විප්ලවය යනු පක්ෂය වැඩ කරන ජනතාව වෙනුවෙන් රාජ්‍ය බලය අල්ලා ගැනීම නොවන බව අප ලැබූ අත්දැකීම් තුළින් සාක්ෂාත් කර ගත යුතු වැදගත් කාරණාවක් – ලයනල් බෝපගේ

හෙන්රි වර්ණකුලසූරියගේ ‘නාඳුනන තුවක්කුකරුවාගේ කතාව, කෘතිය පසුගිය දා මහවැලි කේන්ද්‍රෙය දී ජනගත කෙරිණි. එහි දී ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ප්‍රධාන ලේකම්, වත්මන් නිදහස් මතධාරියකු වන ලයනල් බෝපගේ විසින් කරන ලද කතාව.

 

1927 දී චීන කොමියුනිස්ට් පක්ෂයේ හදිසි රැස්වීමකදි මාඕ සේතුං සහෝදරයා පළමු වරට කරපු ප්‍රකාශයක් හැට හැත්තෑ ගණන්වල අපේ ජනප්‍රිය උධෘත පාඨයක් බවට පත් වී තිබුනා. ඒ තමයි, දේශපාලන බලය වැඩෙන්නේ තුවක්කු කඳ තුලින්ය යන්න.

චීනයේ සිවිල් යුද්ධ කාලයේත් දෙවැනි ලෝක යුද්ධ කාලයේත් මාඕ බොහෝ ලෙස මේ පාඨය යොදා ගත්තා. 1938 චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍ය කමිටු සැසි වාරයක දී මාඕ පැවැත්වූ  “යුද්ධයේ ගැට‍ළු සහ උපාය මාර්ගය” නමැති කතාවෙන් මේ පාඨය අඩංගු කොටස මාඕ ගේ තෝරා ගත් කෘතිවලත්, මාඕ සේතුං චින්තනය නමැති පුංචි රතු පොතේත් යොදා ගෙන තිබුනා. 1964 වන විට මෙම උධෘත පාඨය මාඕ චින්තනයේ ප්‍රධාන උපුටා දැක්වීමක් ලෙස එකල සිටි වාමාංශිකයන් අතර නිතර යොදා ගන්නා ලද එකක්.

අප පේරදෙනිය විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්න‌ කාලෙදි, අපේ බොහෝ සහෝදර සහෝදරියන් ලඟ අත් පොතක් හැටියට මේ පුංචි රතු පොත තිබුනා. මා ඕ සේතුංගේ තෝරා ගත් කෘතිවල දෙවන වෙළුමේ  224-225 පිටුවලින් මම උපුටා දක්වන්නට කැමතියි.

‘හැම කොමියුනිස්ට්වාදියෙකු ම “දේශපාලන බලය වැඩෙන්නේ තුවක්කු කඳ තුලිනි” යන සත්‍යය ග්‍රහණය කර ගත යුතුයි. ‘අපේ ප්‍රතිපත්තිය පක්ෂය තුවක්කුවට අණ දිය යුතු බවයි; පක්ෂයට අණ දෙන්නට තුවක්කුවට කිසිදාක ඉඩ නොතැබිය යුතු බවයි.

‘හැම දෙයක් ම වැඩෙන්නේ තුවක්කු කඳ තුලින්.

‘රාජ්‍යය පිළිබඳ මාක්ස්වාදී න්‍යායට අනුව, හමුදාව රාජ්‍ය බලයේ ප්‍රධාන අංගය.

‘රාජ්‍ය බලය අල්ලා ගැනීමට හා පවත්වා ගැනීමට අවශ්‍ය ඕනෑම කෙනෙකු සතුව බලවත් හමුදාවක් සිටිය යුතුයි.

‘අධිරාජ්‍යවාදී යුගයේ පන්ති සටනේ අත්දැකීම් අපට උගන්වන්නේ කම්කරු පන්තියට හා වැඩ කරන ජනතාවට සන්නද්ධ ධනේශ්වරය හා ඉඩම් හිමියන් පරාජය කළ හැක්කේ තුවක්කුවේ බලයෙන් පමණක් බවයි.

‘මේ අර්ථයෙන් ගත් විට, මුළු ලෝකය ම පරිණාමනය කළ හැක්කේ තුවක්කු අතැතිව පමණක් බව අපට පැවසිය හැකියි.

‘අපි යුද්ධය අහෝසි කිරීම වෙනුවෙන් පෙනී සිටින්නන් වෙමු.

‘අපට යුද්ධය අවශ්‍ය නැත; එහෙත් යුද්ධය අහෝසි කළ හැක්කේ යුද්ධය තුලින් පමණකි; තුවක්කුව බැහැර කිරීම සඳහා තුවක්කුව අතට ගැනීම අවශ්‍ය වෙයි.’

ඒ හැට ගණන්වල අපට ආභාෂය ලබා දුන් මා ඕගෙන් උපුටා දැක්වීමක්.

ධනවාදී දේපල ක්‍රමයට තර්ජනයක් බවට පෙරලෙන තේරී පත්වූ ආණ්ඩුවක් පෙරලා දමන්නට, නැත්නම් කම්කරුවන් අතට නිෂ්පාදන කටයුතු පවරා ගැනීමට ඉලක්ක කරන කම්කරු පන්ති ව්‍යාපාරයක් තලා දමන්නට ධනේශ්වර පාලකයන් මර්දනකාරී රාජ්‍ය යන්ත්‍රය යොදා ගන්නා හෙයින් මාක්ස්වාදීනුත් වෙනත් සමාජවාදීනුත් සන්නද්ධ විප්ලවයක් අවශ්‍ය බව කල්පනා කළා.

1920 දී ඉතාලියේ ත්, 1936 දීස්පාඤ්ඤයේ ත්, 1965 දී ඉන්දුනීසියාවේ ත් සිදුවූ දේ දෙස බැළු විට මාක්ස්වාදීන් පවසන මේකරුණ ඉතා පැහැදිලි බවට පත් වෙනවා.

අනෙක් අතට 1917 දී රුසියාවේ, 1936 දී යම් දුරකට ස්පාඤ්ඤයේ හා හැත්තෑ ගණන්වල පෘතුගාලයේ සිදුවූ ආකාරයට සමහර අවස්ථාවලදී හමුදාවේ විශාල කොටසක් සාමාන්‍ය ජනතාවගේ පැත්ත ගැනීම නිසා  බලය මාරු වීම තරමක් පහසු වුනා.

හැබැයි, මේ නිසා අපට බැහැර කරන්නට බැහැ පාලක පැලැන්තිය පීඩකයන් වශයෙන් තම බලය පවත්වා ගැනීම සඳහා, රැක ගැනීම සඳහා සිය කැමැත්තෙන්ම ප්‍රචණ්ඩත්වය සහ බලහත්කාරය යොදා ගන්නා බව.

මෙන්න මේ තත්වය විසිනුයි සමාජ විප්ලවයේ ප්‍රචන්ඩ ස්වභාවය නොවැළැක්විය හැකි දෙයක්ය යන විශ්වාසය බිහි කරන්නේ.

මාක්ස් ප්‍රචන්ඩත්වය නිර්ද්ශ කලේ නැහැ.

නමුත්, නිෂ්පාදන බලවේගවල පෙරැලිකාරී වෙනසක් ඇති කරන කාල පරිච්ඡේදවලදී , පවතින ක්‍රමය “පෙරලා දමන” අවස්ථාවලදී පැහැදිලි ලෙස පොදු ප්‍රතිඵලය ලෙස ප්‍රචන්ඩත්වය අත් දකින්නට සිදු වන බව ඔහු විශ්වාස කළා.

පාලක පන්තීන් සාමාන්‍යයෙන් සටනකින් තොරව සිය බලය අත් නොහරින නිසා ප්‍රචන්ඩත්වය බොහෝ විට ඇතිවන්නට ඉඩ ඇති බව ඉතිහාස වාර්තාව මත පදනම් වෙමින් ඔහු විශ්වාස කළා.

1848 පුවත්පතකට මාක්ස් ලියූ ලිපියක මෙසේ සඳහන් කර තිබෙනවා: “පැරණි සමාජයේ මිනීමරු මර ලතෝනි හඬ සහ ලේ තවරා ගෙන ඉපදෙන නව සමාජයේ හඬ කෙටි කර ගන්නට, සරල කරන්නට හා ඒකරාශි කරන්නට ඇත්තේ එකම මාවතක්. ඒ විප්ලවවාදී භීතිය ඇති කිරීමයි.”

අප අපෙන් ඇසිය යුතු ප්‍රශ්ණ වන්නේ ප්‍රධාන සමාජ වෙනස්කම් සිදුවන අවස්ථාවලදී ප්‍රචන්ඩත්වය කිසි විටෙක වළක්වන්නට හැකි වූයේද, ප්‍රචන්ඩත්වය පැන නැඟුනු අවස්ථාවල දී එම ප්‍රචණ්ඩත්වය පැන නැඟුනේ කෙසේද, ප්‍රචණ්ඩත්වය ඇති කරන ලද්දේ කවුරුන් විසින්ද, ඒ ප්‍රචන්ඩත්වය වැළැක්විය හැකිව තිබුනේද යන්නයි.

1971 අප්‍රේල් නැගිටීමත් 1988-89 සන්නද්ධ අරගලයත් ආශ්‍රයෙන් බලය යෙදීමෙන් සමාජ විප්ලවය ජයග්‍රහණය කරවා පක්ෂය අතට රාජ්‍ය බලය ලබා ගෙන සමාජවාදය ගොඩ නැඟීම පිළිබඳ මාතෘකාවට පිවිසෙන්නට පෙර පක්ෂ සංවිධානයත් ජනතාවත් අතර පවතින අන්‍යෝන්‍ය සම්බන්ධතාවය පිළිබඳව යමක් කිව යුතුයයි මම කල්පනා කරනවා.

පවත්නා විෂයමූල තත්වයන් යටතේ සමාජ පරිණාමනයක් සිදු කරන්නට නම් ඒ සඳහා ජනතාව අතර සංවිධානයක් ගොඩ නඟා ගත යුතු වෙනවා. ඒ සඳහා පවතින සමාජ ක්‍රමයේ බලපවත්වන නොයෙක් ආකාරයේ ප්‍රශ්න ගැන ජනතාව දැනුවත් කිරීමත්, ඒ අනුව ඔවුන් සවිඤඤාණක බවට පත් කිරීමත් වගේම වඩා යහපත් ලෝකයක් ගොඩ නැඟීමේ බලාපොරොත්තුවෙන් කැප කිරීම් කරන්නට සූදානම් අය ගොනු කිරීමෙන් සංවිධානය ගොඩ නැඟිය යුතු වෙනවා. එසේ ගොඩ නැඟෙන සංවිධානය ජනතාවට නායකත්වය දෙමින් ඒ සමාජ පරිණාමනය ඇති කිරීම සඳහා සමාජය යොමු කරනවා.

මෙම ක්‍රියාවලියට කාල පරාසයක්, සීමාවක් දක්වන්නට බැහැ. මා කල්පනා කරන අන්දමට ඒක අනවරත, සදාතන ක්‍රියාවලියක්. මේ ක්‍රියාවලිය සිදු වන්නේ රික්තයක නොවෙයි. පවතින සමාජයේ කෙරී ගෙන යන සමාජ, දේශපාලන හා ආර්ථික ක්‍රියාවලියත් සමග අනුබද්ධව හා සමගාමීව. සමාජය පාලනය කරන බලවේග, බලයේ සිටින රජය, වරප්‍රසාද සහිත අයිතිවාසිකම් භුක්ති විඳින සහ නියෝජනය කරන සමාජ පංතීන් හා කොටස් සමඟ අන්තර් සම්බන්ධතාවයෙන්මෙන්ම අන්තර් ක්‍රියාකාරිත්වයෙන් යුක්තව, ඔවුන් සමඟ ගැටෙන්නට සිදු වන මාවතක් තුලිනුයි මේ ක්‍රියාවලිය ඉදිරියට ඇදෙන්නේ.

මේ අනුව ගත් විට, සමාජය දැනුවත් කරන්නේ නැතිව සංවිධානයක් ගොඩ නඟන්නට බැහැ.

සංවිධානය ගොඩ නඟන්නේ නැතිව සමාජයට සමාජ පරිණාමනයට නායකත්වය දෙන්නට බැහැ.

පාලක පැලැන්තියේ ප්‍රහාරයට මුලින්ම ලක් වන්නේ මේ සංවිධානය යි.

සංවිධානය ගොඩ නැඟීමේ දී ඒ කෙරෙහි පාලක පැලැන්තියේ ඇති බල පෑම අවම කරමින් කටයුතු කරන්නට හැකිද යන්න ගැන සලකා බැලීමට සිදු වෙනවා.

මේ ගැටුමේ දී සාමාන්‍ය ජනතාව ද පිල්වලට බෙදෙනවා.

පාලක පැලැන්තියේ මෙන්ම සංවිධානයේ ද ප්‍රහාරවලට සමාජය ලක් වෙනවා.

මෙම ක්‍රියාවලිය ඉතාමත් සංකීර්ණ එකක්.

ජනතාව සංවිධානයේ පැත්ත ගන්නේ සංවිධානයට එක්ව කටයුතු කිරීමෙන් ඔවුන්ට ඔවුන්ගේ අයිතීන් රැකෙන අන්දමට රැකවරණය ලැබේය යන අදහස ඔවුන්ට ඒත්තු ගියහොත් පමණයි. එසේ නොවුනොත් ඔවුන් අනිවාර්යයෙන් ම පාලක පැලැන්තියේ පැත්ත ගන්නවා. මෙම තත්වය යටතේ සමස්ත සමාජයම පාහේ මේ අර්බුදයට පාත්‍ර වෙනවා.

පැන නඟින ප්‍රශ්නය වන්නේ පරිණාමනය සඳහා සමාජය ඒ අන්දමින් සූදානම් නොමැති විට තුවක්කු කඳ භාවිතා කොට බලහත්කාරයෙන් සමාජය පරිණාමනය කළ හැකිද යන්න යි.

ජනතාව වෙනුවට, සමාජය වෙනුවට සංවිධානයහෝ පක්ෂය ආදේශ වීමෙන් සමාජ විප්ලවය සාක්ෂාත් කර ගන්නට, සමාජවාදය ගොඩ නඟන්නට පුළුවන් ද යන්නයි.

එසේ ආදේශ වී ජන කොටස් වෙත බලහත්කාරය යෙදවීමෙන් සමාජවාදය ගොඩ නඟන්නට උත්සාහ කල රටවල් බොහොමයක් ලෝකයේ තිබුනා.

ඒ රටවල දරන ලද එවැනි උත්සාහවලින් අපට ලැබී තිබෙන අත් දැකීම් මොනවාද?

රුසියානු විප්ලවයේ ජයග්‍රහණයත් සමග සමාජවාදීන් බොහෝ දෙනෙක් සමාජ පරිවර්තනයේදී ප්‍රචණ්ඩත්වය ඉටු කරන වැඩ කොටස අත් දැක්කා. මේ නිසා සමාජවාදීහු විප්ලවය ආරක්ෂා කිරීම වෙනුවෙන් ප්‍රචණ්ඩත්වය යොදා ගැනීමේ ක්‍රියා පිලිවෙත අනුමත කලා.

තුන්වැනි ලෝකයේ ඇතැම් රටවල, විශේෂයෙන්, එකල අප හැඳින්වූ අන්දමට චීනයේ, වියට්නාමයේ සහ කියුබාවේ සන්නද්ධ අරගල විසින් සාර්ථක ලෙස අත් කර ගන්නා ලද ජයග්‍රහණ හේතුවෙන් සමාජවාදයේ නාමයෙන් ගරිල්ලා යුද්ධයට සහාය දෙන තත්වයට අප පත් වුන බව කියන්නට පුළුවන්.

1971 කාලයේත් 1978න් පසුවත් ‘ලාංකීය සමාජ විප්ලවය ගත යුතු මඟ’ නමැති මූලික පංතියේ මෙන්ම ඉන්පසු පවත්වන ලද අධ්‍යාපන කඳවුරුවල දීත් ප්‍රධාන අවධානය යොමු කොට තිබුනේ පහර දීමේ විවිධ යුද්ධ උපක්‍රම පිළිබඳව, විශේෂයෙන් ගරිල්ලා යුද්ධ උපාය උපක්‍රම පිළිබඳව දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා කිරීමට යි.

විප්ලවය යන්නෙන් අදහස් වන්නේ පක්ෂය විසින් නායකත්වය දෙනු ලබන ජනතාව වෙනුවෙන් පක්ෂය ආදේශ වෙමින් දියත් කරන නැගිටීමක් තුලින් බලය අල්ලා ගැනීමය යන අදහස වර්ධනය වන්නට පටන් ගන්නේ මේ වාතාවරණය යටතේයි.

ඒ අනුව පක්ෂයක් විප්ලවයට නායකත්වය දෙන බවත්, විප්ලවය ජයග්‍රාහී වෙන්නට නම් විෂයමූල මෙන්ම මනෝමූල සාධකයන් පරිණත බවට පත් වන මොහොතක් එළඹිය යුතු බවත් සර්වව්‍යාපී ලෙස රජයන මතය බවට පත්ව තිබුනා.

නමුත් විප්ලවය යනු සන්නද්ධ නැගිටීමක් දියත් කිරීමෙන් රාජ්‍ය බලයට අභියෝග කොට පක්ෂය වැඩ කරන ජනතාව වෙනුවෙන් රාජ්‍ය බලය අල්ලා ගැනීම නොවන බව අප ලැබූ අත්දැකීම් තුලින් සාක්ෂාත් කර ගත යුතු වැදගත් කාරණාවක්.

මෙම ලිපියේ තවත් කොටසක් ඉදිරියේ දී පළවේ.

සැකසුම මනෝජ් රූපසිංහ

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *