කාදිනල් භික්ෂුව සහ දේශපාලනය – අකුරැස්සේ විල්සන් ප්‍රනාන්දු

කටුවාපිටිය දේවස්ථානයට එල්ල කළ ප්‍රහාරයෙන් මියගිය අයගේ අවමංගල්‍ය උළෙලට සහභාගි වෙමින් මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමා කර තිබූ කතාව කියවීමෙන් මට ඇතිවූයේ ඉමහත් පැහැදීමක් ඒ පැහැදීමට හේතුව කාර්දිනල් තුමාගේ කතාව ම නෙවෙයි. ඒ අවස්ථාවට සහභාගී වෙමින් ඕමල්පේ සෝභිත හාමුදුරුවන් කර තිබුණු කතාවත් කාදිනල්තුමාගේ කතාවත් අතර වෙනසයි ඒ පැහැදීම හේතුව.

එහිදී කාදිනල්තුමා පවසා තිබූ වචන සමහරක් මෙසේයි. “ශාරීරිකව අප මරණයට පත් වූවන් නැවත සදාකාලයට එක්වෙනවා. මේ විපත කල කිසිවෙක් අප කවුද කියා දන්නේ නැහැ. නමුත් ඒ සියල්ලන්ටම ද්වේෂ නොකර සිටිමු. නොදන්නා අහිංසක මිනිස්සුන්ට හිරිහැර නොකර සිටිමු. අන්න එතන තමයි. සැබෑ කිතුනු දහම තියෙන්නෙ”

නමුත් ඕමල්පේ හිමියන් එම අවමංගල සභාව යොදාගෙන තිබුණේ නිලධාරීන් වීශේෂයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාත්, ඔහුගේ ප්‍රකාශත් විවේචනය කරන්නටයි. (2019 අප්‍රේල් 24 දිවයින පුවත්පත දෙවන පිටුව) එහිදී ඒ හාමුදුරුවන් ආරක්ෂක ලේකම්වරයාගේ ප්‍රකාශය “නින්දිත තුච්ඡ” ආදී වචන යොදමින් විවේචනය කර තිබුණා.

ප්‍රහාරයෙන් පසුව ආරක්ෂක ලේකම්වරයා කළ කතාව සිහි නුවණ ඇති කිසිවෙක් අනුමත කරන්නේ නැහැ. එය වරදක් බව ජනතාව, ආණ්ඩුව පමණක් නෙවෙයි ජනාධිපතිවරයාත් පිළිගත්තා. ආරක්ෂක ලේකම්වරයාට ඉල්ලා අස්වන ලෙස ජනාධිපතිවරයා කීවේ ඒ නිසයි. එවන් වටපිටාවක ආරක්ෂක ලේකම්වරයා හෝ ආණ්ඩුව අවමංගල උත්සවයක දී විවේචනය කිරීම බෞද්ධ භික්ෂුවකට කොයිතරම් ගැලපෙනවාද?

අවමංගල්‍ය උත්සවයකදී සාමාන්‍යයෙන් භික්ෂුවගේ කටයුත්ත වන්නේ අනිත්‍යය ප්‍රතිසංයුක්ත දහම්ක් දේශනා කර ජීවත්ව ඉන්න අයගේ වේදනාව නැති කර ගැනීමට උපකාර කිරීම සහ ජීවිතයේ අනියත බව ජීවත්ව ඉන්නන්ට අවබෝධ කර දීමයි.

දේවස්ථාන වලට ප්‍රහාර එල්ල වීම සම්බන්ධව ආණ්ඩුව විවේචනය කළ යුතුනම්, එය කළ යුතු වන්නේ අවමංගල් අවස්ථාවේ නොවෙයි. එය වෙනම කළයුතු වෙනත් කටයුත්තක් .ඕමල්පේ හිමිට අවශ්‍ය නම් ජනපති-අගමැති ආදී කවරෙකු හෝ මුනගැසී වුව ඒ වරද පැහැදිලි කරන්නටත් විවේචන ඉදිරිපත් කරන්නටත් පමණක් නොවෙයි අඩුපාඩු මගහරවා ගන්නට අවශ්‍ය උපදෙස් සපයන්නට හැකියාව තිබෙනවා.එසේති තිබියදී ඒ කරන්නේ නැතිව ප්‍රසිද්ධියේ ආවේගශීලීව කතා කිරීමෙන් ඕමල්පේ හිමි කරන්නේ බාල ජනප්‍රියත්වය අපේක්ෂා කිරීමයි.

කෙසේ වුවත් 2019-04- 30 අඟහරුවාදා පුවත්පත්වල පළ කර තිබුණු මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමාගේ ප්‍රකාශයක් කියැවූ විට එතුමා කෙරෙහි එතෙක් පැවැති පැහැදීම නැති වී ගියා. එහිදී අගරදගුරුතුමා කර තිබුණේ මාධ්‍ය හමුවේ ආණ්ඩුවේ කටයුතු විවේචනය කිරීම්ක්. ආණ්ඩුව විවේචනය කිරීම්ට කාදිනල් තුමාට නොව ඕනෑම පුරවැසියකුට අයිතියක් තියෙනවා. එසේම එය කළ යුතු ආකාරයක් සහ ස්ථාන තියෙනවා.

මැල්කල්කම් රංජිත් කාදිනල්තුමා එක් තැනක කියා තිබුණේ නීතිය අතට ගන්නට සිදු වන බවයි. “කරුණාකරලා අපට නීතිය අතට ගන්න නොදී අදාළ අංශ සමඟ නීතිය ක්‍රියාත්මක කරන්න කියලා අපි රජයෙන් ඉල්ලා සිටිනවා” කාදිනල්තුමාගේ වචන එහෙමයි.

ඇත්තෙන්ම කාදිනල් තුමාට හෝ වෙනත් කෙනෙකුට නීතිය අතට ගන්න එසේ ගන්නවාදැයි තර්ජනය කරන්නට අයිතියක් තියෙනවද? නීතිය අතට ගෙන ඔවුන් කරන්නට යන්නේ කුරුස යුද්ධය වැනි දෙයක් ද? බොහෝ ආගම්වල පාහේ ගැටුම් සම්බන්ධ ඉතිහාසයක් ක්‍රිස්තියානියට ඇති බව අප අමතක නොකළ යුතුයි. ජෙරුසලම සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ හැසිරීම් නිදසුනක්.

පසුදා ප්‍රහාරය හමුවේ ජනතාව දැක්වූ සන්සුන් බව පල්ලියේ ශක්තිය නිසා සිදුවූවක් යැයි කිතුනුවන් සිතනවා නම් එය වරදක්. සුලු පෙළඹවීමකින් පවා කිසිවෙකුට පාලනය කළ නොහැකි තරමේ ව්‍යසනයක් රටේ සිදුවිය හැකිව තිබුණා. මෙවර එවැන්නක් නො වූයේ ආරක්ෂකක අංශ නිවරදිව කටයුතු කළ නිසයි. උදාහරණයක් වශයෙන් 83 කළු ජූලිය ආරම්භ වූයේ මීට සාපේක්ෂවව ඉතා සුළු සිදුවීම්කින්. ඊට සම්බන්ධ වූයේ බහුතර ජනතාව නෙවෙයි. සංවිධානාත්මක සුළු පිරිසක් අපරාධකාරයන් අපරාධ කලාට අපරාධයට අපරාධවලින් ප්‍රතිචාර දක්වන්නට මෙරට බහුතර ජනතාව සූදානම් නැහැ. ඒ නිසා පරිස්සම් විය යුතුයි.

“මේවට සම්බන්ධ යම් යම් උසස් උදවිය රටින් පැන යනවා කියන ආරංචියකුත් අපට තියෙනවා. එහෙම අයට යන්න ඉඩ දෙන්න එපා. අනෙක් එක පාලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වුණත් ඇමති කෙනෙක් වුණත් මේවාට සම්බන්ධ වෙලා තියෙනවා නම් අත්අඩංගුවට අරන් ප්‍රශ්න කරන්න” කාදිනල්තුමා එසේ කියා තිබුණා.

සිද්ධියට සම්බන්ධ අය රටින් පනින බව ආරංචි වුණා නම් කාදිනල්තුමා එය කිව යුත්තේ මාධ්‍යයටද ආරක්ෂක අංශ වලටද ?මාධ්‍යයට කිය යුත්තේ ආරක්ෂක අංශ අවශ්‍ය පියවර නොගන්නවා නම් නේද?

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියන ආකාරයට මේ වන විට අත්අඩංගුවට ගත් 44 දෙනකු ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත්, පහළොස් දෙනෙකුගෙන් ත්‍රස්ත විමර්ශන අංශය ප්‍රශ්න කරනවා. නමුත් කාදිනල්තුමා කියන්නේ අදාල පුද්ගලයන්ගෙන් සාක්ෂි විමසීම් ආරම්භ කළාද කියා ඔහු නො නොදන්නා බවයි. නොදන්නා බව මාධ්‍යයට කීම වෙනුවට අදාළ අංශවලින් කරුණු විමසා පැහැදිලි කරගැනීම නොවේ ද කදිනල්තුමා කළ යුත්තේ.ඔහු වැන්නකුට එවැන්නක් කරන්නට අවශ්‍ය සිවිල් බලයක් තියෙනවා නේද?

කල්මුණේ, චවලකඩේ, සමන්තුරේ, පොලිස් බල ප්‍රදේශ වලට අප්‍රේල් 30 දින රාත්‍රි අටේ සිට පෙරවරු 6.00 දක්වා පොලිස් ඇඳිරි නීතියපැනෙව්වා. යුද හමුදාව, ගුවන් හමුදාව, නාවික හමුදාව, පොලිසිය බස්නාහිර පළාත් තුළත් පුත්තලම් දිස්ත්‍රික්කයේත් ඒකාබද්ධ මෙහෙයුම් මධ්‍යස්ථානය යටතට පත් කර තිබෙනවා. අලුත් ආරක්ෂක ලේකම්වරයෙක් වැඩ බලන පොලිස්පතිවරයා පත්කිරීම ආදිය ආරක්ෂාව සම්බන්ධයෙන් තිබූ දුර්වලතා නිවැරදි කිරීම්ට ගත් උත්සාහයක් බව පිළිගත යුතුයි. කවුරු කළත් යහපත් දේ අගය කිරීම් අපේ යුතුකමක්. මෙකී පත්කිරීම් වරදක් ඇත්නම් එය පෙන්වා දීම කාදිනල්තුමාගේ වගකීමක් නමුත් එවැන්නක් සිදු වී නැහැ.

එපමණක් නොවෙයි ජාතික තවුහිත් ජමාත් සංවිධානය සහජමතේ මිල්ල්ලතේ ඉබ්‍රහිම් සංවිධාන තහනම් කරන්නටත් ආණ්ඩුව කටයුතු කළා.
මිගමුව උප නගරාධිපතිවරයා අත්අඩංගුවට ගැනීම, කොළඹ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂයේ නාගරික මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගැනීම රිෂාද් බදියුදීන් ඇමතිවරයා ගේ සොහොයුරා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම ආදියෙන් පෙනෙන්නේ පරීක්ෂණ සඳහා දේශපාලන බලපෑමක් නොමැති බවයි. යම් ආකාරයකින් හෝ එවැනි බලපෑමක් ඇත්නම් සාක්ෂි සහිතව ඒ බව ඔප්පු කිරීම මිස සැක සංකා මත ප්‍රසිද්ධ ප්‍රකාශ කිරීම මෙවැනි මොහොතක අනුමත කරන්න අමාරුයි.

කොමිෂන් සභා පිළිබඳ පැරණි අත්දැකීම් සම්බන්ධයෙන් කර්දිනල් තුමාගේ ප්‍රකාශය බැහැර කළ නොහැකියි. විශේෂයෙන් එතුමා කියන්නේ පාස්කු දා ප්‍රහාරය ගැන පරික්ෂා කරන කොමිසමට විශ්‍රාමික නිලධාරීන් නොව කාර්යක්ශම තැනැත්තන් පත්කළ යුතු බවයි. එය බැහැර කළ නොහැකි අදහසක්.

රටට ව්‍යසනයක් සිදු වී ඇති මොහොතක දේශපාලන වාසි ලබා ගන්නට උත්සාහ නොකරන්න කියා දේශපාලනඥයන්ගෙන් ඉල්ලීම ආදී කරුණුත් වැදගත්. නමුත් කාර්දිනල් තුමාගේ අදහස් පිලිපදින්නට දේශපාලනඥයන් කොයි කොයිතරම් දුරට සූදානම්ද කියන ගැටලුව තියෙනවා. ඇත්ත තත්වය නම් ඊළඟ ජනාධිපතිවරණයට ඊළඟ මහ මැතිවරණයට ඇමක් වශයෙන් මිස නැවැත එවැන්නක් සිදුනොවීමට අත්දැකීමක් වශයෙන් මේ සිද්ධිය යොදාගන්නට දේශපාලකයන් සූදානම් බවක් පෙනෙන්නේ නැහැ. හැමෝම කරමින් සිටින්නේ බොරදියේ මාළු බෑම. ඒ අර්ථයෙන් නම් මරාගෙන මැරෙන බෝම්බ කරුවන් සහ දේශපාලකයන් අතර එතරම් ලොකු වෙනසක් නැහැ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *