නොකළ යුතු දේ කරන්න යන කළ යුතු දේ නොකරන ආණ්ඩුවක් – මහින්ද රත්නායක .

විදේශ වත්කම් පියවා ගැනීම හා ආයෝජනය සඳහා මුදල් නැතිකමේ ගැටළුවට මැදි වී සිටින වත්මන් ආණ්ඩුව වත්කම් උපයා ගැනීමේ යුද්ධයක පැටලී සිටින බව කවුරුත් දනිති. ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය පහළ බැසීමත් සමග අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල පවා ඇගට දැනෙන මට්ටමෙන් මිල ඉහළ යමින් පවතී. මෙයට අමතරව රාජපක්ෂ මාදිළියේ සංවර්ධනය සඳහා කෙටිකාලීනව, ගිනි පොලියට ගත් චීන ණය වාරිකය සහ පොලිය ගෙවීමේ බර ද ආණ්ඩුව මත පැට වී ඇත. මේ තතු යටතේ දේශපාලන ප‍්‍රතිසංස්කරණ අංක දෙකට වැටී,  ආර්ථික යුද්ධය කළමණාකරණය කිරීම න්‍යාය පත‍්‍රයේ අංක එකට පැමිණ ඇති බව පැහැදිළිය.

චීන ණය මත කෙරුන රාජපක්ෂගේ ඊනියා සංවර්ධනය වෙනුවට නව ආණ්ඩුව විදේශ සෘජු ආයෝජන මත සංවර්ධන උපාය මාර්ගය සකස්වන බව පෙනෙන්නට ඇත. අගමැතිවරයාගේ ජපන් සංචාරයේ මූලික අරමුණ වූයේ ද එයයි. මධ්‍යකාලීන සහ දිගුකාලීන සැළසුම් එසේ දියත් වන නමුත් අභ්‍යන්තර මුල්‍ය හිගයට එය ක්ෂණික විසඳුමක් වන්නේ නැත. නියමිත ප‍්‍රමාණයට  අච්චුගැසූ මුදල් මේ වනවිට ද වෙළඳ පොලට නිකුත්කර හමාර ය.  මූල්‍ය හිගය පියවා ගැනීමට ආණ්ඩුව නොකළ යුතු දේ පවා කරන්නට සූදානම් වන බවක් පෙනෙන්නට තිබේ.

දේශපාලන ආර්ථිකය

මේ අවාසිදායක ආර්ථික පසුබිම තුළ පාර්ලිමේන්තුවේ  දේශපාලන අස්ථාවරත්වයක් ඇතිකිරීමේ උත්සාහයක් ද ඇත. දිනේශ් ගුණවර්ධන, විමල් වීරවංශ හා වාසුදේව නානායක්කාර පාර්ලිමේන්තුවේ ගෝට්ටි කරන්නේ ඒ සඳහා ය. ආර්ථික  අමාරුකමට එරෙහිව ජනයා පෙල ගැසෙන්නේ නම් ජාතිවාදී රැුල්ළේ නැවතත් පිහිනිමට  මහින්ද රාජපක්ෂගේ අපේක්ෂාව වී තිබේ. තිරය පිටුපසට වී ජාතිවාදී ප‍්‍රකාශණ රාජපක්ෂ විසින්  නිකුත් කෙරෙනේ ඒ අරමුණ ඇතිවය. ආණ්ඩුවේ ඉදිරිමග තීරණය වන්නේ මේ ආර්ථික හා දේශපාලන අභියෝගය කළමණාකරණය කොතරම් සමත්වෙන්නේ ද යන කරුණ මත ය.

කොල්ලකාගත් ජනතාවගේ මුදල් නැවත ගෙන එන්නේ නම්, දඬුවම් නොකරණ  තැනකට යන්නට ආණ්ඩුව සුදානම් බව කියැවේ. බලයට පත්වීමට පෙර කීවේ කොල්ලකෑ මුදල් රටට ගෙනඑනවා පමණක් නොව දූෂිතයින්ට දඩුවම් කරන බව ය.  එසේ තිබිය දී   මෙවැනි සහනයක් දෙන්නේ නම් ආණ්ඩුව  කරන්නේ තමන් බලයට පත්කළ වුන් සතුරුකර ගැනීම ය. එහෙයින් මොනම හේතුවක් නිසාවත් ජාතික ධනය මංකොල්ල කෑ මේ දූෂිතයින්ට මොනම සහනයක් වත් දියයුතු නැත. රට අභ්‍යන්තරයේ දැන් ඉතිරි වී ඇත්තේ  එකම එක ධන නිධානයක් පමණි. බිළියන ගණනක මුදලක් ඇති සේවක අර්ථ සාධක මුදලට ද අත තැබීමට  ආණ්ඩුව උත්සාහ දරණ බවක් පෙනෙන්නට තිබේ. රාජපක්ෂගේ ආණ්ඩුව ගෙදර යැවීමට නිමිත්තක් වූ කටුනායක නිදහස් වෙළඳ කලාපයේ වෙඩි තැබීම සිදුවන්නේ ද එකී අරමුදලට අත තැබීමට ගොසිනි. කම්කරුවන්ගේ දහඩිය මහන්සියෙන් එකතුකරන ලද මෙතරම් මුදලකට අත තැබීමට යන්නේ නම් ඒවා ඵලදායි ලෙෂ මෙන්ම සුරක්ෂිතව ආයෝජනය වන බවට කම්කරුවන්ට සහතිකයක් තිබිය යුතු ය. අර්බුදයෙන් ගොඩඒමට කළු සල්ලි රටට ගෙනඒමට ඉඩ දෙන්නට සූදානම් වන ලෙෂ කඩිමුඩියේ සේවක අර්ථසාදධ අර මුදලට කම්කරුවන් අත තියන්නට දෙන්නේ නැත. බැරි වෙලාවත් ආණ්ඩුව මේ සම්බන්ධයෙන් වැරදි තිරණයක් ගතහොත් ආණ්ඩුව බලයට පත්කිරීමට ඉදිරිපත් වූ ඔවුන්ගේ සහාය ද ආණ්ඩුවට අහිමිවනු ඇත. ආණ්ඩුව බරපතල මුල්‍ය අර්බුධයකට මුහුණ දී ඇති බව සත්‍යය කි.  නමුත්,  තමන් පදනම්ව සිටින දේශපාලන බලවේගයන් සතුරුකර නොගෙන ආර්ථික අර්බුධය කළමණාකරනය කර ගැනීමට ආණ්ඩුව සමත් වියයුතු ය.

නීතිය සහ බල්ලා

”නීතිය බල්ලට ගිහින්” යැයි කටවහරට කියැවෙන්නේ  බල්ලා නීතියට නොව තමන්ගේ හිතූමතයට කටයුතු කරන නිසා විය හැක. නීතිය බල්ලෙක් අතට පත්වීමෙන් ප‍්‍රයෝජනයක් නැති නිසා ද එසේ කියැවෙනවා පෙන්නට පුළුවන. නීතිය වැනි උතුම් දෙයක් වඩා නුසුදුසු  පහත් අයෙක් අතට පත්වීමෙන් නීතියට වන ආනිසංසය ද මෙයින් ඇගවිය හැක. මෙය කුමක් වූවත්, මේ රටේ නීතිය රාජපක්ෂ යුගයේ බල්ලට ගොස් තිබුණු බව අපි කීවෙමු. එසේ කිවේ නිතියක් නැතිව රටේ වැඩ සිද්ධ වූ නිසා ය. නීතියට අනුව වැඩ කිරීමට මේ රටේ මිනිස්සු නව ජනාධිපතිවරයෙකු මෙන්ම ආණ්ඩුවක් ද පත්කර ගත් හ. පසුගිය ආණ්ඩු කාලයේ කළ හා තවමත් කෙරෙන නීති විරෝධි ක‍්‍රියාවන්ට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට නොගන්නේ ඇයි ද යන්නට බොහෝ දෙනෙකුගේ පිළිතුර වූයේ මහින්ද රාජපක්ෂ කළ ආකාරයට ඒවා නොකළ යුතු බවය. නමුත් දැන් ප‍්‍රශ්නය වී තිබෙන්නේ මහින්ද කළ ආකාරයට කළ නොහැකි නම් සිරිසේන කරන ආකාරයටවත් මේ දූෂිතයින් අත් අඩංගුවට පත් නොවිම ය.

මෙහි හොඳම උදාහරණය වන්නේ ඇවන්ට්ගාඞ් සිද්ධියයි. මෙතෙක් කළ පරික්ෂණ එසේ තිබිය දි ඊයේ පෙරේදා  තවත් අවි නැවක් ගාල්ලේ දී මෙරට නාවික හමුදාව විසින් අල්ලා ගත්තේ ය. වාර්තා වන ආකාරයට එය මුදාහරින ලෙෂ ආරක්ෂක අමාත්‍යාංශයේ සිවිල් ආරක්ෂාව භාර ලේකම්වරයෙක්  නියෝගකර තිබේ. මේ අතර නීතිපතිවරයා පසුගිය දින මල්වතු මහානායක හිමි බැහැදැකීමට ගිය මොහොතේ ප‍්‍රකාශ කළේ ඇවන්ට්ගාඞ් සිද්ධියට ගිණි අවි පනත යටතේ නඩු පැවරිය නොහැකි බව ය. මේ  ගිණි  අවි හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ අනුමැතිය යටතේ සිදු වූ ගණු දෙනුවක් නිසා ගිණි අවි පනත යටතේ නඩු පැවරිය නොහැකි බව නීතිපතිවරයා පවසන්නේ ද යන්න අපි නොදනිමු. කෙසේ නමුත් මේසා විශාල ගිනි අවි කෙලියකට ආරක්ෂක ලේකම්වරයෙකු වූ පමණින් අනුමැතියක් දිය හැකි ද යන්න ගැටළුවකි එසේ අනුමැතියක් දීමට නොහැකි නම් බලය අයුතු ලෙෂ යෙදීමට එරෙහිව ගෝඨාභය රාජපක්ෂ අත් අඩංගුවට පත්විය යුතු ය.

ඇවන්ට්ගාඞ් සිද්ධිය පමණක් නොව සිල් රෙදි සිද්ධියේ දී ද ලලිත් වීරතුංග හා අනූෂ පැල්පිට අත් අඩංගුවට පත්නොවී රිංගා ගියේ ය. මේ පිළිබඳව පොලීසියට මහේස්ත‍්‍රාත් වරයා උසාවියේ පෙනීසිටින ලෙසට නියෝගයක් ද කර තිබේ. නීතිය ඉදිරියේ ඔප්පු වී නැතත් රාජපක්ෂගේ යුගයේ කර ඇති දූෂණ හා මුදල් ගසා කෑම් ගැන හිතන්නට තරම් කරුණු තිබේ. සිරිලිය සවිය ගිණුම, මහජන මුදලින්  පරම්පරාවේ කටුගෙය හැදීම වැනි දේ පවා කිසිවෙකුටවත් රහසක් නොවේ.  පාසැලේ තීන්ත ගෑමට මුදල් දීමට නැතිකමට අහල වත්තකින් පොල් ගෙඩියක් අහුලාගත් දැරිවියක් අත් අඩංගුවට ගත් මෙහෙව් රටේ මහ හොරුන්ට යහතින් සිටිය හැක. දැන් රාජපක්ෂගේ ආණ්ඩුවක් නැත. ඇත්තේ මෛත‍්‍රි රනිල්ගේ යහපාලන ආණ්ඩුවකි. දැන්වත් මේ හොර නඩය අත් අඩංගුවට පත්වන්නේ නැත්නම් කිව හැක්කේ  නීතිය බල්ලට ගියා නොව රටේ ඇත්තේ බලූ නීතියක් බව ය. ඒ අනුව   උතුම් නීතියක් හදාගන්නට තමන්ගේම වූ මාවතක් පාදා ගන්නවා හැරෙන්නට ජනතාවට යැ හැකි  අන්මගක්  නැත.

මහින්ද රත්නායක

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *