප්‍රධාන අත්දැකීමක්. සමාජවාදය ගොඩනැගීමේ මුල් දශක කිහිපයේ දී බරපතළ පරිවර්තනීය දුෂ්කරතාවලට මුහුණ දුන්නත්, ආර්ථික වර්ධනය හා රාජ්‍ය මත පදනම්වූ පොදු අයිතියක් මත ගොඩ නැඟුණු වඩා සමාන ලෙස සම්පත් බෙදී යෑම, හැම දෙනාටම සමාන ආකාරයෙකින් අධ්‍යාපනය, සෞඛ්‍යය වැනි පහසුකම් බෙදී යාමේවිකල්පය අතින් ගත් විට මෙම රටවල සෑහෙන සාර්ථක ආර්ථික සමාජ ජයග්‍රහණ අත් කර ගෙන තිබුණා.

එහෙත් ධනවාදී වෙ‍ළඳපොළට විකල්පයක් ලෙස සමාජවාදී වෙ‍ළඳ පළක් ගොඩ නැගීමට සමාජවාදී යයි අපි හැඳින්වූ කඳවුරේ ආර්ථික ක‍්‍රමවලටපුළුවන් කමක් ලැබුනේ නැහැ.

මේ අතර ධනවාදී ආර්ථික ක‍්‍රමය අර්බුද ගණනාවකට මුහුණදුන්නා.

ධනවාදයට තිරස් ආකාරයට ව්‍යාප්ත වෙලා, නව ලිබරල් උපක්‍රම යොදා ගනිමින් ඒ අර්බුදවලින් තාවකාලිකව ගොඩ ඒමට හැකි බව ලෝක මට්ටමෙන් පෙන්වන්නට හැකිවී තිබෙන නමුත්, සමාජවාදීආර්ථික ක‍්‍රමවලට සමාජවාදයේ ආර්ථික න්‍යායේ රාමුව තුල තමන්ගේ අර්බුද විසඳාගන්නට පවා පුළුවන් වුනේ නැහැ.

සමාජවාදීයයි හඳුන්වා ගත් හැම රටකම පාහේ සිද්ධ වුනේ රාජ්‍ය ධනවාදයක් පැවැත්මට ඒම; ආර්ථික දේශපාලන සහ රාජ්‍ය බලය හෙබවූ කොමියුනිස්ට් පක්ෂයේ නිලධාරි පැලැන්තියක් බලයට පැමිණීම.

සමාජවාදී විප්ලවය තුළින් බලාපොරොත්තු වූ පන්ති රහිත සමාජය කරා ගමන් කරනු වෙනුවට පැවතුණු තත්වය යටතේ දෑවැන්ත රාජ්‍ය යන්ත්‍රයක් බිහි වීම.

අද පවා සමාජවාදය අපේක්ෂා කරන්නන්ගේ මූලික හා ප්‍රධාන අවධානය යොමුව ඇත්තේ රාජ්‍ය බලය අල්ලා ගැනීමේ සහ ඒ සඳහා පක්ෂ සංවිධානයක් ගොඩ නැඟීමේ ප්‍රයත්න වෙත පමණක් බව පැහැදිලිව පෙනී යනවා.

එහෙත් අවාසනාවන්ත ලෙස නොතකා හැර තිබෙන අත්දැකීම වී ඇත්තේ පක්ෂ සංවිධාන ගොඩ නඟා පක්ෂය විසින් රාජ්‍ය බලය අල්ලා ගත් බොහෝ රටවල පවා ප්‍රචණ්ඩත්වය සහ යුදවාදී උපාය උපක්‍රම යොදා ගැනීමෙන් පසුව පවා සමාජවාදය ගොඩ නැඟීම, ප්‍රවර්ධනය කිරීම, තහවුරු කර ගැනීම, පවත්වා ගෙන යාම සහ ආරක්ෂා කර ගැනීම කළ නොහැකි වූයේ මන්ද යන්න සංවාදයට ලක් කිරීමට දක්වන දැඩි අකැමැත්තයි; ඒ කෙරෙහි දක්වන මන්දගාමී ආකල්පය යි.

සකස් කළේ – මනෝජ් රූපසිංහ

 

 

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *