රාජ්‍ය ක්‍රියාකාරිත්වය අක්‍රියකරල දේශපාලන වාසි ලබාගැනීමට පිරිසක් උත්සාහ කරනව – සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කාර මණ්ඩල සභික පිලිප් දිසානායක

පසුගිය 21 පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අපි කම්පනයට පත්වුණා. භීතියට පත් වුණා. නමුත් අපි සිහි බුද්ධියෙන් මේ අවස්ථාවේ කටයුතු කිරීම නිසා ත්‍රස්තවාදීන් බලාපොරොත්තු වුණු තවත් විශාල විනාශයක් වැළකුණා. මේකෙ ගොදුරු බවට පාත්‍ර වුණු පාර්ශ්වකරුවන්, මේකෙ ප්‍රහාර එල්ල කළ පාර්ශ්ව කරුවන් වෙත එල්ලකරයි බලාපොරොත්තු වෙච්ච ප්‍රතිප්‍රහාරය සිදුවූයේ නෑ. මේ අද දක්වාම සතිතුනක පමණ කාලයක බරපතළ සිදුවීමක්, මිනී මැරීමක්, අපරාධයක් සිද්ධ වුණේ නෑ. ඒක අපේ රටේ වාසනාව විය හැකියි. ඉතින් මේක අපි දකිනවා, කලකට පසු අපේ රටේ පුරවැසියො සිහි බුද්ධියෙන් කටයුතු කරපු වස්ථාවක් විදිහට.

පසුගිය වසරේ ඔක්තෝම්බර් 26 වැනිදා ජනාධිපතිවරයා ව්‍යවස්ථාවට පටහැනිව කටයුතු කරන අවස්ථාවෙත් මේ රටේ පුරවැසියෝ පාරට ඇවිල්ලා ඒ ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී ක්‍රියාවන්ට විරුද්ධව කටයුතු කළා. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු දෙන්න ඉස්සරවෙලාත් මිනිස්සු තමුන්ගෙ තීන්දු ප්‍රකාශයට පත්කරමින් ඊට විරුද්ධව කටයුතු කළා. එවැනි වූ අවස්ථාවක් තමයි අපි මේ දෙවැනිවර දැක්කේ.

මේ ප්‍රහාරයේ ත්‍රස්තවාදීන්ගේ තවත් අරමුණක් වූයේ රාජ්‍ය අක්‍රිය කරන්න. රාජ්‍යයේ ක්‍රියාකාරිත්වය මුළුමනින්ම නවත්වා දමන්න. මම හිතනවා එකෙදි අපි ටිකක් පසුපසින් ඉන්නේ. මීට ඉස්සර අපි දැක්කා එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදින් ප්‍රහාර එල්ල කළා දළදා මාලිගාවට, ශ්‍රී මහා බෝධියට, මහ බැංකුවට, දෙහිවල දි දුම්රියට ප්‍රහාර එල්ල කර විශාල ඝාතනයන් කළා වුවත් අපේ රාජ්‍ය ක්‍රියාකාරිත්වය මේ තරම් අඩපණ වුණේ නැහැ. පාසල් සුමාන ගණන් වැහුවේ නැහැ. දවසෙන් දෙකෙන් තුනෙන් ඒ කම්පනයට මුහුණ දීලා නැවත අපි කටයුතු කරන්න පටන් ගත්තා.

ඉතින් මේ අවස්ථාවේ දී මේතරම් භීතියක්! ආරක්ෂක අංශ යම් කිසි සහතිකයක් ලබා දී තියෙද්දි, දැන් ආරක්ෂාව තහවුරු වෙලා තියෙනව, අපි වගකියනවා, ඔබලාගේ එදිනෙදා රාජකාරි කටයුතු කරන්න, පාසල් අරින්න කියලා තියෙද්දි, මේ තරම් ප්‍රචාරයක් සමහර මාධ්‍ය තුළ කිරීමෙන් අනවශ්‍ය භීතියක් මැවීම තුළ අපිට හිතෙනවා, මැවීමෙන් අපිට පේනවා මේක යට දේශපාලනයක් තියෙනව කියල. ඒකෙන් අපිට පේන දේ තමයි යමිකිසි මට්ටමකට රාජ්‍ය ක්‍රියාකාරිත්වය අක්‍රීය කරල, මෙයින් දේශපාලන වාසියක් ලබාගන්න උත්සාහ කිරීමක් තියෙන්නෙ කියලා.

රජයේ පාසල් වලට තමයි මේ ප්‍රශ්නය තියෙන්නේ, පෞද්ගලික අංශයේ පාසල් තුළ (ටියුෂන් පන්ති) ක්‍රියාකාරිත්වයේ කිසිම අඩුවක් නැහැ. ඒ තැන්වල ආරක්ෂාව සම්බන්ධව කිසිදු ක්‍රියාමාර්ගයක් නැති වුණත් තමුන්ගේ ළමයි පංතිවලට යවනව. රජයේ පාසල්වලට යවන්න මැලි කමක් දක්වනව. සමහර වෙලාවට රජයේ පාසල්වල ආරක්ෂාව මදියි කියල, උද්ඝෝෂණ කරන අවස්ථාවල් පවා අපි දැක්කා.

යුද්ධය පවතින සමයේ ආරක්ෂක අංශ වලින් 80%ක් පමණ කටයුතු කළේ උතුරු නැගෙනහිර. මේ පළාත්වල හිටියෙම නැති තරම්. දැන් එවැනි යුද්ධයක් නැති නිසා මම හිතන්නේ, පාසල් වලට, රාජ්‍ය ආයතනවලට, බොහෝ ස්ථානවලට විශේෂ ආරක්ෂාවක් සපයල තියෙනව. එහෙම තත්ත්වයක් තියෙද්දිත් මේ ආකාරයෙන් කටයුතු කිරීම ගැන අපිට සැකයක් තියෙනව, ත්‍රස්තවාදීන්ගේ අරමුණු ඉටුකිරීම සඳහා මේ රාජ්‍ය ක්‍රියාකාරිත්වය අඩපණකිරීම ත්‍රස්තවාදීන්ට යම්කිසි විදිහක සහයෝගයක් දැක්වීමක් ලෙස තමයි අපි කල්පනා කරන්නේ.

ඒ නිසා අපි මේකෙදි බුද්ධිමත්ව කටයුතු කළ ආකාරයට, නැවත අසුතුනක් ඒම වැළැක්මීමට කටයුතු කළ ආකාරයට රජය ක්‍රියාත්මක වීමට අවශ්‍යයි. භීතිය පසෙක තියලා, අපි එදිනෙදා කටයුතු පවත්වාගෙන යෑමෙන්, ඉස්සරහට මෙවැනි තත්ත්වයන් ඇති නොවීමට කටයුතු කරන්න හැකියාව ලැබෙනවා.

මනෝජ් රූපසිංහ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *