කර්තෘ අඥාත බෝම්බ ප්‍රහාර – සම්පත් අමරසිංහ

පසුගිය අප්‍රේල් 21 වන දා අයිෆල් කුළුණෙහි ආලෝකය නිවා දැමුණේ ශ්‍රී ලංකාවේ කතෝලික දෙව්මැදුරු 3ක් හෝටල 4ක් සහ නිවාස සංකීර්ණයක් ඇතුළු ස්ථාන අටක සිදු වූ බෝම්බ පිපිරීමේ ඛේදවාචකය වෙනුවෙන් ශෝකය පළ කිරීමක් වශයෙනි.

ජේසුස් වහන්සේ මරණයෙන් උත්ථානය වීම සැමරීම යෙදුණු පාස්කු ඉරිදා දිනයේ මෙකී බෝම්බ පිපිරීම් අට සිදුවීම විශේෂත්වයකි. ජේසු සමිදානන් මරණයෙන් ගැලවීම සැමරීම වෙනුවෙන් දේව යාච්ඤාවේ යෙදීමට එක්රැස්වූ බැතිමතුනට මරණය වැලළඳ ගැනීමට සිදුවීම කවර ආකාරයකින් ගත්තද දරුණු ඛේදවාචකයකි.

ප්‍රහාර දාමයෙන් මේ ලියන මොහොත වන විට සිදුව ඇතැයි වාර්තා වන මරණ සංඛ්‍යාව 290 කි. එම මරණ සංඛ්‍යාවට Shangri-La, සිනමන් ග්‍රෑන්ඩ් , කින්ස්බරි සහ දෙහිවල හෝටල් වල සිදුවු පිපිරීම් වලින් මියගිය විදේශිකයන් 32 සහ පොලිස් නිළධාරීන් තිදෙනෙකු ද ඇතුලත් ය. මියගිය විදේශිකයින්ගේ මවුරටවල් පිළිබඳ මෙරට සහ විදෙස් මාධ්‍ය තුළ යම් පරස්පරතා ඇති බව පෙනුණ ද ඔවුන් කොහේ හෝ රටකින් සංචාරය සඳහා පැමිණි විදේශිකයන් හෙවත් මෙරටට පැමිණි ආගන්තුකයන් ය. ඒ අනුව ගත් කල විදෙස් රටකින් මෙරටට පැමිණි ආගන්තුක පිරිසකට එවැනි ප්‍රහාරයකට ලක් වීමට සිදු වීම රටක් වශයෙන් සියලු ශ්‍රී ලාංකිකයන් ලැජ්ජාවට කාරණයකි.

ශ්‍රී ලංකාවේ පාස්කු දින ප්‍රහාරය ලෝක මට්ටමෙන් අවධානයට ලක්වූ බව පෙන්වන එකම සාධකය අයිෆල් කුලුනෙහි ආලෝකය නිවීම පමණක් නොවේ. රෝමයේ පාස්කු ඉරිදා දේව මෙහෙයේ දී පාප් වහන්සේ විසින්ද ප්‍රහාරය හෙළා දකින්නට යෙදී තිබුණි. පැරිස් හි ආච් බිෂොප්වරයා පාස්කු ඉරිදා දේව මෙහෙය අමතමින් පවසා තිබුණේ ”අපි අපේ ශ්‍රී ලාංකික සහෝදරයන් ගැන සිතනවා ” යනුවෙනි. යුරෝපා සංගමයේ සභාපතිවරයා ද ශ්‍රී ලංකාවට යුරෝපා සංගමයේ සහය පළ කර තිබුණු අතර බ්‍රිතාන්‍ය අගමැති තෙරේසා මේ විසින්ද ප්‍රහාරය හෙළා දකින්නට යෙදුණි. ‍ත්‍රස්ත ප්‍රහාරය දාමය හෙළා දුටු රටවල් අතරට එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ බහරේන් ආණ්ඩුව ද එක්ව තිබුණි.

1983 කළු ජූලිය, අලුත්ගම සිදුවීම, මහනුවර දිගන ප්‍රදේශයේ සිදුවීම ආදීයේදී මෙන් සිවිල් කෝලාහලයක් දක්වා වර්ධනය වන්නට ඉඩ නොහැර මෙවර බෝම්බ සිද්ධිය පාලනය කර ගැනීමට කටයුතු යෙදීම සම්බන්ධයෙන් ආරක්ෂක අංශ වලටත් ආණ්ඩුවටත් කෘතඥතාව හිමි විය යුතුය. එහෙත් මෙම සිදුවීම සිද්ධ නොවී වළක්වා ගැනීමට නොහැකිවීම සම්බන්ධයෙන් ආණ්ඩුවටත් ආරක්ෂක අංශ වලටත් විවේචන එල්ල වීම වැළැක්විය නොහැකිය.

මෙවර බෝම්බ පිපිරීම් වැල සිදුවන්නේ තිස් වසරක යුද්ධය නිමා වීමෙන් වසර දහයකට පමණ කාලයකට පසුවය. ඒ අනුව වසර දහයක සාමකාමී රටක් වශයෙන් පැවැති ශ්‍රී ලංකාවට මෙකී සිදුවීමත් සමග නැවත වතාවක් මරණ බිය අත් විඳින්නට පටන් ගෙන තිබේ.

අප්‍රේල් 22 දා ආරම්භ වන්නට නියමිතව තිබූ තෙවන පාසල් වාරය දින දෙකකින් කල් තබන්නට ආණ්ඩුවට සිදුවීම. සියලුම විශ්වවිද්‍යාල නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම තීරණය කිරීම. කටුනායක ගුවන්තොටුපලින් නික්ම යාමට බලාපොරොත්තු වන ජනතාවට පැය හතරකට කලින් ගුවන් තොටුපළට ළඟා වන ලෙස ගුවන් තොටුපල බලධාරින් විසින් දැනුම් දෙනු ලැබීම. රාත්‍රී තැපැල් දුම්රිය සියල්ල ඇතුළුව දුම්රිය ගමන්වාර රැසක් අවලංගු කරන්නට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කිරීම. පෞද්ගලික බස් රථ වලට පාර්සල් භාරගැනීමත් අත්හිටුවනු බව බස්හිමියන්ගේ සංගමය විසින් දැනුම් දෙනු ලැබීම. Shangri-La,හෝටලයේ ව්‍යාපාරික කටයුතු නතර කිරීමට හෝටල් කළමනාකාරිත්ව තීරණය කිරීම. ආදිය බෝම්බ ප්‍රහාරයේ අතුරු ඵල වශයෙන් ජනතාවට විඳින්නට සිදුවූ කෙටිකාලීන අපහසුතා වශයෙන් හඳුනාගත හැකිය. ඊට අමතරව whatsapp viber ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලා ද ආරක්ෂක හේතුමත තාවකාලිකව අවහිර කිරීමට ආණ්ඩුව විසින් කටයුතු කිරීමේ සමාජ ජාල මාධ්‍ය හරහා විවිධ තොරතුරු පැතිරීම වැළැක්වීම සහ මහජන සාමය කඩවීම වැළැක්වීම සඳහා ගත් පියවරක් වන බැවින් සමාජ මාධ්‍ය අවහිර කිරීම ප්‍රතික්ෂේප කළ නොහැකි වුවද එය ද යම් ආකාරයකින් සමාජයේ සාමාන්‍ය ක්‍රියාකාරීත්වයට එල්ල වූ බලපෑමකි .

අප්‍රේල් 23 වන දින වන විට පෙරදා බෝම්බ පිපිරීම් වලට කම්පනය මුළුමනින්ම පහව තිබුනේ නැත. කොච්චිකඩේ දේවස්ථානය අසල බෝම්බ සහිත වාහනයක් හමුවීම. කොළඹ මාර්ගයේ වැලිසර නවලෝක ක්‍රීඩාංගණය අසල සැකකටයුතු වාහනයක් හමුවීම. කතෝලික පුද්ගලික පාසල්වල දෙවන පාසල් වාරය ආරම්භ කිරීම අප්‍රේල් 29 දක්වා කල් තබන්නට ගත් තීරණය ආදීය අප්‍රේල් 21 බෝම්බ ප්‍රහාරයේ පසු කම්පන සිදුවීම් වශයෙන් සැලකිය හැකිය.

මඩකලපුව දේවස්ථානයේ බෝම්බය හැරුණු විට ඉතිරි බෝම්බ හතම පුපුරා ගියේ අගනුවර ආසන්නයේදීය. එකම දිනයක පැයකින් කිහිපයක් ඇතුළත ස්ථාන අටක බෝම්බ පිපිරවීම් අතිශය සංවිධානාත්මක කටයුත්තක් බව ආරක්ෂක කටයුතු පිළිබඳ කිසිදු අවබෝධයක් නැත්තෙකුට වුවද වැටහේ. මෙම බෝම්බ පිපිරවීම කාලයක් තිස්සේ සැලසුම් කර මනා සංවිධානයකින් යුතුව කරනු ලැබූ කටයුත්තක් බව පැහැදිලියි.

බෝම්බ ප්‍රහාරයට පසුදින රූපවාහිනී වැඩසටහනකට සහභාගිවෙමින් මව්ලවිවරයෙකු සහ හිමිනමක පවසා සිටියේ අන්තවාදී කටයුතු කරන බවට සැකකරන ඉස්ලාම් ආගමික සංවිධාන දෙකක් පිළිබඳ මීට කලකට ඉහතදී ආරක්ෂක බුද්ධි අංශ දැනුවත් කරන්නට කටයුතු කළ බව ය. එහෙත් එකී සංවිධාන සම්බන්ධයෙන් ආරක්ෂක අංශ පොලීසිය හෝ ආණ්ඩුව යම් සාධනීය පියවරක් ගත් බවත් ජනතාවට මේ වනවිටත් දැනගැනීමට නැත.

ඉස්ලාම් අන්තවාදී වීනාශකාරී කටයුත්තක් සිදු විය හැකි බවට ලැබුණු ආසන්නතම නිදර්ශනය වශයෙන් සැලකිය හැක්කේ මාවනැල්ල ප්‍රදේශයේ බුදු පිළිමවලට හානි කිරීමට කටයුතු කළ මුස්ලිම් තරුණයන් ගේ සිද්ධියයි. ඔවුන් යම් යම් තැන්වලදී පන්ති දෙසුම් පවත්වා ඇති බව පමණක් නොව අවි පුහුණුව පවා ලබා තිබුණු බව පරීක්ෂණවලදී හෙළිව තිබුණි අත්අඩංගුවට ගැනීමට එහා කාරියක් ආරක්ෂක අංශ වෙතින් සිදු වී ද යන්න පැනයකි.

කවර තත්ත්වයක් යටතේ වුව ප්‍රහාර දාමය වලළක්වා ගන්නට අපොහොසත් වීම පිළිබඳ වගකීම් ආණ්ඩුව බාරගත යුතුයි. ප්‍රහාරයෙන් අනතුරුව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පවසා තිබුණේ අන්තවාදී කණ්ඩායම්වල ක්‍රියාකාරකම් නතර කිරීමට පියවර ගන්නා බවයි. අප්‍රේල් 22 පළවූ ප්‍රවෘත්තිය අනුව කියවුනේ එදින මධ්‍යම රාත්‍රියේ සිට හදිසි නීති රෙගුලාසි යටතේ ත්‍රස්තවාදය වැළැක්වීමේ කොන්දේසි පැනවීමට ජාතික ආරක්ෂක කවුන්සිලය තීරණය කර ඇති බව ය. ත්‍රස්තවාදය මුහුකුරා යෑම වැළැක්වීම සඳහා වැනි ක්‍රියාමාර්ග වලට යෑම වැදගත් වන්නා සේම අත්‍යවශ්‍ය වන අතරම ප්‍රතිකාර කිරීමට පෙර වළක්වා ගැනීම යහපත්ය යන මූලධර්මය සිට කල්පනා කරන විට කිව යුතු වන්නේ එම ක්‍රියාමාර්ග සමාන වන්නේ අශ්වයා පැන්නට පසුව ඉස්තාලය වැසීමට බවය. එම ක්‍රියාමාර්ග හරහා හෝ ඉදිරියේදී මෙවැනි සිදුවීම් නැවත ඇති වීම වලක්වා ගත හැකි වේවා යන්න ජනතාවගේ අපේක්ෂාව ය.

වෙනත් රටකදී නම් එවැනි සිදුවීමක් ආරක්ෂක ඇමති ආරක්ෂක ප්‍රධානීන් වැන්නන්ගේ ඉල්ලා අස්වීම් දක්වා යොමු වේ. වාසනාවකට ශ්‍රී ලංකාවේ එවැනිදේ සිදු නොවේ. පසුගිය කාලයේ පොලිස්පතිවරයාට පොලීසියත් ප්‍රමුඛතාව දී කටයුතු කරන පෙනුනේ අන්තවාදය හෝ ත්‍රස්තවාදය වැලැක්වීමට වඩා බීමත් රියදුරන් හා මාර්ග නීති කඩකරන්නන් අල්ලා වාර්තා කිරීමට (හෝ වාර්තා තැබීමට) බව පෙනේ. මාර්ගය ආරක්ෂා කිරීම් වරදක් නොවේ. වරද ඇත්තේ මාර්ග නීති රැකෙන අතර මරාගෙන මැරෙන බෝම්බ පත්තුවීමේය.පාස්කු දිනයේ බෝම්බ පිපිරිම සම්බන්ධයෙන් ජාතික ආරක්ෂක කවුන්සිලය ආරක්ෂක ඇමැති මෙන්ම ත්‍රිවිධ හමුදාවේ අණ දෙන්නා වන ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා ,පොලිස්පති ,ත්‍රිවිධ හමුදාපතිවරු ,බුද්ධි අංශ ප්‍රධානීන් අවම වශයෙන් ස්වයං විවේචනාත්මක වරද පිළිගැනීමක් හෝ කර නොතිබීම ජාතියේ අවාසනාවකි. පවතින තත්ත්වය ඉදිරියේ පැවැත්වෙන වෙසක්,පොසොන් උත්සව, මැයි දිනය, ආදියද ඇත්තේ අවදානම් තත්ත්වයකය. එපමණක් නොව පොදු ප්‍රවාහනයේ යාබද අසුනේ ගමන් කරන තැනැත්තා පිළිබද සැකයෙන් පසුවන්නටත් මගතොට බියෙන් සැකයෙන් ගමන් කරන්නටත් නැවත ජනතාවට සිදුව තිබේ .මෙකි භීතිය තුරන් කළ හැක්කේ පාස්කු පිපුරුමේ හේතුව මුලිනුපුටා ඉවත් කිරීම මගින් එය කළ යුත්තේ ආණ්ඩුව විසිනි . ජනතාව ඊට සහාය ලබාදෙනු ඇත.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *