මේ සියලු මරණවලට ආරක්ෂක ලේකම්වරයා වගකිව යුතුයි ; ඔහු දැන දැනම මේ මිනිසුන්ව ත්‍රස්තයන්ට බිලි කළා – ඕමල්පේ සෝභිත හිමි

මෙවන් ප්‍රහාරයක් පිළිබඳව කලින් දැන ගෙනත් එය වැලැක්වීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලාංකියකයන් හැටියට අපි කනගාටුවට පත්වෙනව. මේකට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ ආරක්ෂක ලේකම්වරයා. ඔහු කියනවා මෙවන් ප්‍රහාරයක් ගැන දැනගත්තත් මෙවන් විශාල විනාශයක් වෙයි කියල හිතුවෙ නැහැල්ලු.

බෝම්බයේ උස ප්‍රමාණය බර දැනගෙනමද ඒකට එරෙහිව ක්‍රියාමාර්ග ගන්න ඕනේ. මෙහෙම ආරක්ෂක ලේකම්වරයෙක් අපි දැක්කමයි. මේ සියලු මරණවලට වග කියන්න ඕනැ ආරක්ෂක ලේකම්වරයා. ඔහු දැන දැනම මේ මිනිසුන්ව ත්‍රස්තයන්ට බිලි කළා. ඒ නිසා ලජ්ජාවක් තියෙනව නම් වහාම තනුතුරෙන් ඉල්ලා අස්වෙන්න ඕනෙ.

මේ මැරුණ ජීවිතවලට, තුවාල වුණ පුද්ගලයන්ට වගකියන්න ඕනැ ආරක්ෂක ලේකම්වරයාමයි. ඔහු පුංචිම දැනුම්දීමක් කළා නම්, මේ අද වැටෙන කඳුළු කාගෙන්වත් වැටෙන්නෙ නෑ. ජනාධිපතිවරයා ඔහු සම්බන්ධයෙන් තීරණයක් ගතයුතුයි කියල, අපි දැඩි ලෙස කියනව.

මේ ආරක්ෂක ලේකම්වරයා කියනව, පල්ලිවලට ප්‍රහාරයක් එල්ල වෙනව කියල තොරතුරක් ලැබුණත්, ලංකාවේ තිබෙන සියලුම පල්ලිවලට ඒ අයට ආරක්ෂාව දෙන්න බැරි නිසා ඒක වැඩිය ගණන් ගත්තෙ නැහැල්ලු. මේ අපේ රටේ ආරක්ෂාව බාරව ඉන්න නිලධාරියෙකුගෙ කටින් කියන්න පුළුවන් කතාවක් ද මේ. මේක මහා බොළඳ තුච්ච කතාවක්.

ආයෙ කියනව, හෝටල්වල ආරක්ෂාව හෝටල් විසින්ම බලාගන්න ඕනලු. ඒවාට ආරක්ෂාව දෙන්න රජයට බැහැයිලු. මේ ලේකම්වරයා පුංචිම ‍මොළයක්වත් නැද්ද හිතන්න, ආරක්ෂාව හා ආර්ථිකය කොයිතරම් බැඳිලා තියෙනවද කියලා. අපේ රටේ සංචාරක කර්මාන්තය මෙහෙමවත් තියෙන නිසා තමා ආර්ථිකය මෙහෙමවත් දුවන්නෙ. අද හෝටල්වලට, සංචාරකයන්ට එල්ල වුණු ප්‍රහාරයේ තරම ආර්ථිකයට දැනෙද්දි මේ ලේකම්වරයා ඇමරිකාවේ එංගලන්තයේ පදිංචියට ගිහින් ඉඳීවි. මේ අපරාධයට සම්පූර්ණයෙන්ම වගකිව යුතු ආරක්ෂක ලේකම්වරයාට සමස්ත ලාංකිකයන්ම දැඩි විරෝධය පළ කරනවා.

දැන්වත් මෙවන් විපතක් වීමට පෙර මේ ආරක්ෂක ලේකම්වරයා ඉවත් කරලා සමස්ථ ආරක්ෂක අංශම රටේ ආරක්ෂාවට කැඳවන්න ඕනෙ. එහෙම කරල, ජනතාවගේ ජීවිත ආරක්ෂා කරන්න විධිමත් පියවර ගන්න කියල මේ රජයට අපි බලකර සිටිනවා.

ඒ වගේම මේක ආගමික ගැටළුවක් නොවේ. මේක ත්‍රස්ත ක්‍රියාවක්. ක‍තෝලික මුස්ලිම් බෞද්ධ ගැටලුවක් මෙතැන නැහැ. ඒ නිසා මේ ත්‍රස්තයන් විනාශ කරන්න රටම එකතු වෙන්න ඕනේ.

ඕමල්පේ සෝභිත හිමියන් ඉහත ප්‍රකාශකළේ, කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්තානයේ දී ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාරයෙන් මියගිය පිරිසක ගේ අවසන් කටයුතු සිදු කළ අවමංගල සභාවක දී ය.

මනෝජ්  

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *