|

ආර්ථි‍කයේ යාන්ත්‍රණය – 2 වෙළෙඳ පොළ, ප්‍රාග්ධනය, නිෂ්පාදන ක්‍රියාවලිය හා අතිරික්තය -සී ජේ අමරතුංග

වෙළඳ පොලේ පැවැත්ම තීරණය වන්නේ ප්‍රයෝජ්‍ය වටිනාකම් ලබාගැනීමේ ක්‍රියාවලිය මත බව කාල් මාක්ස් කියයි. ප්‍රාග්ධනය කෘතියේ දෙවන පරිච්ඡේදයේ ඔහු ඒ ගැන සඳහන් කරන්නේ මෙසේය.

“ඔහුගේ භාණ්ඩයෙන් ඔහුට ඍජු ප්‍රායෝජ්‍ය වටිනාකමක් (Use Value) නැත. එසේ නොවේ නම්, ඔහු එය වෙළෙඳ පොලට රැගෙන එන්නේ නැත. එහි අන් අයට ප්‍රයෝජ්‍ය වටිනකමක් ඇත. එසේ වුවද ඔහුට එහි ඇති එකම ප්‍රයෝජ්‍ය වටිනාකම නම්, ඒ තුළ හුවමාරු වටිනාකමක් ගැබ්ව තිබීමයි. එමගින් හුවමාරු මාධ්‍යයක් වීමයි. එම නිසා එම භාණ්ඩය අත්හැර තමන්ට ප්‍රයෝජනයක් ඇති වෙනත් වෙළඳ භාණ්ඩයක් අත්පත් කර ගැනීමට ඔහු හිත හදා ගනී. සෑම වෙළෙඳ භාණ්ඩයක්ම එහි හිමිකරුවන්ට ප්‍රයෝජ්‍ය වටිනාකමක් නොමැති අතර එවා හිමිකරුවන් නොවන අයට ප්‍රයෝජ්‍ය වටිනාකමක් ඇත්තකි. එහි ප්‍රතිඵලය වන්නේ සෑම භාණ්ඩයක්ම එකිනෙක හුවමාරු වීමයි.”

මෙලෙස වෙළඳ පොලේ දී සිදුවන්නේ තමන්ට ප්‍රයෝජ්‍ය වටිනාකමක් නැති භාණ්ඩ විකුණා දමා ප්‍රයෝජ්‍ය වටිනාකමක් ඇති භාණ්ඩ අත්පත් කර ගැනීමයි. වෙළෙඳ පොල පවතින්නේ මෙම ක්‍රියාවලිය වශයෙනි.

මෙ‍හිදී රූපාන්තරණ ක්‍රියාවලි කීපයක්ම සිදුවෙයි. පළමුවැන්න භාණ්ඩ විකිණීමයි. එනම් වෙළෙඳ භාණ්ඩය මුදල් බවට රූපාන්තරණය වීමයි. දෙවනුව අලුත් භාණ්ඩයක් අත්පත් කරගැනීමයි. මිල දී ගැනීමයි. එවිට යළි මුදල් වෙළෙඳ භාණ්ඩය බවට රූපාන්තරණය වෙයි. මේ රූපාන්තරණයන් දෙකම එකට ගත්විට සෑදෙන්නේ වෙළෙඳ භාණ්ඩය – මුදල් – වෙළෙඳ භාණ්ඩයක රූපාන්තරණයයි. වෙළෙඳ භාණ්ඩය C ලෙස හා මුදල් M ලෙස ගතහොත් මෙම රූපාන්තරණය C-M-C ලෙස සැලකිය හැකිය. කාල් මාක්ස් ට අනුව මෙම රූපාන්තරණයේ දී සිදුවන්නේ වටිනාකම් හුවමාරුවකි. එනම් මුලදී විකුණූ භාණ්ඩයේ හා පසුව මිල දී ගත් භාණ්ඩයේ වටිනාකම් සමාන වීමයි. එනම් තමන්ට ප්‍රයෝජ්‍ය වටිනාකම් නැති භාණ්ඩයක් විකුණා ප්‍රයෝජ්‍යක් ඇති භාණ්ඩයක් ලබා ගැනීමයි. මෙම C-M-C රූපාන්තරණයේ දී හුවමාරු වන්නේ සමාන වටිනාකම්ය.

මීට වඩා වෙනස් රූපාන්තරණයක් වෙළෙන්දා ගේ පැත්තෙන් සිදුවෙයි. ඔහු පටන්ගන්නේ මුදල් වලිනි. පළමු වැන්න මුදල් දී භාණ්ඩයක් මිල දී ගැනීමයි. එවිට මුදල් වෙ‍ළෙඳ භාණ්ඩයක් ලෙස රූපාන්තරණය වෙයි.  M-C වශයෙනි. ඊළඟට එම වෙළෙඳ භාණ්ඩය විකුණා මුදල් ලබාගනී. C-M වශයෙනි. එසේ වුවද එහිදී කලින් එම භාණ්ඩය ගත් මිලට විකිණීමේ තේරුමක් නැත. ඊට වැ‍ඩි මුදලක් ලැබීම අවශ්‍යය.  එසේ නොවේ නම්, වෙළෙන්දාට මෙම ගනුදෙනුව කිරීමේ වුවමනාවක් නැත. එවිට රූපාන්තරණය වෙන්නේ මුදල් – වෙළෙඳ භාණ්ඩය – මුදල් සහ වැඩිපුර මුදලක් වශයෙනි. එනම් M-C-M+m වශයෙනි. ප්‍රහෙලිකාව මතු වෙන්නේ මෙතැනිනි. වෙළෙඳ පොලේ මූලධර්මය සමාන වටිනාකම් හුවමාරුව නම් මෙම වැඩිපුර මුදල ලැබෙන්නේ කොහෙන්ද යන්නයි. එය වෙළෙඳ පොලේ නිෂ්පාදනය වන්නක්ද? නැතහොත් එය වෙළෙඳ පොලට පිටතින් ලැබෙන්නේද?

ඇඩම් ස්මිත්, ඩේවිඩ් රිකාඩෝ, කාල් මාක්ස් ආදී සියලුම ආර්ථික විද්‍යාඥයන්ගේ පොදු අදහස වූයේ වටිනාකම නිපදවෙන්නේ ශ්‍රමය මගින් බවයි. එනම් නිෂ්පාදන ක්‍රියාවලිය තුළිනි. එසේ නම් වෙළෙඳ පොලේ දී වෙළෙන්දා ලාභය ලෙස උපයාගන්නා මුදල ලැබෙන්නේ නිෂ්පාදනයෙනි. නිෂ්පාදකයා තම ලාභයෙන් කොටසක් වෙළෙඳ පොලට ලබා දී ඇත. වෙළෙඳ පොලේ දී භාණ්ඩයක වටිනාකම වෙනස් වෙන්නේ නැත. වෙනස් වන්නේ එහි මිල පමණකි. භාණ්ඩයක වටිනාකම හුවමාරු ක්‍රියාවලිය තුළ දී නොවෙනස්ව පවතියි. දැන් අප අවධානය යොමු කළ යුතු වන්නේ අතිරික්තය නිෂ්පාදන කෙරෙන ධනපති නිෂ්පාදන ක්‍රමයේ ක්‍රියාකාරිත්වය සම්බන්ධ යෙනි.

ප්‍රාග්ධනය

ප්‍රාග්ධනය යන්නේන් සාමාන්‍ය ආර්ථික විද්‍යාවේ හඳුන් වන්නේ ව්‍යාපාරයක් ආරම්භ කිරීම සඳහා යොදවන මුදලයි. නැතහොත් ආරම්භ කර පවත්වාගෙන යාම සඳහා යොදවන මුදලයි. ධනයයි. කම්හල ගොඩනැගීම, යන්ත්‍ර සූත්‍ර ගැනීම හා සවිකිරීම ආදියේ සිට අමුද්‍රව්‍ය, වෙනත් යෙදවුම් හා වැටුප් ගෙවීම දක්වා අවශ්‍ය මුදල මෙයින් අදහස් වෙයි.

ප්‍රාග්ධනය පිළිබඳ මාක්ස්ගේ අදහස් මීට තරමක් වෙනස්ය.  කාල් මාක්ස්ට අනුව ප්‍රාග්ධනය යනු චලනය වන වටිනාකම් (Value in Motion) ය. එය ධනපති නිෂ්පාදන ක්‍රියාවලියේ එක් එක් අවස්ථාවල දී එකිනෙකට වෙනස් ලෙස රූපාන්තරණය වෙයි. මුල් අවස්ථාවේ එය මුදල් ප්‍රාග්ධනය ලෙස පවතී. එයින් ධනපතියා නිෂ්පාදන යෙදවුම් හා ශ්‍රමය යන වෙළෙඳ භාණ්ඩ මිල දී ගනු ලබයි. එම වෙළෙඳ භාණ්ඩ ඒ මොහොතේ ප්‍රාග්ධනය පවතින ආකාරයයි. නිෂ්පාදන ක්‍රියාවලියට එම භාණ්ඩ යොදවා කිසියම් නිෂ්පාදිතයක් නිපදවයි. එය ද වෙළෙඳ භාණ්ඩයකි. එයට ප්‍රයෝජ්‍ය වටිනාකමක් හා එනිසාම හුවමාරු වටිනාකමක් හිමිය. එවිට ප්‍රාග්ධනය පවතින්නේ එම වෙළෙඳ භාණ්ඩය වශයෙනි ඉන්පසු එය විකුණා යළිත් මුදල් උපයාගනිති. ඒ මුලින් යෙදූ මුදලට අමතරව තව මුදලක් වශයෙනි. ආර්ථික වටිනාකමක් වශයෙනි.

එලෙස උපයා ගන්නා මුදලින් කොටසක් ධනපතියාගේ යැපුම් සඳහා වෙන්වනු ඇත. තවත් කොටසක් යළිත් යොදවනු ඇත්තේ යළිත් වතාවක් නිෂ්පාදන යෙදවුම් හා ශ්‍රමය මිල දී ගැනීම සඳහාය. මෙලෙස ප්‍රාග්ධනය යනු ක්‍රියාවලියකි. කර්මාන්ත ශාලා ඉදිරිකිරීම් යන්ත්‍ර සූත්‍ර මිල දී ගැනීම් ආදී සියල්ලම මෙම ක්‍රියාවලියේම කොටස් වෙයි.

මෙම නිෂ්පාදන ක්‍රියාවලියේ දී සුවිශේෂී ගුණයෙන් යුතු වෙළෙඳ භාණ්ඩ දෙකක් අපට හමුවෙයි. ධනපති නිෂ්පාදන ක්‍රමයේ පැවැත්මට ප්‍රධාන ලෙස දායක වන්නේ මෙම සුවිශේෂී වෙළෙඳ භාණ්ඩ දෙකයි. එනම් මුදල් හා ශ්‍රමයයි.

මුදල්

අද වන විට මුදල් යනු මුද්‍රිත කඩදාසි විශේෂයක් බවට පත්ව තිබුණ ද අතීතයේ දී මුදල් ලෙස පැවතියේ රත්රන්, රිදී හා තඹ ආදියයි. ඒ මුදල් වෙළෙඳ භාණ්ඩ වශයෙන් පැවතුණි. අනෙකුත් සියලුම වෙළෛඳ භාණ්ඩ වල වටිනාකම් තීරණය වූයේ මෙම භාණ්ඩවලට සාපේක්ෂ වශයෙනි.

මුදල් වල ප්‍රයෝජ්‍ය ව‍ටිනාකම වන්නේ වටිනාකම් තීරණය කිරීමේ විශ්ව සම්මත මිනුම් ලෙස ක්‍රියා කිරීමයි. එනම් ඕනෑම භාණ්ඩයක වටිනාකම මෙමගින් ප්‍රකාශ කිරීමට හැකියාව ලැබීමයි. අප කලින් සඳහන් කළ පරිදි වෙළෙඳ භාණ්ඩයක වටිනාකම යනු භාණ්ඩ හා භාණ්ඩ අතර පවත්නා සමාජ සම්බන්ධතාවයන් වන නිසා සෑම භාණ්ඩයක් සමගම එම සබඳතාවය පැවත්විය හැකි එක් වෙළෙඳ භාණ්ඩයක් තිබිය යුතුය. මුදල් ඉටු කරන්නේ එම කාර්යභාරයයි.

මුදලේ අනෙකුත් ගුණාංගය වන්නේ එය අත්පත් කර ගැනීමට සීමාවක් නොතිබීමයි. අනෙක් සෑම වෙළෙඳ භාණ්ඩයක්ම අත්පත් කර ගැනීමට හා ඒවායේ ප්‍රායෝජ්‍ය වටිනාකම් ලබා ගැනීමට සීමාවක් ඇත. ඇඳුම් පැලඳුම් වලට, පාවහන්, ඔර්ලෝසු, යාන වාහන ආදී සියලුම භාණ්ඩවල ප්‍රයෝජ්‍ය වටිනාකම් ලබා ගැනීමට සීමාවක් ඇත. කිසිවෙකුට පාවහන් යුගල පන්දහසක් දස දහසක් තබා ගැනීමට අවශ්‍ය නොවනු ඇත. නැව් බඳ දෙකක් තුනක් තරම් බඩක් නැතිව ධනපතියෙක් වෙලා කුමන ඵලයක්දැයි මැක්සිම් ගෝර්කි විමසුවේ මේ නිසාය.

එම සීමාව නැති වෙළෙඳ භාණ්ඩය මුදල්ය. මුදල් අත්පත් කර ගැනීමට සීමාවක් නැත. නිෂ්පාදන ක්‍රියාවලියට නැවත නැවත යොදවමින් මුදල් වර්ධනය කළ හැකිය. බැංකු තැන්පතු වශයෙන්, ව්‍යාපාර ආයෝජන හෝ කොටස් හිමිකම් වශයෙන් මුදලේ වටිනාකම පවත්වාගෙන යා හැකිය. මෙලෙස සීමාවක් නොමැතිව මුදල් රැස්කිරීමේ හැකියාව වත්මන් ධනපති ක්‍රමය පවත්වාගෙන යාමට හැකිවීමේ ප්‍රධාන සාධකයකි.

වෙළෙඳ භාණ්ඩයක වටිනාකම තීරණය වන්නේ එය නිපදවීමට සමාජිය වශයෙන් අවශ්‍ය ශ්‍රම කාලය මගින් බව මුලින් අපි ප්‍රකාශ කළෙමු . මුදල් වෙළෙඳ භාණ්ඩයක් නම් එහි වටිනාකම හා ශ්‍රමය අතර සම්බන්ධය කුමක්ද යන ප්‍රශ්නය මතුවෙයි . රන්, රිදී , තඹ මුදල් භාවිත වූ අතීතයේදී මෙම ප්‍රශ්නය මතුවුයේ නැත . එම ලෝහ නිෂ්පාදනය සදහා ශ්‍රම කාලයක් වැයවෙයි . එසේ වුවද එම කාසි තුළ නියම ලෝහ ප්‍රමාණය අඩංගු වී ඇත්ද යන්න සහතික කළ යුතු විය . එමනිසා කාසි නිකුත්කිරීම රජයේ අධිකාරිය යටතේ සිදුවිය යුතු විය .

පසු කලෙක රාජ්‍යයන් රන් සංචිත තබා ගනිමින් එම ප්‍රමාණයට කඩදාසි නෝට්ටු නිකුත් කරන ලද්දේ එහි වටිනාකම ගෙවීමේ වගකීම භාර ගනිමිනි .එවිට ප්‍රශ්නය වුයේ රජය වැඩිපුර මුදල් නෝට්ටු නිකුත් කළහොත් කුමක් වේද යන්නයි . ඒ ගැන මාක්ස් කිවේ රජය රන් සංචිත ප්‍රමාණය මෙන් දෙගුණයක් පවුම් නෝට්ටු නිකුත් කළහොත් රන් පවුම අවුන්සයකින් හතරෙන් එකක් වනවා වෙනුවට අටෙන් එකක්  බවට පත්වන බවයි . ඒ එකල මුදලේ අගය තීරණය වූ ක්‍රමයයි .

කෙසේ වෙතත් රන් හා මුදල් අතර මෙම සම්බන්දය රිචඩ් නික්සන් ජනාධිපතිවරයා විසින් 1971 දී බිඳ දමන ලදී . බොහෝ දෙන කියන්නේ එය ආර්ථික තීරණයක් නොව දේශපාලන තීරණයක් බවයි . එකල ලෝක වෙදෙන්දපොලට ප්‍රධාන රන් සැපයුම් කරුවන් වුයේ සෝවියට් දේශය හා දකුණු අප්‍රිකාවයි . සීතල යුද්දයේ ඉහලම අවධිය වූ මෙම කාලයේ ලෝකයේ මුදල් පාලන බලය මෙම රටවලට  හිමිව තිබෙනවාට ඇමෙරිකාව කැමති වුයේ නැත .

ඉන් පසු කාලයේ මහා බැංකු කළේ තම මුදල රැකගැනීමට ප්‍රමාණවත් රන් සංචිත හා වෙනත් සක්තිමත් විනිමය සංචිත තබා ගනිමින් මුදල් නෝට්ටු නිකුත් කිරීමයි .පරාශය වන්නේ මෙම මුදල් නෝට්ටුවල වටිනාකම තීරණය වන ආකාරයයි . එය පහත සදහන් ආකාරයට තේරුම් ගත හැකිය .

කල්  මාක්ස් කිවේ “ මුදල් යනු වෙළෙඳ භාණ්ඩවල වටිනාකම් ස්වරුපය මිස අන් යමක් නොවන “ බවයි . එනම් මුදල් යනු ඒ සමග හුවමාරු වීමට ඇති භාන්දවලවටිනකම බවයි . එවිට මුදලට වටිනාකම ලැබෙන්නේ ඒ සමග හුවමාරු වන භාණ්ඩ වලිනි . ශ්‍රමයේ සම්බන්ධය තිබෙන්නේ එතනය .

රටක යම්  භාණ්ඩ හා සේවා ප්‍රමාණයක් නිෂ්පාදනය වන්නේ නම් එරට රජය යම් මුදල් ප්‍රමාණයක් වෙළදපොලට නිකුත් කරයි නම් එම මුදල් ප්‍රමාණයේ වටිනාකම වන්නේ භාණ්ඩ හා සේවාවල වටිනාකමේ එකතුවයි . රජය දෙගුණයක් මුදල් නිකුත් කළ හොත් මුදලේ අගය අඩකින් අඩුවෙයි . උද්ධමනය ඇතිවෙයි . ආණ්ඩු තම වියදම් පියවා ගැනීමට  වැඩි වැඩියෙන් මුදල් නිකුත් කළහොත් උද්ධමනය වැඩි වැඩියෙන් ඉහල යයි .

ඒ අනුව මුදලේ අගය ද තීරණය වන්නේ රටේ සමස්ත නිෂ්පාදනය සදහා සමාජමය වශයෙන්  අවශ්‍ය ශ්‍රම කාලය අනුවය .

ශ්‍රමය

ශ්‍රමය ද විශේෂ ගුණයකින් යුතු වෙළෙඳ භාණ්ඩයකි. එහි ඇති විශේෂ ගුණය වන්නේ එයට වටිනාකම් නිපදවීමේ හැකියාවක් තිබීමය. වෙනත් කිසිදු වෙළෙඳ භාණ්ඩයකට හෝ වෙන කිසිවකට එම හැකියාව නැත.

කම්කරුවාගේ ශ්‍රමය ධනපතියා විසින් මිල දී ගනු ලබයි. ඒ කිසියම් වැටුපකටය. එම ශ්‍රමය ධනපතියා විසින් නිෂ්පාදන ක්‍රියාවලියට යොදවයි. ඒ නිෂ්පාදන යෙදවුම් සමගය. අවසානයේ යම් වෙළෙඳ භාණ්ඩයක් නිපදවයි. එම භාණ්ඩය සඳහා යෙදවූ යෙදවුම්වල හා ශ්‍රමයේ මිලට වඩා වැඩි වටිනාකමක් එය සතුය. එය ශ්‍රමයේ පුතිඵලයකි. ධනපතියා තම ලාභය ලෙස අත්කර ගන්නේ කම්කරුවාගේ ශ්‍රමයෙන් නිපයූ එම කොටසයි. එනම් අතිරික්ත වටිනාකමයි. එලෙස වටිනාකම් නිපදවිය හැක්කේ ශ්‍රමයට පමණක්ය යන්න කාල් මාක්ස්ගේ අදහසයි.

කම්කරුවාගේ ශ්‍රමයට ධනපතියා වැටුප් ලෙස ගෙවන්නේ එහි නිෂ්පාදන වියදමයි. එනම් කම්කරුවාට ජීවත් වීමට, අඹු දරුවන් රැකීමට හා අනෙකුත් මූලික අවශ්‍යතා ලබාගැනීමට අවශ්‍ය මුදලයි. ඊළඟ දිනයේ සේවය සඳහා කර්මාන්ත ශාලාවේ දොරටුව ළඟට පැමිණීමට ප්‍රමාණවත් මුදලයි. කම්කරුවා තම ශ්‍රමයෙන් නිපදවන ඉතිරි වටිනාකම ධනපතියා අත්පත් කර ගනී. ඒ එම නිෂ්පාදන ක්‍රියාවලියේ හිමිකරු වශයෙනි. ඔහු හිතන්නේ කම්කරුවාට රැකියාවක් දීමෙන් තමන් සමාජ මෙහෙවරක් නැතහොත් පුන්‍ය ක්‍රියාවක් ද කරන බවයි.

යන්ත්‍ර සූත්‍ර

අපගේ ප්‍රයෝගික අත්දැකීම වන්නේ යන්ත්‍ර සූත්‍ර මගින් නිෂ්පාදනය වේගවත් කරන බවයි. ශ්‍රමයේ ඵලදායිතාව ඉහළ දමන බවයි. එවිට වැඩි නිෂ්පාදනයක් කළ හැකිය. එසේ නම් වටිනාකම් නිපදවීමේ හැකියාව යන්ත්‍ර සූත්‍රවලට නැත්ද? එය තරමක ප්‍රහේළිකාවකි. එසේ වුවද මාක්ස්ගේ අදහස වන්නේ යන්ත්‍ර සූත්‍ර වලට නිෂ්පාදන ක්‍රියාවලිය වේගවත් කළ හැකි වුවද එයින් වැඩි වටිනාකම් නිපදවෙන්නේ නැති බවයි.

එය අප මෙසේ තේරුම් ගන්නට උත්සාහ දරමු. අත්යන්ත්‍ර රෙදි නිෂ්පාදකයාගෙන් බලවේග නිෂ්පාදනයට පරිවර්තනයේ දී කලින් පැය දොළහකින් කළ නිෂ්පාදනය පැය හයකින් කළ හැකි වූ බව අපි සඳහන් කළෙමු. දවස් දෙකක නිෂ්පාදනය දවසකින් කළ හැකිවීමයි. එහි ප්‍රතිඵලය මිල පහත දැමීමට හැකිවීමයි. වැඩි වටිනාකමක් නිපදවීම නොවේ.

එනම් බලවේග යන්ත්‍ර මගින් සිදු වූයේ නිෂ්පාදනය සඳහා සමාජයීය වශයෙන් අවශ්‍ය ශ්‍රමය අඩකින් අඩුවීමයි. එනම් රෙදිවල වටිනාකම අඩකින් අඩුවීමයි. නමුත් දිනකදී කරන නිෂ්පාදනය දෙගුණ වී ඇත. එවිට දිනක කරන නිෂ්පාදනයේ වටිනාකමේ වෙනස් නැත.

ප්‍රයෝජ්‍ය වටිනාකම් (Use Velue) වශයෙන් ගතහොත් කතන්දරය වෙනස්ය. දැන් දිනකට නිපදවන රෙදි ප්‍රමාණය පෙර මෙන් දෙගුණයකි. ප්‍රයෝජ්‍ය වටිනාකම දෙගුණයකි. මෙයින් පෙනෙන්නේ යන්ත්‍ර සූතුවල වර්ධනය නිසා භාණ්ඩ වටිනාකම හා එනිසාම මිල පහළ යන අතර ප්‍රයෝජ්‍ය වටිනාකම් නිෂ්පාදනය වැඩි වන බවයි.

කම්කරුවකුට තම ශ්‍රමයෙන් නිපදවිය හැකි ප්‍රයෝජ්‍ය වටිනාකම් ප්‍රමාණය වැඩි වන විට ඔහුට හිමිකර ගත හැකිවන ප්‍රයෝජ්‍ය වටිනාකම් ප්‍රමාණය ද වැඩි වෙයි. එයින් කම්කරුවාගේ පාරිභෝජන රටාව වෙනස් වන අතර පෙරදී පරිභෝජනය නොකළ දෑ හිමිකර ගැනීමට හැකිවෙයි. මේ වනවිට අපට පෙනෙන්නට තිබෙන්නේ මෙම කාරණයයි. මීට වසර පණහකට පෙර කම්කරු වැඩ වර්ජනයක නැතහොත් උද්ඝෝෂණයක ඡායාරූපයක් හා මෙකල එබඳුම ඡායාරූපයක් සන්සන්ධනය කිරීමෙන් පමණක් වුවද මෙම තත්ත්වය තේරුම් ගත හැකිය.

මෙලෙස කරන විග්‍රහයකින් තේරෙන්නේ යන්ත්‍ර සූත්‍රවලට වටිනාකම් නිපදවිය නොහැකි බවයි. කාල් මාක්ස් කීවේ යන්ත්‍ර සූත්‍රවල වටිනාකමින් කොටසක් භාණ්ඩවල වටිනාකමට එක්වෙන බවයි. එනම් යන්ත්‍රවල භාවිත කාලය වසර දහයක් නම් යන්ත්‍රවල වටිනාකමෙන් දහයෙන් එකක් වර්ෂයක නිෂ්පාදනයට එකතුවෙන ලෙස දිනපතා කරන නිෂ්පාදනයට වටිනාකමෙන් කොටසක් එකතුවෙයි.

භාණ්ඩ නිෂ්පාදනයට යොදන යෙදවුම්වල වටිනාකමද මේ අයුරින්ම වටිනාකමට එකතුවෙයි. එහි දී අවසාන නිමි භාණ්‍ඩ‍යේ අඩංගු බවට පත්වන අමුද්‍රව්‍ය වැනි දෑ වල සිට එහි අඩංගු නොවන විදුලිය ඉන්ධන වැනි දෑ සඳහා යන වියදම ද භාණ්ඩයේ අවසන් වටිනාකමට එක්වෙයි.

මේ අනුව පැහැදිලි වන්නේ වටිනාකම් නිෂ්පාදනය කරනුයේ ශ්‍රමය මගින්ම පමණක් බවයි. ධනපතියා එය මිලට ගන්නේ ශ්‍රම කාලය වශයෙනි. එනම් දිනක ශ්‍රමය වශයෙනි. කෙසේ වෙතත් ශ්‍රම දිනය තීරණය වූයේ ධනපතියාගේ කැමැත්ත හා කම්කරුවාගේ පැවැත්ම අතර අරගලයක් වශයෙනි. ධනපතියාට අවශ්‍ය වන්නේ දිගු වැඩ දිනයකි. එකල පැය 14කි. පසුව පැය 12කි. පැය 8ක වැඩ දිනය අරගල තුළින් දිනාගත්තද ඉන් පසුවද කම්කරුවන්ට වැඩ කරන්නට සිදුව ඇත්තේ අතිකාල වශයෙනි. මෙලෙස ධනපතියාට අවශ්‍ය වන්නේ දිගු වැඩ දිනයකි.

යන්ත්‍ර සූත්‍ර නිසා තවත් එක් ප්‍රශ්නයක් මතු විය. නව තාක්ෂණයෙන් අලුත් යන්ත්‍රයක් වෙළෙඳ පො‍ලට එන්නට පෙර පැරණි යන්ත්‍රයෙන් උපරිම ප්‍රයෝජන ලබාගත යුතු වීමයි. වසර පහකින් නව යන්ත්‍රය පැමිණිය හැකි නම් වසර පහකදී පැරණි යන්ත්‍රයෙන් උපරිම සේවය ලබාගත යුතුය. එය කළ හැකි වන්නේ පැය විසිහතර පුරා යන්ත්‍රය ක්‍රියාත්මක කිරීමෙනි. වැඩ මුර ක්‍රමය බිහිවන්නේ එලෙසය. එහි දී ද සේවකයන්ට අතිකාල හා බොහෝවිට එකදිගට සේවා මුර දෙකක් කිරීමට වැනි දුෂ්කර තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවෙයි.

මෙහිදී කම්කරුවන්ගේ  වැඩ දිනය කොටස් දෙකකට වෙන්කර දැක්විය හැකිය. එනම් කම්කරුවා තමන් වෙනුවෙන් වැඩ කරන කාලය හා ධනපතියාගේ ලාභය වෙනුවෙන් වැඩ කරන කාලය වශයෙනි. තමන් වෙනුවෙන් වැඩ කරන කාලය නම් ඔහු තමාගේ හා තම පවුලේ අවශ්‍යතා සඳහා අවශ්‍ය වටිනාකම නිපදවන කාලයයි. එනම් පවුලේ ආහාර හා වෙනත් අවශ්‍යතා සපුරාගැනීමට අවශ්‍ය වටිනාකම් නිපදවන කාලයයි.

ඉතිරි කාලයේ ශ්‍රමය වැය කිරීමෙන් සිදුවන්නේ ධනපතියා සඳහා අතිරික්ත වටිනාකමක් නිපදවීමයි. ධනපතියාගේ ලාභය උපයාදීමයි.

කම්කරුවාගේ වැඩ දිනය පැය 12ක් නම් බොහෝවිට පළමු පැය හයේ දී ඔහු තමා සඳහා අවශ්‍ය ශ්‍රමය වැයකොට හමාරය. තමාගේ වැටුප ගෙවීමට අවශ්‍ය වටිනාකම සොයා හමාරය. ඊළඟ පැය හය ඔහු වැඩ කරන්නේ ධනපතියා සඳහාය. අතිරික්ත නිෂ්පාදනය සඳහාය.

මෙම කුමය තුළ දී ධනපතියා ලාබ ලබන ප්‍රමාණයට වඩා කම්කරුවා සූරාකෑමට ලක්වන ප්‍රමාණය වැඩි බව කාල් මාක්ස් පෙන්වා දී ඇත. ඒ මේ ආකාරයෙනි.

නිෂ්පාදන ක්‍රියාවලියේ දී ධනපතියා මුලින් යොදවන ප්‍රාග්ධනය කොටස් දෙකකට බෙදිය හැකිය. එනම් ස්ථිර (Constant) ප්‍රාග්ධනය හා විචල්‍ය (Vaviebldy) ප්‍රාග්ධනය වශයෙනි. ස්ථිර ප්‍රාග්ධනය ලෙස කාල් මාක්ස් සඳහන් කරන්නේ ශ්‍රමය හැර සියලු නිෂ්පාදන සඳහා යොදවන මුදලයි. එයින් ඇතැම් යෙදවුම් පෙර සිදු වූ නිෂ්පාදන ක්‍රියාවලියක  නිමැවුම් වෙයි. මෙය දිගු ක්‍රියාවලියක එක් අවස්ථාවකි. කපු – රෙදිපිලි – නිමි ඇඳුම් ආදි වශයෙනි.

විචල්‍ය ප්‍රාග්ධනය ලෙස මාක්ස් හඳුන් වන්නේ ශ්‍රම ශක්තිය මිල දී ගැනීමට යොදන මුදලයි. එනම් කම්කරුවාගේ වැටුප් සඳහා වන වියදමයි.

මෙම වියදම් දරා නිෂ්පාදන ක්‍රියාවලිය ක්‍රියාත්මක කළ විට එම වැය වූ මුදලට අමතරව ලාභයක් හිමිවෙයි. එය අතිරික්ත වටිනාකමයි. (Surplus Value).

මෙහි ස්ථිර ප්‍රාග්ධනය C ලෙසත් විචල්‍ය ප්‍රාග්ධනය V ලෙසත් අතිරික්ත වටිනාකම S ලෙසත් ගත් විට ධනපතියාගේ ලාභ අනුපාතය වන්නේ S/(C+V) සංඛ්‍යාවයි. එසේ වුවද කම්කරුවාට අදාළ වන්නේ තම ශ්‍රමය හා ඉන් නිප‍දවන අතිරික්තය යන අනුපාතයයි. එනම් S/ V අනුපාතයයි. එය ඉහළ අනුපාතයකි.

ස්ථිර ප්‍රාග්ධනය පවුම් 410ක් ලෙසත් විචල්‍ය ප්‍රාග්ධනය පවුම් 90ක් ලෙසත් අතිරික්තය පවුම් 90ක් ලෙසත් උපකල්පනය කොට මාක්ස් මෙසේ පෙන්වයි.

සූරාකෑමේ අනුපාතය = අතිරික්තය/ විචල්‍ය ප්‍රාග්ධනය(ශ්‍රමය) =  90/90කි. එනම් 100%කි.

ධනපතියන්ගේ ලාභ අනුපාතය  = අතිරික්තය/ { ස්ථිර ප්‍රාග්ධනය + විචල්‍ය ප්‍රාග්ධනය(ශ්‍රමය) } =  90/(90+ 140) කි 18%කි.

ධනපතියා නිතරම කතා කරන්නේ තම ලාභ අනුපාතය ගැනයි.  එය සියයට 18කි. එසේ වුවද කර්මාන්ත ශාලාව තුළ කම්කරුවන් සූරාකෑමේ අනුපාතය සියයට 100කි. කම්කරුවාගේ පැත්තෙන් ප්‍රතිශතය පෙනෙන්නේ එහෙමය.

මෙලෙස ධනපතියා  හා කම්කරුවා අතර බරපතල ගැටුම ඇත්වන්නේ වැඩ දිනය මුල්කර ගෙනය. එහි මුල් කොටස (පැය 6ක් විය හැකියි) කම්කරුවා තමන්ගේ වැටුප උපයා දීමට යොදන කාලයයි. ඊළඟ කොටස ධනපතියාගේ ලාභය උපයා දීමයි. ධනපතියාට අවශ්‍ය වන්නේ එයින් උපරිම ශ්‍රමයක් උපයා දීමයි. ඒ සඳහා වැඩ දිනය දිගු කර ගැනීම අහාර ගැනීමට හා වෙනත් අවශ්‍යතා සඳහා වන කාලය අවම කර ගැනීමට ධනපතියා උත්සාහ කරයි.

කම්කරුවාට අවශ්‍ය වන්නේ තම සෞඛ්‍ය රැකගෙන හැකිතාක් කල් ජීවත් වීමට හැකි වන පරිදි තමන්ට දිය හැකි අවම ශ්‍රම කාලය ලබාදෙමින් වැඩියෙන් විවේකය ලබා ගැනීමයි. ඒ සඳහා කම්කරුවාගේ සාමුහික සටන් ඉතිහාසනයක් ඇත. කර්මාන්ත ශාලා නීති හැදුනේ කර්මාන්ත පරීක්ෂක වරුන් පත්වුණේ එම සටන්වල ප්‍රතිඵල වශයෙනි.

කෙසේ වෙතත් ධනපතියාට වැඩ දිනය දිගු කරගෙන අතිරික්තය ලබාගත නොහැකි වූ විට වෙනත් විකල්ප කරා  යොමුවීමට ද සිදුවෙයි. එනම් තාක්ෂණය හා ශ්‍රම ඵලදායිතාව ඉහළ නංවාගෙන අතිරික්තය උපයා ගැනීමයි. මෙහිදී අතිරික්ත නිෂ්පාදනයේ විකල්ප ක්‍රම දෙකක් ගැන මාක්ස් කියයි. එකක් නම් නිරපේක්ෂ අතිරික්ත වටිනාකම් නිදවීමයි. එනම් තාක්ෂණය හා ඵලදායිතාව වෙනස් නොවන තත්ත්වයක් තුළ වැඩ දිනය දිගු කර ගැනීමෙන් අතිරික්ත වටිනාකම් නිපදවීමයි. දෙවැනි ක්‍රමය වැඩ දිනය නියතව පවතිද්දී තාක්ෂණය හා ඵලදායිතාව ඉහළ නංවාගෙන අතිරික්ත වටිනාකම් නිපදවීමයි. එනම් සාපේක්ෂ අතිරික්ත වටිනාකමයි.

මෙහිදී නිරපේක්ෂ අතිරික්ත වටිනාකම ද සාපේක්ෂ වන අතර සාපේක්ෂ අතිරික්ත වටිනාකම ද නිරපේක්ෂ බව මාක්ස් කියයි. නිරපේක්ෂ යන්න ඊට පෙර පැවති තත්ත්වයට අනුව සාපේක්ෂයයි. සාපේක්ෂ වටිනාකම නිපදවීම ආරම්භ වූ විටම එය නිරපේක්ෂ බවටද පත්වෙයි. එවිට තවදුරටත් අතිරික්ත වටිනාකම් නිපදවිය හැක්කේ යලිත් වැඩ දිනය දිගු කරගැනීමෙන් හෝ කළමණාකරන කර ගැනීමෙනි.

කෙසේ වෙතත් නිෂ්පාදන ක්‍රියාවලියේ එක් එක් අවස්ථාවලදී නිරපේක්ෂ අතිරික්ත වටිනාකම හා සාපේක්ම අතිරික්ත වටිනාකම ක්‍රියාත්මක වන්නේ එකක් හෝ අනික වශයෙනි. ප්‍රතිපක්ෂයන් වශයෙනි. කාල් මාක්‍ස්ගේ දයලෙන්තික දර්ශනවාදී විධික්‍රමය තේරුම් ගැනීමට මෙය ද එක් උදාහරණයකි.

වෙළඳ භාණ්ඩයක වටිනාකම තීරණය වන්නේ එය නිෂ්පාදනය සඳහා සමාජමය වශයෙන් අවශ්‍ය වන ශ්‍රම කාලය අනුව නිසාත්, වැඩි වටිනාකම් නිපදවීම සඳහා වැඩි ශ්‍රම කාලයක් කම්කරුවාගෙන් පැහැරගැනීම අවශ්‍යවන නිසාත් ධනපති පන්තිය  හා කම්කරු පන්තිය  අතර උග්‍ර ගැටුමක් වැඩ දිනය වටා නිර්මාණය වෙයි.

මෙහිදී ධනපතියන් කම්කරු ශ්‍රම කාලය පැහැර ගැනීමට ක්‍රියාකළ ආකාරය එංගලන්තයේ කම්හල් පරීක්ෂවරුන‍්ගේ වාර්තා ඇසුරින් කාල් මාක්ස් දිගු ලෙස විස්තර කොට ඇත.

එම විස්තරයකට අනුව ලම්හල් හිමියා උදේ හයට පැය කාලකට කලින් කම්කරුවා වැඩට ගෙන්වන අතර වැඩ අරින්නේ පැය කාලක් (අ‍ඩු වැඩි වශයෙන්) වැඩියෙන් වැඩ ගැනීමෙන් පසුවය. එමෙන්ම උදේ, දවල් ආහාර ගැනීමට වෙන් කළ කාලයෙන් ද විනාඩි පහ දහය බැගින් සොරකම් කරයි. ඒ අනුව සතියකට පැහැර ගන්නා ශ්‍රම කාලය විනාඩි 340ක් බව ගණන් බලා පෙන්වා ඇත. මෙබඳු උදාහරණ රාශියක් මාක්ස් උපුටා දක්වා ඇත.

මෙබඳු කරුණු සම්බන්ධයෙන් එදා මෙදා තුර තිබෙන දත්ත බොහොමයක් කුරීරු දුෂ්ඨ ධනපති පන්තිය පිළිබඳ මතවාදය ශක්තිමත් කිරීමට ප්‍රමාණවත්ය. කෙසේ වෙතත් මෙයද එක් එක් ධනපතියාගේ කුරිරු බව හෝ කෑදරකම නිසා සිදුවන්නක් නොවන බව ඔහු කියන්නේ වෙළඳපොල තරගයේ කුරිරු නීතී ( coercive laws of competition ) නිසා සිදුවන්නක් බවයි . එනම් තම තරගකාරී ධනපතියා වැඩ දිනය දිගු කර ගන්නේ නම් තමා එසේ නොකළ හොත් තමාට පැවැත්මක් නැතිවෙයි . තරඟකාරයා නව තාක්‍ෂණය අත්පත් කරගන්නේ නම් තමා  ද එසේ කළ යුතු ය. මෙම කුරිරු නීතියෙන් ධනපතියාට ද ගැලවීමක් නැත . ධනපතියාකොයි මොහොතක හෝ අකාර්යෂම වුවහොත් එය ඔහුගේ විනාශය කැඳවා ගැනීමකි . වෙළඳපොල තරගයේ කුරිරු නීතී ( coercive laws of competition ) ලෙස මාක්ස් හැදින්වුයේ මෙම තත්ත්වයයි. ජෝශප් සුම්පීටර් නම් ආර්ථික විද්‍යාඥයා පසු කලෙක මෙය ඉදිරිපත් කළේ නිර්මාණාත්මක විනාශයේ ක්‍රියාවලිය වශයෙනි .

අතිරික්ත වටිනාකම හෙවත් ලාභය ලෙස ධනපතියා අත්පත් කරගන්නේ කම්කරුවාගේ ශ්‍රමයේ නොගෙවූ කොටස බව මාක්ස් ප්‍රකාශ කළේය . එසේ වුවද ධනපතියන්ගේ පැත්තෙන් තර්ක කරන්නේ තමන් මුදල් යොදා ව්‍යාපාරයක් කරන්නේ යම්කිසි අනතුරක් දරා ගනිමින් බවයි . එම අනතුර දැරීම වෙනුවෙන් තමන්ට එය හිමි බව ඔවුහු කියති . අද මාක්ස්වාදීන් හා වාමාංශිකයන් ලෙස පෙනී සිටින බොහෝ දෙනා ධනපතියන්ගේ මෙම අයිතිය පිළිගන්නේ නැත .

කෙසේ වෙතත් කාල් මාක්ස් නම් දර්ශනවාදියා ප්‍රාග්ධනය නැතහොත් ධනපතියා සතු අයිතිය  දකින්නේ තරමක් වෙනස් ආකාරයෙනි. ප්‍රාග්ධනය කෘතියේ දහවන පරිච්ඡේදයේ පළමුවන කොටස ඔහු අවසන් කරන්නේ මේ ආකාරයෙනි.

“එමගින් අපට පෙනෙන්නේ ඉතාමත් නම්‍යශීලි බැඳීම් හැරුණු විට වෙළෙඳ භාණ්ඩ හුවමාරුවේ ස්වභාවය විසින් ම වැඩ දිනය සම්බන්ධයෙන් හෝ අතිරික්ත ශ්‍රමය සම්බන්ධයෙන් හෝ සීමා නොපනවන බවයි. වැඩ කරන දිනය හැකිතාක් දිගු කර ගැනීමටත්, හැකි ඕනෑම විටෙක එක දිනකින් ‍දින දෙකක වැඩ ගැනීමටත් ධනපතියා උත්සාහ දරණවිට ඔහු කරන්නේ මිල දී ගන්නකු ලෙස තම අයිතිය භාවිත කිරීමයි. අනෙක් අතට විකුණන වෙළෙඳ භාණ්ඩයේ විශේෂිත ස්වභාවය අනුව එය මිල දි ගන්නාට එය පරිභෝජනය කිරීමට විකුණන්නා  සීමා පනවයි. වැඩ කරන දිනය නිශ්චිත සීමිත කාලයකට සීමා කර ගැනීමට උත්සාහ දැරීමේදී ඔහු කරන්නේ විකුණුම් කරුවෙකු ලෙස ඔහුගේ අයිතිය භාවිත කිරීමයි. මෙහිදී ඇති වන්නේ නිති ගැටුම් තත්ත්වයකි. අයිතියට එරෙහිව අයිතියකි. ඒ දෙකටම භාණ්ඩ හුවමාරු නීතියේ මුද්‍රාව එකලෙස හිමිය. සමාන අයිතීන් තිබෙන විට තීරණ ගැනීමට සිදුවන්නේ බලය මගිනි. ධනවාදී නිෂ්පාදනයේ ඉතිහාසය තුළ වැඩ කරන දිනය කුමක්ද යන්න තීරණය වීම සිදු වන්නේ අරගලයක ප්‍රතිඵලයක් වශයෙන් වන්නේ ඒ නිසාය. එනම් සාමූහික ධනය, නැතහොත් ධනපති පංතියත් , සාමූහික ශ්‍රමය හෙවත් කම්කරු පන්තියත් අතර අර‍ගලයේ ප්‍රතිඵලයක් වශයෙනි.

මාක්ස් මේ කියන්නේ කුමක් ද? මෙහිදී පංති අරගලය අවශ්‍ය වන්නේ ධනපති පංතියේ අසාධාරණ ක්‍රියා නිසා ‍හෝ කම්කරු පංති‍යේ අයිතිය නිසා නොවේ. ධනපතියාගේත් කම්කරුවාගේත් අයිතිය එක හා සමාන නිසාය. ඒ භාණ්ඩ හුවමාරුවේ නීතිය අනුවය. වෙළෙඳ පොලේ නීතිය අනුවය. දෙපාර්ශ්වයේ අයිතිය සමාන නිසා තීරණ ගැනීමට සිදුවන්නේ බලය යෙදීම මගිනි.

පංති අර‍ගලය අවශ්‍යවන්නේ කම්කරුවාට සමාන අයිතියක් ධනපතියාට ද ඇති නිසාය. මෙහිදී මාක්ස්ගේ න්‍යායික විග්‍රහය ඒකය.

බොහෝ දෙනා කාල් මාක්ස් දන්නේ ධනවාදයේ තියුණු විවේචකයකු ලෙස ය. එසේ වුව ද ධනවාදී වෙලදපොලේදී සිදුවන්නේ සමාන වටිනාකම් හුවමාරු වීම බව මාක්ස් ගේ අදහස ලෙස පළමු ලිපියේ දී අපි සාකච්චා කළෙමු . දැන් ධනපතියාගේ හා කම්කරුවාගේ සමාන අයිතිය ගැන විග්‍රහයකි . එසේ නම් ධනපති ක්‍රමය ගැන මාක්ස්ගේ විවේචනය අප තේරුම් ගන්නේ කෙසේද යන ප්‍රශ්නය නිතැතින්ම මතුවෙයි .

ඇඩම් ස්මිත් කිවේ වෙළඳපලේ ක්‍රියාත්මක අදෘශ්‍යමාන හස්තය විසින් සියල්ල නිවැරදි කරන බව හා එවිට සමාජයේ සියලු දෙනාගේ සෙත සැලසෙන බවයි . මාක්ස් විග්‍රහ කරන්නේ එම අදෘශ්‍යමාන හස්තය ක්‍රියාත්මක වන ආකාරයයි . එසේ වුවද එයින් සමාජයේ සියලු දෙනාට සෙත සැලසෙන්නේ නැති බව මාක්ස් පෙන්වා දෙයි . වෙළෙඳපොල හා ධනවාදය ඉතා හොදින් ක්‍රියාත්මක වුවද එමගින් දිගින් දිගටම සිදුවන්නේ පන්තීන් ප්‍රති නිෂ්පාදනය වීමයි   එනම් ධනපති පන්තිය පන්තියක් ලෙස දිගින් දිගට වර්ධනය වන අතර සමාජයේ අනෙක් පස කම්කරු පන්තිය වර්ධනය වීමයි . සමාජයේ එක් පසෙක ධනයත් අනෙක් පස දුප්පත්කමත් ගොඩ ගැසෙන බව මාක්ස් කිවේ එම කතාවයි . (දුපතුන් තවත් දුප්පත් කිරීම නොවේ .එය වැරදි අර්ථ දැක්වීමකි ) . ධනවාදය ගැන මාක්ස්ගේ විවේචනය වන්නේ කම්කරු පන්තියේ වැටුප් වහල්භාවය පිලිබඳ ප්‍රශ්නයට එමගින් පිළිතුරු නොලැබීම හා එය තවතවත් තහවුරු කිරීමය .

අනෙක් අතට මාක්ස් මෙහි විග්‍රහ කරන්නේ ධනපති ක්‍රමයේ යාන්ත්‍රනය හා ඒ තුළ පවතින වටිනාකම් හා අයිතීන් පිලිබඳවය . මීට වෙනස් නිෂ්පාදන හා බෙදාහැරීම් ක්‍රමයකදී වටිනාකම් හා අයිතීන් තීරණය වන්නේ මේ ආකාරයෙන්ම නොවීමට ඉඩ ඇත .

මාස්ක්ගේ අදහස් පිලිබඳ මෙම ව්‍යාකුලතාවයට ප්‍රධාන හේතුව නම් විශේෂයෙන්ම බෝල්ෂෙවික් විප්ලවයෙන් පසුව මාක්ස්වාදය ලෙස ලොව පුරා  ප්‍රචලිත වූ   අදහස් මාලාවයි . නව ලිබරල් වාදයේ ප්‍රධාන ප්‍රකාශකයකු වු මහාචාර්ය මිල්ටන් ෆ්රීඩ්මන් මෙම පිරිස් හැදින්වුයේ “අන්තවාදී මාක්ස්වාදීන් “ වශයෙනි . ඔහු කිවේ මොවුන් කියන දේවල් මාක්ස් කියා නැති බවයි . එය ඇත්ත නම් ඔහු යෙදු “අන්තවාදී මාක්ස්වාදීන් “ යන යෙදුම වැරදිය . මාක්ස් නොකී දේ කියන පිරිසක් “අන්තවාදී මාක්ස්වාදීන් “ ලෙස හැදින්විය නොහැකිය .

මහාචාර්ය මිල්ටන් ෆ්රීඩ්මන්ගේ විවේචනට වඩා තරමක්  වෙනස් විවේචන නිසා නුතන මාක්ස්වාදීහුද වෙනත් සමාජවාදීහුද ඉහත කි මතවාදය ප්‍රතික්ෂේප කරති . ඔවුන් එය හැදින්වීමට ඉංග්‍රීසියෙන් භාවිතා කරන්නේ totalitariyanism යන යෙදුමයි . ශබ්ද කෝෂවල එහි සිංහල පරිවර්තනය සදහන් වන්නේ ඒකාධිපතිවාදය වශයෙනි . එසේ වුවද ඒකාධිපතිවාදය යන්නට වෙනත් තේරුමක් ( Dictatarship ) ඇති නිසාත් tatality යන්නෙහි තේරුම සමස්තය යන්න නිසාත් ඉහත මතවාදය හැදින්වීමට සමස්තවාදය යන්න වඩා ගැලපේ යයි සිතමි . කෙසේ වෙතත් ඒ ගැන වැඩිදුර කතා කිරීම මෙම ලිපි පෙළෙහි අරමුණ නොවේ .

( ආර්ථිකයේ පැතිකඩක් ගැන ඉදිරි ලිපියෙන් බලාපොරොත්තු වන්න )

සී ජේ අමරතුංග

cjamaratunge@gmail.com

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *