සහරාන්ගේ සමීපතම සගයින් – රියැදුරු හා ඝාතනයන්ට උපදෙස් දුන් ප්‍රධාන පූජකගෙන් ප්‍රශ්න කිරීම් ඇරඹේ

පසුගිය දා කල්මුනේ ඇති වූ වෙඩි හුවමාරුවේ දී මියගියේ පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන්ගේ පියා සහ සහෝදරයින් ඇතුළු සමීපතමයින් බව මේ වන විට අනාවරණ කර ගැනීමට හැකියාව ලැබී තිබේ. ප්‍රහාර මාලාවේ මහ මොළකරු මොහොමඩ් සහරාන් ව අධ්‍යත්මික වශයෙන් පෙළඹවීමට කටයුතු කළ පූජක වරායා ද මේ වන විට අත්අඩංගුවට පත් වී තිබේ. ප්‍රහාරය දියත් කිරීම සඳහා මොහොමඩ් සහරාන් පොළඹවා ඇත්තේ අත්අඩංගුවටපත් පූජකයා බව පොලීසිය පැවසීය.

සහරාන් පදිංවී සිටි මඩකලපුවේ කාන්තන්කුඩි හි නිවසක හිමිකරු ද මේ වන විට අත්අඩංගුවට පත් වී ඇති අතර සහරාන්ගේ ළඟම හිතවතෙකු ඊයේ (28) අනුරාධපුර දිස්ත්‍රික්කයේ රඹෑව තල්ගස්වැව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත. සිකුරාදා රාත්‍රියේ නින්දවූර් ප්‍රදේශයේ නිවසක සිදු වූ පිපිරීම්වලින් තුවාල ලැබූවන් අතර සහරාන් ගේ බිරිඳ සහ දියණිය සිටින බවට අනාවරණ වී ඇත. සහරාන් ගේ රියැදුරු ගපූර් නැමැත්තාගෙන් ප්‍රශ්න කිරීමේ දී මඩකලපුව වව්නතිව් පොලිස් මුර පොළේ සිටි පොලිස් නිලධාරීන් දෙදෙනා ඝාතනයට සම්බන්ධ වැදගත් තොරතුරු රැසක් ද අනාවරණය කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හැකි වී තිබේ.

පාස්කු ඉරු දින බෝම්බ පිපිරවීම සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍යව සිටි ප්‍රධාන පෙළේ සැකකරුවන් දෙදෙනෙකුවන මොහොමඩ් ඉවුහයිම් සාදික් අබ්දුල් හක් සහ මොහොමඩ් ඉවුහයිම් ෂායිඩ් අබ්දුල් හක් ඊයේ නාවලපිටියේ දී අත්අඩංගුවට පත් වී ඇති අතර ඔවුන් සහරාන්ගේ සමීපතම සගයින් බවට අනාවරණය වී තිබේ.

ජාතික තවුහිඩ් ජමාත් සංවිධානයේ කොළඹ ලේකම් බව කියන මොහොමඩ් ෆාරුක් මොහොමඩ් පවාන් නම් පුද්ගලයකු බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට පත්ව තිබේ.

අත්අඩංගුවට පත් සැකකරුවන් ගැන විමර්ශන සිදුවෙමින් පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේය.

මනෝජ් රූපසිංහ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *