සංචාරක ව්‍යාපාරය 30%කින් බිඳවැටුණොත් එය ඩොලර්මිලියන 1500ක පාඩුවක් – මුදල් ඇමැති මංගල සමරවීර

ලොවම කම්පා කළ ඉකුත් 21 වැනි පාස්කු ඉරිදා මෙරට සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයන් හේතුකොටගෙන සංචාරක කර්මාන්තයේ සියයට 30ක බිඳ වැටීමක් සිදුවුවහොත් එය දළ වශයෙන් එක්සත් ජනපද ඩොලර් මිලියන 1500ක් තරම් වූ පාඩුවක් වන බවට ගණන් බලා ඇතැයි මුදල් ඇමැති මංගල සමරවීර මහතා ප්‍රකාශ කෙළේය.

වසර 2019 ලෝකයේ හොඳම සංචාරක ගමනාන්තය ලෙස ලෝකයේ ඇගැයීමට හා තෝරාගැනීමට ලක්වූ ශ්‍රී ලංකාව, ඉකුත් 21 වැනිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු පසුබෑමකට ලක්වන බව අවධාරණය කළ මුදල් ඇමැතිවරයා, ඉන්පසු ඉතා ඉක්මනින් නැගී සිටීමට පියවර ගතයුතුව ඇතැයි ද කීය.

කොළඹ‍ කොටුව මුදල් අමාත්‍යාංශයේ ඊයේ (26) සවස පැවැති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් මුදල් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

කොළඹ නගරය හා රටේ තැන් කිහිපයක සිදුවූ ත්‍රස්ත ප්‍රහාර නිසා රටේ ආර්ථිකය බිඳවැටීමකට ලක්වෙනවා. අපි ඉතා අමාරුවෙන් රටේ ආර්ථිකය ගොඩනඟාගෙන ඉදිරියට පැමිණෙමින් සිටියේ.

මාර්තු මාසයේ උද්ධමනය සියයට 2.9යි. ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ අවුරුදු පහකට පසුව අඩුම වෙළෙඳ හිඟය ඉකුත් පෙබරවාරි මාසයේ වාර්තා කළා. එය ඩොලර් මිලියන 451ක් වුණා.

මේ වසරේ මුල් මාස හතර තුළ ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට 4.5කින් අතිප්‍රමාණය වෙලා. මේ අන්දමට ශ්‍රී ලංකා රුපියල ශක්තිමත්වීම ඉතා වැදගත්. ශ්‍රී ලංකා රුපියල ලෝකයේ දැඩි මුදල් ඒකක සැම එකක් සමඟම අතිප්‍රමාණය වෙලා.

රටේ පොලී අනුපාත පහළ යෑමේ ප්‍රවණතාවයක් දක්නට තිබෙනවා. ර‍ජයේ මූල්‍ය ප්‍රතිපත්තිවල යහපත් හා මනා කළමනාකාරීත්වය මත එය හොඳ අතට පත්වෙලා.

වසර 2018 තමයි අපේ රටට වැඩිම ඍජු විදේශ ආයෝජන ආ වසර, ඒවාගේම අපනයන ආදායම ඉහළ ගිය වසර. සංචාරක පැමිණීම් හා ඉන් ඉපැයූ ආදායම් ඉහළ ගියා. මේ තත්ත්වයේ වර්ධනයක් මේ අප්‍රේල් 20 වැනිදා දක්වා පැවැතියා. නමුත්; අවාසනාවන්ත ලෙස 21 වැනිදා එල්ල කළ ප්‍රහාරයෙන් මේ තත්ත්වය වෙනස් වුණා. අපේ රටේ විදේශ නිල සංචිතය ඩොලර් බිලියන 7.7 ක් දක්වා වැඩිවී තිබෙනවා.

අපේ රටේ සංචාරක කර්මාන්තයේ සියයට 10ක පහළ යෑමක් සිදුවුණොත් ඉන් ඩොලර් මිලියන 500ක පාඩුවක් අපට සිදුවෙයි කියා ගණන් බලා තිබෙනවා. මේ ආකාරයට සලකා බැලූවිට සංචාරක කර්මාන්තයේ සියයට 30කින් උපරිම ලෙස පහළ ගියොත් ඉන් ‍ඩොලර් බිලියන 1.5 කින් පාඩුවක් සිදුවෙයි.

අපි ඉතා ඉක්මනින් යළි නැවත පෙරට ආයුතුයි. ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ දැනටමත් අපි අරගනිමින් ඉන්නේ. අපට මේ අවස්ථාවේ ලෝකයේ බොහෝ දියුණු රටවල් සහාය ලබාදීමට පැමිණ තිබෙනවා.

අද වනවිට ජාත්‍යන්තර ත්‍රස්තවාදයේ ගොදුරක් බවට ශ්‍රී ලංකාව පත්වී තිබෙනවා. ලෝකයේ දිනෙන් දින ත්‍රස්ත තර්ජන පිළිබඳව ඒ ඒ රටවල් මැන බැලෙන දර්ශකයක් තිබෙනවා. මේ ත්‍රස්ත තර්ජන මැන බැලෙන දර්ශකයෙන් ලෝකයේ සෑම රටකටම යම් අනතුරක් හඟවා තිබෙනවා.

මේ දර්ශකයට අනුව තද රතු පාටින් දැක්වෙන රටවල් ඉහළ ත්‍රස්ත තර්ජනයක් සහිත රටවල්. රෝස පාටින් දැක්වෙන රටවල්වලටත් පවතින තර්ජනය වැඩියි. කොළ පාටින් දැක්වෙන රටවල් ටිකයි තිබෙන්නේ. ඒ රටවලටත් තර්ජනය යම් තරමකින් හෝ තිබෙනවා. මේ ලෝක සිතියම බැලූවිට තද රතුපාටින් වර්ණ ගැන්වූ ප්‍රමාණය තමයි වැඩි. ඒ අනුව අපේ රටට පමණක් සීමා වූ දෙයක් නොවෙයි මේ ප්‍රහාර තුළ සිදුවුණේ.

අපේ රටට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු අපි ගැලවීමට කියන කථාවක් නොවෙයි අප මේ කරන්නේ. මෙහිදී අපේ අඩුපාඩුවක් සිදුවුණා. අපේ බුද්ධි අංශය දුර්වල වෙලා කියලා සමහරු චෝදනා කරනවා.

අපේ රටේ නොවෙයි, ලෝකයේ ඉතාම ඉහළ තාක්ෂණය, දියුණු බුද්ධි අංශ පැවැති රටවලටත් ත්‍රස්ත ප්‍රහාර එල්ල කළා. ඒ නිසා අපි කිසිවකුත් නොසිතන අයුරින් ත්‍රස්ත ප්‍රහාර සිදුවිය හැකියි. නමුත්; අපි කළ යුත්තේ ඒවා වැළැක්වීමට පියවර ගැනීමයි.

අපි ජාත්‍යන්තර ත්‍රස්තවාදයට එරෙහිව සටන් කළ යුතුයි. ඒවාගේම ඒවා නතර කිරීමට ක්‍රියා කළ යුතුයි. මෙහිදී අපේ බුද්ධි අංශ දුර්වල කිරීමක් සිදුවුණා කියන චෝදනාවලට මම එකඟ නැහැ.

බුද්ධි අංශ වූ පලියට රටේ නීතියට පිටින්, නීතිවි‍රෝධි ක්‍රියාවල නිරතවූ පිරිස් නීතිය ඉදිරියට ඉදිරිපත් නොකර ඉන්න බැහැ. ඒ නිසා බුද්ධි අංශ අඩාළ කළා කියන චෝදනාව ප්‍රතික්ෂේප කරනවා.

බුද්ධි අංශයේ අය මිනීමරලා සුදු වෑන්වලින් පිරිස් පැහැරගෙන ගොස්, නරක වැඩ කරලා තිබෙන බවට සාක්ෂි සහිතව ඔප්පු වී සිටින විට නීත්‍යානුකූලව කටයුතු කිරීම රජයක් ලෙස කළ යුතුයි නේද? එසේ නොකර සිටීමට වගකිවයුතු රජයකට පුළුවන්ද?

අපේ රජය නීතිය කාටත් සමානව ක්‍රියාත්මක වන රජයක්. අපට බැහැ අවනීතිය ක්‍රියාවට නංවන්න. මේ කුරිරු ප්‍රහාරයන් සම්බන්ධයෙන් රජයේ ඇමැති, රිෂාඩ් බදුර්දීන් මහතා, අසාත් සාලි ආණ්ඩුකාරවරයා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරන්නේ නැත්තේ ඇයි කියා චෝදනා කරනවා. ඒ අය සමඟ කෙනෙකු ඡායාරූපයේ සිටි පමණින් අත්අඩංගුවට ගන්න පුළුවන් ද? හැබැයි කවුරුහරි මේවාට සම්බන්ධනම් අත්අඩංගුවට ගෙන නීත්‍යානුකූලව ආරක්ෂක අංශ කටයුතු කළ යුතුයි කියා මාත් කියනවා. එසේ නැතිව ෆොටෝ එකක එකට හිටියා කියා අත්අඩංගුවට ගැනීමට නොහැකියි.

මේ වනවිට විදේශීය රාජ්‍යයන් රාශියක් අපට සහාය ලබාදීමට ඉදිරිපත් වී තිබෙනවා. අප ලෝක ත්‍රස්තවාදය පරාජයට පත්කරන්නට ඔවුන්ගේ සහාය, තාක්ෂණය යොදාගත යුතුයි. ඔවුන්ගේ අත්දැකීම්, පළපුරුද්ද යොදාගත යුතුයි.

අපේ රටේ සිදුවූ සෑම ත්‍රස්ත ප්‍රහාරයකටම මුළු මුස්ලිම් සමාජයම වගකිව යුතු නැහැ. නොමග ගිය අතළොස්සක් මීට සම්බන්ධයි. ඒ නිසා මුළු මුස්ලිම් ප්‍රජාව දෙස වැරදි ආකාරයට නොබැලිය යුතුයි. ඔවුන් වසර දහස් ගණනක සිට අප රටේ මුතුන්මිත්තන් සමඟ සහජීවනයෙන් ජීවත්වෙන පිරිසක්. ඔවුන් රටේත්, ජනතාවගේත් දියුණුවට විශාල සේවාවක් ඉටුකරනවා. අපි ඒ නිසා මේ අවස්ථාවේ ඔවුන් ගැන වැරදි විදිහට නොසිතා ඔවුන් ආරක්ෂා කළ යුතුයි.

අපේ රටේ වසර 30ක බෙදුම්වාදී යුද්ධයක් තිබුණා. ඒ නිසා රට විශාල ලෙස ආපස්සට ගියා. ඒ නිසා අපට නැවත යුද්ධයක් අවශ්‍ය නැහැ. මේ ව්‍යවසනයන්ගෙන් මිදී පෙරට යාමටයි අපි ක්‍රියා කළයුත්තේ.

මෙම අවස්ථාවට මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග මහතා හා ඇමැතිවරයාගේ ආර්ථික උපදේශකවරයා ද එක්ව සිටියහ.

ජයසිරි මුණසිංහ

ඡායාරූපය – සමන්ත වීරසිරි

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *