|

අවුරුද්දට ආණ්ඩු පෙරලන කතාව මැවුණු හැටි

සිංහල හින්දු අලූත් අවුරුදු නිවාඩුවත් සමඟ නිහඩ වන දේශපාලනය මෙවර එලෙස නිහඩ වූවේ නැත. නිවාඩුවට සිය ගම් බිම් බලා ගිය මැති ඇමතිවරුද විමසිලිමත් වූවේ අවුරුදු දා දේශපාලන ක්ෂේත්‍රයේ සිදුවන්නට යන්නේ මොනවාද කියාය.

සිංහල අවුරුදු නිවාඩුවට නුවරඑළියට ගොස් සිටි අගමැති රනිල් වික්‍රමසිංහගෙන්ද මැති ඇමතිවරු මේ ගැන විමසන්නට වූහ. ඊට අගමැතිගේ පිළිතුර වූවේ  “අපි බලමු කෝ” යන්නය.

අගමැතිවරයා සිංහල අලූත් අවුරුදු නිවාඩු සමය නුවරඑළියේ ගත කරන්නට තීරණය කර තිබුණි. එයට හේතුව අගමැතිවරයාට නිවාඩුවක් ගැනීම නොව සිය කාර්ය මණ්ඩලයට රිසි සේ අවුරුදු නිවාඩුව ගත කිරිමට අවස්ථාව සලසා දීමය. අගමැතිවරයාගේ මෙම තීරණය හේතුවෙන් කලාතුරකින් නිවාඩු ගැනීමට අවස්ථාව උදාවන ආරක්ෂක අංශ නිලධාරින්ට අවුරුදු නිවාඩුව සිය  ඥාතීන් සමඟ ගත කරන්නට හැකි විය.

අගමැති රනිල් අලූත් අවුරුදු චාරිත්‍ර ඉටු කරමින් පුණ්‍ය කාලයේදි නුවරඑළිය මහගස්තොට ශ්‍රී සේනානන්දාරාම විහාරස්ථානයට ගොස් ආගමික වතාවත්වල නිරතවිය. විහාරාධිපති රාජකීය පණ්ඩිත කලූගහකදුරේ විජිත හිමියෝ විහාරස්ථානයට පැමිණි අගමැති රනිල් ප්‍රමුඛ මැති ඇමතිවරුන්ට ආශිර්වාද කරමින් සෙත් පිරිත් සච්ඡායනා කළහ. එම අවස්ථාවට ජනමාධ්‍ය ඇමති රුවන් විජයවර්ධන ද එක්ව සිටියේය.

ආගමික වතාවත් ඉටු කිරිමෙන් අනතුරුව අගමැතිවරයා සිය නිල නිවසට පැමිණ බිරිද මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ සමඟ එක්වී අවුරුදු චාරිත්‍ර ඉටු කරමින් කිරි උතුරවා එහි පැමිණ සිටි පිරිස සමඟ අවුරුදු සැමරූහ.

ඉන් අනතුරුව නුවරඑළිය නගරයට පා ගමණින් පැමිණි අගමැති රනිල් දුටු නුවරඑළියට නිවාඩුව ගත කිරිමට විවිධ ප්‍රදේශවලින් පැමිණ සිටි ජනතාව ඔහු සමඟ සුහද පිළිසදරෙහි යෙදෙන්නට ද අමතක නොකළහ.

නුවරඑළිය අගමැති නිල නිවස අසල හිටපු ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගමගේ පෞද්ගලික නිවස ද පිහිටා තිබේ. පාගමණින් නුවරඑළිය නගරය දෙසට පැමිණි අගමැතිවරයාට රෝහිත බෝගොල්ලාගම ද හමුවූවේ ඔහුද පා ගමනින් නුවරඑළිය නගරයට යමින් සිටියදී ය.

අවුරුදු නිවාඩුව අවසන් කළ අගමැතිවරයා ඉකුත් බදාදා කොළඹපැමිණ සිය නිල රාජකාරි ආරම්භ කළේය. පළමුව ඔහු වරාය නගර ව්‍යාපෘතියේ මෙන්ම වරාය අධිකාරියේ නිලධාරින් හමුවී එහි වැඩ කටයුතු පිළිබඳ සොයා බැලූ අතර එම ව්‍යාපෘතියේ ඉදිකිරිම කරනා චයිනා මර්චන්ට් සමාගමේ නිලධාරිනහුද ඊට සහභාගී වී සිටියහ.

“මේ ව්‍යාපෘතියෙන් බදු ගෙවිම් නිසි ලෙස රටට ලැබිලා තිබෙනවා ද” අගමැති නිලධාරින්ගෙන් විමසා සිටියේය. එම බදු මුදල නිසි ලෙස ලැබෙන්නේදැයි අගමැතිවරයා එහිදි විමසා බැලූවේය.

අවුරුදු නිවාඩුවට ගම්රටවල් බලා ගොස් සිටි මැති ඇමතිවරු සුපුරුදු පරිදි ඉකුත් බ්‍රහස්පතින්දා අරලියගහ මන්දිරයට පැමිණියේ අගමැතිවරයා සමඟ පැවැත්වෙන සාකච්ඡාවට සහභාගී වීමටය. අගමැතිවරයාට අවුරුදු සුබ පැතුම් එක් කළ සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මුලින්ම හඩ අවදි කළේය.

“සර් අවුරුදු දවස්වල ආණ්ඩුව පෙරළෙනවා…. ඇමතිවරු අත්අඩංගුවට ගන්නනවා වගේ කතා ගියා. හැබැයි මුකුත් වුනේ නැහැනේ….

ඔහුගේ පැනයට අගමැතිවරයා සිනා සෙද්දි හඩ අවදි කළේ රන්ජන් රාමනායකය…

ඕක ඔය ජනාධිපතිතුමා මාධ්‍ය ආයතන ප්‍රධානින් හමුවූ අවස්ථාවේ කරපු කතාවක්නේ. කර්තෘවරු අලූත් ආරංචි අහද්දි එතුමා කියලා තියෙනවා අවුරුදු නැකත් උදාවෙන කොට හොද දෙයක් වෙයි බලා ගන්නකෝ කියලා… මේ කතාවට නේ සර් තටු හම්බ වෙලා තියෙන්නේ… රන්ජන් කීවේ කාගේත් සිනා මැදය.

“පුවත් පත්වල සේවකයන්ට අවුරුදු දවසෙත් වැඩට එන්න වෙයි කියලා ප්‍රධානින් දැනුම් දීලා තියෙනවා…” වෛද්‍ය කාවින්ද ජයවර්ධන හඩ අවදි කළේය.

“මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විශ්වාස කරන්න බැරි කෙනෙක්නේ. ඒකයි ඔය කතාවට තටු ලැබුනේ…. චමින්ද විජේසිරි කී කතාව සැවොම හිස සලා අනුමත කළහ.

“ජනාධිපතිගේ ජපන් ගමනත් නැවතිලා නේද…. හේෂා විතාන මන්ත්‍රිවරයා ප්‍රශ්නයක් යොමු කළේය.

“එයා ගිය අවුරුද්දේ ජපන් ගියානේ… ජපානයට පොරොන්දු වූ සහයෝගය ලැබුණේත් නැහැනේ. වරායේ නැගෙනහිර ජැටිය බදු දෙන ගිවිසුම යට ගිය එකටත් ජපානය ඉන්නේ සතුටින් නොවෙයි. කිරිඇල්ල ඊට පිළිතුරු සැපයීය. කොහොම වුනත් ජපානය මේ වෙලාවේ නිල සංචාරයට ආරාධනා කරලා තිබුණේ සාගල රත්නායකටයි සභානායක කිරිඇල්ල තවදුරටත් විස්තර කළේය.

“මහින්ද රාජපක්ෂ කියලා තියෙන්නේ ආණ්ඩු වෙනසක් සිදු වෙනවා… මාධ්‍යයටත් එය දැනිලා තියෙන්නේ කියලා” නවීන් දිසානායක කීවේය.

“සිංහල අවුරුදු කාලේ කියන්න දෙයක් නැතුව කියන කතාවක්නේ. අය වැය පරාජය කරනවා කියලා කිව්වා. ඒක කර ගන්නත් බැරිවුනා ඉතින් මාධ්‍යයට ඔය වගේ කතා කියන එක සාමාන්‍ය දෙයක්…. අගමැති කීවේය.

“ගෝඨභය රාජපක්ෂත් කියලා තිබුණා. ඇමරිකාවේදි නඩු දැම්මා කියන කාරණය ගැන නිත්‍යානුකූල විදියට ලියවිල්ලක් භාර දීලා නැහැ කියලා…” චමින්ද විජේසිරි නැවතත් ප්‍රශ්නයක් යොමු කළේය.

“එයා හිතාගෙන ඉන්නේ ලංකාවේ වගේ රාජ්‍ය නිලධාරියෙක් ඇවිත් ඒක බාර දෙනවා කියලායි. ඇමරිකාවේ එවැනි සිතාසි බාර දෙන්නේ පෞද්ගලික කොම්පැණි හරහායි. ඔවුන් ඉන්න තැනක් බලලා ගිහින් දෙනවා. මේක මේ ලංකාවේ මිනිස්සු රවට්ටන්න කියපු දෙයක්නේ. නවීන් දිසානායක ඇමතිවරයා කීවේය.

“අමරිකානු පුරවැසිභාවය ඉවත් කරගන්නවා කියන්නේ කසාදයක් බැදලා දික්කසාදයක් වුනා වගේ වැඩක්…. කසාදය දික්කසාද වුනත් වගකීමෙන් ගැලවෙන්න බැහැනේ. ඒ වගේ තමයි මෙතනදි පුරවැසිභාවය අයින් වුනත් නඩුවෙන් නම් ගැලවෙන්න බැරි වෙයි කිරිඇල්ල කී විට සිටි සැමට සිනහ නොවි සිටිය නොහැකි වූහ.

“ඒ කියන්නේ බැරි වෙලාවත් මෙයා ලංකාවේ ජනාධිපති වුනොත් ලංකාවේ ජනාධිපති කෙනෙකුට ඇමරිකානු උසාවියේ නඩුව කියන්න වෙන පළවෙනි අවස්ථාව වේවි… චමින්ද විජේසිරි කීවේය.

“එයාපෝර්ට් එකට සෙනඟ අවාද කියලාත් එයා ප්ලයිට් එකේ ඉදන්ම අහලා තියෙනවා. ප්‍රසන්න රණතුංගයි තව සංවිධායකවරු කිහිප දෙනෙක් එතනට සෙනඟ එක්ක ගිහින් තියෙනවා… හැබැයි ඉතින් වැඩිම සෙනඟක් 2003 දි එයාර්පෝර්ට් ගෙනිච්චේ එක්සත් ජාතික පක්ෂය බව ඔය කාටත් අද මතක නැති වෙලා ඇමති හැරිසන් කී දේ සැවොම අනුමත කළහ.

“ජනාධිපති බුද්ධගයා යන්න හදපු එකත් අසාර්ථක වෙලා නේද’ චමින්ද විජේසිරි යළිත් විමසා සිටියේය.

“ඔව් මේ කාලේ බිහාර් ප්‍රාන්තයේ ඡන්දය තියෙන නිසා ගැටලූවක් මතු වෙලා තියෙනවා. ඒක නිසා තිරුපති වදින්න ගිහිල්ලා සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල පහදා දුන්නේය. ජපානෙත් යන්න බැරිවෙච්ච නිසා ජනාධිපතිතුමා එතනින් සිංගප්පූරුවට ගිහිල්ලා තියෙනවා. කිරිඇල්ල තවත් විස්තර කීවේය.

“ජනාධිපති නීතිඥවරු පත් කරන ක්‍රමවේදය මොකක්ද දෙවතාවක්ම ජනාධිපති නීතිඥවරු පත් කරලානේ. හේෂා විතානගේ ඇසුවේය.

“මා දන්නා තරමට සාමාන්‍යයෙන් වසරකට එක වරයි ජනාධිපති නීතිඥ පදවි දෙන්නේ. මෙවර දෙවරකදි එය කිරිම ගැන නිතී ක්ෂේත්‍රයේ කතාබහක් ඇති වෙලා තියෙනවා. මටත් මේ ගැන නීතිඥයෝ කිහිප දෙනෙක්ම කතා කරලා කිව්වා… නවීන් දිසානායක කී කාරණය එහි සිටි සැවොම බැරෑරුම්ව අනුමත කළහ.

“සජිත් ප්‍රේමදාස ඇමතිතුමායි රවි කරුණායාක ඇමතිතුමයි කරන මේ වාග් සංග්‍රමය එතරම් හොද දෙයක් නොවෙයි නේද කාවින්ද ජයවර්ධන විමසා සිටියේය.

“ඒ ගැන සොයා බලලා දෙන්නගේ ප්‍රශ්නය ඉවර කරන්න මම කටයුතු කරනවා… අගමැති කී දේ සැවොම අනුමත කළේය.

මේ අතර ගන්නොරුව රජමහා විහාරයේ පැවැති හිසතෙල් ගෑමේ උත්සවය සභානායක ඇමති ලක්ෂ්මන් කිරිඇල්ලගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි. එහිදි සභානායකවරයා ඉතිහාසය මතක් කරමින් කතාවක් කළේය.

“සිංහලයන් නිදහස වෙනුවෙන් සටන් කළේ නැහැ කියන එක අසත්‍යයක්. ලෝකයේ කිසිම රාජධානියක් අවුරුදු 300 ක් තිබුණේ නැහැ. එහෙම ආරක්ෂා වුනේ උඩරට රාජධානිය පමණයි. ඔලන්ද ලන්දේසි ජාතිකයන් 47 වතාවක් උඩරට අල්ලන්න උත්සාය කළත් බැරිවුනා. අන්තිමට උඩරට රාජ්‍ය ඉංග්‍රීසින්ට දුන්නේ යුද්දෙන් නොව ගිවිසුමකිනුයි.

මේ ඉතිහාසය සියලූ දෙනා දැනගන්න ඕනේ. එදා අපේ උරුමය කියලා පොතක් පාසැල් අධ්‍යාපනයේ තිබුණා. යැයි කිරිඇල්ල ඇමතිවරයා සිහිපත් කළේය.

එම උත්සවය ආවරණය කිරීමට පැමිණ සිටි මාධ්‍යවේදින් එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ගැන ඇමතිවරයාගෙන් විමසා සිටියේය.

පක්ෂයේ නායකයා ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වෙනවා නම් මම කැමතියි. හැබැයි පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය තමයි ජනාධිපති අපේක්ෂකයා කව්ද කියලා තීරණය කරන්නේ. පොහොට්ටු පක්ෂය වගේ තාත්තයි බාප්පයි, ලොකු තාත්තයි, අම්මයි පුතාලයි එකතු වූ කෘත්‍යාධිකාරි මණ්ඩලයකින් නොවෙයි අපේ ජනාධිපති අපේක්ෂකයා තොරන්නේ යැයි කිරිඇල්ල ඇමතිවරයා කන්ද උඩරට සිට අනාවරණය කළේය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *