අන්දරේලාගේ ආරක්ෂාව – සිරිසේන රාජපක්ෂ

මාධ්‍ය ප්‍රධානීන් අමතමින් ජනාධිපතිවරයා කියා තිබුනේ  ප්‍රහාරයේ වගකීම සහ බුද්ධි අංශ දුර්වල  කිරීමේ  වගකීම ආණ්ඩුව බාරගත යුතු බවය. ගැටලුවක් නැත.  රාජ්‍ය  ආරක්ෂාව තහවුරු නොකිරීමේ වගකීමෙන්  ආණ්ඩුවට  මිදිය නොහැකිය.  ගැටලුව ඇත්තේ ආණ්ඩුව යනු කුමක්ද යන්නය. ආණ්ඩුව කියන  ආයතනයට ජනාධිපතිවරයාත් අඩංගු ද නැති ද යන්න ය.

ආණ්ඩුව යනු ජනාධිපතිවරයා , අගමැතිවරයා කැබිනට් මණ්ඩලය ආණ්ඩු පක්ෂය ආදී සියල්ලය . ජනාධිපතිවරයා යනු ආණ්ඩුවේ ප්‍රධානියා ය. කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා ය.  එසේනම් ප්‍රහාරයේ වගකීම සහ බුද්ධි අංශ දුර්වල කිරීමක්  ආණ්ඩුවෙන් සිදුවී ඇත්නම් ඊට වගකිවයුතු ප්‍රධාන තැනැත්තා  වන්නේ ද ජනාධිපතිවරයා ය. ජනාධිපතිවරයා පමණක් නොව ආරක්ෂක ඇමතිවරයා ද පාස්කු ඉරිදා සිදු වූ ප්‍රහාරයට වගකිව යුතුය. එසේනම් බුද්ධි අංශ දුර්වල නම් ඒවා ශක්තිමත් කිරීම ද ආරක්ෂක අමාත්‍යවරයාගේ වගකීමය. එකී කරුණු දෙකටම  ආරක්ෂක ඇමතිවරයා වගකිවයුතුය.  බුද්ධි අංශ දුර්වල  කිරීම්ට කටයුතු කළ යම් අයෙක් වේ ද ඒ අය ගැන ක්‍රියාමාර්ග ගැනීමට ද ආරක්ෂක අමාත්‍යවරයාගේ වගකීමය. නමුත් ඒ කිසිවක් සිදුවී නැත. ඒ  කියන්නේ ආරක්ෂක ඇමතිවරයා සිය වගකීම ඉටු කර නැති බවයි.  ආරක්ෂක ඇමතිවරයා  අන් කිසිවකු නොව ජනාධිපතිවරයා මය.  වෙනත් රටක නම් ආරක්ෂක  ඇමතිවරයා ඉල්ලා අස් විය යුතුය. එහෙත් මෙරට ආරක්ෂක  ඇමතිවරයා ඉල්ලා අස්වීම තබා සමාව ඉල්ලීමක්වත් කරන්නේ නැත . කරන්නේ වගකීම අනුන්ගේ වගකීම්ක් සේ පෙන්වා කාටදෝ ඇඟිල්ල දික් කිරීම යි.

පසුගිය  ව්‍යවස්ථාදායක කුමන්ත්‍රනයෙන් පසුව මෙරට පොලිසිය භාර ගෙන කටයුතු කරන්නේ ද ජනාධිපතිවරයාමය.  පසුගිය ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිස්පති ඉල්ලා අස් විය යුතු යැයි කියන ජනාධිපතිවරයා තමාගේ වරද ගැන කිසිවෙක්ට දොඩන්නේ නැත.

ත්‍රිවිධ හමුදාවේ අණදෙන නිලධාරියා ද ජනාධිපතිවරයාය.  හදිසි නීතිය ප්‍රකාශයට කරන්නේ ද එය ක්‍රියාත්මක වන්නේද ජනාධිපතිවරයා මගිනි.  අන්තවාදී කල්ලි ගැන සොයා බලා එම සාමාජිකයින්  අත්අඩංගුවට ගැනීමටත්   එම  සංවිධාන තහනම් කිරීම්ටත් හදිසි නීතිය පැනවීමට තිබුණි. ඒ සඳහා අවශ්‍ය නම් මාවනැල්ල සිදුවීම්වලින් පසුව හෝ පියවර ගැනීමට තිබුනි .ජනාධිපතිවරයා අතින් ඒව වගකීම ඉටු වී නැත. එකී සංවිධාන තහනම් කෙරෙන්නේ අශ්වයා පැන්න පසු ඉස්තාලය වසන මූලධර්මයට අනුව ය.

ජනාධිපතිවරයා නිතර චෝදනා කරන්නේ මහ බැංකු කොල්ලයට සම්බන්ධ බව කියැවෙන හිටපු  මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා එම තනතුරට පත් කළ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඒ සම්බන්ධයෙන් වගකිවයුතු බවයි . ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා මේ වනවිට ධුරයෙන් ඉල්ලා අස්වී ඇත . ඒ ප්‍රහාරය වළක්වා ගැනීමට ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාට  නොහැකි වූ බැවින් සහ ප්‍රහාරයෙන් පසු ඔහු කළ ඇතැම් ප්‍රකාශ හෙළි වුණු ඔහුගේ අකර්මණ්‍ය පිළිවෙත් නිසාය.  මහේන්ද්‍රන් මහතා මහ බැංකුවට පත් කිරීම වරදක් වන්නේ යම්සේද ප්‍රනාන්දු මහතා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ධුරයට පත් කිරීම ද ඒ හා සමාන හෝ ඊටත් වඩා වැඩි වරදකි. හේමසිරි  ප්‍රනාන්දු මහතා ආරක්ෂක ලේකම් ලෙස පත්කළේ ජනාධිපති විසිනි . ජනාධිපතිවරයා ඒ පිළිබඳ කනගාටුව ප්‍රකාශ කිරීමක් හෝ නැත.

බුද්ධි අංශ දුර්වල කළ බව ජනාධිපතිවරයා කීවද ප්‍රහාරය සිදු වීමට පෙර ඒ බව බුද්ධි අංශ විසින් හෙළිකර තිබේ. ගැටලුව වූයේ අංශවල හෙළිදරව් කිරීම් අනුව ආරක්ෂක අංශ කටයුතු  නොකිරීමය.  එම වරද පැවරෙන්නේ ආරක්ෂක  ඇමැතිවරයා ජනාධිපතිවරයාටය .  බුද්ධි අංශ දුර්වල වී ඇත්නම්  ප්‍රහාරය කලින් දැනුම් දෙන්නේ කෙසේද? ප්‍රහාරකයන් කාලයක්පුරා කටයුතු කර තිබියදීත් ඒ බව හෙළිකර ගැනීමට බුද්ධි අංශ අසමත්වූ නමුත්  ප්‍රහාර වළක්වා ගැනීමට අවශ්‍ය පියවර ගැනීමට අවශ්‍ය තොරතුරු බුද්ධි අංශ සතුව තිබුණි.  ආරක්ෂක මණ්ඩලය රැස්  වන්නේද ජනාධිපති වරයාගේ ප්‍රධානත්වයෙනි .  එසේනම් ප්‍රහාරයේ වගකීමෙන් මිදීමට  ජනාධිපතිවරයාට හැකියාවක් තිබේද?

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *