නඩුත් ජනාධිපතිගෙ – බඩුත් ජනාධිපතිගෙ – සම්පත් අමරසිංහ

හොරාගෙ අම්මගෙන් පේන අහනවා යැයි කියාමනක් තිබේ. ඉන් කියැවෙන්නේ වැරැද්දක්, සොරකමක් කළ අයෙකු ගැන සොයා ගැනීමට සොරකම කළ අයගෙන්ම තොරතුරු විමසීම පිළිබඳවය. ඉහත කියමන මෑත ඉතිහාසයේදී අපට සිහියට නැඟෙන්නේ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධව වගකීම් පැහැර හැරි අය පිළිබඳ සොයා බලා නිර්දේශ ඉදිරිපත් කරන්නට ජනාධිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩ මහතාගේ සභාපතිත්වයෙන් යුතු කමිටුවක් පත් කරන්නට යෙදුනු බැවිනි. එම කමිටුවේ සාමාජිකයන් වන්නේ හිටපු පොලිස්පති එන්. කේ ඉලංගකෝන් සහ හිටපු අමාත්‍යාංශ ලේකම් පද්මසිරි ජයමාන්න යන මහත්වරුන්ය. මේ කමිටුවේ සාමාජිකයකු සහ ජනාධිපති ලේකම් උදය ආර්. සෙනවිරත්න මහතා අතර ඥාති සබඳතාවක් පවතින බවටද කතා බහක් පවතී. එසේ නම් එය කමිටුවේ විශ්වසනීයත්වය පිළිබඳ ගැටලූවක් මතු වීමට හේතුවක් බව අමුතුවෙන් කිය යුතු නැත.

2019.05.05 ඉරිදා අනිද්දා පුවත්පතෙහි ප්‍රධාන ප්‍රවෘත්තියෙන් හෙළිදරව් කර ඇත්තේ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ලැබුණු තොරතුරු පිළිබඳ ජනාධිපතිවරයා දැනුවත් කළ බවත් එම තොරතුරු ජනාධිපතිවරයා ද දැන සිටි බවත් ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා ජනාධිපතිවරයා විසින් පත් කළ කමිටුව ඉදිරියේ සාක්ෂි දෙමින් ප්‍රකාශ කර ඇති බවයි.

” එම තොරතුරු සම්බන්ධයෙන් ISUහෙවත් රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානි නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන තමා දැනුවත් කළ බවට ජනාධිපතිවරයා පැවසූ බවද හේමසිරි ප්‍රනාන්දු මහතා එම කමිටුව හමුවේ ප්‍රකාශ කර ඇත.

” එමෙන්ම බුද්ධි තොරතුරු තමන්ට ලැබෙන්නේ ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් කිරීමෙන් පසුව බවද, තමාට එම තොරතුරු ලැබෙන්නේ ජනාධිපතිවරයා හරහා බවද හේමසිරි ප්‍රනාන්දු මහතා එම කමිටුව හමුවේ ප්‍රකාශකර ඇත.” ( අනිද්දා 2019.05.05 පිටුව 01)

හේමසිරි ප්‍රනාන්දු මහතා කමිටුව හමුවේ පවසා ඇතැයි කියන ඉහත කරුණු සත්‍ය නමින් කියවෙන්නේ අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් මූලික තොරතුරු පිළිබඳ ජනාධිපතිවරයා දැනුවත් සිට ඇති බවයි. අදාළ අංශ විසින් සුදුසු පරිදි එම තොරතුරු ජනාධිපතිවරයාට දැනුම්දී ඇති බවයි. එසේනම් ජනාධිපතිවරයා අප්‍රේල් 21 ප්‍රහාරයේ තොරතුරු විනිශ්චය කරන්නා ගේ චරිතයට නොව ගැලපෙන්නේ එම ප්‍රහාරයේ වගඋත්තරකරුවෙකු ගේ චරිතයට බව අවධාරණය කරන්නට සිදුවේ.

හොරාගේ අම්මගෙන් පේන ඇහීම යන කියමන මතක් වීමට හේතුව එයයි. එනම් අප්‍රේල් 21 ප්‍රහාරයට වගකිව යුතු යුතු තැනැත්තෙකු වන ජනාධිපතිවරයා විසින්ම එම ප්‍රහාරය සම්බන්ධයෙන් වගකීම් පැහැර හැරි අය පිළිබඳ සොයන්නට කමිටුවක් පත් කිරීමයි.

අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පසුව ජනාධිපතිවරයා කළ ප්‍රකාශය වූයේ තමා එම ප්‍රහාරය පිළිබඳ මුලින්ම දැන්ගත්තේ සිංගප්පූරුවේදී සමාජ මාධ්‍ය ජාලා හරහා බවයි. හේමසිරි ප්‍රනාන්දු මහතාගේ ප්‍රකාශය සත්‍යයක් නම් ජනාධිපතිවරයා ප්‍රහාරයක් එල්ල විය හැකි බව ප්‍රහාරයට කලින් දැන සිට තිබේ. ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් ද නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය බලහත්කාරී ලෙස පවරා ගෙන කටයුතු කරන තැනැත්තා වශයෙන් ද ත්‍රිවිධ හමුදාවේ අණදෙන නිලධාරියා වශයෙන්ද එහිදී ජනාධිපතිවරයා තමන්ගේ වගකීම පැහැර හැර තිබේ. ඒ අනුව අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් වගකීම් පැහැර හැර ඇති යම් පිරිසක් වෙත්නම් එහි මුලටම කිව යුත්තේ ජනාධිපතිවරයාගේ නමය. එසේනම් ජනාධිපති වරයාගේ කමිටුව යනු ප්‍රහාරයේ වගකීම පැහැර හැරි මූලික තැනැත්තා විසින් පත් කළ කමිටුවකි. එවැනි කමිටුවකින් ප්‍රහාරයට පිළිබඳව වගකිව යුත්තන් නිසි පරිදි හෙළි කරගත හැකි වේ ද යන සැකය තිබේ. ජනාධිපතිවරයා විසින් මේ වන විට විවිධ කමිටු ද කොමිෂන් සභාද රැසක් පත්කර ඇතත් ඒවා කිසිවක ප්‍රතිඵල මෙතෙක් දක්නට නැත. ප්‍රහාරය සම්බන්ධයෙන් පත්කළ කමිටුව ද ඉහත කොමිෂන් සභාවලට අයත් ව ඇති ඉරණමම අත්වනු ඇතැයි පසුගිය දා මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමා පළකර තිබූ සැකය ද බැහැර කළ නොහැකි වන හේතුව එයයි.

හේමසිරි ප්‍රනාන්දු මහතාගේ ප්‍රකාශය සත්‍ය වූව අසත්‍ය වූව ප්‍රහාරය පිළිබඳ ජනාධිපතිවරයා කලින් දැනුවත්ව සිටි බව ඒ මහතා කමිටුව හමුවේ ප්‍රකාශ කර තිබේ. එසේ නම් අප්‍රේල් 21 ප්‍රහාරයේදී ආරක්ෂාව නිසි පරිදි ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් හෙවත් එම ප්‍රහාරය වළක්වා ගැනීමේ වගකීම පැහැර හැරීම සම්බන්ධයෙන් (හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාගේ ප්‍රකාශය අනුව හෝ ) ජනාධිපතිවරයා වගකිව යුතුවේ. ඒ අනුව අදාළ කමිටුව මගින් සාක්ෂි විමසීම සඳහා ජනාධිපති වරයාද කමිටුව ඉදිරියට කැඳවිය යුතුවේ.

කමිටුව විසින් ජනාධිපතිවරයා සාක්ෂි විමසීම සඳහා කැඳවනු ඇතැයි ද නැති ද යන්න මේ වන තුරු පැහැදිලි නැත. යම් ආකාරයකින් ජනාධිපතිවරයා කමිටුව හමුවට කැඳවුවායි සිතමු. එහෙත් ජනාධිපතිවරයාගෙන් සාක්ෂි විමසීම හෝ එම කමිටුව විසින් ජනාධිපතිවරයා සම්බන්ධයෙන් සාධාරණ විනිශ්චයක් ලැබේද යන්න විශ්වාස කළ හැකිද?

ඊළඟ කාරණය වන්නේ කමිටුව පත්කර තිබියදීම සහ කමිටුවේ නිර්දේශ ලැබෙන්නට පෙරම ජනාධිපතිවරයා දඬුවම් දීමට ද ඉදිරිපත් ව සිටීමයි. එනම්, ජනාධිපතිවරයා විසින් අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් ඉල්ලා අස්වන ලෙස හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාගෙන් ඉල්ලා සිටීමය. එම ඉල්ලීම අනුව මේ වන විටත් හේමසිරි ප්‍රනාන්දු මහතා තම තනතුරෙන් ඉල්ලා අස්වී ඇත. දැන් හේමසිරි ප්‍රනාන්දු මහතාට කමිටුව හමුවේ සාක්ෂි දීමට සිදුවී ඇත්තේ වගඋත්තරකරුවෙකු වශයෙන් නොවේ. දඬුවමට පාත්‍ර වූ තැනැත්තෙකු වශයෙනි. ඒ අනුව මෙම නඩු විභාගය සමාන වන්නේ කැකිල්ලේ රජ්ජුරුවන්ගේ අධිකරණ ක්‍රියා පටිපාටියකට ය.

හේමසිරි ප්‍රනාන්දු ආරක්ෂක ලේකම්වරයාට පමණක් නොව සිද්ධිය සම්බන්ධයෙන් ඉල්ලා අස්වන්නැයි ජනාධිපතිවරයා පොලිස්පතිවරයාටද දැනුම් දුන්නේය. එහෙත් පොලිස්පතිවරයා මෙතෙක් සිය ඉල්ලා අස්වීම භාර දී නැත. එහෙත් මේ වනවිට පොලිස්පතිවරයාට සිද්ධිය සම්බන්ධයෙන් අනිවාර්ය නිවාඩු යෑමට සිදුවී තිබේ.

පොලිස්පතිවරයාගේ මතය වන්නේ තමා අතින් වරදක් සිදුව නැති බවයි. ඔහු පවසා ඇත්තේ මාස හතරකින් තමාට ආරක්ෂක මණ්ඩල රැස්වීමට කැඳවීම්ක් ලැබී නැති බවයි. පොලිස්පතිවරයා යනු ආරක්ෂක මණ්ඩලයේ සාමාජිකයෙකි. පොලිස්පතිවරයා නොමැතිව ආරක්ෂක මණ්ඩලයේ රැස්වීම් පැවැත්වීම යනු බරපතළ වරදකි. පොලිසියේ කටයුතු පැවරී ඇත්තේ නීතිය හා සාමය අමාත්‍යාංශයටය. මේ වන විට නීතිය හා සාමය අමාත්‍යාංශය ජනාධිපතිවරයා යටතට පවරාගෙන තිබේ. ආරක්ෂක අමාත්‍යවරයා ලෙසත් නීතිය හා සාමය අමාත්‍යංශය භාර ඇමතිවරයා ලෙසත් ජනාධිපතිවරයාවරයා පොලිස්පතිවරයාගේ සහභාගිත්වයෙන් තොරව ආරක්ෂක මණ්ඩලය කැඳවා තිබේ යන්න කවරාකාරයකින්වත් විශ්වාස කිරීමට පවා අපහසු ය. පොලිස්පතිවරයා නොමැතිව ආරක්ෂක මණ්ඩලය කැඳවීම සම්බන්ධයෙන් විමසා බැලීමේ වගකීමක් ජනාධිපතිවරයාට තිබේ. ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වගකීම ඉටු කර නොමැති බව පොලිස්පතිවරයාගේ ප්‍රකාශයෙන් පෙනේ.

එපමණක් නොවේ දැනට හෙළි වී ඇති කරුණු අනුව පැවසෙන්නේ ව්‍යවස්ථා විරෝධී ආණ්ඩු පිහිටු වීමෙන් පසු ආරක්ෂක මණ්ඩලයේ රැස්වීම් වලට අග්‍රාමාත්‍යවරයාට සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයාට ද කැඳවීම් ලැබී නැති බව ය. එසේ නො කැඳවීම සම්බන්ධව ප්‍රශ්න නොකිරීමේ වරද අගමැතිවරයාටත් ආරක්ෂක රාජ්‍ය ඇමතිවරයාට පැවරෙන බව සැබෑ නමුත් ඔවුන් දෙදෙනා ආරක්ෂක මණ්ඩලයට කැඳවීමේ වගකීමෙන් ජනාධිපතිවරයාට මිදෙන්නට හැකියාවක් ඇත්තේ නැත. එසේම ප්‍රහාරයෙන් පසුව ජනමාධ්‍ය ඔස්සේ පැතිර ගිය තොරතුරු සමහරකින් කියැවුණේ ආරක්ෂක මණ්ඩලයට කැඳවනු ලැබ සිටින්නේ පොදු ජන පෙරමුණේ සාමාජිකයන් බව සහ එහි දී වැඩි වශයෙන් සාකච්ඡා කෙරුණේ ජනාධිපතිවරයා විසින් ක්‍රියාවට නැගෙන සංවර්ධන වැඩ සහ ඒවාට හමුදා අංශ වලින් ලැබෙන සහයෝගය පිළිබඳව බවයි.

සියල්ලෙන් පෙනෙන්නේ පසුගිය කාලයේ ආරක්ෂක මණ්ඩලය ඈලියාවට ගොස් තිබුණු බවයි. එහි ප්‍රතිඵලය වශයෙන් ජනතාව සිය ගණනකට තම ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදුවී තිබේ. ප්‍රහාරය හේතුවෙන් සිදු වූ දේපළ විනාශය ද සුළුපටු නැත. සංචාරක ව්‍යාපාරය බිඳ වැටීම ආදිය ඔස්සේ ආර්ථිකයට ද විශාල වීනාශයක් සිදුව තිබේ. ප්‍රහාරය වළක්වා ගැනීමට අසමත් වූ අය මෙකී සියලු විනාශ වලට වගකීව යුතුය. එහෙත් ඊට වගකිව යුත්තෙකු විසින් පත්කරනු ලබන කමිටුවකින් එහිදී සාධාරණයක් බලාපොරොත්තු විය නොහැකිය. කමිටුව ගැන කිව හැකිය අනාවැකිය වන්නේ, එය ප්‍රහාරයේ වගකීම අනිකකුට පවරා අත සෝදා ගැනීමේ උත්සාහයක් වනු ඇති බව හෝ කිසිදාක ප්‍රතිඵලයක් නොලැබෙන සිද්ධිය අමතක කිරීම සඳහා කල් ගැනීමට පත් කළ කමිටුවක් වනු ඇති බව ය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *