සුජාත ඇමරිකා පුත්‍රයා : රොබට් බ්ලේක් කියන – අපේ ගැළවුම්කාරයා !

ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මෙරට බුද්ධි අංශ පවත්වාගෙන ගිය ක්‍රමවේදය යළි ස්ථාපිත කළ යුතු බව අමෙරිකා එක්සත් ජනපදයේ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ හිටපු සහකාර රාජ්‍ය ලේකම් රොබට් ඕ බ්ලේක් පවසා ඇත.

ශ්‍රී ලංකාවේ හිටපු අමෙරිකානු තානාපතිවරයෙකු ද වන බ්ලේක් මේ බව පැවසුවේ, කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී දේශනයක් පවත්වමිනි.

නමුත් ඒ දේශනය හුදෙකලා දේශනයක් නොවන අතර ඒ සම්බන්ධව විශේෂ තොරතුරු කිහිපයක් අප සතුව පවතී.

රොබට් බ්ලේක් මතකද !

ඉතිහාසය ඔබට මතක නම් රොබට් බ්ලේක් ලංකාවේ හිටපු ඇමරිකානු තානාපතිය. පසුව ඔහු ඇමරිකාවේ සහකාර රාජ්‍ය ලේකම් විය. 2010 මහ මැතිවරණයෙන් පසුව දිවයින ආරක්ෂක තොරතුරු වාර්තා කරන කීර්ති වර්ණකුලසූරිය මෙසේ ලියා තිබිණ.

“එහෙත් වත්මන් ජනාධිපතිත්, රජයත්, ආරක්‍ෂක ලේකම්වරයාත් ඇමරිකානු හඬට නැමුනේ නැත. රොබට්‌ බ්ලේක්‌ ප්‍රමුඛ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට ඇති එකම ප්‍රශ්නය ද එයයි. පසුගිය ජනාධිපතිවරණයේදී ජනාධිපති පැරදෙනු ඇතැයි බ්ලේක්‌ලා සියලු බලාපොරොත්තු තැබූහ. මානව හිමිකම් හා මාධ්‍ය නිදහස උල්ලංඝනය කරන බවටද විටින් විට ප්‍රකාශයට පත්විය. මෙරට සිටින නිදහස්‌ මාධ්‍ය ව්‍යාපාරික ජාලය එ සඳහා අතුරුපස සපයනු ලැබීය.”

එපමණක් නොව ඊනියා දේශප්‍රේමී විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ සිට ඒ වැනි තවත් බොහෝ දෙනෙකුට රොබට් බ්ලේක් අධිරාජ්‍යවාදී ඇමරිකා එක්සත් ජනපද නියෝජිතයා විය. මෙරට ත්‍රස්තවාදය පෝෂණය කරන්නා විය. බෙදුම්වාදය පෝෂණය කරන්නා විය.

දැන් ඒ කතා මොකුත් නැත. දැන් බ්ලේක් “මාර පොරක්ව” තිබේ. ඒ ඔහු අතීත ක්‍රියා ගැන පාපෝච්චාරණය කිරීම නිසා නොවේ. බෞද්ධාගම වැළඳගෙන හෝ කිසියම් මාර්ග ඵලයක් ලැබීම නිසා නොවේ. ඒ පසුගියදා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ සිදුකළ දේශනය නිසාය.

දේශනය තුළ හමුවූ දේ !

බ්ලේක් ගේ මේ දේශනය තුළ විශේෂ අවධානයක් යොමුකළේ මෙරට ආරක්ෂාව ගැන වුවත් ඔහු එහිදී හුවා දැක්වුයේ “ජාතික ආරක්ෂාව නම් ගෝඨාභය” වැනි සටන් පාඨයට පක්ෂවූ අදහස් ප්‍රමාණයක්ය.

එහිදි ඔහු අදහස් පෙළෙන් පෙළට ගැළපුවේය.

එහි ආරම්භය 2001 වසරේ සැප්තැම්බර් 11 සිදු වු ප්‍රහාරයෙන් අමෙරිකාව උගත් පාඩමෙන් ශ්‍රී ලංකාවට ප්‍රතිලාභ රැසක් ලබාගන්නට හැකි බවය. එමෙන්ම එම ප්‍රහාරය තම රටේ සිදුවු විශාලතම අත්වැරැද්ද බවද ඔහු පැවසීය.

එහිද වැඩිදුරටත් අදහස් දැක්වු රොබට් ඕ බ්ලේක් “එහිදි බුද්ධි අංශ සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතන විශේෂයෙන් FBI සහ CIA සංවිධානය සහ විවිධ නීති ක්‍රියාත්මක කරවන ආයතන අතර නිසි සන්නිවේදනයක් සිදුකිරීමට අසමත්වුණා.”

කම්පනය වූ හදවත්වලට බ්ලේක් ගෙනා පිළිතුර !

දැන් ටික ටික බ්ලේක් යොමුවෙන්නේ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් කම්පනයට පත්වූ ලාංකික ජන හදවතටය. FBI ,CIA ඇති විටදී පවා ඇමරිකාවේ දුර්වලත්වය සිහිකර ඔහු ලාංකික හද විවර කරගන්නේ “එහෙනම් විසඳුම කුමක්ද ?” යන පැනයට පිළිතුරක් දෙන්නටය.

ඇමරිකානු අත්දැකීම් සමඟ බ්ලේක් සිය පිළිතුර මෙසේ ගෙන හැර දක්වයි.

“එබැවින් අන්තර් ආයතන සන්නිවේදනය හා සම්බන්ධීකරණය වැඩි දියුණු කිරීම සඳහා ජනාධිපති බුෂ් නව කමිටුවක් පිහිටුවීමට නියෝග කළා. එමෙන්ම එක් එක් පුද්ගලයාට තනි තනිව මෙහිදි වගකීම් පැවරීම සිදුකෙරුණා. මේ නිසා එදා සිට කිසිදු විදේශ ත්‍රස්ත කණ්ඩායමක් අද දක්වා සාර්ථක ත්‍රස්ත ප්‍රහාරයක් අපට එල්ල කළේ නැහැ.”

“අපිට දේශිය වශයෙන් ත්‍රස්ත ක්‍රියාකාරකම් සම්බන්ධ ගැටලු පැවතුණත්. අයි.එස්.අයි.එස් සහ අල් – කයිඩා වැනි සංවිධාන පැරිසිය සහ වෙනත් තැන්වලදි ප්‍රහාර දියත් කළත් අපට ප්‍රහාර එල්ල කිරිමට අපොහොසත් වුණා.ඇත්තටම මම හිතන්නේ මෙවැනි ඉහළ පෙළේ කණ්ඩායමක් සෑදිම තුළින් ශ්‍රී ලංකාවට ප්‍රතිලාභ ලබාගත හැකියි. සැබැවින්ම අතීතය ගැන කතා කළොත් මෙවැනි කණ්ඩායමක් ඔබ සතුව සිටියා යුද්ධය පැවැති සමයේ.

“ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම් ධූරයේ කටයුතු කරන අවධියේ. ඔහු පෞද්ගලිකව එය හෙඹවු අතර රට පුරා විහිදුණු බුද්ධි අංශවලින් ලබාගන්නා තොරතුරු බෙදාහදාගෙන එම තොරතුරු ජ්‍යෙෂ්ඨ මට්ටමේ පිරිස් දක්වා ලබාදෙනු ලැබුවා. ඔවුන් එහිදි එම තොරතුරු විශේෂ අධ්‍යනයකට ලක්කෙරු අතර ඒ තුළින් ප්‍රහාරයන් එල්ල නොවිමට වගබලා ගනු ලැබුවා.”

“මම හිතන්නේ වත්මන් ආණ්ඩුව ඒ අයුරින් සිතන හා ක්‍රියාත්මකවන කිසියම් කණ්ඩායමක් නැවත ස්ථාපනය කිරිමට වගබලා ගැනීම වැදගත් කාරණයක් වනවා. ඒ වගේම ශ්‍රී ලංකාව වඩාත් සැලකිළිමත් විය යුතු වනවා අයි.එස්.අයි.එස් හ වෙනත් අන්තවාදී ඉස්ලාම් කණ්ඩායම් ශ්‍රී ලංකාව තුළ වර්ධනය වීමට අවස්ථාව නොදීමට. ”

බ්ලේක්ගේ ඉස්සර වැඩ !

ජාතික ආරක්ෂාව පෙන්නා රොබට් බ්ලේක් මේ එන්නේ මොකටද යන්න තේරුම් එක පාරටම බැරිවිය හැකිය. ඒ ගැන තේරුම් ගන්න නම් බ්ලේක් සිය රාජතාන්ත්‍රික රාජකාරි සමයේ මෙරට කලකී දෙයින් එකක් හෝ සිහිපත් කරගත යුතුව ඇත. ඒ අනුව බ්ලේක් මෙරට රාජකාරි කළේ 2009 – 2013 කාල සීමාවේය. ඒ සමය තුළ කිසිම අවස්ථාවක බ්ලේක් ගෝඨාභය නම් ආරක්ෂක අමාත්‍යංශ ලේකම්ගේ හොඳ කියා තිබෙනවා අපට මතක නැත.

එහෙත් රාජපක්ෂ දේශපාලන කඳවුරට වගේම කාටත් තිබෙන දේශපාලන මතකයක් ඇත. ඒ යුද අපරාධ, දරුණු ගණයේ මානව හිමිකම් උල්ලංඝනය වීමට අදාළව ජිනීවා හිදී ලංකාව පරාජයට පත්වූ යෝජනාවේ හොඳම වැඩ ටික මෙහෙයවුයේ රොබට් බ්ලේක් බවය. ඊට මුල් වූයේ ඔහුය. අදටත් බ්ලේක් තමන් එදා කළ දේ වැරදියි කියන්නේ නැත. ලංකාවේ සුදුවෑන් පැහැරගැනීම්, අතුරුදහන් වීම්, යුද අපරාධ, දරුණු ගණයේ මානව හිමිකම් උල්ලංඝනය වීම්, මාධ්‍යවේදීන් ඝාතනය වීම, මාධ්‍ය ආයතන වෙත ප්‍රහාර එල්ලවීම ගැන බ්ලේක් එදා ලංකාවට චෝදනා කළේය.

බ්ලේක්ගේ අද රස්සාව මොකක්ද ?

එවැනි අත්දැකීමක් සමඟ අපට හමුවූ බ්ලේක් පසුගියදා BMICH හිදී හමුවන විට ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ අනුගාමිකයකු දැයි සිතෙන තරමට වෙනස්ව ඇත. ඇත්තටම රොබට් බ්ලේක් ගේ මේ වෙනස මොකක්ද ? ඒ වෙනස ඇත්තේ වෙන කොහෙවත් නොව ඔහු අද කරන රස්සාවේය.

මේ වන විට ඔහු කටයුතු කරන්නේ McLarti නම් ආයතනයට අනුබද්ධවය. එහි ඔහු පමණක් නොව විශ්‍රාමික ඉහළ පෙළේ ඇමරිකානු රාජ්‍ය නිලධාරීන්, බුද්ධි අංශ නිලධාරීන් සහ නම ගිය ඔත්තුකරුවන්, තානාපති අංශ නිලධාරීන් රැසක් සේවයේ නිරතව සිටියි.

එය මුදල් උපයන්නේ ගෝලීය ව්‍යාපාරික ආයතන, දේශපාලනඥයන් ඇතුළු විවිධ පාර්ශවයන්ට එක් එක් ඉලක්ක සාක්ෂාත් කරගැනීම වෙනුවෙන් උපදෙස් සහ මැදිහත්වීම් සිදුකරමින්ය. එසේම පැරණි වෘත්තීය සම්බන්ධතා නිසා ඇමරිකානු සෙනට් සභිකයන්ගේ සහය, රාජ්‍ය නිලධාරීන්ගේ සහය ලබා ගැනීම සඳහා සම්බන්ධීකරණ කටයුතුද ඔවුන් සිදුකරයි.

ඒ නිසාම ඔවුන් මේ වන විට ඇතැම් පාර්ශවයන් නම් කරන්නේ තවත් “කුළීහේවායන්” පිරිසක් ලෙසය.

බ්ලේක් ලංකාවට කැඳවුයේ මිලින්ද මොරගොඩ !

ඒ අනුව මේ දැන් ලංකාවට ඇවිත් ඉන්නේ නිකංම නිකං ඇමරිකානු විශ්‍රාමික රාජතාන්ත්‍රිකයා නොව McLarti ආයතනය නියෝජනය කරන කුළී හේවායාය. ඔහුව මෙහි කැඳවන්නේ රාජපක්ෂ රෙජීම පාලන සමයේ අමාත්‍යවරයෙකු වූ මිලින්ද මොරගොඩගේ පාත් ෆයින්ඩර් ආයතනය විසින්ය.

ලැබී ඇති විශ්වාසවන්ත තොරතුරු වලට අනුව මිලින්ද මොරගොඩ මේ මොහොතේ භාරව සිටින්නේ 2020 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකත්වය බලාපොරොත්තුවෙන් සිටින ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ ජාත්‍යන්තර ප්‍රතිරූපය නංවාලීමේ කටයුත්තය.

ඒ වෙනුවෙන් ඔහු පාත් ෆයින්ඩර් ආයතනය හරහා මැදිහත්ව සිටියි. එසේම මෙහිදී අමතක නොකළ යුතු තවත් කරුණක් ඇත. ඒ 2017 ජනවාරි මාසයේ පමණ ගෝඨාභය රාජපක්ෂව දේශපාලනය පිළිබඳව විශේෂ හැදෑරීමක් සඳහා චීන විශ්ව විද්‍යාලයකට ඇතුළත් කිරීමට යෝජනා වූ සිදුවීමය. එදා ගෝඨාභය වෙනුවෙන් එකී යෝජනාව ගෙනෙන්න මිලින්ද මොරගොඩ පමණක් නොව මෙරට පෞද්ගලික මාධ්‍ය ජාලයක හිමිකරුවෙකුද මැදිහත්වූ බව ප්‍රසිද්ධ රහසක්ය.

එපමණක් නොව ඒ කටයුත්ත සිදුකිරීමට සමගාමීව පාත් ෆයින්ඩර්’ ආයතනය චීනයේ CICIR (China Institutes of ontemporary International Relations) ආයතනය සමඟ අවබෝධතාවකට එළඹෙමින් මෙරට දේශපාලනය කළමනාකරණය කිරීමේ මෙහෙයුමකට සම්බන්ධවූ බවටත් ඒ කාලයේ මාධ්‍ය වාර්තා පළවිය.

ඒ බවද අප මෙහි සිහිපත් කරන්නේ චීනයේ CICIR ආයතනය චීනයේ විදේශ ප්‍රතිපත්ති සැකසීම වෙනුවෙන් වඩාත්ම බලපෑම්සහගත ආයතනයක් ලෙස සැලකෙන අතර චීන පාලක පක්ෂය වන කොමියුනිස්ට් පක්ෂයේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන බුද්ධි මණ්ඩලයක් ලෙසද සැළකෙන නිසාය.

මොරගොඩගේ ඇමරිකානු සම්බන්ධතා !

මෙහිදී මොරගොඩ ගේ චීන සම්බන්ධතා නිසා ඔහුගේ ඇමරිකානු සම්බන්ධතා සැක කිරීමට පවා කාටවත් ඉඩක් නැත. ඒ මිලින්ද මොරගොඩ යනු කවුද යන්න සම්බන්ධව 2003 පමණ කාලයේ මෙරට ඇමරිකානු තානාපති වූ ඈෂ්ලි විල්ස් ඇමරිකානු රජයට ලබාදී ඇති සහතිකය නිසාය.

විකීලික්ස් අනාවරණයක් ලෙස තිබෙන ඈෂ්ලි විල්ස් 2003දී වොෂිංටන් වෙත යවන කේබල් පණිවිඩයේ දැක්වෙන්නේ වොෂිංටන් හි උපත ලද ඩී. සී. ඔහු ඇමෙරිකානුවෙකු සමග විවාහ වූ ද්විත්ව පුරවැසියකු සහ අතිශය විශ්වාසවන්ත අයෙකු බවය. එසේම ඔහු සමඟ කටයුතු කිරීමේ වැදගත් කමද සිය කේබල් පණිවිඩයේ සටහන් කරන්නට ඈෂ්ලි විල්ස් අමතක කර නැත.

2020 ගෝඨා – මොරගොඩ ව්‍යාපෘතිය !

ඒ අනුව දැන් මිලින්ද මොරගොඩ සිදුකරමින් සිටින්නේ ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රතිරූපය දේශීයව මෙන්ම විදේශීයවත් නැංවීමේ කාර්යයේය. McLarti හී නියෝජිත රොබට් බ්ලේක් පාස්කු ප්‍රහාරයෙන් පසුව ලෝකයම ලංකාව දෙස බලාසිටින අවස්ථාවක ගෝඨාභය වෙත සුදුහුණු ගාන්නේ ද ඒ අනුවය.

එහිදී බ්ලේක්ගේ කතාවේ ඇත්තේ “ජාතික ආරක්ෂාව සහතික කරගන්න නම් ගෝඨාභය” වැනි දේශීය ආමන්ත්‍රණය පමණක් නොවේය. ඇමරිකානු ද්විත්ව පුරවැසියාව සිටි ගෝඨාභය කටයුතු කරන්නේ එක්සත් ජනපදයේ විශ්වාසය දිනාගත් මොරගොඩ වැන්නන් සමඟ බව, ඒ ඇමරිකාවේ හිටපු පුරවැසියා ලංකාව නම් රාජ්‍යයේ ජනාධිපති අපේක්ෂකත්වය ට සුදානමින් සිටින බව ඇතුළු පණිවිඩ රැසක් ජාත්‍යන්තරයට යැවීමද මේ හරහා සිදුවේ.

බ්ලේක් නොකී කතා !

බ්ලේක් ගේ අලුත් කතාවට අදාළ අපේ තර්කය සහ අප සතු තොරතුරු වඩාත් විශ්වසනීය වන තවත් හේතුවක් වන්නේ කතාවේ කිසිඳු තැනක ගෝඨාභය ගේ කිසිඳු අඩුවක් බ්ලේක් වෙතින් ප්‍රකාශ නොවීමය. සුදුවෑන් පැහැරගැනීම් සම්බන්ධව තමන් චෝදනා කර සිටියේ,මාධ්‍යවේදීන් ඝාතනය අතුරුදහන් කිරීම සහ මාධ්‍ය ආයතන වලට බෝම්බ ගසා ගිනි තිබීම, යුද අපරාධ, දරුණු ආකාරයේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධව තමන් එදා චෝදනා කළේ මේ ගෝඨාභය සහ ඔහු වටා සිටි විශේෂඥ බුද්ධි මණ්ඩලයට බව වැනි කිසිවක් බ්ලේක් කීවේ නැත.

අවම වශයෙන් ඔය කියන තරම් බුද්ධි අංශ මෙහෙයවමින් ජාතික ආරක්ෂාව සම්බන්ධව තීරණාත්මක වැඩ කොටස කළේ ගෝඨාභය නම් ඔහු පිත්තල හංදියේ බෝම්බ ප්‍රහාරයට ලක්වූ අවස්ථාවේ අර කියන බුද්ධි විශේෂඥයන් සිටියේ කොහේද යන්න ගැනවත් සමීප විමසුමක් වෙත බ්ලේක් ගියේ නැත.

එපමණ නොව ගෝඨාභය සහ ඔහු වටේ සිටින පැරණි ආරක්ෂක ප්‍රධානීන් මිනිසුන් අතුරුදහන් කිරීම්, ඝාතන, කප්පම් ගැනීම සඳහා පැහැරගැනීම් ඇතුළු චෝදනා රැසක් ලබා සිටින බව පවා බ්ලේක් මඟ හැරියේය.

සැබවින්ම භාණ්ඩයක්, එහි ඇති සියළු අගුණ සඟවා පරිභෝජනයට සුදුසු බව කියා පාරිභෝගිකයකු රවටන අලෙවිකරුවෙකුගේ සහ බ්ලේක්ගේ වෙනසක් මෙතැන නැත. ඒ අනුව එදා කළු බ්ලේක් අද සුළු බ්ලේක් අතර ඇති වෙනස මේ මොහොතේ ඔහු කරන රැකියාව අනුව සිදුව ඇත්තකි. පැවැත්ම වෙනුවෙන් සිදුකරන්නකි.

ටයිම් බේගල් !

බ්ලේක් මෙහි පැමිණීමත් පාස්කු ප්‍රහාරයත් අහඹුවක් නොවීම නිසා එය තවත් තහවුරු වෙයි. අප්‍රේල් 21 වන තුරු මහින්ද කිව්වොත් 2020 එනවා කී ගෝඨාභය පාස්කු ප්‍රහාරය එල්ලවූ සැනින් කීවේ, මුස්ලීම් අන්තවාදය පරාජය කරන්න තමන් ජනාධිපති වන බවය. එසේම අනතුරුව අනාවරණය වූයේ තව්හිද් ජමාත් සංවිධානයට වැටුප් ගෙවීමට පවා එවකට ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් වූ ගෝඨාභය කටයුතු කර ඇති බවය.

ගෝඨාභය ඇමරිකානු පුරවැසි භාවය ඉවත්කර ගැනීම සහ පාස්කු ප්‍රහාරය සමඟ ඒ සම්බන්ධව දියත්වූ මාධ්‍ය මෙහෙයුම, අනතුරුව රොබට් බ්ලේක් පැමිණ අපට කියන්නේ “ගෝඨා තමයි මනුස්සයා” කියා කරන දැනුම්දීම. මේ කිසිවක් අහඹු විය හැකිද?

මේ වන විටත් නිදහස් ලිබරල්වාදීන් බොහොමයක් අන්ත ජාතිවාදී වී ඇති නිසා අපේ රට එකම සුරපුරයක් වෙන්න ඔන්න මෙන්නය. ගැලවුම්කාරයාද නම් කර හමාරය. අවසාන වශයෙන් කියන්න ඇත්තේ තෝරාගැනීම පමණක් ඉතිරිව ඇති බවය.

newstube

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *