යහපාලනයේ තිරිංග – සී ජේ අමරතුංග .

අද අප රටේ සිදුවීම් පිළිබඳව කල්පනා කරන විට මගේ මතකයට නැෙඟන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකුව සිටි අභාවප‍්‍රාප්ත ආචාර්ය නිව්ටන් ගුණසිංහ මහතා වසර විසි ගණනකට පෙර කී කතාවකි. ඔහු අප සමඟ කීවේ ඔහුගේ මිත‍්‍ර කොමියුනිස්ට්වාදියකු පිළිබඳවය. බොහෝ සමාජ ප‍්‍රශ්න හා සිදුවීම් පිළිබඳව එම මිතුරා කී කතා සරල හා උපහාසාත්මකය. එසේ වුවද එම කතාවලින් කියැවුණු යථාර්ථය සිත් කාවදින සුළුය.

ආචාර්ය නිව්ටන් ගුණසිංහයන්ගේ එම මිතුරා කියා තිබුණු එක් කතාවක් නම් තමා තම ජීවිත කාලයේදී රටවල් තුනක ජීවත් වූ බවයි. එසේ වුවද කිසි විටෙක ඔහු තමා පදිංචි නිවස වෙනස්කොට නැත. ආශ්චර්ය ඇත්තේ එතැනය.

රටින් රට ගමන

ඔහු ඉපදී ඇත්තේ ඉන්දියාවේය. එනම් එකල බි‍්‍රතාන්‍ය පාලනය යටතේ තිබූ ඉන්දියානු රාජ්‍යයේය. ඔහුට තම තරුණ කාලය ගෙවන්නට සිදුවූයේ නැගෙනහිර පකිස්තානයේය. එසේ වූයේ බි‍්‍රතාන්‍යයන්ගෙන් නිදහස ලැබීමත් සමඟ ඉන්දියාවෙන් කැඞී පකිස්තාන රාජ්‍යය නිර්මාණය වීම නිසාය.  එය එකිනෙකට සැතපුම් දහස් ගණනක් ඈතින් පිහිටි නැගෙනහිර පාකිස්තානය හා බටහිර පකිස්තානය යන දෙකෙන් සමන්විත වීය.

මිත‍්‍රයා ජීවත් වූ නැගෙනහිර පකිස්තානය 1971දී වෙන්වී බංගලදේශ රාජ්‍යය බිහිවීය. එවිට මිත‍්‍රයාට තම ජීවිතය ගෙවන්නට සිදුවූයේ බංගලදේශ පාලනය යටතේය.

මෙම මුළු කාලයේම ඔහු ජීවත් වූයේ ඩකා නුවර තමන්ගේ මුල් නිවසෙහිය. මිත‍්‍රයා තම නිවස වෙනස් නොකර රටවල් තුනක ජීවත් වූයේ එහෙමය. අපගේ ජීවිතකාලය තුළ සමාජයේ හා දේශපාලනයේ සිදුවන බරපතළ වෙනස්කම් මෙම කෙටි කතාවෙන් කියාපෑම ඔහුගේ දක්ෂතාවක් බව පෙනෙන්නට ඇත.

කොමියුනිස්ට්වාදියකු වූ ඔහු තම රටේ තමන් කරන දේශපාලනය  ගැන කී කතාව ඊටත් වඩා අපට අදාළ විය හැකිය. ඔහු කියා තිබුණේ ධනපති පන්තියක්, මැද පන්තියක්, කම්කරු පන්තියක් හා ගොවි ජනතාවක් සිටින රටක් සමාජ විප්ලවයක් කරන ආකාරයත් සමාජවාදී  සමාජයක් ගොඩනගන ආකාරයත් කාල් මාක්ස්ගෙන් හා වී.අයි ලෙනින්ගෙන් තමන්ට උගත හැකිවූ බවය. එසේ වුවද බංගලිදේශයේ ඇත්තේ නියම ධනපති පන්තියක් නොව හොරුන් හා මංකොල්ලකන්නත් වැනි පිරිසක් බවයි. එමෙන්ම මැද පන්තිය ගණිකාවන්ට සමාන බව ඔහු ප‍්‍රකාශකොට තිබිණි.  ඔවුන් කළේ ආත්ම ගෞරවයක් නොතකා තමන්ට ඇති දෙයක් විකුණා ජීවත් වීමයි. කොටින්ම ආත්මය විකුණා ජීවත්වීමයි. ඔහුට අනුව බංගලිදේශයේ නිර්ධන පන්තිය හිඟන්නන් වැනි පිරිසකි. ඔවුන් ජිවත් වන්නේ කාගෙන් හෝ මොනවා හෝ ඉල්ලගෙනය. ගත කරන්නේ  හිඟන ජීවිතය.

මේ තත්ත්වය සමඟ තමන් දැන් කල්පනා කරමින් සිටින්නේ හොරුන්ගෙන්, ගණිකාවන්ගෙන් හා හිඟන්නන්ගෙන් පිරුණු රටක සමාජ විප්ලවයක් කිරීම හා සමාජවාදය ගොඩනැඟීම ගැන බව ආචාර්ය නිව්ටන් ගුණසිංහයන්ගේ මිතුරා කියා ඇත්තේ  උපහාසයෙනි. එසේ වුවද මෙය තුළ ඇත්තේ හුදු උපහාසය පමණක් නොවේ. එය තුළ විශාල දේශපාලනයක් ද ඇත. ඒ බව වඩාත් තේරුම් යන්නේ  අප රටේ අද තත්ත්වයට සම්බන්ධකොට කල්පනාවට ගන්නා විටයි.

දුෂිතයන් ගැන කතාව

පසුගිය ජනාධිපතිවරණයේදී හා මහ මැතිවරණයේදී කියවුණේ අප රටේ දූෂණ, වංචා ඉහළම මට්ටමට වර්ධනයවී ඇති බවයි. දේශපාලනඥයන් හා ඔවුන්ගේ හෙන්චයියන් වූ ව්‍යාපාරිකයන් කෝටි ප‍්‍රකෝටි ගණනින් ධනය උපයා ඇත්තේ අයථා ආකාරයෙන් බවට චෝදනා නැගී ඇත .  එම මුදල් සොයා ගන්න බවත්, නැවත රටට ලබා ගන්න බවත්, අයථා ලෙස මුදල් ඉපයූවන්ට නිසි දඬුවම් දෙන බවත් එකල ප‍්‍රකාශවීය. එම චෝදනා බොහොමයක් පදනමකින් තොර කතා ලෙස බැහැර කළ නොහැකි බව රටම දැන සිටි කාරණයකි. දැන් ඒවා එකිනෙක එළියට ඇදෙන නමුත් ඇතැම් සිදුවීම් යටපත්වන ආකාරයක් හා යටගසන බවක්ද පෙනෙන්නට තිබේ.

කුඩුකාරයන්්, එතනෝල්කාරයන් හා බුකීකාරයන් ගැනද ඒ කාලයේ කතාබහ සිදුවීය. එදා කීවේ මේ සමාජ විරෝධීන් දේශපාලනයෙන් අතුගා දමන බවය එසේ වුවද එම චෝදනාවට ලක්වූවෝ දැන් යහතින් ඉහළ තනතුරු දරමින් වැජඹෙති ඒ අය එලෙස වැජඹෙන්නේ මහජනයා තම ඡුන්දයේදී පත්කර එවූ නිසා බවද අමතක කළ නොහැකිය. රටේ ඛේදවාචකය පෙන්නුම් කරන්නේ එබදු සිදුවීම් වලිනි.
අප රටේ විශාල රාජ්‍ය අංශයක් තවමත් ක‍්‍රියාත්මකය. මෙම රාජ්‍ය ආයතනවලට කෝටි ගණන් වටිනා මිලදී ගැනීම් සිදු කරනු ලබයි. එමෙන්ම කොන්ත‍්‍රාත්, ව්‍යාපෘති ආදිය ද විශාල සංඛ්‍යාවක ඇතැම් දැවැන්ත ව්‍යාපෘති ද එයට ඇතුළත්ය. පසුගිය කාලයේ දේශපාලනඥයන්ගේ අතරමැදියන්ගේ විශාල මුදල් ඉල්ලම් බවට පත්ව තිබුණේ මෙම ව්‍යාපෘති හා ගනුදෙනුය. එහිදී විශාල ප‍්‍රමාණයේ මුදල් ගනුදෙනු සිදුවීය. ප‍්‍රසිද්ධියේ සිදුවන ගනුදෙනු යටින් අතයට ගනුදෙනු ද සිදුවූ බව කවුරුත් දන්නා කරුණකි. එසේ වුවද එම ගනුදෙනුගැන තොරතුරු සොයාගත නොහැකිය. ඇතැම් ගනුදෙනු සිදුවන්නේ විදේශයන්හිදීය. මුදල් යන්නේ විදේශීය බැංකුවලටය. එම මුදල් සොයා ගැනීමද පහසු නැත.

ධනවතුන් වූ දේශපාලක දරුවන්

කලකට ඉහත සාමාන්‍ය පවුල්වලින් පැමිණි හා බස් රථවලින් ගමන් බිමන් ගිය දේශපාලනඥන්ගේ දූ  පුතුන් පසු කාලයේදී හැසිරුණේ ධන කුවේරයන්ගේ දරුවන් වශයෙනි. මුදල් වියදම් කළේ සහ ඇතැම් විට බෙදා දුන්නේද ධනවතුන් ලෙසය. එම මුදල් මැවුණු ආකාරය කිසිවෙක් ප‍්‍රශ්න කළේ ද නැත. ප‍්‍රශ්න කළද දෙන්නට උත්තර ද නැතුවා නොවේ. එම පිළිතුරු කිතුල් ගහට නැඟී මිනිසාගේ කතාවට සමාන බව දන්නෝ දනිති.

දේශපාලනඥයන් පසෙක තැබුවද අප රටේ ධනපති පන්තියේ බහුතරය ද එතරම් ශුද්ධවන්තයන් නොවන බව කවුරුත් දන්නා කාරණයකි. යම් යම් නීත්‍යනුකූල හා විධිමත් ව්‍යාපාර මගින් මුදල් උපයන පිරිසක් රටේ සිටිති. එම පිරිස සේවක වැටුප් අර්ථසාධක මෙන්ම රජයට බදු මුදල් ද ගෙවමින් තම ව්‍යාපාර කටයුතු කරගෙන යති.

එසේ වුවද ඇතැම් විට බහුතරය යැයි කිව හැකි විශාල පිරිසක් අවිධිමත් ආකාරයෙන් නැතහොත් අයථා ලෙස මුදල් උපයන ධනපතියෝය. එයින් මුල්තැන ගන්නෝ දේශපාලනඥයන්ට කිට්ටුවී රජයේ ව්‍යාපෘති ලබාගෙන මුදල් උපයන්නෝය. ඔවුන් කරන්නේ විශාල ලෙස ධනය උපයමින් දේශපාලනඥයන්ට ද කුට්ටියක් ලබාදී තමන්ගේ ද හොද්ද බොරකර ගැනීමයි. අනෙක් අතට රජයේ ව්‍යාපෘති කොන්ත‍්‍රාත් සැපයුම් ආදිය සඳහා අතරමැදියෝද ඞීල් දමන්නෝ ද වෙති. ඇතැම් විට මේ හැම දෙයකටම අත දමන්නෝ එකම පිරිසකි.
විදේශ ආයෝජකයන්ගේ නොයෙකුත් ව්‍යාපෘති රැුගෙන එන අතරමැදියන් පිරිසක්ද දිගු කලක් තිස්සේ ක‍්‍රියාත්මකය. එම පිරිසද හොඳ හොඳ ඞීල්දමා මුදල් උපයන්නෝ වෙති.

කොටස් වෙළඳපොළ ගනුදෙනුවල සිදුවූ ජාවාරම් ගැනද පසුගිය කාලයේ අසන්නට ලැබුණි. එමෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ව්‍යාජ සමාගම්වලට යැවීම අර්ථසාධක මුදල්  නාස්තිකාර ලෙස යෙදවීම, බැඳුම්කර බිල්පත් හා තවත් නොයෙක් ජාවාරම් කළ උදවිය ගැනද මෙම බොහෝ කාරණා තිරය පිටුපස තිබෙන ඇත්ත කතා බව පැහැදිලිය.

ජාවාරම්කාර හොරු

දැන් අපට සිටින්නේ මෙබඳු දේශපාලනඥයන් පිරිසක් හා එයටම බැඳුණු ජාවාරම්කාර පන්තියකි.  එයට මාක්ස්වාදීන් කියන ලෙස හෝ වෙනත් ආර්ථික විද්‍යාඥයන් කියන අර්ථයෙන් හෝ ධනපති පන්තියක් යැයි කිව හැකිද යන්න පවා ප‍්‍රශ්නයකි. අප මුලින් කී බංගලිදේශ කොමියුනිස්ට්වාදියා එරට ධනපති පන්තිය යනු හොරුන් යැයි කීවේ මෙබඳු තත්ත්වයක් නිසා විය හැකිය.

අපගේ මැද පන්තිය ද ඉතාම ගෞරවනීය පිරිසක් නොවන බව පෙනෙන්නට තිබේ. එහිදී ද තම වෘත්තීය  ඉතා නම්බුකාර ලෙස කරන පිරිසක් නැතිවා නොවේ. එසේ වුවද සමස්තය එය නොවන බව පැහැදිලිය.

මෙරට සමහර පෞද්ගලික රෝහල්වල හා වෛද්‍ය සේවා සපයන ආයතනවල ගනුදෙනු කෙරෙන්නේ මුදලින් පමණකි. චෙක්පත් බැංකුගත කිරීම ආදී වෙනත් ක‍්‍රම යොදා ගන්නේ නැත. හේතුව නම් වෛද්‍යවරුන්ට නිතිපතා ගෙවීම් මුදලින් කළයුතු වීමයි. එසේ මුදලින්ම ගෙවීම් ඉල්ලන හේතුව ද කිසිවකුට රහසක් නොවේ. එසේ කරන්නේ තම ආදායමට බදු ගෙවීම් පැහැර හරින්නටය. මෙය කවුරුත් දන්න කාරණයකි. එමෙන්ම කිසිවකු එය ප‍්‍රශ්න කරන්නේ ද නැත. එය පිළිගත් සාමාන්‍ය පැවැත්මකි. වෛද්‍යවරයකුගේ මෙන්ම  නීතිඥ හා වෙනත් වෘත්තීන්ගේ ද තත්ත්වය එයමය. මැද මට්ටමේ ව්‍යාපාරිකයන්ගේ ද තත්ත්වය එයයි.

ඇතැම් විට මෙම තත්ත්වයට හේතුව රජයේ බදු අනුපාත දරාගත නොහැකිවීම විය හැකි අතර සමාජයේ ඉහළ ස්ථර හොරුන් බවට පත්ව සිටියදී මැද පන්තිය ගෞරවනීය වීමට හේතුවක් නැත. එසේ වුවද තමන්ගේ නියමිත බදු ගෙවීම හැම කෙනකුගේම සමාජ වගකීමකි. එම වගකීම ඉටු නොකිරීම ලජ්ජාවට කරුණක් විය යුතුය. අපගේ මැද පන්තියට එම ලජ්ජාව ගෑවිලාවත් නැත. එයට හේතුව නම් බොහෝ දෙනා එම සමාජ වගකීම පැහැර හැරීමයි. මැද පන්තිකයා ගණිකාවන්ගේ තත්ත්වයට පත්ව ඇතැයි කිව හැක්කේ මෙබඳු හැසිරීම් නිසාය.
මේවා ගැන කතා කිරීම අපට ඉතාම වේදනාකාරී හා හිත රිදෙන ක‍්‍රියාවක් විය හැකිය. එසේ වුවද මේවා කතා නොකර රටක් ජාතියක් ලෙස අපට ගොඩ යන්නට බැරිය.

හිගන විඥානය

අප රටේ දුප්පත් ජනයා හිඟන්නන්ට සමාන බව නම් අමුතුවෙන් කිවයුතු නැත. එක අතකින්  ඔවුන්ගේ ආදායම හා ජීවනමට්ටම නිසා එසේ කිව හැකිය. අනෙක් අතට දිගින් දිගටම අපගේ දේශපාලනඥයන් ජනතාව අතර ප‍්‍රචලිත කරන්නේ හිඟන මානසිකත්වයයි. එනම් සහනාධාර හා විවිධ ප‍්‍රදාන ලබා ගැනීමේ මානසිකත්වයයි.

වී ගොවිතැන අද ආර්ථිකයේ අරටුව නොවුනත් සමාජ විඥානය අනුව වැදගත්ම රැුකියාවයි. ඒ සඳහා මහවැලි ව්‍යාපාරය හා වෙනත් වාරික‍්‍රමවලට මහජන ධනය වියදම් කොට නොමිලේ ජලය සපයයි. එය ප‍්‍රධාන සහනාධාරයකි. ඊට අමතරව පොහොර සහනාධාරයයි. එසේ වුවද ගොවියාට හොඳ ජීවන මට්ටමක් ලබාදිය නොහැකිය. නිෂ්පාදිත වී වලට වැඩි මිලක් දී ආණ්ඩුව එය මිලදී ගත යුතුය. මේ වනවිට මෙටි‍්‍රක් ටොන් එක් ලක්ෂ හැත්තෑ දහසක් ගොඩ ගහලාය. ගත් මිලට අනුව මේ වී සහල් කොට විකුණන්නේ නම් සහල් මිල ඉහළ යාම වැළැක්විය නොහැකිය. මේවාට කරන දේ සිතාගත නොහැකිය. එසේ වුවද ඊළඟ කන්නයේදී ද පොහොර සහනාධාර දී වී මිලදී ගැනීමට රජය සූදානම්ව සිටිය යුතුය.

මෙය පවත්වාගෙන යා නොහැකි තත්ත්වයකි. මෙයට යොදන්නේ මහජන ධනයයි. එනම් සැබැවින්ම රටට ආදායම් උපදවන කම්කරු ජනයාගේ දහඩියෙන් නිපදවන ධනයයි. කල්පනා කළ යුතුව තිබෙන්නේ මෙහෙම වියදම් කරන නමුත් හිඟන මානසිකත්වය සමඟ හිඟන දිවියක් ගෙවන ගොවි ජනතාවක් අප කොතෙක් කලක් පවත්වාගෙන යා යුතුද යන්නයි. ඒ වෙනුවට මෙම රැුකියාව සැබෑ වශයෙන් නිපදවන තත්ත්වයට පත්කළ හැකිනම් මෙම ජනයාගේ ජීවන තත්ත්වය ද ඉහළ යනු ඇත. එසේ වුවද අපේ දේශපාලනඥයන් දිගටම කරමින් සිටින්නේ  ගොවිජනයා මෙම හිඟන මානසිකත්වයටම ගොදුරු වීමයි.

වී ගොවියාගේ මෙම තත්ත්වය සමාජයේ වෙනත් පහළ පන්තිවල ජනයාට ද අඩු වැඩි වශයෙන් අදාළ බව පැහැදිලිය. සමෘද්ධි දීමනා ලබන විශාල ජනගහනයක් තවමත් සිටින්නේ ඒ නිසාය.

කලෙකට පෙර වාමාංශිකයන් කතා කළේ ධනපතියන් නැති සියලූ දෙනා සමානයන් වන සමාජවාදී සමාජයක් ගැනය. එකල එය ඉතා ජනප‍්‍රිය මනෝරාජ්‍යයකි. එසේ වුවද කල් යෑමේදී පෙනී ගියේ එය මිරිඟුවක් පමණක් බවයි. එසේ වුවද යහපත් සමාජයක් බිහි කිරීම එයින් අවසන් වන අරමුණක් නොවිය යුතුය.

යහපාලනය ඉල්ලුවේ මොකටද ?

පසුගිය කාලයේ අප රටේ දේශපාලන පෙරැුළියක් සමග යහපාලනයක් ගැන කතා කළේ මේ සියල්ල වෙනස් කරන්නට බලාපොරොත්තුවෙන් විය යුතුය. එයින් අදහස් කළේ රටේ සියලූ ජනයාට යහපත උදා කරන විධිමත් සාධාරණ මෙන්ම හොඳ ආදායම් බෙදීයාමකින් යුතු සමාජයකටය.

කෙසේ වෙතත් එම තත්ත්වය ගොඩ නැඟීමට නම් මේ පවතින තත්ත්වය කණපිට පෙරැුළීම අත්‍යවශ්‍යය. ඒ සඳහා සොරකම්, වංචා නොකරන දේශපාලනඥයන් පිරිසක් සොරුන් හා ඞීල්කාරයන් නොවන ව්‍යාපාරික ප‍්‍රජාවක් ආත්මය නොවිකුණන හා අභිමානයෙන් යුතු මැද පන්තියක් මෙන්ම හිඟන මානසිකත්වයෙන් තොරව දෙපයින් සිට ගන්නා ගොවි කම්කරු ජනතාවක්ද බිහි කිරීම අවශ්‍යය.
සියලූ දේ එරෙන්නට පටන් ගන්නේ මෙම පවතින තත්ත්වය වෙනස් කරන්නට හදන විටය.මුලින් කතා කළේ දුෂණයෙන් හම්බ කර විදේශවල තැන්පත් කළ ධනය  මෙරටට ලබා ගන්නා බවයි. ඒ කිව්වේ නිත්‍යනුකූල ක‍්‍රියාමාර්ග මගින් ගෙන්වා ගන්න බවයි. ඒත් දැන් දැන් කියන්නට පටන්ගෙන තිබෙන්නේ මුදල් මෙරටට ගෙනෙන උදවියට කිසිම ප‍්‍රශ්න කිරීමකින් තොරව සමාව දෙන්නට සූදානම් බවයි. ඒ කියන්නේ කරපු සියලූ දූෂණ වංචා අමතක කරන බවයි. එපමණක් නොවේ එම මුදල් නිත්‍යානුකූල ලෙස ඉපයූ බවට සලකන බවයි.
මෙම අදහස ගැන රජය තවමත් අවසන් තීරණයක් ගෙන නැතැයි කීම සත්‍යයකි. එසේ වුවද ගොනා හැරෙන්නේ කුමටද යන්න තේරුම් ගැනීමටනම් මෙබඳු ප‍්‍රකාශ ද වැදගත්ය.

පිටරට තිබෙන මෙම කළු සල්ලි මෙරටට ගෙන ඒමෙන් අප රටට තාක්ෂණික වාසියක් ලැබෙන බව ඉතාම පැහැදිලිය. අපගේ ගෙවුම් ශේෂ ප‍්‍රශ්නය  විසඳී රුපියල ස්ථාවරවීම සිදුවිය හැකිය. එය රටටත් ජනතාවටත් ක්ෂණික සහනයකි.

සොරකමට දිරි ගැන්වීම

එසේ වුවද මෙයින් රටට දෙන පණිවිඩය නම් යහපත්  නැත. එය නම් ඊයේ මෙන්ම අදත් හෙටත් දූෂණයෙන් මුදල් හම්බ කළද ඒවා අවසානයේ නිත්‍යානුකූල කරගත හැකිවන බවයි. එය තව තවත් සොරකමට අනුබල දීමක් වීම නොවැළැක්විය හැකියි. දැන් ප‍්‍රශ්නය තිබෙන්නේ මේ මොහොතේ රට ගොඩදැමීමද රටේ අනාගතය බිලි දෙනවාද යනුවෙනි. ප‍්‍රශ්නය තේරුම් ගතයුතු වන්නේ එහෙමය.
මෙයින් තේරුම්ගත යුතු කරුණක් නම් රටේ පවතින දුර්දාන්ත තත්ත්වය වෙනමම පවත්වාගෙන යන්නට කැසකවන බලවේග ශක්තිමත් බවයි. එයට සමාජයේ ඉහළසිට පහළටම පිරිහුණු මානසිකත්වයෙන් යුතු බලවේග එකට ක‍්‍රියාත්මක වනු ඇත.

එසේ වුවද මේ රටේ ජනයා මෑත කාලයේ නැවත නැවතත් ප‍්‍රකාශ කළේ මෙම තත්ත්වය අවසන් විය යුතු බවයි. මේ සියල්ල එකවර වෙනස් කළ නොහැකි බව යථාර්ථයයි. එනමුත් මෙම ගමන ආපසු හැරවිය යුතුය. එම හැරවීමට තිරිංග  දමන්නට කිසිවකුට ඉඩ නොතැබිය යුතුය.

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *