ඥානසාරගේ සැබෑ සාරය – අනුර සූරියබණ්ඩාර

බන්ධනාගාරයේදී ගලගොඩඅත්තේ ඥානසාර හිමි හමුවී CIDය අප්‍රේල් 21 ප්‍රහාරයට සම්බන්ධ තැනැත්තන් පිලිබඳ තොරතුරු විමසූ බව පසුගිය දිනක පුවත්පතක සඳහන් වී තිබුණි. ඒ අතරවාරයේ අප්‍රේල් 21 ප්‍රහාරයට මුවාවී ගලගොඩ අත්තේ හිමි (ඔහුට හිමි යන යෙදුම කොතරම් දුරට ගැලපේද යන සැකය මෙහිදී මතුවන නමුත් සිවුරක් දරමින් සිටින බැවින් ඒ වෙනුවට භාවිතා කළ හැකි වෙනත් යෙදුමක් සොයාගැනීමට අපහසුය.) නිදහස් කර ගැනීමේ වෑයමක් දියත් වී ඇති බව පෙනේ.

මේ වන විට ගලගොඩඅත්තේ යනු පසුගියදා සිදුවූ ප්‍රහාරය පිලිබඳ අනාවැකි කීවකු බවට පත් ව සිටි. එහෙත් මෙවැන්නක් සිදුවිය හැකි බව හෝ එවැනි ප්‍රහාරයකට පසුබිම් මෙරට සැකසෙමින් පවතින බව කලින් අනාවරණය කළ එකම තැනැත්තා ගලගොඩඅත්තේ නොවේ.

නිදසුනක් වශයෙන් සමස්ත ලංකා ඉස්ලාම් වියතුන්ගේ සංගමයේ අධ්‍යක්ෂ මණ්ඩල ප්‍රධානී සහ තරුණ කටයුතු ලේකම් මාතර කොටුවේගොඩ මුස්ලිම් දේවස්ථානයේ ප්‍රධාන මවූලවි, මාතර ඉස්ලාම් අරාබි දහම් පාසලේ අධ්‍යක්ෂ ෂාක් ෂෙයික් අක්‍රම් මවුලවිතුමා 2019.05.05 ඉරිදා රාවය පුවත්පතට මාධ්‍යවේදී ශ්‍රීලාල් සෙනෙවිරත්න මහතා සමඟ සම්මුඛ සාකච්ඡාවට එක්වෙමින් පවසා තිබුනේ මෙසේය.

” ලෝකයේ ISIS ආරම්භ වෙනකොට අපේ තරුණයෝ මේකට ආකර්ෂණය වෙන කොට ඒගොල්ලො හදන්න අපි ගොඩක් උත්සාහ කළා. ඒකත් එක්ක අපි රජයටත් කිව්වා මේ ගොල්ලන්ව අත්අඩංගුවට අරන් පුනරුත්ථාපනය කරන්න කියලා. නමුත් රජය ඔවුන් අත්අඩංගුවට ගත්තේ නැහැ. අත්අඩංගුවට ගන්න නීතියක් නැහැ කියලා කිව්වා. අපි දන්නේ නැහැ නීතියක් තියෙනවද නැද්ද කියලා. අපි කිව්වේ රටේ ආරක්ෂාව වෙනුවෙන් මේ සැකකටයුතු පුද්ගලයන් සියලු දෙනා අත්අඩංගුවට ගන්න කියලා. දැන් කියනවානේ , සහරාන් කියන පුද්ගලයෙක් මේකට වග කියන්න ඕනි කියලා. ඒ පුද්ගලයා සම්බන්ධයෙන් අපි විශේෂයෙන්ම රජයේ දැනුවත් කරලා තියෙනවා. කාත්තන්කුඩි ජනතාව උද්ඝෝෂණය කළා එයාව අත්අඩංගුවට ගන්න කියලා . මේ ප්‍රහාරය එල්ල වෙන්න කලින් 16 වැනි දා නැගෙනහිර පළාතේ තැනක මේවට සැලසුම් කරන බව දැනගෙන අපේ ජනයා 18 වෙනිදා ඒ ගැන පොලිසියට තොරතුරු දීලා තියෙනවා. ඒ වෙලාවෙත් අපි කියනවා මේ ගොල්ලන්ව අත්අඩංගුවට ගන්න කියලා. ඒත් පොලිසිය කිසිම ක්‍රියාමාර්ගයක් අරන් නැහැ ” (2019.05.05 රාවය පිටුව 13)

ඉහත ප්‍රකාශයට අනුව තහවුරු වන්නේ ඉස්ලාම් අන්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් ගලගොඩඅත්තේ කිසිදු සූක්ෂමතා ඥානයකින් යුතුව කටයුතු කළා නොවන බවයි. මුස්ලිම් ජනතාව සම්බන්ධයෙන් සිංහල බෞද්ධවාදී ආස්ථානයක පිහිටා කටයුතු කිරීම පමණකි. ගලගොඩඅත්තේ විසින් සිදු වී ඇත්තේ අනෙක ඉස්ලාම් අන්තවාදය පිළිබඳ ගලගොඩඅත්තේ කී කරුණු මුස්ලිම් ජනතාව ඉස්ලාම් භක්තික පිරිස විසින් ම ඊටත් වඩා හොඳින් රජය දැනුවත් කර ඇතුවා පමණක් නොවේ. අදාල තැනැත්තන් අත්අඩංගුවට ගනු යන ඉල්ලීම් ද ඔවුන් විසින් කරන්නට යෙදී තිබේ.

ඈශ් ෂෙයික් අක්‍රම් මවුලවිතුමා කියන්නේ ලෝකයෙ ISIS ආරම්භ වන අවධියේ ම ඔවුන් එම අනතුර දැක රජය දැනුවත් කළ බවයි. ඒ කියන සමයේ පැවතියේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවයි. ගලගොඩඅත්තේ ඉස්ලාම් අන්තවාදය ගැන කියමින් ගියේද මහින්ද රාජපක්ෂ පාලනය සමයේ දී ය. ඒ කාලයේ ගලගොඩඅත්තේ ට ආණ්ඩුවෙ විශේෂ අනුග්‍රහයක් ද ලැබුණ බව කවුරුත් දන්නා කරුණකි. එකල ආරක්ෂක

ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ගලගොඩඅත්තේ අතර පැවතියේ අතිශය සමීප සබඳතාවකි. ගලගොඩඅත්තේ නායකත්වය දරන බොදු බල සේනාවේ කාර්යාලයක් විවෘත කිරීමට ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගී වූ බව දෙදෙනා අතර සබඳතාව ඔප්පු කරන සාධකයකි.

එම සබඳතා කිසිවක් ගලගොඩඅත්තේ විසින් එකල නැගී එමින් පැවැති ඉස්ලාම් මූලධර්මවාදී අන්තවාදය ලත් තැනම ලොප් කරන්නට උපයෝගී කර ගත්තේ නැත. එනම් එම ව්‍යාපාරයේ ආරම්භක අවදියේ ම මුලිනුපුටා දමන තැනට කටයුතු කරන්නට ආරක්ෂක ලේකම්වරයා පොළඹවන්නට ගලගොඩඅත්තේ කටයුතු කළේ නැත. ඒ වෙනුවට එනම් ඉස්ලාම් අන්තවාදී මූලධර්මවාදයට විරුද්ධව නීතිය ක්‍රියාවේ යෙදවීමට බලපෑම් කරනු වෙනුවට ගලගොඩඅත්තේ යෙදී සිටියේ සටන්කාමී අහිංසක ප්‍රජාතන්ත්‍රවාදී මුස්ලිම් ජනතාවට විරුද්ධව සිංහල බෞද්ධ මූලධර්මවාදයක් ගොඩනැගීමේ කටයුත්තේය. මුස්ලිම් ජාතිකයන්ට අබසරණ පැතීම ගලපු ගලගොඩඅත්තේ ගේ එකළ න්‍යාය විය.

අනෙක් කාරණය අප්‍රේල් 21 ප්‍රහාරය සිදු වන විට ගලගොඩඅත්තේ බන්ධනාගාරයේ නොව පන්සලේ සිටියේ නම් ඇතිවිය හැකිව තිබූ තත්වය කුමක් විය හැකිද? යන්නය. දිගන සිදුවීම් ආශ්‍රයෙන් ඒ ගැන වටහා ගත හැකිය. දිගන දී සිදුවූයේ බිමත් මුස්ලිම් ජාතිකයෙකු විසින් සිංහල තරුණයකුට පහර දීමකි. එම ප්‍රහාරයට කිසිදු ආගමික පසුබිම්ක් හෝ ජාතික පසුබිමක් හෝ ජාතික පසුබිමක් තිබුණේ නැත. මුස්ලිම් දෙපිරිසක් අතර හෝ බෞද්ධ දෙපිරිසක් අතර එම ගැටුම් සිදු වී නම් එය පොලිස් පොතෙන් උසාවියෙන් කෙළවර වන සිද්ධියක් පමණි.

සිද්ධිය පොලිස් පොතෙන් අධිකරණයෙන් අවසන් නොවී මහා විනාශයක් බවට පත්වූයේ ගලගොඩඅත්තේ ඇතුළු සිංහල බෞද්ධ අන්තවාදීන්ගේත් පොහොට්ටු පක්ෂයේ ඇතැමුන්ගේත් ක්‍රියාකාරකම් සහ මැදිහත්වීම් හේතුවෙනි . ආරක්ෂක අංශවලත් පොලිසියේත්, ආණ්ඩුවේ දුර්වල බව ඔවුන් තම ව්‍යාපෘති සඳහා මැනවින් උපයෝගී කරගත්තේය. අප්‍රේ21 ප්‍රහාරය අවස්ථාවේ ගලගොඩඅත්තේ නිදහසේ සිටියේ නම් ප්‍රහාරය හරහා මුස්ලිම් විරෝධයක් ගොඩ නඟන්නට උත්සාහ කරනු ඇති බව අනුමාන කළ හැකිය. එවැන්නක් සිදු වූයේ නම් ඊළඟ ප්‍රතිඵලය වනු ඇත්තේ කළු ජූලි සිදුවීම් හේතුවෙන් ඊළාම්වාදය ප්‍රසාරණය වූ ආකාරයට මේ සිදුවීම් හේතුවෙන් ඉස්ලාම් අන්තවාදය පෝෂණය වීමයි.

පසුගිය කාලයේද ගලගොඩඅත්තේට ජනාධිපති පොදු සමාවක් ලබා දීමට ගත්උත්සාහයක් දක්නට ලැබුනි. ජනාධිපති පොදු සමාවක් වැරදිකරුවෙකුට ලබා දීම වරදක් නොවේ. නමුත් එය ලැබිය යුත්තේ ඊට සුදුසු තැනැත්තෙකුටම ය. එනම් තමන් අතින් වරදක් සිදු වී ඇති බව පිළිගෙන ඉදිරියේදී එය නිවැරැදි කර ගන්නා බවට පෙන්නුම් කරන අයෙකුටය .
ඥානසාර යනු එවැනි තැනැත්තෙකු නොවන බව අප්‍රේල් 29 වනදා හෝමාගම උසාවියේ දී නැවතත් තහවුරු විය. එදා ගලගොඩඅත්තේ රූපවාහිනී කැමරා ඉදිරියේ බෝධිසත්ව චරිතයකට මාරු වී සිටියේය. මාධ්‍ය ඉදිරියේ නිවුණු තැන්පත් බවක් පෙන්නුම් කළේය. ඒ දුටු ඉන්පෙර ඥානසාර විරෝධීන් සමාව ඉල්ලන ආකාරයක් සමාජ මාධ්‍ය ඔස්සේ දැකගන්නට ලැබුණි .

ගලගොඩඅත්තේගේ එම හැසිරීම ඇත්තක්ද ඔහු නිවුනු චරිතයකියක් බවට පත්වී ඇත්ද ඒ ගැන තක්සේරු කරන්නට එදිනම කැමරාවලට සහ මාධ්‍ය වලට හසු නොවී හෝමාගම උසාවියෙදීම සිදු වූ දෙයක් උපයෝගි කරගත හැකිය.

”තෝ හිඟා කාපිය. තොගේ මිනිහා කොටියෙක්” යනුවෙන් ගලගොඩඅත්තේ අතුරුදහන් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට බැණ වැදුණේ උසාවියේ දී ය. ඒ වරදට සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට රුපියල් 50,000 ක වන්දියක් ගෙවන ලෙස ගලගොඩඅත්තේට උසාවියෙන් නියෝග කෙරිණ. එම වන්දි මුදල ගෙවීම සඳහා ඥානසාර වාදීන් මුදල් ගෙනවිත් තිබුනේ ගුලිකරන ලද රුපියල් 50, 20 මුදල් නොට්ටු බෑග් තුනකිනි . එහි තිබී ඇත්තේ රුපියල් 500 නෝට්ටු දෙකක් පමණක් බවද කියවේ. සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය ඒ නිසා පත් වූ අපහසුතාවය ගැන ඥානසාර වාදීන් කියා ඇත්තේ එම මුදල් මෙරට වලංගු මුදල් බව හා පන්සල් පිං කැට වල තිබූ ඒවා බවය.

පන්සල් පින්කැට වලට මුදල් නවා දමන මිස ගුලි කර දමන්නේ නැත. අනෙක ගුලි කර තිබූණා වුවද අදාළ පිරිස් රුපියල් 50,000 වෙන්කිරීමට එම නෝට්ටු දිගහැර ගණන් කළ යුතුය.ඒ අනුව පෙනෙන්නේ සන්ධ්‍යාවක් එක්නැලිගොඩ මහත්මිය උසාවියේ දී නැවතත් අපහසුතාවයට පත් කිරීමේ අර අරමුණින් දැනුවත්ව එම පිරිස එම මුදල් එසේ රැගෙන ආ බවය. පෙර වතාවේ ”තෝ හිඟා කාපිය” කියා උසාවියේ දී ඇයට අපහාස කළා වැනිම අපහාසයකින් මෙය.

කෙසේ නමුත් විනිසුරුවරයා ඒ ආකාරයට මුදල් භාර ගැනීම ප්‍රතික්ෂේප කර තිබේ. ඔහු පවසා ඇත්තේ උසාවියට මුදල් භාර දෙන ක්‍රමයක් ඇති බැවින් ඒ ක්‍රමයට සකසා මුදල් භාර දෙන ලෙසය. එක් අතකින් බලන කල එම ආකාරයෙන් මුදල් රැගෙන ඒම මගින් නැවත වරක් වක්‍රාකාරයෙන් උසාවියේ කටයුතු හෑල්ලුවට ලක්කෙරී ඇති අතර උසාවියේ කාලය නාස්ති කිරීමක් ද සිදු වී තිබේ.

මේ කරුණුවලින් පෙනෙන්නේ ගලගොඩඅත්තේ කවර උපාසක රංගනයක් මවාප පෑවද තවමත් විෂ දත් ඉවත් වී නොමැති බවය. කවුරු කෙසේ කීවද එවැනි තැනැත්තෙකුට සුදුසුම ස්ථානය පන්සලක් නොව බන්ධනාගාරයක්මය. ගැටලුව ඔහුට බන්ධනාගාරයේ සිර කුටිය වෙනුවට රෝහල් වාට්ටුවක් ලැබී ඇති බව අසන්නට ලැබීම ය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *