කුමන්ත‍්‍රණකාරයින් රකින ව්‍යාපාරයක් ක‍්‍රියාත්මක වෙනවා – ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින්

යහපාලනයක් ගෙන ඒම පිණිස මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිතනතුරට පත්කරගෙන තවම වසරක්වත් ගත වෙලා නෑ. ඒ යහ පාලනය ඉදිරියට ගෙන ඒම පිණිස පත්කරගත් එක්සත් ජාතික පෙරමුණු රජයට තවම මාස දෙකක කාලයක් ගෙවිලත් නෑ. එහෙත් එම ජයග‍්‍රහණයන් පිටුපස සිටිය බලවේග දැනටමත් රජය විවේචනය කරන්න පටන් අරන්.  ඇයි යහපාලන ක‍්‍රියාකලාපය ගැන ඔබලා සෑහීමකට පත්වෙන්නෙ නැද්ද?

පැවති මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව පරාජය කරල, ප‍්‍රජාතන්ත‍්‍රවාදී වටපිටාවක් නිර්මාණය කරගන්න අවශ්‍යතාවය තිබුණ. එවකට තිබුණේ අධිකරණයේ ස්වාධීනත්වය නැති කරපු, මාධ්‍ය නිදහස නැති, මාධ්‍යවේදීන් අතුරුදහන් කරන, මාධ්‍යවේදීන් අත්අඩංගුවට ගන්න වටපිටාවක්. ඒක හින්ද තමයි මහින්ද රාජපක්‍ෂ පරාජය කරන්න ජනතාවට  ඕන කරල තිබුණෙ. ඒ වගේම ජනතාවට  ඕනකරල තිබුණ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන්න. 1978 සිට ක‍්‍රියාත්මකවන විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන එක තමයි ජනතාවගේ විශාල බලාපොරොත්තුවක් වුනේ. අන්තිමට මොකද වුනේ, විධායක ජනාධිපති ක‍්‍රමයෙ බලතල පොඞ්ඩක් අඩුකරල ඒක එහෙමම පවත්වාගෙන යනව. ප‍්‍රජාතන්ත‍්‍රවාදි ප‍්‍රතිසංස්කරණ ගැන බැලූවොත් මොකක්ද කරල තියෙන්නෙ? ව්‍යවස්ථාදායක සභාවක් පත්කරල සිවිල් නියෝජනය වැඩි කරන්න ඉල්ලා හිටිය. ඒත් මොකද වෙලා තියෙන්නෙ, මහින්ද රාජපක්‍ෂගෙ හෙන්චයියො ටිකක් පත් කරල ව්‍යවස්ථා සභාවට. ජනතාවට ලැබිල තියෙන්නෙ ජනතාව බලාපොරොත්තු වෙච්ච ප‍්‍රජාතන්ත‍්‍රවාදි පාළනයක් නෙමේ. ජනතාවගෙ බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම අතරමග නතර වෙලා තියනව කියලයි කියන්න තියෙන්නෙ.

මේ වන විට මහා පරිමාණ ¥ෂණ වංචා කරපු කුමන්ත‍්‍රණකාරයින් රකින ව්‍යාපාරයක් ක‍්‍රියාත්මක වෙනවා. ‘මේ දෙගොල්ල යම්කිසි එක`ගතාවයකින් කටයුතු කරනවද?’ කියන සැකය ජනතාව තුළ තියෙනව. ජනතාව අපේක්‍ෂා කරපු පරිවර්තනය වුනා කියල කියන්න බැහැ. දැනට වෙමින් තියෙන දේවල් එක්ක බලනකොට ඒක ආපස්සට යයිද කියන ප‍්‍රශ්නය මතුවෙනව.

සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරය, පුරවැසි බලය, වෘත්තීය සමිති එකමුතුව මේ උදාවෙලා තියෙන තත්ත්වය අනුව ගන්න ක‍්‍රියාමාර්ගය කුමක්ද?

අපි දැනටම තීරණය කරල තියෙනව මේ සියලූ දෙනාම එකතුකරගත්ත ක‍්‍රියාමාර්ග ගණනාවකට යන්න.  මෙතනදි අපි පැහැදිලිවම ඉන්න මතය තමයි සිවිල් ජනතාවගෙ ඒකාබද්ධ පෙරමුණකින්  යහපාලනය දිනාගන්න. සිවිල් ජනතා ව්‍යාපාරයක් දියත්කළේ නැත්නම් මේක පරාජය කරන්න බැහැ. මේක මේ දෙගොල්ල එක්කාහු වෙලා ගහන ගේම් එකක් බවට පත්වෙලා තියෙනව, ඒක වළක්වන්න නම් ජනවාරි 8 ට පෙර තිබුණ ව්‍යාපාරය තවදුරටත් ශක්තිමත් කරල පෙරට යාම තමයි අවශ්‍යය. එහෙම නැතුව මේ පාළනය ඇතුලට ගියොත් මේ සිස්ටම් එක රකින්න තමයි වෙන්නෙ. ඒක වළක්වන්න බැහැ. සියලූ කණ්ඩායම් එකතුවෙලා බලපෑම් කිරීමේ ක‍්‍රියාමාර්ගයකට යන්න  ඕනැ කියල අපි විශ්වාස කරනව.

ඔබ අදහස් කරන්නෙ වීදි සටන් වැනි උද්ඝෝෂණ ව්‍යාපාරයක් ද, වැඩ වර්ජනයයක් තුළින් බලපෑම් ඇතිකිරීමක්ද?
ක‍්‍රමාණුකූලව ජනතාව දැනුවත් කිරීමෙන් පස්සෙ ජනතාව තමයි තීන්දු කරන්න  ඕනැ මොකක්ද ගන්න අවශ්‍ය ක‍්‍රියාමාර්ගය කියල. අපි දැන් කරන්නෙ සිදුවෙමින් තියන දේ ගැන ජනතාව දැනුවත් කිරීමේ ව්‍යාපාරයක් දියත් කිරීම. අපි ජනතාවට කියනවා ‘මෙන්න මේ දේවල් වෙමින් තියෙනව. ජනතාව අවදියෙන් ඉන්න’ කියන පණිවිඩය.

ඔබ නියෝජනය කරන ලංකා ගුරු සංගමය සෑහීමකට පත්වෙනවද? වෘත්තීය පැත්තෙන් තමන්ට සාධාරණයක් ඉට වුනා කියල? ඒ වගේම දිනාගැනීමට සටන්පාඨ තියනවද?

ගුරුවරුන්ට 2010 සිට මේ දක්වා උසස්වීම් නෑ. පසුගිය අවුරුදු 5 තිස්සේ උසස්වීම් ලබා දුන්නෙ නැ. මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා කිව්වා 2012 ජනවාරි 28 පෙර දෙනව කියල. ඒත් දුන්නෙ නෑ. දැන් අකිල විරාජ් කාරියවසම් මන්ත‍්‍රී වරයා පත්වෙලා තියෙනව. එතුමටත් උසස්වීම් දෙන්න බැරිවෙලා. ඒ වගේම අපි දන්නව ගුරුවරුන්ගෙ වැටුප ඉතාමත් ශෝචනීය තත්ත්වයක තියෙන්නෙ. විදුහල්පතිවරු ශෝචනීය තත්ත්වයක ඉන්නෙ. මේ අයගෙ සේවා තත්ත්වය උසස් කිරීමට ගත්ත ක‍්‍රියාමාර්ගයක් නෑ. අපි රටපුරාම පෙත්සම් අත්සන් කිරීමේ ව්‍යාපාරයක්, ගුරුවරුයි විදුහල්පතුයි අතරෙ ක‍්‍රියාත්මක කරමින් යනව. මේ අයවැයෙන් අධ්‍යාපනයට දළ ජාතික නිෂ්පාදනයෙන් 6% කරනව කියල කියල තියෙනව.  ඕක කතාවට විතරක් කරල මදි. ඔවුන් සඳහන් කරනව අවුරුදු 5 ක් තුළ මේක කරන්නෙ කියල. මේ රටේ අධ්‍යාපන ප‍්‍රතිපාදන 35% වැඩි කරන්න අවශ්‍යයි. ඒව අපි ගණන් බලලයි කියන්නෙ. වචන වලින්, මාධ්‍ය වලින් මේව කිව්වට වැඩක් නෑ.

පා. 2015 කියල චක‍්‍රලේඛණයක් ඇවිල්ල තියෙනව. ඒකෙ පාසල් වල කටයුතුවලට දෙමව්පියන්ගෙන් මුදල් එකතුකරගන්න කියල සඳහන් වෙනව. ඒකවත් තවම ඉවත් කරල නෑ. දරුවන්ගෙ අධ්‍යාපන බර ප‍්‍රායෝගිකව අඩුවෙලා නෑ. එහෙම වුණොත් තමයි යමක් වෙනව කියල කියන්න පුළුවන්. අපිට ප‍්‍රකාශන වලින් වැඩක් නැහැ.

පසුගිය කාලේ දේශපාලන ප‍්‍රචණ්ඩත්වය පාසැල ඇතුළටත් ඇවිල්ල තිබුණ. ගුරුවරියො දණ ගස්සනව. ගුරුවරුන්ට විදුහල්පතිවරුන්ට දේශපාලඥයො, එවුන්ගෙ හෙන්චයියො පහර දෙනවා. බලපෑම් කරනව. මේ තත්ත්වය තවමත් පවතිනවද? දැන් එය තුරන් වෙලා තියෙනවද?

ඒවා ඒ ඒ සිදුවීම් එක්ක තමයි බලන්න වෙන්නෙ. තවමත එහෙම තත්ත්වයක් ඇතිවෙලා නැහැ. එහෙම තත්ත්වයක් ඇති වුණොත් අපි ඉස්සර වගේම පෙනී සිටිනව. මේ විදිහට ගියොත් එවැනි තත්ත්වයක් එන්නත් පුළුවන්. ඒ නිසා අපි ජනතාවට කියන්නෙ අවබෝධයෙන් ඉන්න. විශාල මැදිහත් වීමක් කරන්න සූදානම් වන්න.

ගුරුවෘත්තිය කියන්නෙ අතීතයේ සිටම වන්දනීය තත්ත්වයක තිබුණ වෘත්තියක්. සමාජයේ ඉහළ පිළිගැනීමක් මේ වෘත්තියට තිබුණ. එහෙත්  වාර්තාවන සිදුවීම් වලින් එන්න එන්නම ගුරු විනය පිරිහෙන බවක් පේනවා. මේක නැවැත්වීමට කටයුතු කළ හැක්කේ කොහොමද? දැඩි විනය ක‍්‍රියාපටිපාටියකින් ඒක කරන්න පුළුවන්ද?

ගුරු විනය පිරීහීමේ කාරණාව සමස්ථයටම බලපාන්නෙ නැහැ. සිද්ධීන් කිහිපයක් පමණක් තියනව. නමුත් මේකෙදි වෙන්න  ඕන දෙයක් තමයි ගුරුවරයගෙ පුහුණුව, ගුරුවරයගෙ ප‍්‍රතිපුහුණුවක් නිරන්තරයෙන් සිද්ධ වෙන්න  ඕනෙ. අධ්‍යාපන අමාතශංශයට එවැනි වැඩපිළිවෙලක් නෑ. අද ගුරුවරුන්ට ඉහළ අධ්‍යාපනයක් ලබන්න විශාල මුදලක් ගෙවන්න වෙනව. ඒක ඉහළ ගාස්තු අයකරල කරන්නෙ. ඒක සම්පූර්ණ වශයෙන් වැරදියි. ඒ වගේම ළමයින්ගෙ උපදේශන සේවාව පුළුල් වෙන්න  ඕනෙ. ඒව වලින් තමයි විනය කියන කාරණාව හදන්න පුලූවන් වෙන්නෙ. නීති රීති වලින් මේක කරන්න අමාරුයි. ගුරුවරුන්ගෙ ප‍්‍රතිපුහුනුව ක‍්‍රියාත්මක කිරීම හා ළමයින්ගෙ උපදේශන සේවාව තුළින් තමයි මෙවැනි ක‍්‍රියා වළක්වාගත හැක්කේ.

දැන්ට පවත්වන 5 වන ශේණියේ ශිෂ්‍යත්වය 7 වන ශේණිය දක්වා ගෙන යාමට අදහස් කරන බවට අදහස් පළ වෙනවා. ඒ ගැන ඔබේ අදහස?

5 ශේණියෙ ශිෂ්‍යත්වය ගැන උනන්දුව එන්නෙ පළමු වසරට ළමයින් ඇතුළත් කර ගැනීමේ අපහසුවත් එක්ක. උසස් යයි කියන පාසලකට ළමයෙක් ඇතුළත් කර ගැනීමේ පහසුවක් නැහැ. විධිමත් ක‍්‍රමවේදයක් හරියට නෑ. 1 වසරෙදි තමන්ගෙ දරුවට අත්පත් කරගන්න බැරිවුන පාසැල 5 වසරෙදි තමන් අත්පත් කර ගන්නව කියන චේතනාව තමයි තියෙන්නෙ. මේක 7 වසරට ගියහම ඒක තව අවුරුදු 2 කිස් ඉස්සරහට යනව.

5 වසර ශිෂ්‍යත්ව විභාගෙ දෙමව්පියන්ගෙ අරමුණ සාධනීය තත්ත්වයක් ඇති කරගන්න නම්, 1 වසරට ළමයි ඇතුළත් කරගැනීමේ ක‍්‍රමවේදය විනිවිද වෙන්න  ඕනෙ. 5 ශිෂ්‍යත්වය 7 ශ්‍රේණිය දක්වා ගෙනයාම පිළිබඳව මනෝවිද්‍යාත්මක කරුණු ඉදිරිපත් කළත් ඇත්ත තත්ත්වය තමයි මේක. මොනතරම් මනෝවිද්‍යාත්මක කරුණු ඉදිරිපත් කළත් වැඩක් වෙන්නෙ නෑ මේ ප‍්‍රායෝගික ප‍්‍රශ්නෙ විසඳන්නෙ නැතුව.

දින 100 වැඩ පිළිවෙලේ තිබුණ එක් අංගයක් තමයි පාසල් වලට ළමයි ඇතුළත් කර ගැනීමේ ක‍්‍රමවේදයක් හදනව කියන එක. ඒක අංක 6. ඒක අදවෙනකම් කෙරුවෙ නැහැ. එහෙම අධ්‍යාපන අමාත්‍යංශයක අප රැුඳීඉන්නෙ. කරන්න අවශ්‍ය දේ නොකර වෙන දේවල් ගැන කතාකරල වැඩක් නෑ.

ඒ වගේම මේ ශිෂ්‍යත්ව විභාගෙ ලකුණු 163 ක් ගන්න එක. එක ප‍්‍රශ්ණ පත්තරේකට ලකුණු 75 කට වැඩිය ගන්න  ඕනෙ. මේක ලොකු අසාධාරණයක්. මේ පිළිබඳව අධ්‍යාපන අමාත්‍යංශය හිතන්න  ඕන කියල අපි කියන්නෙ.

ජනප‍්‍රිය පාසල් කියන සංකල්පය නිසා ජනප‍්‍රිය පාසල් වලට ළමයි ඇතුළත් කරන්න දෙමව්පියො උනන්දු වෙනව. ජනප‍්‍රිය පාසල් කියන සංකල්පය තව දුරටත් ඉහළ මට්ටමක තබාගෙන පහසුකම් ඇති කිරීමද සිදු කළ යුතතේ? එහෙමත් නැති නම් ජනප‍්‍රිය පාසල්වල තත්ත්වයට ගම්බද, නගරාශි‍්‍රත පාසල් ඇතුළු සියලූම පාසල් වල තත්ත්වය උසස් කිරීමද කළ යුත්තෙ? එසේ අධ්‍යාපන මට්ටම උසස් කිරීමෙන් මේ තත්ත්වයට යම් විසඳුමක් ඇති කරන්න බැරිද? අවසාන ප‍්‍රතිඵලය උසස් ලෙස සමත් වීම නම් ඒක නේද අවශ්‍ය වෙන්නේ?

1943 කන්නංගර ප‍්‍රතිසංස්කරණත් එක්ක රටේ බලාපොරොත්තුව සම අධ්‍යාපනයක්. අපිට තවමත් බැරිවෙලා තියෙනව සම අධ්‍යාපනයක් ගේන්න. සම පහසුකම් සහිත පාසල් ඇතිකරන්න. අද ජාතික පාසල් 350 ක් තියනව. අනිත් පලාත්සභා පාසැල් නමදහස් ගණනක් තියනව. මේ ජාතික පාසල් තුන්සිය ගණනෙනුත් අති ජනප‍්‍රිය පාසල් තියෙන්නෙ 36 යි. ඒවා අතරත් බේදීමක් තියෙනව. අති ජනප‍්‍රිය පාසලට තමයි තර`ගයක් තියෙන්නෙ? මේ විෂමතාවය නැති කළ යුතුයි. බොන්න වතුර නැති පාසල් වගේම, බොන වතුරෙන් පීනන පාසැලූත් තියනව. සම්පත් විෂමතාවය, සමාජ පිළිගැනීමේ විෂමතාවය අවම කරන්න පිළියම් යොදනව මිසක්, අපි කොච්චර ගම්බද පාසල්වල පහසුකම් සැලසුවත්, මෙම පිළිගැනීමේ විෂමතාවය ඉවත් වෙන්න  ඕනෙ. එය විශාල කථිකාවතකින් පසු සිදුවිය යුතුයි. එහෙම දෙයක් ජාතික අධ්‍යාපන කොමිසම හරහා ගේනව කිව්වත් අපිට එහෙම දෙයක් පේන්න නැහැ. නිකම් බොරුවට අධ්‍යාපන ප‍්‍රතිස්ංස්කරණ වාර්තා ගේනවා. ගුරුවරයට කරන්න දෙයක් නැහැ. අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාවලියෙදි ගුරුවරයා පේ‍්‍රක්‍ෂකයෙක් බවට පත් කරල තියෙන්නෙ. මෙවැනි කරුණු ගැන ප‍්‍රතිමත්තිමය තීරණ විධිමත්ව ගත යුතු බව අපි විශ්වාස කරනව.

මේ ගැටළු පිළිබඳව නව අධ්‍යාපන ඇමති වරයා සමග සාකච්ඡුා කර තියනවද? ඔහුගේ ප‍්‍රතිචාර මොනවගේද?

නව අධ්‍යාපන ඇමතිවරයා සමග අවස්ථාගණනාවකදි සාකච්ඡුා කරල තියෙනව. මීට ඉස්සර සාකච්ඡුා කරපුවගෙ ප‍්‍රතිඵලත් තවම අපිට ලැබිල නැහැ. අපි නැවතත් සාකච්ඡුාවක් ඉල්ලලා තියෙන්නෙ. අපිට කියන්න තියෙන්නෙ අපේ ඉල්ලීම් ලබා දෙන්න කියල. අද අධ්‍යාපන ක්‍ෂේත‍්‍රයෙ විදුහල්පතිවරු, ගුරුවරු, පරිපාලන සේවකයො විශාල ගැටලූ රැුසකට මැදිවෙලා ඉන්නෙ. මේ ගැටළු නිරාකරණය කරගැනීමේ පූර්ණ වැඩපිළිවෙලක් අවශ්‍යයි. එයට අධ්‍යාපන අමාත්‍යංශය මීට වඩා වැඩපිළිවෙලකට යාම අවශ්‍යයි. නැතිනම් අධ්‍යාපනය කඩා වැටිල විශාල අපරාධයක් වෙන්නෙ.

ලංකාවේ ශිෂ්‍ය ශිෂ්‍යාවො ලක්‍ෂ 35 ක් ඉන්නව. පාසැල් දහදහස් අටසියයක් විතර තියෙනව. ගුරුවරු දෙලක්‍ෂ විසිඅටදාහක් ඉන්නව. මේ සියලූ දෙනාම පීඩනයකට පත්වෙලා ඉන්නෙ. මේ සියලූ දෙනාම පීඩනයෙන් මුදවා ගන්න වැඩපිළිවෙලක් අවශ්‍යයි. අපි අපේ අයිතිවාසිකම් දිනාගැනීමේ සටනක ඉන්නව.

මනෝජ් රූපසිංහ.    

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *