|

ජනාධිපතිගේ වගකීමෙන් තොර ක්‍රියා ඇමති මණ්ඩලයේදී එලියට

පසුගිය 21වැනි පාස්කු ඉරිදාව ශ්‍රීලංකාවට උදාවූයේ කිසිවෙකුත් නොසිතන ත්‍රස්ත ව්‍යසනයක්ද සමගිනි. අවුරුදු නිවාඩුවට නුවරඑළිය බලාගොස් තිබූ අගමැතිවරයා යලි කොළඹ පැමිණීමට නියමිතව තිබුණේ එදිනය. එහෙත් ආණ්ඩුව පෙරලීමේ හා අගමැති මාරු කිරීමේ කුමන්ත්‍රණයක් දියත්ව තිබෙන බවට ආරංචි වීමත් සමඟ අගමැතිවරයා ඊට දින 4කට පෙර කොළඹ පැමිණ සුපුරුදු රාජකාරි ආරම්භ කළේය. එහෙත් නිළධාරීන් රැසක් අවුරුදු නිවාඩුව ගෙවමින් සිටි නිසා විදෙස් ආයෝජන වලට අදාල යෝජනා රැසක් අධීක්ෂණය කිරීම සඳහා අගමැතිවරයා දකුණු මුහුදු තීරයේ බෙන්තොටට ගියේය. බෝම්බ පිපිරීමට අදාළ සිද්ධිය සැලවූ සැනින් ඔහු අරලියගහ මැදුරට පැමිණියේ සෙසු මැති ඇමතිවරුන්ද කැඳවමිනි. ඒ වනවිට ජනාධිපතිවරයා දින 8කට අධික කාලයක් ඉන්දියාව හා සිංගප්පූරුවේ සංචාරය කරමින් සිටියේය. කොළඹ පැමිණි වහාම ඇමති මණ්ඩලය සාකච්ඡාවෙන් පසු ගතයුතු ක්‍රියාමාර්ග තීන්දු කෙරින. ඒ අනුව ආරක්ෂක මණ්ඩලය වහාම කැදවීමේ තීන්දුවද විය. එහෙත් හමුදාපතිවරු ඇතුලු ආරක්ෂක අංශ ප්‍රධානීන් හා ආරක්ෂක ලේකම්වරයාගේ අදහස වූයේ එය රැස්විය යුත්තේ අරලියගහ මැදුරේ නොව ආරක්ෂක අමාත්‍යාංශයේ බවය.

“හරි, එහෙමනම් මම අමාත්‍යාංශයට එන්නම්” යයි කී අගමැති වහාම එහි ගියේය.

එහෙත් අදාල රැස්වීමට අවශ්‍ය මූලික පියවරක් හෝ අදාල නිලධාරීන් ගෙන තිබුණේ නැත. රාජ්‍ය ඇමති රුවන් විජේවර්ධනගේ කාර්‍යාලයට ගිය අගමැතිවරයා විනාඩි 25ක් පමණ එහි රැදී සිටිය අතර විවිධ කඹ ඇදීම් තුල රටේ ආරක්ෂාවට අදාල එවැනි වැදගත් රැස්වීමක් තප්පරයෙන් තප්පරය කල්‍ යන බව  පෙනින. ආරක්ෂක ලේකම් හා ජනපතිගේ දේශපාලන හිතවතුන් කිසියම් කල්මැරීමක් සිදුකළ බවක් පෙනෙන්නට තිබුණ. අවසානයේ ලේකම්වරයාගේ යම් නම්‍යශීලීත්වය තුල ආරක්ෂක කවුන්සිලයට අනිවාර්යෙන් පැමිණියයුතු ප්‍රධානීන්ගේ අඩුලුහුඩු තාවයන් මත හෝ රැස්වීම ඇරඹිණ. එහිදී විශේෂ තීන්දු රැසක් ගැනින.

රැස්වීමෙන් අනතුරුව එහිදී අගමැතිවරයා තමා සමග ගිය පිරිසට හදිසි අවස්ථාවකදී ආරක්ෂක කවුන්සිලයට අදාල අතීත සිදුවීම් සිහිකලේ තම වසර 41ක දේශපාලන අත්දැකීම්ද සමගිනි.

“ජනපති ප්‍රේමදාස ඝාතනය වුණාම 1993දී මම අගමැති හැටියට කවුන්සිලය කැඳවා රටේ ආරක්ෂාව සහතික කළා. ජේ.ආර්. ගෙ කාළෙ එතුමා ලංකාවෙ නෙවෙයි කොළබින් පිට හිටියත් ගාමිණි ලලිත්ල වගේ අයට මේ කවුන්සිලය කැදවලා තීන්දු ගන්න ක්‍රමවේදයක් ඇතිකළා. 2001 ඉදල වසර 3ක් ජනාධිපතිනී චන්ද්‍රිකා නැති වෙලාවට අගමැති ලෙස මමයි සිකිරිටි කවුන්සිලය කැදෙව්වේ. 2004 සුනාමි ආපු වෙලාවෙ චන්ද්‍රිකා රට හිටියත් අගමැති මහින්ද ආරක්ෂක මණ්ඩලය කැදවලා රටේ ආරක්ෂාව තහවුරු කළා. ඒත් දැන් මේ මොකක්ද වෙන්නේ…?” අගමැතිවරයා කීවේ නළල රැලිගන්වා හැගීම්බරවය.

“සුනාමි වෙලාවෙ ජනාධිපති චන්ද්‍රිකා හිටියේ එංගලන්තයේ. ඇය පළමු ෆ්ල්යිට් එකෙන්ම ලංකාවට ආවා. ඒත් මේ පාර එහෙම වුණේ නෑ. සිංගප්පූරුවේ ඉදලා ආපු අන්තිම ප්ලේන් එකෙයි ජනාධිපති ඇවිත් තියෙන්නේ. මේ වගේ වෙලාවක බැංකොක් නැත්නම් ක්වාලංම්පූර් වගේ තැනකට ගියානම් කලින්ම එන්න තිබුණා. එතුමා ලංකාවට ආවෙත් නෑ. ආරක්ෂක කවුන්සිලයට අදාල නිළධාරින්ට යන්නෙපා කියල බලපෑම් කරපු බවත් ඒ නිලධාරීන් පිලිගත්තා” එජාප නීති නිලධාරියෙක් කීවේය.

ආරක්ෂාව තහවුරු කිරීමට සියළු විධිවිධාන කකුල් මාට්ටු මැදින් තහවුරු කළ අගමැතිවරයා එක් බෝම්බයක් පිපිරවූ කොච්චිකඩේ පල්ලියටද ගොස් සිදුවූ විපත නිරීක්ෂණය කලේය. එදින රාත්‍රියේද නිදිවරාගෙන මේ වෙනුවෙන්ම කැපවූ අගමැතිවරයා කැබිනට් රැස්වීමක්ද කැදවීය. එහිදී සාධක සහිතව හෙලිවූයේ අප්‍රේල් මාසය ඇරඹීමත් සමග කිහිපවිටක් ඉන්දියානු බුද්ධි අංශ මෙන්ම ලංකාවෙ බුද්ධිඅංශද මෙවැනි ප්‍රහාරයක් එල්ලවිය හැකිබවට තොරතුරු වාර්තාකොට තිබූ බවය. එම බුද්ධිඅංශ තොරතුරු අනුව අනුව ආරක්ෂක හා නීතිය හා සාමය පිලිබඳ ඇමතිවරයාව සිටි ජනපති ඇතුළු වගකිව යුක්තන් ප්‍රහාරය වලකා ගැනීමට ක්‍රියා නොකිරීම පිළිබද ඇමතිවරු රැසක් චෝදනා නගන්නට විය. එහෙත් ජනපති රැකීමට ඇමතිවරු දෙතුන්දෙනෙක් උත්සාහ කිරීමත් සමග දැඩි මතගැටුමක් එහිදී ඇති විය. අගමැතිවරයා එය සමනය කළේය.

“මේ තොරතුර අගමැති හැටියට මට හෝ කැබිනට් එකටත් ලැබුණේ නෑ. ලැබිල තිබුණනම් අපි මේ ප්‍රහාරය වලක්වා ගන්නවා.” එහිදී අගමැතිවරයා කීය.

“ජනපති ලංකාවට පැමිණි පසු හමුවන මුල් අවස්ථාවේදී අදාල සිද්ධිය වලකා ගැනීමට ක්‍රියා නොකිරීම ගැන  ප්‍රශ්න කිරීම සඳහා ලක්ෂ්මන් කිරිඇල්ලගේ ප්‍රධානත්වයෙන් කමිටුවක්ද පත්කෙරිණ. ඊට කබීර්, සජිත්, මංගල, මනෝ, රවී ඇතුළු ඇමතිවරු පිරිසක් පත්කෙරිණ.

“කොන්දක් තියාගෙන ප්‍රශ්න අහන්න ඕනෑ. මුල්ම ප්‍රශ්නෙ අහන කෙනා කවුද කියල කියන්න.” ලක්ෂ්මන් කිරිඇල්ල කමිටුවෙන් විමසීය.

ඇමතිවරු එකිනෙකාගේ මුහුන බලාගනිද්දී කිරිඇල්ල කීවේ “හරි මමම මුල් එක අහන්නම්, ගියපාර පක්ෂය හා ආණ්ඩුව වෙනුවෙන් කතාකරලා මගේ බලතල නැතිවුණා. සමහර ඇමතිවරු රහසේ ගිහින් මගේ බලතල ඉල්ලගත්තා කියලා ජනාධිපතිතුමාම මට නම් ගම් එක්කම කිව්වා.” කිරිඇල්ල කීවේ උපහාසාත්මක සිනහවක්ද සමගිනි.

ජනපති ලංකාවට පැමිණි පසු පැවැති කැබිනට් හමුවේදී කිරිඇල්ල ජනපතිගෙන් ඇසුවේ තොරතුරු ලැබී තිබුණත් ප්‍රහාරය වලක්වාගන්න ක්‍රියා නොකරේ මන්ද කියාය.

“මට තොරතුරු ලැබුණෙ නෑ” ජනපති ගත් කටටම කීවේය.

මංගල ඇසුවේ “ආරක්ෂක කවුන්සිලයට අගමැති කැදවන්නෙ නැත්තෙ ඇයි?” දැයි කියාය.

ඊට පිලිතුරු ලෙස ලැබුණේ ආරක්ෂක කවුන්සිලයේ තොරතුරක් ඩේලි මිරර් පත්තරේ පලවූ පසු අගමැති කැදවීම නැවැත්වූ බවය.

“ඩේලි මිරර් එක කිසි දවසක මට වාසි දෙයක් දාල නෑ. එහෙම දාපු දෙයක් තියනවනම් මට පෙන්නන්න” අගමැතිවරයා තදින්ම කීවේය. සියළු ඇමතිවරු එය සනාථ කරමින් කතාකරන්නට විය.

සිද්ධිය වූ පසුගිය ඉරිදා සවස අගමැතිවරයා ජාතිය අමතා කළ ප්‍රකාශය ඉතා සමබර හා ජනතාව තුල බිඳවැටුණු මානසිකත්වය බොහෝ ප්‍රමාණයකින් සනසාලන එකක් වූ බව කාගේත් පිළිගැනීම විය. ලංකාවට පැමිණි ජනපතිවරයාද ජාතිය ඇමතූ අතර මෙම ප්‍රහාරයට අදාල බුද්ධිඅංශ වාර්ථා කිසිවක් තමාට ලැබී නොතිබූ බව ඔහු එහිදී අනාවරණය කෙරිණ. එහෙත් අනතුරුව විනාශ වූ පල්ලි බැලීමට ගිය ආරක්ෂක ලේකම් ජනමාධ්‍යට කීවේ සියළු තොරතුරු ආරක්ෂක අමාත්‍යංශයට ලැබී තිබුණු බවත් ප්‍රහාර මෙතරම් විශාල ඒවා බව තමන් නොසිතූ බවය.

“දැන් මේ බුද්ධිඅංශ තොරතුරු නිසැක ලෙසම ජනාධිපතිතුමාට ලැබුණු බව ආරක්ෂක ලේකම්ගේ ප්‍රකාශයෙන් තහවුරු වෙනවා. දැන් පහල තැන්වලින් වතුර බස්සලා මම දන්නෙ නෑ කියලා ජනාධිපතිතුමාට බේරෙන්න බෑ.” චමින්ද විජේසිරි හේෂා විතානගේ මුජිබර් රහුමාන් ඇතුලු පසුපෙල කණ්ඩායම අගමැතිවරයාට පසු අවස්ථාවකදී ඉදිරිපත් කළ තර්කය එය විය.

“93දී විජේතුංග යුගයේ කොබ්බෑකඩුව මැරිලා පූනරින් කඳවුරත් වැටිලා තියෙද්දී විජේතුංග එක්ක එකතුවෙලා යුද්ධය මෙහෙව්වේ අගමැතිතුමායි. සමහරුන්ට මේව මතක නෑ.” නවීන් දිසානායක අතීතය සිහිපත් කළේය.

“2002 දී රනිල් අගමැතිතුමා විදේශ සහය අරන් මූදු කොටින්ට එරෙහි දැවැන්ත මෙහෙයුමක් කරන්න පසුබිම හදලා කොටින්ට අවි ඒම නැවැත්වූවා.” නවීන් වැඩිදුරටත් කීවේය.

“ඇයි කරුණා අම්මාන් කොටින්ගෙන් කඩලා ඔවුන්ගේ අවිබලය හා දේශපාලන එකමුතුවත් කඩල දැම්මෙත් රනිල් අගමැතිතුමායි. සමහරුන්ට දැන් ඒවත් අමතකයි.” ලක්ෂ්මන් කිරිඇල්ලද අතීතය සිහිපත් කළේය. අගමැතිවරයා නලල රැලිගන්වමින් ඒවා අසා සිටියා මිසක කිසිවක් කීවේ නැත.

“2018 සැප්තැම්බර් 28 දා එක්සත් ජාතීන් ලෝක ත්‍රස්තවාදය තුරන් කිරීමේ සම්මුතියක් ගෙනාව. මම එතකොට හිටියෙ යුරෝපා සංචාරයකයි. වහාම ඒක අත්සන් කරන්න කියල මම විදේශ ඇමති මාරපනට කිව්වා. ඒත් මාසෙකට පස්සේ ඔක්තෝබර් 28 කුමන්ත්‍රණයෙන් ආණ්ඩු මාරු වුණා. ඒ හොර ආණ්ඩුව මේ වැදගත් ලියවිල්ලට අත්සන් කරනවා තබා දැනගෙන හිටියද කියලවත් මම දන්නේ නෑ. ඒ අතරේ පිලිපීනය තායිලන්තය වගේ ආසියානු රටවලුත් ඊජිප්තුව සිරියාව නයිජීරියාව වගේම ප්‍රබල රුසියාවත් මේකට අත්සන් කලා. අපි ආණ්ඩුව ගත්තට පස්සේ මාරපන තාම මේකට අත්සන් කරල නෑ. මම හොදට එයාට දෙහි කැපුවා. දින 52 හොර ආණ්ඩුව කාලෙ රටේ හිරවෙච්ච තැන් සොයල බලල නිවැරදි කිරීම සියළු ඇමතිවරුන්ගෙ වගකීමක්” අගමැතිවරයා තදින්ම කීවේය.

“බුද්ධි අංශ වලට මේ ප්‍රහාරයේ තොරතුරු ලැබිලත් හොර ලියුම් ලිව්වා මිසක වගකිවයුත්තන්ට කතා කරල කිව්වෙ හෝ දැඩි අවධානය යොමුකළේ නෑ. ඒ අනුව ඔවුන් සේවය කරන්නෙ ජනතාව පත්කළ ආණ්ඩුවටද වෙනත් බලල් අත්වලටද කියලත් අපි සොයන්න ඕනෑ.” ලක්ෂ්මන් කිරිඇල්ල කී විට අගමැති ඇතුළු සියළුදෙනා එය තරයේ අනුමත කළහ.

“ලෝකයම මේ සිද්ධියෙන් සසල වුණා. ලෝක නායකයින් සියළුදෙනාම අගමැතිතුමාට කතාකළා නේද?” නවීන් දිසානායක විමසීය.

“ජනපති ට්‍රම්ප් මට කතාකළේ ලංකාවෙ වෙලාවෙන් හවස 6ට. මේ සිද්ධිය වෙලා ඇමරිකාවට එලිය වැටුණු පළවෙනි තප්පරයේදී ට්‍රම්ප් මට කතාකරල තියෙන්නෙ. ඕනෑම උදව්වක් කරන්න පොරොන්දු වුණා. ඉන්දියාවෙ මෝදි, සිංගප්පූරුවේ අගමැති, බ්‍රිතාන්‍යයේ අගමැතිනිය, පකිස්තානයේ අගමැති ඇතුළු ලෝක නායකයින් රැසක් මට කතාකළා. චීන නායකයින්  ඇතුළු අය තානාපති අතේ ලිපි එවා තිබුණා. සියළුදෙනාම අපට සහය දෙන්නයි පොරොන්දු වුණා. මේ අන්තවාදී ආගම්වාදී ත්‍රස්තවාදය මර්දනය කරන එක අමාරු වෙන්නෙ නෑ. විපක්ෂයේ වත්මන් වගකිවයුතු හැසිරීමත් අපි අගය කරනවා. ඒත් පස්සෙ පටු වාසි ලබන්න විපක්ෂය රට අස්ථාවර කරන්න ආවොත් අපි ඔවුන්ව දේශපාලන ලෙස නිරුවත් කරනවා. මොකද කොටි ත්‍රස්තවාදය මර්දනය කරන කාලෙ අපි සහය දුන්නා මිසක් ඉන් පටු වාසි ගන්න ගියේ නෑ. මේ විපක්ෂයෙනුත් ඒ වගකිවයුතු හැසිරීම ජනතාව වෙනුවෙන් මම බලාපොරොත්තු වෙනවා.” අගමැතිවරයා කීවේ ඉතා හැගුම්බරවය.

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *