|

මහ නා හිමිවරු හමු වී අගමැති කී කතාව

ත්‍රස්තවාදය මර්දනය කිරීමේ කටයුතු ඉතා සංවිධානාත්මකව හා වේගයෙන් ආරක්ෂක අංශ විසින් සිදුකරද්දී අගමැති හා ආණ්ඩුව පැත්තෙන් ඊට අදාල සියළු දිරි දීම් හා මගපෙන්වීම් ඉතා හොදින් සිදුවෙන බව බොහෝ දෙනාගේ පිළිගැනීමය. එහෙත් ඇතැම් ජනමාධ්‍ය හා විපක්ෂ දේශපාලඥයන් මෙන්ම එම කඳවුරේ භික්ෂූන් වහන්සේලා ඊට එරෙහි විවිධ මතවාද පතුරවන පසුබිමක්ද පවතී. එහෙයින් අගමැතිවරයා බ්‍රහස්පතින්දා උදයේම මහනුවරට ගියේ ත්‍රෛනිකායික මහනාහිමිවරුන් බැහැදැකීමටය. මුලින්ම මල්වතු හා අනතුරුව අස්ගිරි හා රාමඤ්ඤ නිකායන්හි මහනාහිමිවරුන් හා අනුනාහිමිවරුන්ද හමුවූ අගමැතිවරයා වහාම කොළඹ පැමිණියේ “රටේ වත්මන් තත්වය” ගැන පැවැත්වෙන  පාර්ලිමේන්තු විවාදයට එක්වීමටය. අගමැතිවරයා සිය කාර්යාලයට පැමිණෙන විට ආණ්ඩුවේ මැතිඇමතිවරු බොහෝ දෙනෙක් එහි රැඳී සිටියහ.

“මහනාහිමිවරුන් මොකද කියන්නෙ? අගමැතිතුමා තනිවම උන්වහන්සේලාට කතා කරපු එක වඩාත් හොඳයි” සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල සුපුරුදු ලෙස කතාවට මුලපිරීය.

“රටේ ආරක්ෂාවට අදාල සියළු සත්‍ය තොරතුරු මම උන්වහසේලාට පැහැදිලි කළා. ආරක්ෂාව තහවුරු කරන අතරේ රටේ ආර්ථිකය ඇතුළු සාමාන්‍ය ජන ජීවිතය ඉක්මනින් ගොඩනැගීමේ අපේ සැලසුමුත් කිව්වා. උන්වහන්සේලා ඊට ආශිර්වාද කළා.” අගමැතිවරයා පැහැදිලි කළේය.

“අර මරාගෙන මැරුණ ත්‍රස්තයට අයිති තඹ කොම්පැනියෙ නව දෙනෙකුට ඇප දීම ගැන ජනතාව එච්චර සතුටු නෑ. වැල්ලම්පිටිය පොලීසිය හරියට වැඩේ කරල නැද්ද කියල පොලීසියෙන්ම දැන් විමර්ශනයක් යනවා. ත්‍රස්ත විරෝධී පනත යටතේ නෙවෙයි ඒක ෆයිල් කරල තියෙන්නෙ. එහෙම වුණාම ඒ 9 දෙනා සේවකයො නිසා ඇප දීල තියනවා. නමුත් ඔවුන් අත්අඩංගුවට පත්වෙන්නට පෙර කළ කී හැසිරීම් එලිවෙලා තිබෙන නිසා ඇප දීම ටිකක් ප්‍රමාද කළානම් හොදයි කියලයි මිනිස්සු කියන්නෙ” නවීන් දිසානායක කීවේය.

“මුස්ලිම් අය විසින් හමුදාවෙ 11ක් මරලා කියලා පොහොට්ටුවේ මන්ත්‍රී පියල් නිශාන්ත සජීවීව ටී.වී එකේ කිව්වාම CID එක ප්‍රශ්න කරල ඇප දුන්නා. ඒත් රටේ සැබෑ තත්වය එළිදක්වලා වෙබ් අඩවියක පළවෙලා රටම දැකපු ලිපිය අපේ මාධ්‍ය ඒකකයේ ලමයි පන්සල් වලට යවපු ලියුමත් එක්ක අල්ලගත්ත ලමයින්ට තාම ඇප නෑ.” ලක්ෂ්මන් කිරිඇල්ල කීවේය.

“මේ රටේ නීතිය අනුව ජනාධිපති අගමැති වාචිකව හෝ ලිඛිතව විවේචනය කරන්න වුණත් පුළුවන්. අනික වෙබ් එකක ගිහින් ලෝකෙම දැකපු ලිපියක් පරිවර්තනය කරල බෙදාහැරපු එක ලොකු නඩුවක් හැටියට හිතනවනම් ජනාධිපතිතුමාටත් ඒ නඩුවෙ කූඩුවට නැගල ක්‍රියාත්මක වෙන්න වෙනවා.” අගමැතිවරයා කීවේ මද සිනහවක්ද සමගිනි.

“රට දැනුවත් කරන අපේ ලිපියටයි,  අර නාමල් කුමාර කියන මිනිහගෙ කෙප්ප පච වලටයි එළවන එළවිල්ලෙන් 10% ක් මේ ප්‍රහාරය ගැන කලින් දැනුම් දිපු අර බුද්ධිඅංශ වාර්ථාවටත් එලෙව්ව නම් මේ රටේ මෙච්චර විනාසයක් වෙන්නෙ නෑ.” ලක්ෂ්මන් කිරිඇල්ල කී විට අගමැති ඇතුළු සියළු දෙනා එය අනුමත කළහ.

“ඔය තඹ කොම්පැනියට මූලික වෙලා වැඩේ කරල දීල තියෙන්න ජනාධිපතිතුමාගෙ ලඟම හිටපු සම්බන්ධීකරණ නිලධාරියෙක් වෙච්ච දැනට පාර්ලිමේන්තු මන්ත්‍රීකමකුත් දරණ ශ්‍රීලනිපයේ කෙනෙක් කියල ආරංචියි. හිස් පතුරම් ලබාදීම කාර්මික සංවර්ධන මණ්ඩලයෙන් ප්‍රතික්ෂේප වුණාම ආරක්ෂක අමාත්‍යාංශයෙන් අනුමැතිය අරන් දීල කියලත් ආරංචියි.” චමින්ද විජේසිරි දැවැන්ත බෝම්බයක් පත්තු කළේය.

“අර නැගෙනහිර ෂරියා විශ්ව විද්‍යාලයට ඉඩම් වෙන් කරල තියෙන්නෙ ජනාධිපතිතුමා මහවැලි ඇමති කාලෙලු. ඒ විශ්ව විද්‍යාල යෝජනාවටත් ඒ කාලෙ උදවු කරල තියනවලු. සයිටම් එක වහලම දාන්න උනන්දු වූ එතුමා මුළු රටම විරුද්ධ මේ විශ්ව විද්‍යාලය යම් අධීක්ෂණයක් යටතේ පෞද්ගලික විශ්ව විද්‍යාලයක් හැටියට පවත්වගෙන යන්න කටයුතු කිරීමයි පුදුමය වෙන්නෙ.” හේෂා විතානගේ කීවේය.

“ලංකාව ඉදිරියට යන්න නම් බේද වලින් තොරව “එකම රටක් හා එකම නීතියක්” කියන තේමාවට ඉහළ තැනක් දෙන්න ඕනෑ.” මනූෂ නානයක්කාරගේ අදහස ඉතා වටිනා එකක් බව අගමැති ඇතුළු කාගේත් ස්ථාවරය විය.

“පාසැල් කොටි ගහන කාලෙත් විවෘත කරල තිබුණා. ඒත් ත්‍රස්තවාදය වසර 10 කට පස්සෙ ආපු නිසා දෙමව්පියන් තාම බයයි. තව ටික දවසක් යනකොට තත්වය සාමාන්‍ය අතට හැරේවි. පාසැල් වල ආරක්ෂාව උපරිම කරලයි තියෙන්නෙ. ආරක්ෂක අංශ, විදුහල්පතිවරු, ගුරුවරු හා දෙමව්පියන්ගෙන් ලැබෙන සහයෝගය විශිෂ්ටයි” අකිල විරාජ් කාරියවසම් කීවේය.

“පාසැල් විතරක් නෙවෙයි. රටේ සියළු ජන ජීවිතත් සමාන්‍ය මට්ටමට දැන් එන්න  ඕනෑ. ආරක්ෂාව තර කරලයි තියෙන්නෙ. රට නංවන ආර්ථික වැඩපිලිවෙල, සංචාරක ව්‍යාපාරය, ගම්පෙරලිය, එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ආදිය ආයෙත් පටන් ගන්නවා. පවුල් ලක්ෂ 6 කට සමෘද්ධිය දීම, තරුණයන්ට රැකියා දීමත් ඉක්මනින් කරනවා. ත්‍රස්තවාදීන්ට බයේ රටේ දෛනික කටයුතු හකුලන්න බෑ” අගමැතිවරයා කීවේ දැඩි අධිෂ්ඨානයෙනි.

“අන්තර්ජාතික ත්‍රස්ත විශේෂඥයෙක් වන රොහාන් ගුණරත්නත් කියන්නෙ ත්‍රස්ත කටයුතු 95% ක් දැන් මර්දනය කරල අවසන් බවයි. ලාංකීය ජන ජීවිතය වහාම සාමාන්‍ය මට්ටමට පැමිණීම අත්‍යවශ්‍ය බව ඔහුගේත් අදහසයි.” මනූෂ නානායක්කාර කී විට සියළු දෙනා ඊටද දැක්වූයේ සුභවාදී ප්‍රතිචාරයකි.

“ගෝඨාභයගෙ කණ්ඩායමක් ලංකාවෙ හිටපු විශ්‍රාමික ඇමරිකානු තානාපති කෙනෙක් වූ රොබට් ඕබ්ලේක් ගෙනල්ල ගෝඨාභයගෙ ඡන්ද සටනට හුලං ගහන්න හැදුව. NGO එකක් තමයි මේක කරල තියෙන්නෙ. ඔහු දැන් ඇමරිකානු රජයෙ නිල තනතුරක් දරන්නෙ නැති පැන්ෂන් ගිය කෙනෙක්.” මුජිබර් රහුමාන් කීවේ කාගේත් සිනා මැදය.

“මේ ප්‍රහාර පිටිපස්සෙ පොහොට්ටුවයි ශ්‍රීලනිපයේ සමහරුයි ඉන්න බව බොහෝදෙනාගෙ පිළිගැනීමයි. මේ සියළු ප්‍රහාර එජාපයට අවාසි වෙන අන්දමට අමුතු “පැටර්න්” එකකටයි සිද්ධ වුණේ. දිගනටයි අම්පාරටයි ගැහුවා. ඉන් පාඩු වුණේ එජාපෙටයි. මුස්ලිම්වරු බිදවීම ඒ ප්‍රහාරයේ අරමුණයි. ඊටපස්සෙ කතෝලිකයන්ටයි මඩකලපුවේ දෙමළ පල්ලියේ අයට ගැහුවෙත් කතෝලියකයන් හා දෙමළ මිනිස්සු එජාපය කෙරේ බිදවන්නයි. මේ ප්‍රහාර වල සැලැස්ම දැන් පැහැදිලියි.” ලක්ෂ්මන් කිරිඇල්ලගේ විග්‍රහය කාගේත් දැඩි අවධානයට යොමුවිය.

“ෆොන්සේකා ගෝඨාභයට සෙට්වෙලා ආණ්ඩුවට ගහනවා කියලා මතයක් ලියලනවා. ත්‍රස්තවාදය මඩින්න වසර දෙකක් යනවා කියන එකත් එයාලට වාසි වෙන්න කරන ප්‍රකාශයක් බවයි බොහෝ දෙනා කියන්නෙ. ඒත් රාජපක්ෂලා ගැන තමාගෙ ස්ථාවරයේ කිසිම වෙනසක් නැති බවත් ෆොන්සේකා පැහැදිලි කළා. ඔහුට මේ ත්‍රස්තවාදය මර්දනය කිරීමේ චාන්ස් එකක් අරන් යලිත් රටට වැඩකරන්න උත්සාහ කරන බවයි මටනම් හිතෙන්නෙ” නවීන් දිසානායක ඉතා පළල් විග්‍රහයකට යොමු විය.

 

 

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *