පාරම්පරික උරුමය – නිශාන්ත කමලදාස

පියකු කැමති තම දරුවාට තැන හදා දී අයින් වීමට ය. එතෙක් කල්, වෙන කෙනකුට නොදී, තමන් අල්ලාගෙන සිටීමට ය. එය රජ කෙනකු සම්බන්ධයෙන් පමණක් නොව වෙනත් තනතුරු සම්බන්ධයෙන් ද අදාළ විය හැකි ය. රජවරු පමණක් නොව මැති ඇමතිවරු බොහෝ දෙනකු තම දරුවන් දේශපාලනයට යොමු කරන්නේ ඒ අරමුණ ඇතිව ය.

බැලූ බැල්මට එහි වැරැද්දක් නැත. අප කාගේත් ප්‍රාර්ථනය දරුවාට යහපත් අනාගතයක් හිමි කර දීම ය.

ඉතිහාසය ගෙන බැලුවත් පෙදරේරුවා කළේ තම දරුවාට පෙදරරේරුකම් හෝ උගන්වා තමන් නැති දවසක ඔහුගේ ජිවිතය යහපත් කරලීමට මගක් සලසා දීම ය. නැට්ටුක්කාරයා, බෙරකාරයා පමණක් නොව දේවාලයේ කපුවා කළේ ද එය ම ය. වෙද මහත්වරු ද පරම්පරාවෙන් පරම්පරාවට වෙදකම අරගෙන ආවේ ඒ අනුව ය. පාරම්පරික වෙදකම යැයි බෝඩ් ඇත්තේ ඒ කතාව අපට සිහිගන්වන්නට ය.

සියල්ල අත්හැර මහණ වූ හාමුදුරුවරු පවා නෑදෑයෙක් මහණ කර ගත්තේ තමන්ගෙන් පසු පන්සල බාර දෙන්නට ය. එහෙම බැලුවහම කොයි කාගේත් හිතේ තියෙන්නේ එකම අරමුණ ය. අතීතයේ පැවති කුල පරම්පරාවන්ට මුල් වූයේ මේ දැක්ම ය. එය හැඳින්වූයේ ලේ උරුමය වශයෙනි.

එහෙත් අද සමාජය, ඒ දෙස, එකල බැලූ ලෙසම බලන්නට සූදානම් නැත. එසේ වෙනස් ලෙස බලන්නට පදනමක් තිබේ ද?

එදා මෙන් නොව අද ඇත්තේ තරගකාරි සමාජයකි. එවන් සමාජයකට ජය ගත හැක්කේ තනතුරු වඩාත් සුදුසු අය විසින් දරනු ලබන්නේ නම් ය. ඒ නිසා පියාගේ වුවමනාව සමාජ වුවමනාවට පටහැනිව යා හැකි ය.

ඊයේ සහ අද

ප්‍රශ්නය තමන්ගේ පුතා සුදුස්සකු කිරීමට පියකු වෙහෙසීම නොවේ. එය සාධාරණ ය. ඒ සඳහා පියකුට කළ හැක්කේ ගුරුහරුකම් ලබා දීම ය. ශිල්ප ශාස්ත්‍ර ලබා දීම ය. ඒවා සඳහා බර පැන දැරීම ය.

ප්‍රශ්නය, ඒ උත්සාහයෙන් පසුව ද සුදුසු නොවන පුතා තනතුරට පත් කිරීමට තාත්තලා කටයුතු කිරීම ය.

ඒ සඳහා මග පාදා ගනු වස් සෙසු සුදුස්සන් විනාශ කිරීම ය. උන්ට යන එන මං නැති කිරීම ය. තර්ජනය කිරීම ය. ඉදිරිපත් නොවන බවට වග බලා ගැනීම ය. වෙට්ටු දැමීම ය. එය අසාධාරණ වනවා පමණක් නොව එයින් සමාජයට අවැඩක් ද වන්නේ ය.

පියකුගේ මේ අවැඩදායක භූමිකාව එදා සමාජයේ ද තිබුණේය. විශේෂයෙන් රජ පවුල් ආශ්‍රිතව තිබුණේ ය. ඇතැම් තැනක ඒ සඳහා තරගයට ඉදිරිපත් විය හැකි සහෝදරයන් පවා මරා දමනු ලැබිණි. එදා එයින් බොහෝවිට බැට කෑවේ එසේ ඉවත් කරනු ලැබූ පුද්ගලයා පමණ ය. අද ලෝකය වඩාත් තරගකාරී වී ඇති නිසා මුළු සමාජයම ඉන් බැට කන්නට පුළුවන. එපමණක් නොවේ. එදා මෙන් නොව අද එය වෙනත් තනතුරු සම්බන්ධයෙන් ද බහුලව යෙදෙන විට තත්වය අර්බුදකාරී ය.

පියාගෙන් පුතාට ලැබුණු රජකම, රජ පෙළපත් අවසන් වීමත් සමග අවසන් වූ නමුත් දකුණු ආසියාවේ එයට අදට ද වලංගුභාවයක් ඇත. මැතිවරණය සඳහා ඉදිරිපත් වන්නේ ද පක්ෂ විසින් ඉදිරිපත් කරනු ලබන්නේ ද මිනිසුන් විසින් ඡන්දය දෙනු ලබන්නේ ද ඒ උරුමය ද සැලකිල්ලට ගනිමිනි. ඒ දකුණු ආසියාවේ මිනිසුන් අතීතයේ ජීවත් වීම නිසා පමණක් නොවේ. ඒ පාරම්පරික උරුමය තුළ ඇති අනිටු විපාක දකින්නට තරම් විචාර බුද්ධියක් ද ඔවුන් බොහෝ දෙනකුට නැති නිසා ය. ඒ සියල්ලටත් වඩා සමාජය තුළ ඒ සම්බන්ධයෙන් ප්‍රමාණවත් සංවාදයක් සිදුවන්නේ නැති නිසා ය.

අද රට මුහුණ පා ඇති අර්බුදයට එක් ප්‍රධාන හේතුවක් වන්නේ සුදුස්සන් කැපී ගොස් නුසුදුස්සන් තනතුරුවලට පත් වීම ය. අද රටේ තත්වය කොසොල් රජුගේ එක් සිහිනයක පරිද්දෙන් ගොම රිටි යට ගොස් මැණික් පාවෙනවා වැන්නට සමාන ය.

ඒ නිසා ම සුදුසස්සන් බොහෝ දෙනකු රට හැර ගොස් ය. ඉතිරි අය පිළිකන්නට තල්ලු කර දමා ය. තාත්තලා තමන්ගේ දරුවන් උඩට තල්ලු කර පුටුවල ඉන්දවා තිබෙන්නේ ය. උන්ට කිසිවක් කර ගන්නට බැරි ය.

නැතිනම් උන් කරන කිසිවක ප්‍රතිඵලයක් නැත. කරන තරමක් අඳ බාල වැඩ ය. ඒ නිසා හැදූ වරායවල් හිස් ය. ගුවන් තොටුපළවලවල මොණරු ය.

ලේ උරුමය දරුවන්ට යැයි කීවාට ඊට අයත් වන්නේ දරුවන් පමණක් නොවේ. ඇතැම් තැනක සහෝදරයන් ය. තවත් තැනක මස්සිනාලා ය. තවත් තැනක බෑණලා ය.

අද මේ තනතුරු ප්‍රදානයේ දී බල පා ඇත්තේ ලේ උරුමය පමණක් නොවේ. ඊට අමතරව වෙනත් උරුමයන් ද ඊට එක් වී ඇත. ඇතැම් විට පරම්පරාවේ නම ගෙනියන උදවිය වෙනුවට තමන්ගේ දැක්ම ගෙනියන උදවියට ද සමාන තල්ලුවක් ලැබෙන්නේ ය.

ලේ උරුමයෙන් ඔබ්බට

විදුලිබලය ගැන සැබෑ විසඳුම් දෙන ඉංජිනේරුවන් වෙනුවට මුල් පුටුවල ඇතැම් විට ඉන්දවෙන්නේ ඒ සඳහා වැසි ඉල්ලා දෙවියන්ට පුද පූජා පවත්වන්නට ඉදිරිපත් වෙන රට රවටන හොරුන් ය.

ඇතැම් විටක අනුග්‍රහ ලබන්නේ රටේ සැබෑ ආයෝජන කරන මිනිසුන් වෙනුවට නුසුදුසු ඵලක් නැති ආයෝජන කරමින් රට ණය කරවන මිනිසුන් ය.

ලේ උරුමය ද දැක්මේ උරුමය ද ඇති මිනිසුන් අවසන් වූ පසු තනතුරු සඳහා පත් කර ගන්නට තවත් පිරිසක් සිටිති. එක තැනක දරුවන්ගේ හිතවතුන් ය. තවත් තැනක ඔවුන්ගේ ගුරුවරුන් ය. තවත් තැනක එක පන්තියේ හිටි සගයින් ය.

ඒ සියල්ල ද ඉක්මණින් අවසන් වෙන නිසා ඊළඟට පෝලිමේ එන්නේ දේශපාලන හිතෛෂීන් ය. එකක් නම් විශ්වාස ය. දැනට අප සඳහන් කළ එක් අයකුවත් එහෙමට සුදුසුකම් තිබෙන අය නොවීම ය.

මේ නිසා තරුණයන්ට සිදු වී ඇත්තේ සුදුසුකම් සපුරාලිම වෙනුවට මේ අමතර සුදුසුකම්, ඉල්ලා සිටින සුදුසුකම්, ලබා ගැනිමට දේශපාලකයන් පසු පස ගොස් රස්තියාදු වීමට ය. මස්තබාල්දු වීමට ය.

දැනටමත් සුදුසුකම් සපුරාගෙන ඇති උදවියට සිදු ව ඇත්තේ ඒ සුදුසුකම් පැත්තක තබා මේ කියන නව සුදුසුකම් එකතු කර ගැනීමට පූජෝපහාර පැවැත්වීමට ය. ඒ සඳහා දේශපාලනඥයන් වෙනුවෙන් උත්සව සංවිධානය කිරිමට ය. තොරන් බැඳීමට ය. පෙරහැර කිරීමට ය. උන්ට දණ්ඩ නමස්කාර කිරීමට ය. උන් කියන පිළිවෙළට පාද තැබීමට ය. නැටීමට ය. ඒවා වෙනුවෙන් තම තනතුරු කඩේ යැවීමට ය.

ඒ නිසාදෝ පාසල් යන දැරියක් දූෂණය කළ දේශපාලනඥයකු ලවා පාසලක ළමුන්ට තෑගි බෙදා දීමට විදුහල්පතිවරයකුට සිදු වූ පුවතක් අපට වාර්තා විය. පුදුමය දේශපාලනඥයා ආණ්ඩු පක්ෂයේ කෙනකු පවා නොවීම ය. ඒ කියන්නේ ඉන්නා ආණ්ඩුවේ ඇත්තන්ට පමණක් නොව ඊළඟට එතැයි සිතන ආණ්ඩුවේ ඇත්තන්ට ද සලකන්නට මේ නව ආරක සුදුසුකම් හඹා යන්නන් පේවි සිටින බව ය.

කඩේ යෑම හා වන්දනාවේ යෑම

ප්‍රශ්නය එතැනින් අවසන් නොවේ. මේ තනතුරු සඳහා පත් වූයේ කවරකු වුව ද පත් වූ දාට සිට උන්ට සිදු වන්නේ ද ලොකු තැන් වෙනුවෙන් සියල්ල සම්පාදනය කර දෙන්නට ය. නැවත බලය ගැනීමට සිල් රෙදි බෙදීමට ය. බයිසිකල් බිත්ති ඔරලෝසු බෙදීමට ය. තනතුරු රැකියා නුසුදුස්සන්ට දීමට ය.

ලොකු තැන්වල හිතෛෂීන්ට කොන්ත්‍රාත් දීමට ය. උන්ට මුදල් පහසුවෙන් උපයා ගත හැකි ලෙස මාර්ග සාදා දීමට ය. ඇතැම් තැනක කම් සැප සපයා දීමට විවිධ දේ සංවිධානය කර දීමට ය. අවශ්‍ය බිලි පූජා කිරීමට ය. ඒ අප කලින් සඳහන් කළ දොළ පිදේනිවලට අමතරව ය.

මෙවන් දේ කරන්නට බල කෙරුණු හා ඒ නිසා නම නරක් කර ගත් කෙනකු එතැනින් නතර වන්නේ නැත. ඔවුන්ගේ ඊළඟ ප්‍රයත්නය මේ අවභාවිතයෙන් කොටසත් තමන්ටත් උරුම කර ගන්නට ය. දේශපාලනඥයින්ගේ වුවමනා ඉටු කර ගන්නා අතර තමන්ගේ වුවමනා ගැන ද වග බලා ගැනීමට ය. දේශපාලනඥයා වෙනුවෙන් නැමූ නීතිය යටින් තමන් ද රිංගා යෑමට ය.

ආචාර ධර්ම සහිත මිනිසුන් මේ කටයුතු රුස්සන්නේ නැත. එයින් ඇතැමකු බිය නිසා ඉවසුව ද අතලොස්සක් සිය විරුද්ධත්වය පළ කරන්නට ඉඩ තිබේ. ඔවුන් ගැන වග බලා ගැනීමට ද මේ තනතුරු ලෝභි මිනිසුන් විසින් කටයුතු කරනු ඇත. ඒ නිසා එවැනි අවංක මිනිසුන්ට හිමිවන්නේ රජයේ “පූල්“ එක ය. එහෙම නැත්නම් වැදගත්කමක් නැති ආයතනයේ “සයිබීරියාව“ ලෙස සලකන අංශයන් ය. තව දුරටත් එවන් මිනිසුන්ගේ කට හඬ අපට ඇසෙන්නේ නැත.

සුදුස්සන් එක්කෝ ගොළු කර තිබෙන නිසා, නැත්නම් කටහඩ නොඇසෙන මානයකට තල්ලු කරනු ලැබ තිබෙන නිසා, සිදුවන්නේ කුමක් දැයි රට දන්නේ නැත. ඒ එවැන්නක් දැන ගන්නට තිබෙන බොහෝ මාධ්‍ය තුළ ද සිදුවන්නේ ඒ දෙයම නිසා ය. හදිසියේ කෙනෙක් කෑ ගසා කිව්ව ද ඒවා ඇහෙන උන් ද නැත.

අවබෝධය ඇති තැන

මේ තත්වය පිළිබඳ අවබෝධය නිසා ම තමන් විසින් ම අරඹා ඇති තමන්ගේ ම ව්‍යවාස තුළ වුව ද බුද්ධිමත් හිමිකරුවෝ දරුවන්ට එකවර ජේෂ්ඨ තනතුරු ප්‍රදානය කිරීමෙන් වළකින්නෝ ය. දරුවන් ද පහළ සිට අවශ්‍ය කුසලතා සපුරාගෙන ආයතන තුළ වැඩි ඉදිරියට ආ යුතු යැයි ඔවුහු උදක් ම විශ්වාස කරති. ඒ දරුවන් පමණට ම තමන් ගොඩ නැගූ ආයතනවලට ද ඔවුන් ආදරය කරන නිසා ය.

එහෙත් රටක පාලකයන්ට රට ගැන එහෙම ඇල්මක් නැත. මේ උන් තැනූ හෝ උන් විසින් ගොඩ දා ගත් රට නොවන නිසා ය. ප්‍රශ්නය ඇත්තේ එතැන ය. ඒ නිසා ම උත්තර නැත්තේ ද එතැන ය.

පාරම්පරික උරුමය අනුව තමන්ට ඒ තැන ලැබිය යුතු යැයි සිතන අමන දරුවන් ද මුකුත් නොකර බන්දේසියක තබා ඒ තැන තමන්ට ලැබෙතැයි සිතා පිස්සු ම කෙළිම ගැන උදාහරන අපේ රටින් නම් ඕනෑ තරම් සොයාගත හැකි ය. උන් ගැවසෙන්නේ වැඩිපුරම නයිට් ක්ලබ්වල ය. එලවන්නේ රේසින් කාර් ය. ඒ කියන්නේ නිකම් කාර් පවා එලවන්නේ ඒවා රේසින් යයි සිතාගෙන බව ය. ඒ නිසා ම උන්ගේ වාහනවලට අසුවන අසරණයන් බොහෝ ය. රටේ පොදු සම්පත් උන්ට රිසි ලෙස භාවිතා කළ හැකි සහ තමන්ගේ ම සම්පත් ලෙස උන් විසින් සලකනු ලබන්නේ ය.

පාරම්පරික උරුමය ඉල්ලා සිටීමට ජීව විද්‍යාත්මක පදනමක් ඇතැයි කෙනකුට තර්ක කළ හැකි ය. පියාගේ උරුමය එක්තරා දුරකට ජාන හරහා ද ලැබිය හැකි නිසා ය. සත්‍යයය නම් වෙන කුමන කුසලතාවය ජානවල ලියැවී තිබුණ ද නායකත්වය නම් එසේ නොලියවෙන බව ය. එය කලාවක් ලෙස කාලයක් තිස්සේ ප්‍රගුණ කිරීමෙන් හදා වඩා ගතයුතු ශිල්පයක් බව ය. නායකත්වය ඇරුණු කොට එසේ කාලයක් තිස්සේ ප්‍රගුණ කළ යුතු වෙනත් කුසලතා සම්බන්ධයෙන් ද ඒ කතාව නායකත්වය තරමට ම අදාළ වන්නේ ය.

එය තවත් විස්තර කරතොත් දරුවකුට පියකුගේ කුසලතා හිමි කර ගැනීමේ ශක්‍යතාවයක් ජාන නිසා තිබිය හැකි ය. එහෙත් ඔහු හෝ ඇය ඒ කුසලතාවය ලබා ගන්නවා ද යන්න ඒ සඳහා තමන් දරන උත්සහය හා කරන කැපවීම මත තීරණය වන්නේ ය. පිය උරුමයෙන් ලැබිය යුතු යැයි සිතා අත පය අකුලාගෙන සිටියොත් එය ඔහු හෝ ඇය අසලකටවත් නො පැමිණෙනු ඇත්තේ ය.

ආයතනයක සියළු සම්පත් අතරින් තීරණාත්මක වන්නේ මානව සම්පත යැයි කියනු ලැබේ. එසේ කියන්නේ සෙසු සම්පත් නිසි ලෙස භාවිතා කිරීම තීරණය වන්නේ ද වැදගත් තැන්වල නිසි මිනිසුන් සිටිනවා ද යන්න අනුව නිසා ය. ඒ නිසා සුදුස්සාට සුදුසු තැන හිමි වීම සාධාරණත්වය පිළිබඳ ගැටලුවක් පමණක් නොවන්නේ ය. එය ආයතනයක රටක ඉරණම තීරණය කරන කාරණයක් ද වන්නේ ය.

සමහරු සුදුසුකම හැටියට දකින්නේ අධ්‍යාපන සහතික පමණ ය. සමහර වෘත්තීන් සම්බන්ධයෙන් එය පැහැදිලිව ම අදාළ ය. උදාහරණයක් ලෙස ඉංජිනේරුවකු, වෛද්‍යවරයකු, නීතිඥයකු වීමට තාක්ෂණික සුදුසුකම් අවශ්‍ය ය. නමට ඉංජිනේරුවරයකු දොස්තර කෙනකු හෝ නීතිඥයකු වීමට නොව එම ක්ෂේත්‍රය තුළ ප්‍රායෝගිකව යෙදීමට ඒ තාක්ෂණික සුදුසුකම් නැතිව අපහසු ය.

තීරණාත්මක සම්පත අහිමි වීම

එහෙත් ඇතැම් වෘත්තීන් සඳහා එවැනි පැහැදිලි නිර්ණායක නැත. දේශපාලනය ඊට එක් උදාහරණයකි. ආයතනයක ප්‍රධානියා යනු තවත් එවැනි තනතුරකි. එවන් තනතුරකට අවශ්‍ය වන්නේ නිශ්චිත අධ්‍යාපන සුදුසුකම් නොවේ. සුදුසුකම් සහිත පුද්ගලයන් යොදාගෙන වැඩ ගැනීමට ඇති හැකියාව ය. ඒ සඳහා අධ්‍යාපන සහතික වැදගත් නැත. එයින් අදහස් කරන්නේ ඒ තනතුරු ඕනෑම කෙනකු විසින් දැරිය හැකි බව නොවේ. අප කලින් ද සඳහන් කළ ලෙස ඒවා සඳහා නායකත්ව කුසලතා අවශ්‍ය වෙයි. ඒ කුසලතා කාලයක් තිස්සේ ගොඩ නගා ගතයුතු කුසලතා ය. වැරදීම්වලින් ඉගෙන ගනිමින් ගොනු කරගත යුතු කුසලතා ය. විවිධ අවස්ථාවලට මුහුණ දෙමින් ඒවායින් උගෙන උකහා ගතයුතු කුසලතා ය.

කුසලතා පමණක් ප්‍රමාණවත් නැත. ඒ ක්ෂේත්‍රය පිළිබඳ යම් දැනුමක් තිබීම ද ඇතැම් තැනක වැදගත් විය හැකි ය. ඒ තාක්ෂණික දේ තේරුම් ගැනීමට ය. එපමණක් නොවේ. ලෝකය පිළිබඳ පළල් දැනුමක් තිබීම ද අවශ්‍ය ය. ඒ එම දැනුම ලෝකයේ වෙනත් ක්ෂේත්‍රයන්හි සිදුවන සිද්ධින් සමග බද්ධ කර බැලීමට ය.

එපමණක් නොවේ. අප කලින් කී වෘත්තික තනතුරුවලට වඩා මේ නායකත්ව තනතුරු තීරණාත්මක ය. සුදුසුකම් ඇත්තන් දිරි ගන්වා ඔවුන්ට ඉඩ හසර සලසමින් ආයතනය හෝ රට ඉදිරියට ගෙන යෑම හෝ ඔවුන් අකර්ණම්‍ය කරමින් අධෛර්ය කරමින් ආයතනය හෝ රට අගාධයට තල්ලු කිරීම හෝ සිදුවන්නේ මේ තනතුරු දරන්නන්ගේ කල් ක්‍රියාව අනුව ය. ඒ නිසා ම ඒවා සඳහා සුදුසුකම් තිබිම අවශ්‍ය ය. පළපුරුද්ද තිබීම අවශ්‍ය ය. තාක්ෂණික මතයන්ට කන් දෙන චරිතයක් තිබීම අවශ්‍ය ය. කඩයක්වත් කළමනාකරණය කර නැති කෙනකුට ගුවන් සමාගමක් බාර දීම විහිළුවක් වන්නේ ඒ අනුව ය.

මේ තත්වයේ පැහැදිලි වෙනසක් සිදුවිය යුතුය.

නිශාන්ත කමලදාස

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *