අය වැය දිනුවේ ඩීල් එකකින් – දිළුම් අමුණුගම : ජනතා සහනවලට විපක්ෂය බයවෙලා – ලකී ජයවර්ධන

අය වැය දිනුවේ ඩීල් එකකින්

– දිළුම් අමුණුගම
මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී

අයවැය පරාජය කිරීමට ඒකාබද්ධ විපක්ෂය ගත් උත්සාහය ව්‍යාර්ථ වීම, අයවැය මැතිවරණය ඉලක්ක කර ගත්තක් බවට නැ‍ඟෙන චෝදනාව, ගෝඨාභය රාජපක්ෂ මහතාට විරුද්ධව අමෙරිකාවේදී ගොනුකර ඇතැයි කියන නඩුව ආදිය ඔස්සේ මෙවර අදහස් දෙක දිගහැරේ.

ඒකාබද්ධ විපක්ෂය අයවැය පරාජය කරන බවට නොයෙක් ප්‍රකාශ කළත් ඒ සියල්ල අවසානයේ පුස්සක් බවට පත්වුණා නේද ?

දෙමළ සන්ධානය,ජනතා විමුක්ති පෙරමුණ හා ශ්‍රීලංකා නිදහස් පක්ෂය අපිත් එක්ක එකතු වෙලා විරුද්ධව ඡන්දය දුන්නා නම් මේ අයවැය පරාජය කරන්න තිබුණා.මේ අයවැය සම්පූර්ණයෙන්ම ජනතාව මත බදු පටවපු එකක්.ආණ්ඩුවේ මන්ත්‍රීවරු පවා මේක දන්නවා.ඒත් ඒ අයට ආණ්ඩුව ආරක්ෂා කර ගන්න ඕන නිසා අයවැයට පක්ෂව ඡන්දය දුන්නා.ඒ ගැන අපිට ප්‍රශ්නයක් නැහැ.ප්‍රශ්නය තිබෙන්නේ විපක්ෂයේ ඉන්න අය අයවැයට විරුද්ධ නොවුණේ ඇයි කියන එකයි.ජනතා විමුක්ති පෙරමුණ අයවැයට විරුද්ධව ඡන්දය දුන්නා.දෙමළ ජාතික සන්ධානයේ හා ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේදී අයවැය බරපතළ ලෙස විවේචනය කරමින් කතා කළා.හැබැයි අවසානයේ විවේචනය කළ අයවැයට පක්ෂව දෙමළ සන්ධානය ඡන්දය දුන්නා. ශ්‍රීලංකා නිදහස් පක්ෂය කළේ වක්‍රාකාරව අයවැය අනුමත කරපු එක. අපි බලන්න ඕන මේ අයවැය ජනතාවාදී එකක්ද නැද්ද කියන කාරණයයි. ජනතාව කබලෙන් ලිපට ඇද දමන අයවැයක් නම් ඇයි ඒකට විරුද්ධ වෙන්න ශ්‍රීලංකා නිදහස් පක්ෂයට බැරි.ඒකෙන් පේනවා මේ අය ජනතාව ගැන නොවෙයි හිතන්නේ කියන කාරනය.ජනපති වැය ශීර්ෂය ගැන හිතලා සම්පූර්ණයෙන්ම ජනතාව අමතක කරලා වැඩ කරන්න සැබෑ ජනතා නායකයෙකුට පුළුවන් කමක් නැහැ.මෙතන තිබුණේ නායකයින් අතර ඩීල් එකක්.ඒකට අනුව වැඩේ සිද්ධ වුණා.දැන් ඒ දේවල් වහන්න මොන දේවල් කිව්වත් ජනතාව ඇත්ත දන්නවා.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ඇමරිකානු අධිකරණයක නඩු දෙකක් ගොනුකර තිබෙනවා.මේ පිළිබඳ ඔබේ අදහස ?

මේ පටන් ගත්තා විතරයි.තව ඉස්සරහට තව තව දේවල් සිද්ධ වේවි.ඉදිරි ජනපතිවරණයට ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් වෙන බවට ආරංචි පැතිර යාමත් සමඟ තමයි මේ දේවල් සියල්ල සිද්ධ වෙන්නේ.මේවායින් පැහැදිලි වෙන සත්‍යය තමයි එක්සත් ජතික පක්ෂයට තිබෙන ලොකුම අභියෝගය එතුමා බව.ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපතිවරණයට ඉදිරිපත් වුණොත් එතුමා දිනන බව ස්ථිරයි.ජනතාව අද එතුමා ඉල්ලන තත්ත්වයක් ඇතිවෙලා.අභියෝගයක් යැයි හිතන චරිතවලට තමයි විරුද්ධකාරයින් ගහන්න බලන්නේ.ඇමරිකාවේ නඩු දෙකක් පවරන එක ගැන අපි කලබල නොවන්නේ ඇත්ත තත්ත්වය අපි දන්නා නිසයි.ඇමරිකාවේ අධිකරණවල නඩු දෙකක් තියෙන එක මොකක්ද එතුමාට මේ රටේ අධිකරණ වල නඩු පනහක් පමණ තියෙනවා.ගෝඨාභය රාජපක්ෂ මහතා ඡන්දයකින් පරාජය කරන්න බැරි බව දන්න අය දැන් උත්සාහ කරන්නේ එතුමා ඡන්දයට ඉදිරිපත් වීම වළක්වන්නයි.ඒ වැඩපිළිවෙළේ එක් එක් ජවනිකා තමයි දැන් රඟ දැක්වෙන්නේ.

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය විසින් මෙම එක් නඩුවක් ගොනුකර තිබෙනවා.ඇගේ පියාගේ ඝාතනය සම්බන්ධයෙන් තාමත් සාධාරණයක් ඉෂ්ඨ වෙලා නැහැ නේද ?

ඕනෑම පුද්ගලයෙකුට ජීවත් වීමේ අයිතියක් තිබෙනවා.යම් පුද්ගලයෙකු ඝාතනයට ලක්ව තිබෙනවා නම් ඒ ගැන පරීක්ෂණ කරලා වැරදිකරුවන් අධිකරණයට ඉදිරිපත් කරන්න ඕන. ඒ පිළිබඳ අපිට ප්‍රශ්නයක් නැහැ.යහ පාලන ආණ්ඩුව බලයට ඇවිත් වසර හතරක් ගතවෙලා.සාධාරණ පරීක්ෂණයකින් පසු මේ ඝාතනවලට වැරදිකරුවන් කවුද කියලා මේ අයට සොයා ගන්න පුළුවන්.එහෙම නැතුව එක් එක් පුද්ගලයාට චෝදනා එල්ල කර කර හිටියට වැඩක් නැහැ. ලසන්තගේ දුව නඩුවක් ගොනු කරපු එක ප්‍රශ්නයක් නැහැ.ඒ අයිතිය ඇයට තියෙනවා. ප්‍රශ්නය ඇය නඩුවක් ගොනු කරන්න මෙච්චර කාලයක් ගත්තේ ඇයි කියන කාරණයයි. කොහේද ඇය මෙච්චර කල් හිටියේ.ඇයට මේ පැමිණිල්ල කළ කාරණය මෙච්චර කල් අමතක වෙලා තිබුණද?.ජනපතිවරණයට ගොඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් වෙන බවට ඉඟි පහළ වීමත් සමඟ ඇය මේ නඩුව ගොනු කරපු එක ගැන මට විතරක් නොවෙයි මේ රටේ සාමාන්‍යය ජනතාවටත් ප්‍රශ්න තිබෙනවා.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම දිනෙන් දින කල් යනවා.ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම මේ ගැන එළියේ කතා කළත් පාර්ලිමේන්තුව තුළ මැතිවරණය පැවැත්වීට අවශ්‍ය්‍ය විධිමත් ආකාරයේ ක්‍රියාවලියක් සිදු නොකරන බවට චෝදනා එල්ල වෙනවා ?

අපි මේ ගැන පාර්ලිමේන්තුව තුළ හෝ පිටත හෝ මොනවා කිව්වත් වැඩක් නැහැ.මේක දැන් කියලා කියලා අපිට එපා වෙලා. දහතුන් වන ව්‍යවස්ථා සංශෝධනය මගින් උතුරේ ප්‍රශ්නයට විසඳුම් ලබාදීමේ අරමුණින් එදා පළාත් සභා පිහිටවූවා.පළාත් සභා මගින් යම් ආකාරයක බලය බෙදා හැරීමක් සිද්ධ වුණා.එහි ප්‍රතිලාභ ලබන දෙමළ සන්ධානයත් අද පළාත් සභා මැතිවරණය ගැන කතාවක් නැහැ.ඒ අයටත් ආණ්ඩුවට වගේම මැතිවරණය පවත්වන්න වුවමනාවක් නැහැ.ටී.එන්.ඒ එක අද වැඩ කරන්නේ මුළුමනින්ම පක්ෂයේ කිහිප දෙනෙකුගේ න්‍යාය පත්‍රයට අනුවයි.උතුරේ ජනතාව ගැන ඒ අයට සැබෑ කැක්කුමක් නැහැ.දැන් බලන්න ජනතාව මත අසීමිත ලෙස බදු පටවපු මංගල සමරවීරගේ අයවැයට මේ අය පක්ෂව ඡන්දය දුන්නා.හැබැහි වජිර අබේවර්ධන ඇමැතිවරයාගේ වැය ශීර්ෂයට එරෙහිව ඡන්දය දී ඒක පරාජය කළා. හේතුව අනුරාධපුරයෙන් ඉහළට ප්‍රාදේශීය ලේකම්වරු හා දිසාපතිවරු පත් කිරීමේදී දෙමළ නිලධාරීන් විතරක් පත් කරන්න කියන ටී.එන්.ඒ ඉල්ලීම වජිර ඇමැතිවරයා ප්‍රතික්ෂේප කිරීම.කවුරුන් හෝ හොඳ දෙයක් කළොත් දේශපාලන බේදයෙන් තොරව අපි ඒක අගය කරනවා.වජිර ඇමැතිවරයා දෙමළ සන්ධානයේ ඉල්ලීම්වලට අවනත නොවීම අපි අගය කරනවා.දැන් අපේ පළාත්වල ප්‍රාදේශීය ලේකම්වරු ඉන්නවා මුස්ලිම් හා දෙමළ අය.අපි ඒ අය එක්ක වැඩ කරනවා. උතුරට විතරක් ජාතිය පදනම් කරගෙන පත්වීම් දෙන්නේ ඇයි .උතුරේ ජනතාව බදු බරින් පෙළන, අයවැයට පක්ෂවී වජිර ඇමැතිවරයාගේ වැය ශීර්ෂයට එරෙහි වීම තුළින් දෙමළ සන්ධානයේ දෙබිඩි පිළිවෙත පේනවා.

මෙරට ආර්ථික වර්ධන වේගය 0.3 % සිට පසුගිය වසර දෙක තුළ 1.5 % ක අගයක් දක්වා ගෙන ඒමට හැකිවූ බව අගමැතිවරයා ප්‍රකාශ කරනවා.?

අගමැතිවරයා මොනවා කිව්වත් අද රට සියලු අංශ වලින් කඩා වැටිලා.ජනතාව ජීවත් වෙන්න බෑ කියලා කෑ මොර දෙනවා.ගන්න පඩියෙන් මිනිස්සුන්ට ජීවත් වෙන්න බැහැ..2015 වසරේදී මෙරට ආර්ථික වර්ධන වේගය 7.5 % ක් බව මහ බැංකු වාර්තාව පෙන්වා දෙනවා.අද වෙනකොට මේ අගය 3.3 % යි.මොන වර්ධනයක් ද තියෙන්නේ.

ජනපති ධූර කාලය අවසන් වන දිනය සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට යන බවක් කියනවා.?

දහනව වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව ජනපති ධූර කාලය වසර පහයි.පත්වූ දාසිට වසර පහක් ගියාම නිල කාලය ඉවරයි.මම හිතන්නේ මේ ධූර කාලය අවසන් වන දිනය සම්බන්ධව ප්‍රශ්නය ඇතිවෙලා තියෙන්නේ ජනපති තුමාටත් වඩා එතුමා වටේ ඉන්න කිහිප දෙනෙකුට.මොකද ඒ අයගේ පැවැත්ම තීරණය වන්නේ ජනපතිවරයාගේ ධූර කාලය අනුවයි. රාජපක්ෂවරු හැර ජනපතිවරණයකට ඉදිරිපත්ව ජයග්‍රහණය කළ හැකි වෙනත් අය ඔය කණ්ඩායමේ නැද්ද ?

මහින්ද රාජපක්ෂ මහතා තමයි මේ රටේ මේ මොහොතේ ජනප්‍රියම නායකයා.පවතින ක්‍රමය තුළ එතුමාට ජනපතිවරණයට ඉදිරිපත් වෙන්න පුළුවන් කමක් නැහැ.මහින්ද රාජපක්ෂ මහතාගේ ආශිර්වාදය යටතේ ජනපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයාට ජයග්‍රහණය කරන්න වැඩි හැකියාවක් තිබෙනවා.ඒකට දැනට ඉන්න සුදුස්සා ගෝඨාභය රාජපක්ෂ මහතායි.මහින්ද රාජපක්ෂ මහතාගේ ආශිර්වාදය ලබාගත් පමණින් ඕනෑම අයෙකුට ජනපතිවරණය දිනන්න බැහැ.මෙතනදී ආශිර්වාදය වගේම ඉදිරිපත් වෙන අපේක්ෂාකයාට රටේ තිබෙන පිළිගැනීමත් වැදගත්.ගෝඨාභය රාජපක්ෂ මහතා නීතියට වැඩකරන විනය ඉතා ඉහළින් පවත්වා ගෙන යන අයෙක් බව මේ රටේ ජනතාව දන්නවා.එතුමා ආවොත් රටේ වෙනසක් වෙයි කියලා ජනතාවම කියනවා.මේ නිසා මහින්ද මහත්තයාගේ ආශිර්වාදය සමඟ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපතිවරණයට ඉදිරිපත් වුණොත් ජයග්‍රහණය සම්බන්ධව කිසිම සැකයක් නැහැ.අනිත් කාරනය එතුමා දේශපාලනඥයෙක් නොවෙයි.නිලධාරියෙක් ලෙස තමන්ට වැඩක් කරන්න පුළුවන් බව එතුමා ඔප්පු කර තිබෙනවා.

ඒකාබද්ධ විපක්ෂයේම ඇතැම් ජ්‍යෙෂ්ඨයින් ගෝඨාභය රාජපක්ෂ ජනපති අපේක්ෂක කරනාවට විරුද්ධයි නේද ?

මේ විරුද්ධතා මතු කරන්නේ රටේ පොදු මහජනතාව ගැන හිතලා නොවෙයි.පෞද්ගලික කාරණා මුල් කර ගෙන. විනය හා නීතිය තදින් ක්‍රියාත්මක කරන නායකයෙකුට ඇතැම් දේශපාලනඥයින් විරුද්ධ වෙනවා.මොකද ඒක ඔවුන්ගේ ක්‍රියාකාරකම්වලටත් අයහපත් ලෙස බලපාන නිසා.තමන්ගේ පෞද්ගලික අමනාපකම් මුල්කර ගෙන කරන විරෝධතා අපි ගණන් ගත යුතු නැහැ.


ජනතා සහනවලට විපක්ෂය බයවෙලා

– ලකී ජයවර්ධන
නගර සැලසුම් හා ජලසම්පාදන රාජ්‍ය අමාත්‍ය

ඡන්දය ඉලක්ක කරගෙන ආණ්ඩුව දිගට හරහට වියදම් කරනව කියල මහින්ද රාජපක්ෂ මහත්තය කියනවා?

ජනතාවට සහන දෙනකොට මේ අය බයවෙලා. මහින්ද මහත්තයල ණයකරපු රටක් අපි බාරගත්තෙ. ඒ ණය දැන් ගෙවාගෙන යන්නෙ. අවුරුදු හතරක් තිස්සේ ණය ගෙවල යන්තම් ජනතාවට සහන දෙන අයවැයක් ගෙනාව විතරයි ඒකට බයවෙලා. මේ සැරේ ගෙනාවෙ එක්සත් ජාතික පෙරමුණේ අයවැයක්. අපි රටේ ආර්ථිකය හැදුවා. මේ වැඩපිළිවෙළ ඉස්සරහට ගියොත් කාටත් සල්ලි තියෙන අතමිට සරු හෙටක් හදාගන්න පුළුවන්. එක්සත් ජාතික පක්ෂය වැඩකරපු විදිය ඉතිහාසයෙන් බලාගන්න පුළුවන්. ඡන්දය කොහොම වුණත් අපි අපේ යුතුකම වගකීම තමයි මේ ඉටුකරන්නෙ. එක්සත් ජාතික පක්ෂය තමයි මේ රටට වැඩියෙන්ම වැඩකරපු පක්ෂය.

ඔබ එහෙම කිව්වත් මේ ආණ්ඩුව අවුරුදු හතරක කාලය තුළ කිසිම සංවර්ධන වැඩක් ආරම්භ කළේ නැහැ කියල විපක්ෂය චෝදනා කරනවා?

රට ණයකරල ආරම්භ කරපු ව්‍යාපෘති හැම එකක්ම ඉදිරියට අරගෙන ගියේ අපි. මුල්ගල් තියල විතරක් මදි. ඒ වැඩවලට සල්ලි හොයාගත්තෙ මේ ආණ්ඩුව. ඒ අය වැඩ ඔක්කොම කළේ භාගෙට. ඒ අය හදපු පාරවල්වල වැඩ නිමකරන්න සල්ලි තිබුණෙ නැහැ. ජනාධිපතිවරණය කලින් තිබ්බෙ ඒකයි. අපි දැන් අලුතෙන් පාරවල් හදනවා. ආයෝජකයො ගෙන්නල රැකියා අවස්ථා ඇතිකරනවා. නගර සැලසුම් හදල නිසි පිළි‍වෙළකට සංවර්ධනය කරනවා. අලුතෙන් ජලසම්පාදන ව්‍යාපෘති රැසක් හදනවා. ව්‍යාපාර කර්මාන්ත අංශය දියුණු කරන්න බැංකු පොලී අනුපාත අඩුකරන්නත් සාකච්ඡා වෙනවා. මොරගහකන්ද නැවැත්තුවෙ මහින්ද මහත්තය. මේ ආණ්ඩුව තමයි මොරගහකන්දට සල්ලි හෙව්වෙ. ඒකෙන් කෘෂිකර්මාන්තයෙ අලුත් පරිවර්තනයක් ඇතිවුණා. මෙගාපොලිස් වැඩසටහන යටතේ ලොකු සංවර්ධනයක් ඇතිවෙනවා. තාක්ෂණික දැනුම තියෙන පරපුරක් හදන්න මේ ආණ්ඩුව ලොකු ආයෝජනයක් කරනවා. ගම්පෙරළිය වැඩසටහනෙන් ගම තුළ විශාල වැඩකොටසක් කෙරෙනවා. මහින්ද මහත්තයගෙ කාලෙ කරපු වැඩවල කොන්ත්‍රාත්කරුවන්ට සල්ලි ගෙවල තිබ්බෙ නැහැ. ඒ සල්ලි ගෙව්වෙත් මේ ආණ්ඩුව.

පළාත් සභා මැතිවරණය ප්‍රමාද වෙන්නෙ ආණ්ඩුවෙ වරදින් කියලයි කියන්නෙ?

2015 දී අපි කිව්වෙ මේ මැතිවරණ ක්‍රමයෙ වෙනසක් ඕන කියල. අපේ මැතිවරණ ප්‍රකාශනයෙත් ඒක තියෙනවා. ඒ කටයුත්ත භාරදුන්නෙ ජනාධිපතිතුමාගෙ කණ්ඩායමේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ ෆයිසර් මුස්තාපා ඇමැතිතුමාට. එදා එතුමා කරපු වැඩපිළිවෙළ මේ අවුලට හේතුවක්. අපි ඕන වෙලාවක ඡන්දවලට කැමතියි. පළාත් සභා රටට හඳුන්වල දුන්නෙ එක්සත් ජාතික පක්ෂය. සීමා නිර්ණ ගැටලු ප්‍රශ්නය පාර්ලිමේන්තුවෙ විසඳන්න ඕන.

බහුතරය ඉන්න පක්ෂය හැටියට, මේ ප්‍රශ්නය විසඳන්න පාර්ලිමේන්තුවට යෝජනාවක් ගේන්න එක්සත් ජාතික පක්ෂය කටයුතු කරන්නෙ නැත්තෙ ඇයි?

අපිට යෝජනාවක් ගේන්න පුළුවන්. පාර්ලිමේන්තුවෙ න්‍යාය පත්‍රයට ඒක ඇතුළත් කරන්න ඕන. ඒ ගේන යෝජනාව පාර්ලිමේන්තුවෙ සම්මත කරගන්න අනෙක් පක්ෂවල සහාය අවශ්‍යයි. එහෙම සහායක් නැතුව යෝජනා ගෙනල්ල වැඩක් නැහැ.

පළාත් සභා මැතිවරණය පැවැත්විය යුත්තේ කුමන පනතක් යටතේද කියල, අධිකරණයෙ මතය විමසන ලෙස, මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ජනාධිපතිතුමාගෙන් ඉල්ලල තියෙනවා.

ජනාධිපතිතුමා තවම මේ ගැන තමන්ගෙ මතය කියල නැහැ. අපේ පක්ෂය හැමදාම අධිකරණයෙ නිදහස අගය කරනවා. රටේ ප්‍රජාතන්ත්‍රවාදය ඇතිකළේ මේ ආණ්ඩුව. එවැනි මත විමසීමකට අපි විරුද්ධ නැහැ.

ජනාධිපතිතුමාගෙ ධුර කාලය ගැන අධිකරණයේ මතය විමසන්න හදන බව දයාසිරි ජයසේකර මහත්තය කියනවා?

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව ජනාධිපතිතුමාගෙ නිල කාලය 2020 ජනවාරි 08 න් අවසන් වෙනවා. ඒ ගැන නැවත මත විමසීමක් අවශ්‍ය නැහැ. ඒ ගැන ආණ්ඩුව මීට පෙර නීති උපදෙස් අරගත්තා. මීට පෙර අධිකරණයෙනුත් ජනාධිපතිවරයාගෙ ධුර කාලය ගැන තීන්දුවක් දුන්නා. ආයෙත් ඒ ගැන අධිකරණයෙ මත විමසීම නිෂ්ඵල වැඩක්. අධිකරණයෙ කාලය කාදැමීමක්. පොහොට්ටුවෙ මතය වෙලා තියෙන්නෙත් ජනාධිපතිතුමාගෙ නිල කාලය ගැන අධිකරණයේ මත විමසීම වැඩක් නැහැ කියලයි. ජී. ඇල්. පීරිස් මහත්තය ඒ ගැන මාධ්‍යයට කියල තිබුණා.

එක්සත් ජාතික පක්ෂයෙ ජ්‍යෙෂ්ඨතම මන්ත්‍රීවරයෙක් හැටියට ඔබට ලැබුණු අමාත්‍ය ධුරය ගැන සෑහීමකට පත්වෙනවද?

විශාල ඇමැති මණ්ඩලයක් පත්කරන්න මේ ආණ්ඩුවට බැහැ. අපි විසින්ම ඇමැති මණ්ඩලය සීමාකළා. ජනතාවට සේවය කරන්න තනතුරු අවශ්‍යම නැහැ. මම දේශපාලනයට ආවෙ රටට සේවයක් කරන්න. මේ අමාත්‍යාංශය යටතෙ ජල අභිමානී වැඩසටහන පටන් ගත්තා. ඒ යටතෙ ගම් දහසකට පානීය ජලය ලබා දෙනවා. 2015 ජනවාරි වෙනකොට පිරිසුදු පානීය ජලය ලැබුණෙ රටේ ජනතාවගෙන් 45% කට විතරයි. දැන් අපි ඒක 50% ක් කළා. 2020 වෙනකොට 60% කට පානීය ජලය ලබාදීම අපේ ඉලක්කය. මහා පරිමාණ ජල ‍යෝජනා ක්‍රම රැසක් ඉදිවෙනවා. ලංකාවෙ පළවෙනි වතාවට අප ජල කළමනාකරණය පටන් ගත්තා. ඉදිරියේදී එන ජල හිඟයට විකල්ප හොයන්න ඕන.

මේ ආණ්ඩුව ගෝඨා, භය නමැති දරුණු රෝගී තත්ත්වයෙන් පෙළෙන බව විමල් වීරවංශ මහත්තය කියනවා?

විමල් වීරවංශ මහත්තය ගැන මම නොකිව්වට හැමෝම දන්නවා. එතුමල බය වුණාට එක්සත් ජාතික පක්ෂය කාටවත් බය නැහැ. ගෝඨාභය මහත්තය ගැන දන්න අය වෙනම බියක් ඇතිකරගෙන තියෙනවා. ඒ කාලෙ වෙච්ච දේවල් ජනතාව දන්නවා. අපි රාජපක්ෂලව පැරැද්දුවෙ හැම බලයක්ම තියෙන කාලෙ. එක්සත් ජාතික පක්ෂයට හොඳ ඡන්ද පදනමක් තියෙනවා. සුළු ජාතීන්ගෙ ඡන්දත්, මහ ජාතියෙ ඡන්දත් අපිට තියෙනවා.

එක්සත් ජාතික පක්ෂයෙ ජනාධිපතිවරණ සූදානම කොහොමද?

එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයෙක් තමයි ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන්නෙ. එක්සත් ජාතික පෙරමුණ හැටියට අපි පුළුල් සංධානයක් හදනවා. අවස්ථා කීපයකදී අපි ජනාධිපති අපේක්ෂකත්වය වෙනත් අයට දුන්නා. පාක්ෂිකයො දැන් කියන්නෙ අපේ පක්ෂයෙම කෙනෙක් ඉදිරිපත් කරන්න කියලා.

අසේල කුරුළුවංශ
දුමින්ද සම්පත්

දිනමිණ – අදහස් දෙක

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *