ගෝඨාභය සිටියා නම් – අනුර සූරියබණ්ඩාර

පාස්කු දිනයේ ප්‍රහාරය ගෝඨාභයවාදීන්ට ඌරන් කැකුණ තලන විට හබන් කුකුළන්ට මඟුල් කීවා වැනි පසුබිමක් උදා කර ඇති බව පෙනේ. හේතුව පසුගිය ඉරිදා පුවත්පත්වල ගෝඨාභය මහතා සමග කළ සම්මුඛ සාකච්ඡා රැසක් පළ වී තිබීමයි. ඒ මහතා එහිදී කියා තිබුණේ 2020 ජනාධිපතිවරණයට තමා ඉදිරිපත් වන බවය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් හෝ පොහොට්ටු පක්ෂයෙන් තම ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ඒ මහතා මෙතෙක් නම් කර නැති වුවද ඊළඟ ජනාධිපතිවරණයට කෙසේ හෝ ඉදිරිපත් වීමට ඒ මහතා සිතා සිටින බව පෙනේ.

ප්‍රහාරයත් සමග ඇතිවූ වාතාවරණයත් සමග තමාට ඊලග ජනාධිපතිවරණය දිනන්නට වාසිදායක තත්ත්වයක් ගොඩනැගී ඇතැයි ඒ මහතා සිතනවා විය යුතුයි. ගෝඨාභය හිතවාදීන් ද ඒ වෙනුවෙන් දිවි නොතකා ප්‍රචාරක ව්‍යාපාරයක යෙදී සිටින බව පෙනේ.

ගෝඨාභය රාජපක්ෂ මහතාත් ඔහුගේ හිතවාදීනුත් සමාජගත කරන්නට උත්සහ ගන්නේ ගෝඨාභය මහතා ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ධූරයේ තව තවදුරටත් රැඳී සිටියේ නම් අප්‍රේල් 21 ප්‍රහාරය වැනි දෙයක් සිදු වන්නේ නැති බවයි.

ප්‍රහාරයට හේතුව වශයෙන් ගෝඨාභයවාදීන් මතු කරන්නේ රටේ බුද්ධි අංශ අඩපණ වී ඇති බවයි. ඒ අනුව ගෝඨාභය මහතාගේ කාලයේ රටේ බුද්ධි අංශ ශක්තිමත්ව පැවතී ඇත.

ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ධුරයත්, ඔහුගේ සොහොයුරා විධායක ජනාධිපතිධූරය දැරූ කාලයේ සිදුවූ එහෙත් මෙතෙක් වගකිවයුත්තන් හෙළිදරවු නොවූ අපරාධ රැසක් පවතී.

තාජුදීන් ඝාතනය, ලසන්ත වික්‍රමතුංග ඝාතනය, ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කිරීම, උතුරේ මාධ්‍යවේදීන් ඝාතනය කිරීම සහ අතුරුදහන් කිරීම. තරුණයන් එකොළොස් දෙනෙක් පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම, පෝද්දල ජයන්තට පහරදීම ආදියට වගකිවයුත්තන් සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ව සිටි සමයේ සිදු වූ කිසිවක් නැත.

බුද්ධිි අංශයක වගකීම වශයෙන් අපරාධ ක්‍රියා කල්තියා හඳුනා ගැනීම මෙන් ම සිදුවූ අපරාධයට වගකිය යුත්තන් අනාවරණය කර කරගැනීම ද අයත් වේ. නමුත් ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ව සිටියදී සිදුවූ ඉහත අපරාධ සහ ඝාතනවලට වගකිව යුත්තන් හඳුනා ගන්නට එකල ඔත්තු සේවා සමත් වූයේ නැත.

ඒ අනුව ඒ මහතාගේ සමයේ බුද්ධි අංශ ශක්තිමත් ව පැවැතියේ යන අදහස ප පිළිගන්නට නොහැකි ය. එසේ නැතිනම් පිළිගැනීමට සිදුවන්නේ තමා ගේ කාලේ බුද්ධි අංශ වලට තිබුණා යැයි ඒ මහතා කියන ශක්තියෙන් ජනතාවට සේවය කිරීමට, ඒ මහතා සමත් වී ඇති බව ය. කොයි අතින් ගත්තද ඒ දෙකම වරදකි.

බරපතලම චෝදනාව වන්නේ ඒ මහතා විසින් බුද්ධි අංශවල ශක්තිය තමාගේ නිල බල අවශ්‍යතා සඳහා අවභාවිතායේ යොදවන ලැබ ඇති බවයි. එහෙත් ඒ බව ඒ මහතා මෙතෙක් පිළිගෙන නැත. අවම වශයෙන් තමා ඊට සම්බන්ධ නැතිනම් සම්බන්ධතා මොනවාදැයි පෙන්වා දෙන්නට වත් ඒ මහතාට හැකි වී නැත. බුද්ධි අංශ නිලධාරීන් අත්අඩංගුවට ගැනීම් ආදිය මේ වන විට සිදුව ඇත්නම් ඊට හේතු පාදක වී ඇත්තේ ගෝඨාභය මහතාට බලය තිබුණු බුද්ධි අංශ වලට සිය බලය අවභාවිතා කිරීමට ඉඩ දී ගෝඨාභය මහතා නිහඬව සිටීම ය. එසේ නැතිව බුද්ධි අංශ නීත්‍යානුකූලව හා විනයානුකූල ව හැසිරවීමට ගෝඨාභය මහතා කටයුතු කළේ නම් අද බුද්ධි අංශ නිලධාරීන්ට අත්අඩංගුවේ පසු වන්නට සිදුවන්නේ නැත.

මේ වන විට ගෝඨාභය මහතා මුස්ලිම් සිංහල සමගිය පිළිබඳ දහමක් දෙසන්නට පටන් ගෙන ඇති නමුත්, අලුත්ගම සිංහල මුස්ලිම් ගැටුම් අවස්ථාවේ ඒ මහතා ඇතුළු ආණ්ඩුව කටයුතු කරනු ලැබුවේ සිංහල බෞද්ධ මතවාදය පෙරදැරි කරගෙනය. සිද්ධියට සම්බන්ධ බව කියැවුණු බොදු බල සේනා කාර්යාලයක් විවෘත කිරීමේ කටයුත්තට ගෝඨාභය මහතා ප්‍රහාරයෙන් පසුව ආසන්න දිනයක දී සහභාගිවීම නිදසුනකි.

ගෝඨාභය ඇතුළු පිරිස බලයේ සිටි කාලයේ මෙවැනි ප්‍රහාරයන් සිදු වූයේ නම් නිසැකවම එහි පසු ප්‍රතිඵලය මෙයට වඩා බෙහෙවින් බරපතළ වන්නට තිබුනි. අලුත්ගම සිදුවීමේ අත්දැකීම් අනුව ඒ බව නිගමනය කළ හැකිය. බෞද්ධ-මුස්ලිම් ගැටුම් වලදී පසුගිය ආණ්ඩුව දැක්වූ බෞද්ධ හිතවාදී සහ මුස්ලිම් විරෝධී පිලිවෙත මුස්ලිම් අන්තවාදය පෝෂණය කිරීමට යම් තරමකින් හෝ දායක වන්නට ඇතැයි සිතිය හැකියි.

දැනට හෙළිදරව් වී ඇති තොරතුරු අනුව ජාතික තවුහිත් ජමාත් සංවිධානය අයි එස් ත්‍රස්තවාදීන් සමග සබඳතා පවත්වන බවට විදෙස් බුද්ධි අංශ හෙළිදරවු කර ගෙන ඇත්තේ 2013 වසරේදීය. ඒ සම්බන්ධයෙන් ගෝඨාභය මහතා ගත් ක්‍රියාමාර්ගය කුමක්ද යන්න ගැටලූවක් වශයෙන් පවතී. අවශ්‍යතාවක් පැවතියේ නම්  ඒ මහතාට හදිසි නීතිය යටතේ එම සංවිධාන වල කටයුතු පිළිබඳ සොයා බලන්නටත් වැරදිකරුවන් ඇතොත් අත්අඩංගුවට ගෙන දඬුවම් කරන්නටත් අදාල සංවිධාන තහනම් කරන්නටත් තිබුණි. ඒ සඳහා අවශ්‍ය පාර්ලිමේන්තු බලය පවා එකල පැවැති ආණ්ඩුවට අවශ්‍ය තරම්ටත් වඩා තිබුනි. ඒත් ගෝඨාභය මහතා ඒ ගැන පියවරක් ගත්තේ නැත.

2009 දී ආරම්භ වූ තවුහිත් ජමාත් සංවිධානය මෙරට පුළුල්ව ක්‍රියාත්මක වන්නේ 2012 වර්ෂය තරම් ඈත කාලයක සිට බැවින් හිටපු ආරක්ෂක ලේකම් ලේකම්වරයා වන ගෝඨාභය මහතාට ඒ වගකීමෙන් බැහැර වීමට හැකියාවක් නැත. එසේම බුද්ධි අංශ වැටුප් ක්‍රමය යටතේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව එම සංවිධානයේ පිරිසකට වැටුප් පවා ගෙවා ඇතැයි කියවේ.

ගෝඨාභය මහතා මේ වන විට උත්සාහ කරමින් සිටින්නේ තම යුතුකම් සහ රාජකාරිය නිසි ලෙස ඉටු කරනු ලැබූ තැන්ැත්තෙකු ලෙස සමාජගත වීම සඳහා ය. එහෙත් ඉහත කරුණු අනුව හෙළිදරව් වන සත්‍යය නම් ගෝඨාභය මහතා තවුහිත් ජමාත් වැනි අන්තවාදී සංවිධාන සුරතල් කරමින් ඔවුන් ලවා බළලුන් ලවා කොස් ඇට බෑවීම මෙහි යෙදී ඇති බවයි. ඒ කවරාකාරයෙන් සලකා බැලූවද එය සමාව දිය නොහැකි බරපතළ වරදකි. තමා වගකීම් නිසි ලෙස ඉටු කරන්නෙකු බවත් එහෙයින් ඊළඟ ජනාධිපතිධුරයට සුදුසුකම් ඇත්තෙකු බවත් කීමට ගෝඨාභය මහතා දක්වන්නේ, ඔහු නාගරික සංවර්ධනයේදී මහත් වැඩකොටසක් කරන ලද බවය.

ඔහුගේ නාගරික සංවර්ධනයේ එක් විපාකයක් වශයෙන් කොලොන්නාව කුණු කන්ද බිහිවූ බවත්, එය පුපුරා යාමෙන් මරණ රැසක් සිදු වූ බවත් ඒ මහතා එහිදී කියන්නේ නැත. තවද කොම්පඤ්ඤවීදිය ආදී බොහෝ තැන් වල වතු ජනතාව බලහත්කාරයෙන් එළවා දමා ඉඩම් අත්පත් කරගෙන ධනපතියන්ගේ සුඛ විහරණය සඳහා මහල් නිවාස සංකීර්ණ ඉදි කළ ආකාරය ද ඔහු අමතක කර දමයි. එසේම ඔහුගේ කඩි මුඩි නාගරික සංවර්ධනය යටතේ හිතවතුනට මුදල් උපයා ගැනීමට ඉඩ දීමෙන් සිදුවූ බාගෙට හා ප්‍රමිතියකින් තොර පදික වේදිකා දුම්රිය ස්ථාන වේදිකා මේ වන විට ඉන්ටලොග් ගල් ගැලවී අබලන් වී ඇති බවද ඒ මහතා කියන්නේ නැත.

සියල්ලටමත් වඩා ඉඩම් ගොඩ කිරීමේ මුදල් වියදම්කර මවුපියන් සිහිකරන්නට කෞතුකාගාර ගොඩනැඟූ ආකාරය ද ඒ මහතාට මේ වන විට මුළුමනින්ම අමතක වී ගොස් තිබේ. එහෙත් ඒ බව මතකයට නගා ගැනීමට ජනතාවට ඔවුන්ගේ ශරීර සෞඛ්‍යයට යහපත් ය.

බුද්ධි අංශ අඩපණ කළ බවට වත්මන් ආණ්ඩුවට චෝදනා කරමින් ගෝඨාභය මහතා පවසන්නේ වත්මන් ආණ්ඩුව මානව හිමිකම් සම්බන්ධයෙන් ජාතික ආරක්ෂාවට වඩා කල්පනා කිරීම වරදක් බවයි.

ඇත්ත වශයෙන්ම ඒ මහතාට බලය පැවති කාලයේ සිදු වුයේ ජාතික ආරක්ෂාවටය කියමින් මානව හිමිකම් තුට්ටු දෙකට ඇද දැමීමය. උතුරේ අතුරුදහන් වූවන්ගේ ඥාතීන්ට නොකඩවා වසර ගණන් උපවාස සත්‍යක්‍රියා කරන්නට සිදු වන පරිසරයක් නිර්මාණය කෙරුනේ ගෝඨාභය මහතාගේ කාලයේය. දකුණේ සුදුවෑන් සංස්කෘතියඑලි බැස්සේද ඒ මහතා මානව හිමිකම් වලට වඩා ආරකෂාවට ගරු කළ නිසාය. ඒ මහතාගේ වැඩිමහල් වූ සොහොයුරෝ මහින්ද රාජපක්ෂ මහතාට හීනෙන් පවා විදුලි පුටුව පෙනෙන්නට පටන් ගත්තේද ජාතික ආරක්ෂාවට කියමින් විරුද්ධවාදීන්ගේ මානව හිමිකම් උල්ලංඝනය කළ නිසාය.

මෙරටට ජීඑස්පී ප්ලස් වැනි සහන අහිමි වූයේ ද ඔවුන්ගේ මානව හ හිමිකම් කැරට්ටුව නිසාය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව එකල මෙරටට පිටුපෑමට හේතුව ද ගෝඨා ඇතුළු පිරිස්ගේ මානව හිමිකම් කැරට්ටුවය.

එසේ නම් මෙරට ජනතාව ඔහුගේ ඉඟි බස් තේරුම් ගත යුතුය 2020 ජනපති වීමේ ගෝඨා ගේ සිහිනය ඉටු කර නැවත මාරක ළිඳට පනිනවා දැයි තීරණය කළ යුතුයි

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *