ජනාධිපතිවරයා රාජකාරිය පැහැර හැරීම නිසයි මේ මහා විනාශය සිද්ධ වෙලා තියෙන්නෙ – ගාමිණි වියන්ගොඩ

“කවුද මේ ත්‍රස්තවාදීන්ව ජාතක කළේ? එයාලා තමයි මහින්ද රාජපක්ෂ. ගෝඨාභය රාජපක්ෂ”.
“ජනාධිපති, අගමැති, විපක්ෂ නායක ‍තිදෙනාම මේ මහා අපරාධයේ වගඋත්තර කරුවන්”.

දෙවියො ගාවට අපි යන්නෙ අපිට ආරක්ෂාව ඉල්ලලා. ජනාධිපති තිරුපති ගිහිල්ලා එයාව ආරක්ෂා කරදෙන්න කියලා ඉල්ලුවා. ඊට ඉස්සරවෙලා අගමැතිවරයත් ගියා. එයා ඉල්ලන්නත් ඇත්තේ මාව ආරක්ෂා කරදෙන්න කියලා වෙන්න ඇති. ඊට ඉස්සර වෙලා මහින්ද රාජපක්ෂත් ගියා ආරක්ෂාව ඉල්ලලා තිරුපති දෙයියො ගාවට. තිරුපති දෙයියො මේ ගොල්ල ඉල්ලපු දේවල් දීලා තියෙනව. මේ තුන්දෙනාම අදත් නිරුපද්දිතව ඉන්නවා තිරුපති දෙවියන්ගෙ ආනුභාවෙන්. මේ එකෙක්වත් ඉල්ලලා නෑ, ‘මගේ රටේ ජනතාව බේරලා දීපං’ කියලා තිරුපති දෙවියන්ගෙන්. ඒකයි මේ හෙනගෙඩිය පාත්වෙලා තුන්සිය ගාණක් මිනිස්සු මැරිලයි කියල කියන්නෙ. දැන් ඒ මිනිස්සුන්ට කොයි දෙවියොද පිහිට වෙන්නෙ. ඒ දෙවියන්ට තමයි අපි කියන්නෙ ජාතික ආරක්ෂාව කියල. ජාතික ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශයෙන් තමයි ඒ මිනිස්සුන්ගෙ ජීවිත ආරක්ෂා කරල දෙන්න ඕනෙ.

තමන්ගෙ ආරක්ෂාව හොයාගෙන ගිය ජනාධිපතිට බැරි වුණා, මේ ලෞකික ව්‍යවස්ථාවෙන් සාමාන්‍ය ජනතාවගේ ජීවිත ආරක්ෂා කර දීලා තමන්ගෙ යුතුකම ඉෂ්ඨ කරන්න. එකෙන් අද අපි මහා විනාශයකට මුහුණ දීලා තියෙනව. ඒක නිසා මම ඉතා වගකීමෙන් යුතුව කියනවා, මේ ජීවිත තුන්සිය ගාණට වගකිව යුතුයි කියලා ජනාධිපතිවරයා. ඔහු තමයි විත්තිකාරයා මේ මිනිස්සුන්ට වන්දි ගෙවිය යුතුයි. ඒ වන්දි පවා අයකර ගතයුත්තේ මේ ජනාධිපතිවරයාගෙන්. මොකද, මොහුගේ නොසැලකිල්ල, රාජකාරිය පැහැර හැරීම නිසයි මේ මහා විනාශය සිද්ධ වෙලා තියෙන්නෙ. දෙවන වගඋත්තරකාරයෙකුත් ඉන්නවා මේකෙ. ඒ තමයි අගමැතිවරයා. ජනාධිපතිවරයා නීතිය කඩනකොට, ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කඩල නීතිය හා සාමය අමාත්‍යංශය තමන්ගෙ අතේ මාස හතරක් තියාගෙන ඉන්නකොට අගමැතිවරයා අහක බලාගෙන හිටියා. ඒක මගේ වැඩක් නෙමෙයි කියලා. මෙහෙම අගමැතිවරුත් අපිට අවශ්‍ය නැහැ. අගමැතිවරයෙක්, දෙවෙනියෙක් ඉන්නෙ, පළමුවැනියා වැරැද්දක් කරනකොට නිවැරදි කරන්න. එහෙම නැත්නම් අපි මේ දෙකක් තියාගෙන ඉන්න ඕන නෑ.

අගමැති අපි ඉස්සරහට ඇවිල්ලා කියනවා, මට කතා කළේ නැහැ. ඒක නිසා මම ගියෙ නැහැ කියලා. ඒක සමාව දෙන්න පුළුවන් වරදක් නෙමේ. ඒ නිසා මේකෙ දෙවෙනි වගඋත්තරකාරයා විදිහට මම සලකන‍්නේ අගමැති වරයා.
දැන්‍ මේ වගඋත්තරකාරයන් දෙන්නා, ඇති වූ විනාශය වලක්වා ගන්නට අසමත් වීම නිසා, වගඋත්තර කරුවන් දෙන්නෙක් තමයි අගමැතිවරයා හා ජනාධිපතිවරයා. හැබැයි මේ අපරාධය සිද්ධවීමට අපරාධකරුවන් බිහිකිරීමට කවුද වගකියන්න ඕනැ? කවුද මේ ත්‍රස්තවාදීනව බිහිකළේ? කවුද මේ ත්‍රස්තවාදීන්ව ජාතක කළේ? එයාගෙ නම මහින්ද රාජපක්ෂ. ගෝඨාභය රාජපක්ෂ. මේ ගොල්ල තමයි බේ‍රුවල ගිහිල්ලා, මුස්ලිම් මිනිස්සුන්ට ගහලා මරලා, පානදුරෙත් ගිහිල්ලා මහා විනාශයක් කරලා එතැනින් නවතින්නෙ නැතුව මේ ආණ්ඩුවත් ආවට පස්සෙ දිගනත් ගිහිල්ලා නැවත මුස්ලිම් මිනිස්සුන්ට පහරදීලා මේ ත්‍රස්තවාදියාව බිහිකිරීම කළා මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ ඇතුළු ඒ දේශපාලඥයො. එයාලා බිහිකරපු ඒ ත්‍රස්තවාදියාව නවත්ව ගන්න බැරි වුණා මේ කියන ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට. ඒ නිසා මොවුන්තුන්දෙනා මේ මහා අපරාධයේ විත්තිකරුවන් විදිහට අපි සලකන්නට ඕන.

සාමාන්‍යයෙන් ජනාධිපතිවරයෙක් රට හැරලා වෙනත් රටකට යනකොට අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙම තියෙනව, ඔහු තමන්ගේ නිල කටයුතු පවරායායුතුයි කියල අගමැතිවරයාට. මේක අපේ ව්‍යවස්ථාවෙ ලියවිලාම තියෙනව. වැඩ බලන ජනාධිපති වශයෙන් ඔහු අගමැතිවරයාව පත්කළ යුතුයි. විශේෂයෙන් තමන් නැති අවස්ථාවේ තමන්ගේ රාජකාරි කටයුතු කිරීමට තමන් හට නුපුළුවන්වේය කියලා විශ්වාසයක් ජනාධිපතිවරයාට තියෙන වෙලාවක ඔහු අගමැතිවරයාව පත්කර යායුතුයි.
මේ ජනාධිපති හිතලා තියෙනව මම නොහිටියත් මට පුළුවන්. තිරුපති ගිහිල්ලා මේ වැඩේ පාලනය කරන්න මට පුළුවන් කියලා හිතාගෙන තමයි රිමෝට් කොන්රෝල් එකත් සාක්කුවෙ දාගෙන මෙයා තිරුපති ගිහිල්ලා තියෙන්නෙ. නමුත් ඒක වැ‍ඩකෙරුවෙනෑ. එහෙම වැඩ කරන්නෙ නැති නිසා තමයි ව්‍යවස්ථාවල සිංහල භාෂාවෙන්ම ලියැවිලා තියෙන්නෙ, තමුසෙ කොහෙහරි යනකොට වැඩ බලන්න ඊළඟ මිනිහට දීලා යන්න කියලා. ඊළඟ මිනිහත් එක්ක ප්‍රශ්නයක් තියෙනව නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ එම වගන්තියෙම තියෙනව, තවත් අතුරු විධාන‍යක් තියෙනව. මොකක්ද ඒ අතුරු විධානය. අගමැතිවරයාට වැඩ බලන්න බැහැයි කියන තත්ත්වයකදි කථානායක වරයාට වැඩ බලන්න පවරන්න ඕනෙ, ජනාධිපතිවරයා රටෙන් පිටවෙන කොට. මේ ජනාධිපතියා එහෙම කළෙත් නැහැ.

අපි රනිල් වික්‍රමසිංහත් එක්ක තරහයි, දෙසිය විසිපහම අත්සන් කළත් රනිල් වික්‍රමසිංහට අගමැතිකම දෙන්නෙ නැහැයි කීව තරහ තාම තියෙනව කියල අපි හිතමුකො. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ විසඳුමක් ඒකට දීලා තියෙනව. හොඳයි, ඔයා අගමැති එක්ක තරහ නම් පත්කරන්න කතානායකවරයාව. ඒක කළෙත් නැහැ.
ඒ නිසා මේ ජනාධිපතිට සමා‍ව දෙන්න බැරි එක කාරණයක් නිසා නෙමෙයි. වැරදි මාලාවක් තියෙනව මේ ජීවිත විනාශ කිරීම පිළිබඳව.

 

ඊළඟට අපි මෙච්චර කල් කතා කර කර හිටපු ප්‍රශ්නයක් අලුතෙන් මතුවෙලා තියෙනව. දැන් මෙකෙන් පැහැදිලියි නේද ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර කඹ ඇදිල්ලක් තියෙන වෙලාවක මොනතරම් විනාශයක් රටක සිද්ධ වෙන්න පුළුවන්ද කියන එක. ඒන කමයි පැහැදිලි වෙලා තියෙන්නෙ.මේ ජනාධිපති ක්‍රමයම ඉදිරියටත් අපි තියාගෙන යනව නම්, අපි සහතික වෙන්න ඕනා, ජනාධිපතිවරයා සහ ආණ්ඩුව එකම පක්ෂයකින් පත්වෙනවාය කියලා. එහෙම වුණොත් තමයි මේ ප්‍රශ්නය මතු නොවෙන්නෙ. එහෙම නැත්නම් ඕනම වෙලාවක මේ ප්‍රශ්නය මේ විදිහට මතුවෙන්න පුළුවන්.

මනෝජ්

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *