yukthiya

ජමාත් සංවිධනයේ නායක මොහොමඩ් සහරාන්ගේ බිරිඳ හා දියණිය අත් අඩංගුවේ ; පියා මරුට

මරාගෙන මැරෙන බෝම්බකරුවන්  විසින් කල්මුනේ සයින්දමර්දු ප්‍රදේශයේ බෝම්බ පුපුරවාගත්  නිවසේදී තුවාල ලබා සිටි කාන්තාව සහ  වයස අවුරුදු 4 ක් වු දැරිය ෂැංග්‍රිලා හෝටලයේ බෝම්බ පුපුරවාගත් ජාතික තව්හිත් ජමාත් සංවිධනයේ නායක  මොහොමඩ් සහරාන් නැමැත්තාගේ බිරිඳ  හා  දියණිය බවට  පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය. එමෙන්ම එම ප්‍රහාරයේදී මියගිය අය අතර මොහොමඩ් සහරාන් ගේ පියා ද වන බව වාර්තා වෙයි .
මොහොමඩ්  සහරාන්  නැමැත්තාගේ සහෝදරිය හා  ඇගේ සැමියා විසින් මොවුන්  හඳුනාගෙන ඇති බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා කියා සිටියේය. මෙම කාන්තාව සහ දැරිය පොලිස් ආරක්ෂාව යටතේ අම්පාර රෝහලේ නේවාසික ප‍්‍රතිකාර ලබමින් පසුවෙති.

තුවාල ලබා ඇත්තේ සහරාන්ගේ බිරිඳ වන අම්බදුල් කාදර් ෆාතිමා සාදියා  සහ  ඇගේ දියණිය   වන රුසෙයිනා  සහරාන් බවත්  පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේය.
අම්බදුල්  කාදර් ෆාතිමා සාදියා නැමැති මෙම කාන්තාව පොලිසියට අවශ්‍ය සිටි පොලිසිය සොයමින් සිටි සැකකාරියක් බවද පොලිසිය කියයි.

මොහොමඩ් සහරාන් නැමැත්තා  ඉකුත් (21)  ෂැංග්‍රිලා හෝටලයේ දී බෝම්බයක් පුපුරවාගෙන මියගොස් සිටි එක්  බෝම්බකරුවෙකි.

කල්මුණේ  සයින්දමර්දු වොලිවේරියන්  සුනාමි ගම්මානයේ ඉහත  නිවස  තුළ   සිදු වූ  පිපිරීම් වලින්  සහ වෙඩි ප‍්‍රහාරවලින් මියගිය මරාගෙන මැරෙන  බෝම්බකරුවන්  හය දෙනකු ඇතුළු 16 දෙනකුගේ  මළ සිරුරු සොයා ගත් බව පොලිසිය කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *