ජනාධිපතිවරයා ඍජුවම මේ රට අරාජික කිරීමේ ක්‍රියාවලියේ කොටස් කාරයෙක් – පූජ්‍ය දඹර අමිල හිමි

පසුගිය ආණ්ඩු කාලෙ ‍බොදු බල සේනා සංවිධාන හදලා, රාවණා බලකායවල් හදලා, ම‍හසොහොන් බලකායවල් හදලා මේ වගේ නැති ප්‍රශ්නයක් මේ රටේ හදන්න හදපු හැටි මතක ඇති. ඒ තත්ත්වය වලක්වන්න කළ හැකි ඉහළතම මැදිහත් වීම මම කෙරුව. හැමෝම අතගහන්නෙ නැතුව ඉන්න වෙලාවක භික්ෂූණ් වහන්සේලා මැදිහත්වෙලා ඒ සංවිධාන කරපු වෙලාවක දි, භික්ෂූණ් වහන්සේලා තුළ ඉන්න භික්ෂූන් වහන්සේ කෙනෙක් විදිහට ඉහළම මැදිහත් වීම කරපු එක්කෙනෙක් තමයි මම. මොකද මම ඒ වෙලාවෙ කිව්වා මේක කෙමනක් කියල.

දෙමළ සිංහල සමගිය බිඳින්නට එදා එල්.ටී.ටී.ඊ. එක කටයුතු කෙරුවා. ඒ වගේම දැන් මේ අටවන්න හදනවා තව එකක්. සිංහල මුස්ලිම් සමගිය විනාශ කරන්න අනාගතේ කෙමනක් අටවන්න තමයි මේ හදන්නෙ. ඒක පිටිපස්සෙ අන් කිසිවෙක් නෙමේ හිටියෙ එදා ආණ්ඩුව. මේකෙදි ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ එදා ඇතැම් බුද්ධි අංශ සාමාජිකයන් යොදා ගත්තා බලහත්කාරයෙන්. ‍එහෙම නැත්නම් ඒ අයගෙ කැමැත්තෙන් නෙමේ. නිල බලය පාවිච්චි කරල ඔවුන් ඒවට අදාලව මෙහෙව්වා. ඒක ඉතා පැහැදිලි වන්නෙ මොකද, ඒ ආණ්ඩුව අවසන් කළා විතරයි බොදු බල සේනා වලට වෙච්ච දෙයක් නැහැ. රාවණා බලයට වෙච්ච දෙයක් නෑ. මහසොහොන් බලකායට වෙච්ච දෙයක් නැහැ. ඒ ගොල්ලන්ට කිසිම තැනක හැසිරෙන්න පුළුවන්කමක් ලැබුණෙ නැහැ. ආණ්ඩුව තියෙද්දි සිංහයො වගේ ඒ ගොල්ල හිටියෙ. අමාත්‍යංශවලට පැන්න. පැදුරු අරගෙන ගියා. ඇමතිවරුන්ව අල්ලගන්නව බොරුවට, ලේකම්වරුන්ව අල්ලගන්නව. දිවා රාත්‍රි අමාත්‍යාංශවල ලැගල හිටිය. එහෙමනෙ කළේ. ආණ්ඩුව ඇතුළෙ ආණ්ඩුවක්. ආණ්ඩුවක් හදන ආණ්ඩුවක් වගේ තමයි හිටියෙ. ඒක නැතිවුණා. එතකොට අපිට තේරෙනව කවුද ඒක මෙහෙව්වෙ කියල. ඒක අද නැත්තෙ මොකද? ඒක එදා හිස එසෙවුවෙ මොකද කියල ඒ ගොල්ලන්ට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ඕක තමයි එදා අටවපු කෙමන.

අධිරාජ්‍ය විරෝධි ජාතික ව්‍යාපාරය විදිහට හයිඩ් පාර්ක් පිට්ටනියෙදි අපි රැස්වීමක් කැ‍ඳෙව්වා, ප්‍රථම වතාවට එදා තමයි මම එළිදරව් කෙරුවෙ සිංහල මුස්ලිම් සමගිය බිඳින්න එල්.ටී.ටී.ඊ. එක නැති කරල ඉන්න වෙලාවේ මේ ආයේ පටන් ගත්තා වෙන වැඩක් කියල. අද ඒක තමයි මේ ප්‍රයෝජනයට ගනිමින් ඉන්නෙ. ඒ වැපිරූ බීජයේ ඵල නෙලමින් ඉන්නව ඒ අය ඔක්කොම. ඒක තමයි ඇත්ත කතාව. ඒකට අදාලව ජාත්‍යන්තර මැදිහත් වීම ඒ ගොල්ල ලබා ගනිමින් එන්නව. ලබානොගත්තත් රටක් ඇතුළෙ හදනු ලබන පරිසරය ඒ විදේශීය ත්‍රස්තවාදි ආගමික අන්තවාදී කල්ලිවලට සරුපසක් වගේ වෙනව නම්, අරමුණු දෙක සමපාත වෙනව නම්, ඒ අවශ්‍ය පරිසරය යොදා ගැනීම ඔවුන් විසින් කරනව.

ඒකට නොමිලේ කාඩර්වරුන් සපයන එක, මරාගෙන මැරෙන එවුන් සපයන එක දිගු කාලීන විදේශීය ආගමික අන්තවාදීන්ට අදාළ නූනත් ඔවුන් ඒ අවස්ථාවන් පාවිච්චි කරනව. ඒ තත්ත්වය යොදා ගෙන ඇති බව පේනව. යම්කිසි අන්තවාදී ස්වරූපයක් ලංකාවේ ඇති කිරීමට උත්සාහයක් කාලයක් තිස්සෙ කෙරුවා.

දර්ගා නගරයේ ප්‍රහාර, අලුත්ගම ප්‍රහාර, දිගන ප්‍රහාර, අම්පාරේ ප්‍රහාර එල්ලකරල, මුස්ලිම්වරුන්ට පෙරළා පහර දීමේ අවස්ථාව ලංකාවෙ හැදුව. ඒක තරුණ මුස්ලිම්වරුන් අතර හා තරුණ රැඩිකල් කොටස් අතර එහෙම දෙයකට පො‍ළඹවන සුළු පිරිසරයක් කාලයක් තිස්සෙ හැදුවා, බොහොම සූක්ෂම විදිහකට. ඒ අනුව දැන් සාධරණීකරණයක් කරගන්නත් පුළුවන්කමක් ඒ හරහා ලැබිලා තියෙනව. අපිට ගැහුවා අලුත්ගමදි, අහවල් අහවල් තැන්වලදි ගැහුවා. දැන් මේ රිටර්න් එක තමයි දෙන්න පටන් අරන් තියෙන්නෙ. එහෙම සූත්තරයක් හැදෙනව. ඒ අවස්ථාව අද පාවිච්චි කරල තියෙනව. බලයේ හිටපු කණ්ඩායම් අදත් පාවිච්චි කරල තියෙනව.

ජනාධිපතිවරයා ඍජුවම මේ රට අරාජික කිරීමේ ක්‍රියාවලියේ කොටස් කාරයෙක්. ඔහු ඉතාමත්ම රටට හතුරු නායකයෙක්. වහාම ක්‍රියාමාර්ග ගන්න ඕනැ ඒ ගැන. මම එහෙම කිව්වෙ මට පුද්ගලිකව කිසිම හානියක් කරල නෙමෙයි. මම කියන්නෙ එයාව පත් කිරීමට විශාල කාර්යභාරයක් කරපු එක්කෙනෙක් හැටියට තේරිච්ච තොරතුරුත් එක්ක. අපිට අයිතිය තියෙනව ඔහුගේ දැන් තත්ත්වයන් පිළිබඳ පැහැදිලි කිරීම් කරන්න. ඔහු මේ හැසිරිලා තියෙන ආකාරය දිහා බලපුවාම දිගටම, ඔහුට ඕනැ වෙලා තියෙන්නෙ බලය. ඒ වගේම ඔහු සතුරොත් එක්කත් අත්වැල් බැඳගත්තා. ඔහුව අඩි හයක් යටට යවනව සුවර් කියල හිටන් කිය කිය හිටපු මිනිහව අතට අරගෙන රාත්‍රි 12 වෙනකොට අගමැති බවට පත් කළා.

ඔහුට කරන්න බැරි දෙයක් නැහැ ඔහුගේ බලය හා වෛරය පදනම කරගත්ත කාරණා උඩ. පුද්ගලික කාරණා, වෛරය ඔහුගේ තියෙන්නෙ. ඔහු ඉන්නෙ ද්වේශසහගත ආකල්පයකින්. ඔහු ඒ වෙ‍නුවෙන් මුළු මාතෘ භූමියම ව්‍යවසනය කරා ගෙනයාමට සමත් එක්කෙනෙක්. ඒ අතින් ගත්තොත් හිට්ලර්ට වඩා දරුණු ගනයේ කෙනෙක් කියල මම කෙළින්ම කියනව. හිට්ලර් ඔය විදිහට ජර්මනිය සම්බන්ධයෙන් හිතුවෙ නෑ කියල මම හිතන්නෙ. ලෝකයට ඔහු හානිදායක වුවත් ජර්මනිය සම්බන්ධයෙන් වැදගත් ආර්ය ජනයා ය කියා ඔහු කල්පනා කළා. ඔහු හොඳයි කියල මම කයන්නෙ නෑ. ඊටත් වඩා මොහු සියල්ල කාබාසිනියා කරගෙන හරි තමන්ගෙ අරමුණු කරා තමන් කොහොම හරි යනවා කියන තැන තමයි ඉන්නෙ.

බිනර

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *