|

විජිත් විජයමුනිගේ පුතාගේ විවාහය අරලියගහ මැදුරේ

ත්‍රස්ත ප්‍රහාරයෙන් රටත් අරලියගහ මන්දිරයත් කම්පනයට සහ ශෝකයට පත්ව තිබුණත් පසුගිය බ්‍රහස්පතින්දා අරලියගහ මැදුරේ ප්‍රධාන ශාලාවෙන් කොටසක් ක්ෂණික මංගලශ්‍රීයකින් බැබලෙන්නට විය. ඒ විජිත් විජිතමුණි සොයිසාගේ පුත්‍රයාගේ විවාහ මංගල්‍යය එහි පැවැත්වීමට ක්ෂණික තීන්දුවක් ගෙන තිබූ බැවිනි. අගමැතිවරයා එදින උදයෙන්ම එහි පැමිණියේ ජනාධිපතිවරයා ඇතුළු මැති ඇමතිවරු පිරිසක්ද එම උත්සවයට එක්වීමට සිටි බැවිණි.

“බෝම්බ අස්සෙ මගුලුත් වෙනවා. දැන් බයවෙලා හිටිය ඇති. සියල්ල සාමාන්‍ය පරිදි පටන්ගන්න රටේ සියළුදෙනා කටයුතු කරන්න ඕනෙ.” සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල කීවේ අගමැතිවරයා හමුවට පැමිණ සිටි මැතිඇමතිවරුන් අතරින් කතාව ආරම්භ කරමිණි.

“මේ මංගල්‍යය අද ෂැන්ග්‍රිලා එකෙයි තියන්න තිබුණෙ. ඒත් එතන තාම ප්‍රතිසංස්කරණ කෙරෙන නිසා විජිතමුණි මේ හෝල් එක ඉල්ලුවා. ජනාධිපතිතුමා ඇතුළු මැති ඇමතිවරු එන උත්සවයක් නිසා ආරක්ෂාව ගැන හිතලා මම මේකට අවසර දුන්නා. විවාහයේ නැකත එදාම කරන්න ඕන කියලා විජිතමුණි කිව්ව නිසා හෝල් එකෙන් කොටසක් දෙන්න එකඟ වුණා. මියුසික් හෝ වෙන අනංමනං බෑ කියලත් මම කිව්වා. අවශ්‍ය මුදල ගෙවන්න ඕන කිව්වාමත් ඒ සියල්ලටම එකඟවුණා.” අගමැතිවරයා කීවේය.

“බුර්කාවට අගමැතිතුමයි ඇමති මංගලයි විරුද්ධ වුණා කියල සමහර ජනමාධ්‍ය රට නොමග යැව්වා. ඒත් බුර්කාවට යලිත් අවසර අරන් දෙන්න මම සටන් කරනවා කියල මහින්ද රාජපක්ෂ කියපු කතාවට ඒ ජනමාධ්‍ය කිසිම ප්‍රසිද්ධියක් දෙන්නෙ නෑ. ඒත් ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය වලනම් මහින්ද මහත්තය හොඳට නානවා.” චමින්ද විජේසිරි කීවේ සිනාමැදය.

“මම කිව්වෙ බුර්කාව තහනම් කරන්න කලින් මුස්ලිම් පූජක ප්‍රජාව දැනුවත් කරන්න කියල විතරයි. දෙමළ කාන්තාවො සාරිය ඔළුව උඩින් දාල කණ වහනවා. නුවරඑළියේ හරි සිරීපාදෙ හරි යනකොටයි අපේ කාන්තාවොත් කණ් වහන් යනව මම දැකල තියනවා. අසනීප තත්වයක් තියන අය හා කනෙයි  මූනෙයි  කැලැල් තියන කට්ට්ටියත් මූණ වහන් යනවා ඇති.” අගමැතිවරයා කී විටද පිරිස සිනාසුනහ.

“සරත් ෆොන්සේකට නීතිය හා සාමය ඇමතිකම දෙනවද?” හේෂා විතානගේ විමසුවේ අගමැතිගෙනි.

“අපි ඒ ගැන ජනාධිපතිත් එක්ක කතා කළා. කිරිඇල්ල ඇමතිතුමාගෙන්ම විස්තරය අහන්නකො.” යැයි කී අගමැතිවරයා කිරිඇල්ල දෙස බැලීය.

“පෙරේදා රෑ අපි පස්දෙනෙක් ගිහින් ෆොන්සේකට ඇමතිකම දෙන්න ඕනෑ කියල ඉල්ලුවා.  මේක රටේත් මතයයි. ඔහුට ඒ තනතුර දුන්නොත් ජනතාව අතර ආරක්ෂාව ගැන ලොකු විශ්වාසයක් ඇතිවෙනවා කියලත් මම කිව්වා. සුළුවශයෙන් මලික් එතෙනදි කතාකලා. වෙනකවුරුවත් කතාකලෙත් නෑ. ඒකට බෙල්ල දුන්නෙත් මමයි. ඒත් ඒක කරන්න බෑ කියන එකයි ඒ පැත්තෙන් කියවුණේ” ලක්ෂ්මන් කිරිඇල්ල පැහැදිළි කලේය.

“ෆොන්සේකට මේක දෙන්න බැරිනම් ඒකට හේතුව හැටියට මොකක්ද ජනාධිපතිතුමා කිව්වේ?” නවීන් දිසානායක විමසුවේ කිරිඇල්ලගෙනි.

“එයා හොද උත්තරයක් දුන්නා. හැබැයි ඒක නම් මම මෙතන තියා ඒක අපේ ගෙදර මැණිකෙටවත් කියන්නෙ නෑ.” යැයි කී කිරිඇල්ල කොක්හඩලා සිනාසුනේය.

“ත්‍රස්තවාදය මඩින්න විදෙස් හමුදා ගේනවා. මේක ඇමරිකන් ගැති බිමක් කරන්න හදනවා කියන වීරවංශ ඇමරිකන් පුරවැසියෙක් මේ රටේ ජනාධිපති කරන්න දිවා රෑ දගලනවා. කන්න ඕන වුණාම කබරගොයා තලගොයා කරන පහත් දේශපාලනක් එයා කරන්නෙ” රංජිත් මද්දුමබණ්ඩාර කීවේ එවැන්නකි.

“ජාත්‍යන්තර හමුදාව ලංකාවට ගේනවා කියල මම කිසි තැනක කියල නෑ. වීරවශ හමුදාවයි බුද්ධි අංශයි අතර තියන වෙනසවත් අදුරන්නෙ නැතුව කතාකරන හැඩයි. මේ රටේ බුද්ධි අංශ මෙතෙක් පුහුණුවෙලා තිබුණෙ විශේෂයෙන් LTTE ගැන තොරතුරු හොයන්නයි. ඒත් ISIS කියන්නෙ ගෝලීය ත්‍රස්තවාදයයි. ඒකට ඇමරිකාවෙ FBI බ්‍රිතාන්‍යයේ SCOTLANDYARD ද ඉන්දියාවෙ RAW ද අපිත් එක්ක වැඩ කරන්න කැමති නම් ඒ සහය ලබාගන්න ඕන. අපි ඒක පටන් ගත්තා. කොටි මර්දනය කරන්න අපේ හමුදා ක්‍රියා කළාට අපේ බුද්ධි අංශවලට එදාත් ජාත්‍යන්තර බුද්ධිඅංශ වලට විශාල සහයක් ලැබුණු බව වීරවංශගේ ළදරු දේශපාලනයට තේරෙන්නෙ නැතුව ඇති. ඒකයි එයා ලිද ඇතුලෙ ඉදන් කෑගහන්නෙ.” සාමාන්‍යයෙන් විපක්ෂය ප්‍රතිපක්ෂ වල අයට ඍජුව පහර නොදෙන අගමැතිවරයා එය කීවේ මද ආවේගයක්ද සමගිනි.

“ජනාධිපති රටට එන්නත් කලින් ප්‍රහාරය එල්ලවෙලා පැය කිහිපයක් ඇතුලත ත්‍රස්තවාදීන්ගේ කරටියම කොටුකරගන්න අපේ ආරක්ෂක අංශ සමත්වුණා. සතියෙන් සියල්ල පාලනය කළා. ඉතිරිවෙලා ඉන්න ටිකදෙනාත් අල්ලනකන් අපි ආරක්ෂාව පොඩ්ඩක්වත් බුරුල් කරන්නෙ නෑ.” නවීන් දිසානායක කී දේ සියළුදෙනා අනුමත කළහ.

“ජුනි මාසෙ තමයි ලංකාවෙ සංචාරක සීසන් එක පටන්ගන්නෙ. ප්‍රහාරය නිසාම නෙවෙයි මේ කාලෙට කොහොමත් සංචාරකයො අඩුයි. සියයට 50ක විතර හෝටල් ගාස්තු මේ කාලෙට අඩු ඒකයි. ජුනි වෙනකොට සංචාරකයින්ගෙන් රට පුරවනවා විතරක් නෙවෙයි කෙටි කාලයකදී විදෙස් ආයොජන වලට පදනම දාන්නත් අපි සූදානම් වෙන්න ඕනෑ. අනුමැතිය ලැබෙනකන් අවුරුදු 2ක් විදේශ ආයෝජකයො බලාගෙන ඉන්නෙ නෑ.” අගමැතිවරයා කීය.

“මුස්ලිම් අන්තවාදයට කිරි පොවපු පසුගිය ආණ්ඩුවේ කට්ටිය අද මැරිල උපදිලා වගේ කතාකරනවා. ශරියා නීති ගත කලේ මුස්ලිම් අන්තවාදීන්ට පඩි ගෙව්වේ හමුද මූලස්ථාන ඉඩම ශැන්ග්‍රිලා එකට විකුණලා ඒ මුස්ලිම් අන්තවාදීන්ගෙ මූලස්ථාන හදන්න කොළබින් ඉඩම් දීලා, අරාබි පාසැල් ඇරලා ඔක්කොම කළේ රාජපක්ෂ යුගයේ. ශරියා විශ්ව විද්‍යාලයට අත්සන් කලෙත් තමන් බව ඩලසුත් පිලිගත්තා. ඒ කාලෙ වෙච්ච කලින් කියපු අනිත් දේවල් ගැනත් වීරවංශ හා ගම්මන්පිලත් තහවුරු කළා.” චමින්ද විජේසිරි කීවේය.

“ගැරඩින්ට භූමිතෙල් ගෑවුණා වගේ මේ තොරතුරු එලියට ආවම පොහොට්ටුවේ කට්ටිය දැඟලුවා. මේ සියළු තොරතුරු අපි රටට කියන්නෙ බුද්ධි අංශ තොරතුරු මත පදනම් වෙලයි” හේෂා විතානගේ කීවේය.

“පොලිස්පති ඉවත්කරපු ක්‍රමවේදය වැරදි බවයි හුඟදෙනෙක් කියන්නෙ. ප්‍රහාරය ගැන කොමිෂන් වාර්තාව පාර්ලිමේන්තුවට ආවහම විවාදයක් ඉල්ලීම පොහොට්ටුවේ අයගෙ ස්ථාවාරයයි. ඊටපස්සෙ පාර්ලිමේන්තු පරීක්ෂණයක් පවත්වන්න ඉඩ ලැබෙනවා. එතනදි අනුන්ගෙ වැරදි තමන්ගෙ පිටට දාගෙන පොලිස්පතිට හෝ ආරක්ෂක ලේකම්ට සත්‍ය යටපත් කරගන්න බැරිවේවි.” රංජිත් මද්දුම බණ්ඩාර කී දේ කාගේත් අවධානයට ලක්විය.

“ජනාධිපතිතුමාගෙ මාධ්‍ය අංශෙ ලොක්කෙක් අප්‍රේල් 16 වැනිදා ෆේස්බුක් එකේ කියල තිබුණෙ ඇඟ කිලිපොලන මයිල් කෙලින්වෙන ත්‍රස්ත ප්‍රහාරයක් අත ලඟ බවයි. ඒ මාධ්‍ය අංශෙ දන්න දේවත් ජනාධිපතිතුමා දන්නෙ නෑ කියන එකත් පුදුමයක්. සිංහල අවුරුද්දෙන් පස්සෙ විශේෂ පත්තර ගහල මහා ප්‍රවෘත්තියක් දෙන්න එක්තරා පත්තර ආයතන 2ක් සූදානම් වෙලා හිටපු බව රටම දන්නවා. ඒ මේ ත්‍රස්ත ප්‍රහාරය පිලිබඳ ප්‍රවෘත්තියද කියලත් බුද්ධි අංශ හොයන්න ඕනේ” අගමැති කාර්ය මණ්ඩල ප්‍රධානියෙක් කී විට එහි සිටි සියළුදෙනාම එය අනුමත කළහ.

“මේ අන්තවාදය පිටුපස හිස්බුල්ලයි අතාවුල්ලයි ඉන්නවා කියලත් බුද්ධි අංශවල මතයයි. ඒත් ඔවුන් ප්‍රශ්න කිරීම නවත්වන්නෙ කවුද කියන එකයි ප්‍රශ්නය වෙන්නෙ.” එජාප නීති නිලධාරියෙක් කීවේ එවැන්නකි.

“මේ ප්‍රහාරය වුණේ ආණ්ඩුව හමුදාව දුර්වල කරලා බුද්ධි අංශ හිරේ දාපු නිසා කියල විපක්ෂය රටට බොරු කියන එක සාමාන්‍ය දෙයක්. ඒත් ජනාධිපතිතුමා හා සමහර හාමුදුරුවරු ඒක කියන එකයි පුදුමෙ. දැවැන්ත චෝදනා ලබපු බුද්ධිඅංශ හත්දෙනයි රිමාන්ඩ් ඉන්නෙ. ඒත් බුද්ධි අංශෙ 10,000 කට වඩා හොදින් වැඩකරද්දි අපි බුද්ධි අංශය හෑල්ලු කරා කියන එක ඉතා වැරදියි. හමුදාවේ සංඛ්‍යාව වැඩිකරලා වැඩිම මුදලක් ආරක්ෂක අමාත්‍යාංශයට වෙන්කළෙත් මේ ආණ්ඩුවයි.” මුජිබර් රහුමාන් කීවේ එවැන්නකි.

“ආරක්ෂක මණ්ඩලේට අගමැති ආරක්ෂක රාජ්‍ය ඇමති රුවනුයි කැදවන්නෙ නැතුව විපක්ෂෙ මන්ත්‍රීවරු කැදවන න්‍යාය මොකක්දැයි අපි ප්‍රශ්න කළ යුතු නැද්ද ඒ කට්ටිය. රෑට කනබොන වෙලවෙදි ආරක්ෂක මණ්ඩලයේ තොරතුරු අනිත් මිනිස්සුන්ට කියමින් ජෝක් දානව කියලත් ආරංචියි.” නලින් බණ්ඩාර කීවේ එවැන්නකි.

“ගෝඨාභය සීමාවක් නැතුව උස්සන්න ගිහිල්ලා එක් නාලිකාවකුයි, රිෂාඩ් කොටුකරන්න ගිහිල්ල තවත් නාලිකාවකුයි එකම දවසෙ ඇනගත්තා. ෆොන්සේකා එක්ක ඉන්ටවීව් කරපු TNL එක විතරයි එදා ගොඩ ගියේ.” මුජිබර් රහුමාන් කීය.

“තුර්කි ත්‍රස්තයො 50ක් ලංකාවට ඇවිත් කියලා පත්තරයක අලි බොරුවක් ගියා. එහෙම ත්‍රස්තවාදීන් කට්ටියක් පිලිබඳ ලෝකෙ කිසිම බුද්ධි අංශයක් දන්නෙ නෑ. ඒ පත්තරේ ප්‍රධානීන්ගෙ ගෙවල්වල උන් ඉන්නවද දන්නෙ නෑ.” අගමැතිවරයා කීවේ උපහාසාත්මකවය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *