ඔබයි රම්‍ය සඳ කිරණ ! එච්. එම්. ජයවර්ධන

රෝහණ වීරසිංහයන් ගේ හඞින් මේ කියන්නේ,

හද්දා පිටිසර සියඹලාණ්ඩුවේ,
ගැමි දුප්පත් පව්ලක උපන් පුංචි ළමයෙක් !
පසු කලෙක මුලු මහත් ලංකාවාසී,
සිංහල සංගීත ලෝලීන් මුසපත් කරවන,
ගී තනු නිර්මාපකයකු වේ යැ යි,
මොහොතකටවත් කිසිවෙකු සිතන්නට ඇති ද ?

හෙලයේ මහා ගාන්ධර්ව නාම ලාභී අමරදේවයන් ඇතුලුව,
සනත් නන්දසිරි, නන්දා මාලිනී, වික්ටර් රත්නායක,
නීලා වික්‍රමසිංහ, ටී. එම්. ජයරත්න, මාලිනී බුලත්සිංහල,
සුනිල් එදිරිසිංහ, එඩ්වඩ් ජයකොඩි,
ආදී ලාංකේය සංගීත ක්ෂේත්‍රයේ,
අති දැවැන්තයන් රැසක්,
බබලවන්නට තරම් පොහොසත්,
අති මධුර ගී තනු, නිර්මාණය කර දෙන්නට තරම්,
මේ ගමින් ආ කොලු පැංචා සමත් වේ යැයි,
සිතිවිල්ලක් කාට නම් පහලවන්නට ඇත්ද ?

එහෙත් එය එසේ සිදුවිය.

අති දුෂ්කර වෙල්ලස්සේ, සියඹලාණ්ඩුවේ ඉපිද, පහේ ශිෂත්වය සමත්වී, පස්සර මධ්‍ය මහා විද්‍යාලයට ඇතුලු වුවත්, ඒ අතහැර දමා, තමාට උරුමවූ දේ සොයා ගිය එච්. එම්. ජයවර්ධනයන් ගේ කතාවයි මේ.

එකල හැත්තැව දශකය ආරම්භයේ දී, කැසට් පට සඳහා ගී ගැයුවේ තෝරාගත් සීමිත පිරිසක් නිසා මෙයින් වන බලපෑම අවම කර ගැනීමට නව ආරක සංගීත පරපුරක අවශ්‍යතාවය දැනෙන්නට විය.

එම අඩුව පිරවීමට, හැත්තෑවේ දහකයේ මැද භාගයේ දී සිංහල සංගීත ක්ෂේත්‍රයට පිවිසි රෝහණ වීරසිංහ සහ එච්.එම්. ජයවර්ධන යන දෙදෙනා විසින් අලුත් සංගීත පරපුරක් වෙනුවෙන් කළ මෙහෙය නිසාම නූතන ගීතයට දැවැන්ත ම සෙවනැල්ල වැටෙන්නේ ඔවුන් දෙදෙනා අතිනි.

මෙයින් රෝහණ වීරසිංහයන් අතින් නිමැවූ ගීත සංඛ්‍යාව 1400 ක් පමණ වන අතර, ජයවර්ධනයන් අතින් බිහිවන ගීත සංඛ්‍යාව 750 ක් පමණ වීමෙන් ම ඒ බව තහවුරු වේ.

නව පරපුරක පුරෝගාමී සංගීත මෙහෙයක යෙදීමට නියමිත එච්.එම්. ජයවර්ධනයන්, ගුවන් විදුලි වාදක මණ්ඩලයට එක්වන්නේ ආධුනික බටනළා වාදකයකු ලෙසිනි.

මීට් අමතරව මුල් යුගයේ ඔහු , ආනන්ද පද්මසිරි ලියූ ” ගංගාව මමයි” නම් ගීතය ගැයූ බව සදහන් වේ.
එයින් ම ඔහු එය තමාට ගෝචර නොවන බව දැන ගීත ගැයීම නවතා දමා, ලූෂන් බුලත්සිංහල ලියූ, මාලිනී බුලත්සිංහල ගැයූ, ” රජ මැදුරක ඉපදී සිටියා නම්” ගීතයට තනුවක් නිර්මාණය කරමින් ගී තනු නිර්මාණයට පිවිසෙයි.

ඔහු ගේ ඊලග ගී ත්‍රිත්වය වූ ටී. එම්. ජයරත්න ගයන, ” සියක් ආයු ලැබ ” , “රත්තරන් නෙත්”, “ඔබ හා මෙමා ” මගින් ඔහු ගීත සාහිත්‍යයේ හා සංගීතයේ ඉහලටම නැගීමට ඉවහල් විය.

මේ සියලු ගී ඉතාමත් ජනප්‍රිය වූ බව නොරහසකි.

මෙතැන් පටන් සිංහල සරල ගීතය නව ආරකට යොමු කරමින්, පද රචනාවේ තිබූ අරුත් පූර්ණ සාහිත්‍ය රසයට ප්‍රේමණීය ස්වර මාලා ගොතමින්, ආදර ගීතය ට නව ජීවයක් ලබා දුන් බව කිවයුතුය.

ඔහුගෙන් නිමවුනු ගී පද මාලාවල ට සදාකාලික ජීව ගුණය එක්කරමින්, ආදරයට ආදරයෙන් ද, විරහවට විරහවෙන් ද, වේදනාවට වේදනාවෙන් ද, ශෝකයට ශෝකයෙන් ද, ආනන්දයට ආනන්දයෙන් ද, ගී තනු වලින් හා සංගීත සංයෝජනවලින්, නව ජීවයක් එක්කළ බව ඔහු ගේ මධුරතර ගීතාවලිය සොයා බැලීමේ දී පසක් වෙයි.

ඔහු හද බස හදුනන විශිෂ්ටයකු වන්නේ එහෙයිනි.

එසේම ඔහුගේ මේ සියලු ගී ඇසුවකු මෙලකේ මහාම පින්වන්තයකු නොවේ ද,

ඔහුගේ ගී තනුවක් නොගැයූ මෙරට ශිල්පියෙකු හෝ ශිල්පිණියක නොමැති තරම් ය.

ඔහුගේ ගීත අසා නැති කෙනෙකු වේනම් ඔහු, දෙසවන් බිහිරි වූවකු පමණි.

එච්.එම්. ගේ ගී තනු වලින් වැඩිම ප්‍රමාණයක් ගයා ඇත්තේ මාලිනී බුලත්සිංහල ගායන ශිල්පිණිය විසිනි. තනු නිර්මානය කිරීමේදී ඇතිවූ දීර්ඝකාලීන බැදීම නිසාම ඇය ඔහුගේ සෙවනැල්ල වන්නට ඇත.

මාලිනී ගේ ගීවල රැදුණු, සියුම් උත්ප්‍රාසය, හාස්‍යය, ගීතනු නිර්මාණයේ ද දකිය හැකිය.

“සැන්දෑ අහස”, “මළපොතේ අකුරු”, “අහසින් තරුවක් ” ,”කන්ද කෙන්ද “වැනි ගීතවල ඇත්තේ එම ලක්ෂණයි.

ඔහු ගේ ගී තනුවලින් බොහෝ ප්‍රමාණයක් ප්‍රේමණීය පද රචනාවන් වූ නිසාම ඒවා සියල්ලම මධුර ගීත වේ.

එයින් බැහැරව යන්නේ, “මිනිසකු පිට නැගි අසරුවෙකී”, “තංගමනී” , “ඉස්සර මං ගිය” වැනි ගීත අල්පයකි.

ඔහු ගේ සංගීත දිවියේ ගී තනු රචනාවලට වැඩි දායකත්වයක් ලබා දුන්නත්, සීමිත චිත්‍රපට ප්‍රමාණයකට පසුබිම් සංගීතය නිර්මාණය කරමින්, ඔහු සිනමා සංගීතයට ද දායක වී ඇත.

ඒ අතරින්, “කැළෑමල්” , “ආරාධනා”, “මුහුදු ලිහිණි” වැනි චිත්‍රපට ප්‍රධාන වේ.

1985 දී, සුනිල් ආරියරත්නයන් අධ්‍යක්ෂණය කළ, “මුහුදු ලිහිණි” චිත්‍රපටයට, එච්. එම්. ජයවර්ධනයන් කල සංගීතය වෙනුවෙන් ඔහුට ජනාධිපති සම්මානය හිමි වුවත්, ඔහු එය ප්‍රතික්ෂේප කරන්නේ, එම වසරේම තිරගතවූ ධර්මසිරි බණ්ඩාරනායකයන් ගේ ” තුන්වැනි යාමය” වෙනුවෙන් ප්‍රේමසිරි කේමදාසයන් ගේ සංගීත නිර්මාණය සිය නිර්මාණයට වඩා උසස් යැයි ඔහු ඇදහූ හෙයිනි.

ඔහු සෘජු ගතිගුණ ඇති දුලබ මිනිසකු වන්නේ එහෙයිනි.

රජ මැදුරක නොඉපදුනු, එච්.එම්. රජෙකි.
ඔහුට ආදරය කරන රසික සහෘදයන් ඔහුගේ නිර්මාන වැලද ගන්නේ ඉමහත් ආදරයෙනි. එච්. එම්. නම් නිර්මාණකරු සහ සැබෑ මිනිසා අතර වෙනසක් නැති නිසා ම රසිකයන්, එච්. එම්. නම් සංගීතවේදියාට සේම එම මිනිසාට ද එක හා ලෙංගතුකමක් දැක්වූ යේ ඒ නිසාය.

ඔහුගේ ගී රචනා සංකීර්ණ හෝ ගැඹුරු හෝ ඒවා නොවේ.

ගීතයේ සාහිත්‍යමය අරුත් ගෙන හැර පාන, ගීතයේ සමස්ත අරුත ශ්‍රාවකයාට වැටහෙන අයුරින් ගී තනු නිර්මාණය කිරීම ඔහු ගේ දක්ෂතාවයකි.

ඔහු ගේ සදාකලික ගී තනු උල්පතක සිසිල විඳින්නට අප පින් කර ඇත්තේය.

එම මධුර ප්‍රේම කල්පනා අතර අප මේ මොහොතේ ද සරිසරන්නේ ද එහෙයිනි.

මා සිත් ගත්, ඔහුගේ සරල ගී සංකල්පනා කීපයක් මේ.

සුනිල් ආරියරත්නයන් ගේ පද මාලාවකට විශාරද නන්දා මාලිනි ය ගයන ගීතයක් මුලින්ම !

ඔබයි රම්‍ය සඳ කිරණ ඝන අන්ධකාරේ
ඔබයි සෞම්‍ය තරු එළිය ගිම්හාන කාලේ

සදානන්දකරවූ ඔබේ මධුර රාවෙන්
පිපී ආමි අරවින්දයක් සේ තඩාගේ

“ප්‍රේමය නම් කිමැයි ඔබ මට කියා දුන්නෙහිය.
දැන් මගේ පරමාර්ථය ඔබ ය,
මගේ පරමාදර්ශය ඔබ ය ”
මාගේ ඒකායන ප්‍රාර්ථනය ද ඔබය”

උදා වූ සුපෙම් දම් නුසුන් වී රැඳේවා
මගේ පුංචි ලෝකේ තැවුල් දුක් නොවේවා

“ප්‍රේමයේ ද්වාරය ඔබ මට විවර කෙළෙහි ය.
දැන් මගේ අතීතය ඔබ ය
මගේ වර්තමානය ඔබ ය,
මගේ උත්තරීතර අනාගතය ද ඔබ ය”
———–

කඩමණ්ඩියේ දොළ අයිනේ නුඹව පෙනී,
නැවතී බලනවා මොහොතක් කොහොම හරී
කතා නැතිව හිටියත් ගොළු වෙලා අපී
දාහක් දේ කීමට බැරිව වැසී

—————–සුනිල් ආරියරත්න – නන්දා මාලිනී

මා හඬනා කඳුළු ගලා
සැදුණු කඳුළු සාගරේ
ඔබ ඇය හා ඔරු පැද පැද
සිනාසුනේ ඇයි

————– සුනිල් ආරියරත්න – නන්දා මාලිනී

මේ ගඟ මේ දුරු කතර ගෙවා
ඇයි මෙතැනින් සයුරේ වැටුනේ
මේ හැටි දුර පියමං කරලා
ඇයි මම ඔබ ලඟ නතර වුනේ

—————ලූෂන් බුලත්සිංහල -නිරංජලා සරෝජිනී

මිණි මිණි පොදේ ළා අඳුරේ
තෙමි තෙමි ගිය දා
ඉඳහිට අදත් සිහිවෙනවා
සිරිපොද දැකලා

—–ලූෂන් බුලත්සිංහල -නිරංජලා සරෝජිනී

ළා සඳ එළියේ නා පෙති හැලිලා
නා මල් සුවදයි විහිදෙන්නේ
මා දිවි රැය සුවඳින් මල් පුබුදා
සඳ දිය ඉල්ලයි මිහි සඳුනේ

————දයා ද අල්විස් -නිරංජලා සරෝජිනී

සඳ තරු නිහඞයි
ගහකොල නිසලයි
මුළු ලොව සැතපෙයි
සිතිවිලි විතරක් අවදි වෙලා

—–කුලරත්න ආරියවංශ -අමරදේව

රත්තරන් නෙත් දෙකින්
සලා සිහිල් පවන්
ජීවිතේ ළසෝ තැවුල්
නිවන්න රත්තරන්

–කුලරත්න ආරියවංශ -ටී. එම්. ජයරත්න

මට තනි නැත
නුබ නාඬන් සුරතලියේ
ප්‍රේමාලිංගන නැතුවට
අහිමි පෙමට බිදුණු සිතට
මම නොතැවෙන්නෙම්

—-විමලා රංජිනී පීරිස් -ටී. එම්. ජයරත්න

ඔබ හා මෙමා අතිනත් අරන්
අපගේ ලොවේ තනිවූ එදා
ඔබ මා දෙපා දෑතින් බදා
සිපගත් එදා සිහිවෙනවා

—–විමලා රංජිනී පීරිස් -ටී. එම්. ජයරත්න

රජ මැදුරක ඉපදී සිටියා නම් – නුඹත් රජෙකු පුතුනේ
හිරිකඩ බාගෙන පොල් අතු ඉගිලෙයි
අද නුඹෙ සිරි යහනේ
හීනෙන් හිනා නොවී
මා හඞවාපන් මේ රෑ යාමේ

—–ලූෂන් බුලත්සිංහල -මාලිනී බුලත්සිංහල

අහසින් තරුවක් කඩා වැටෙනවා
තරුව කතා නෑ අහසයි වැලපෙන්නේ
නටුවෙන් නෑඹුල් මලක් වැටෙනවා
මලේ කතා නෑ සුළඟයි වැලපෙන්නේ

—-ලූෂන් බුලත්සිංහල -මාලිනී බුලත්සිංහල

ඔබට මා ආදරය කළ බව මෙතරම්
මා දමා ඔබ දුරු රට යනතුරු නොදනිමි
වලාවකින් ඔබ වැසී ගියා බොල් අහසේ
සිනා පහන් වැට නිවී ගියා සැඩ් සුළඟේ

—සුනිල් ආරියරත්න -මාලිනී බුලත්සිංහල

වසන් කරන්නට බෑ මගෙ හිත අද
පෙම් මල් පූදිනවා
සෙනෙහස ඉපදී සුවඳින් මත් වී
පෙම් මල් පූදිනවා

—–රත්මලේ ගුණවර්ධන -මාලිනී බුලත්සිංහල

සිහිනයකි ඔබ නිහඞ මැදියම් රෑ
නිදන නෙත් යුග සනසනා
සිතුම් රැළි ඔබ තනිව හිඳි වේලේ
නිහඬ මා හද සනසනා

—- කුසුම් පීරිස් -බණ්ඩාර ආතාවුද සමග නිරංජලා

මධුර ප්‍රේම කල්පනා
ගෙනේ විරහ වේදනා
අමතක වූ අතීතයක
පත් ඉරු යළි පෙරළිලා
හීන රටක මල් උයනක
නෙතු රැහැනේ පැටළිලා

— තිලකරත්න කුරුවිට බණ්ඩාර -නන්දා මාලිනී

පුර පෝය හඳට පෙමින් බැඳුනු තාරකා ලදුන්
ගී හඬින් කියන පෙම් කතාව අසාගෙන වරෙන්
නීල වලාවේ
ඇගෙ පෙම් කතාව අසාගෙන වරෙන්

—-සුනිල් ආර් ගමගේ -සුනිල් එදිරිසිංහ

නුඹේ සිතට පුන් සඳ පායලා වගේ
සිනා කිකිණි මල් පිපුණා දෙතොල දිගේ
එදා නැගුණු ආදර කැක්කුමට මගේ
ජාති ජාති නුඹ මට වාසනා නගේ

—සුනිල් ආර් ගමගේ -සුනිල් එදිරිසිංහ

බින්දු බින්දු තාරකා
කදුළු මල් විලේ
උමතු වී සඳයි ඔබයි
හිනැහුනා රැයේ
සුබ පැතුම් ආගාධයේ ගීතිකා ඇසේ
අහිමි වූ ආදරේ සත් පියුම් පිපේ

—ලූෂන් බුලත්සිංහල -ගුණදාස කපුගේ

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *