කෙටි කාලීනව අමාරු නමුත් ඉදිරිය රටට යහපත් – නීතිඥ ශිරාල් ලක්තිලක

Shiral Lakthilakaවත්මන් ආණ්ඩුව කිසියම් මූල්‍ය හිඟයකට මුහුණ දී සිටින බව කවුරුත් දනිති. චීනයෙන් ගිනි පොලියට ණය ගෙන මහින්ද රාජපක්ෂ ගෙනගිය කොන්ක‍්‍රීට් සංවර්ධනය අත්හිටුවීම මෙයට ප‍්‍රධාන හේතුව වේ. වත්මන් ආණ්ඩුව උත්සාහ දරන්නේ රටට අහිතකර රාජපක්ෂ මාදිලියේ සංවර්ධනයෙන් මෑත් වී විදේශ ආයෝජන හරහා රට නව සංවර්ධන මාවතකට යොමු කිරීමට ය. අගමැතිවරයාගේ ජපාන සංචාරයේ මූලික අරමුණ වූයේ ද විදේශ ආයෝජන ලබා ගැනීම ය. ඒත් සමගම මහින්ද රාජපක්ෂ රෙජීමය සමග පැවැත් වූ චීන  සම්බන්ධය කිසියම් ප‍්‍රමාණයකට දැන් ඈත් වී තිබේ. මේ සංක‍්‍රාතික කාලය තුළ ආණ්ඩුව කිසියම් මූල්‍ය හිගයකට මුහුණදීම ඒ අනුව තර්කානුකුළ ය. ඒ අනුව දැනට පවතින  මූල්‍ය හිගය දිගුකාලීනව පවතින්නක් නොව කෙටිකාලීන එකකි.

ශී‍්‍ර ලංකාවේ විදේශ ප‍්‍රතිපත්තියේ මේ නැමියාවත් සමග චීන ණය යටතේ ආරම්භ කර ඇති ඇතැම් සංවර්ධන ව්‍යාපෘතිවලය කරන ගෙවීම් ද දැන් කෙරෙන්නේ මන්දගාමීව ය. එය ද චීනය නව ආණ්ඩුව සමග පවත්වන විදේශ  සම්බන්ධතාවය  කිසිටම් දුරකට ඇල්මැරී ඇති බවට සාක්ෂියකි. චීනය මෙතරම් අධික ණය ප‍්‍රමාණයක් රාජපක්ෂ රෙජීමයට ලබාදුන්නේ විශේෂ  ආදරයකට නොව භූ දේශපාලනයේ දී ඔවුන්ට ඇති වැදගත්කම හේතුකොටගෙන ය. මේ වන විටත් බුරුමයේ හා පකිස්ථානයේ ද ශ‍්‍රි ලංකාවේ මෙන්ම නව වරායවල් සහ සහ ගුවන් තොටුපොලවල් ඔවුන් ගේ ණය යටතේ සංවර්ධනය කර තිබේ. චීනයට ආසියාවේ අනික් වැදගත් කේන්ද්‍රස්ථානය වන්නේ ලංකාවය. නැව් නොඑන හම්බන්තොට වරාය සහ ගුවන්යානා නොඑන  මත්තල ගුවන් තොටුපොල අපිට වැදගත් නොවූවාට චීනයට එය වැදගත් වන්නේ ඒ අනුව ය.  හැබෑ සංවර්ධනය කෙසේ වෙතත් රාජපක්ෂගේ මහන්තත්තකම පෙන්වීමට හම්බන්තොට උඩු යටිකුරු කිරීමේ උවමනාව සහ චීනයේ උක්ත උවමනාව එකට ගැලපුනී.  කෙසේ නමුත් චීන ණය වලින් ඇස් නිලංකාරවන ඉදිකිරීම් මගින් විශාල මුදල් ප‍්‍රමාණයක් යටිමඩි ගැසූ බව ද කවුරුත් දනිති.  මතුපිට තලයේ දී  රාජපක්ෂ මාදිළියේ සංවර්ධනය ආකර්ශනීය වූ නමුත් අභ්‍යන්තරිකව ආර්ථිකය කඩා වැටෙන්නට නියමිත විය. විශේෂයෙන්ම අපගේ අපනයන අඩුවීම  හා ආනයන වැඩිවීම තුළ බරපතල ගෙවුම් ශේෂ ප‍්‍රශ්නය උග‍්‍රවෙමින්  තිබුණි. රාජපක්ෂ රෙජීමය ඩොලරය ස්ථාවර මට්ටමක පවත්වා ගත්තේ ද කෘතිම ලෙස ය.  හදිසි ජනාධිපතිවරණයට ගියේ ද ඉදිරියේ ඒමට නියමිත ආර්ථික අමාරුවට පෙර ජනපතිවරණයෙන් ජයගෙන ඉතිරි වසර 6 ද බලයේ සිටිම සඳහා බව කවුරුත් දනිති.

මෙහි දී ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා  දැන උගත් අයගෙන් රාජපක්ෂට එල්ල වූ විරෝධයේ ප‍්‍රමාණය ගණනය කර ගැනීමට ඔහු සමත් වූයේ නැත. එසේ නැත්නම් ඒ විරෝධය යටපත් කිරීමට තරම් ජාතිවාදී හා පහල සමාජ කොටස් බලවත් බව ඔහු කල්පනා කළේ ය.  එහෙත් ඔහුගේ ගණන් බැලීම වැරදුණු අතර නව ආණ්ඩුව බලයට පත්වූයේ ඉතිහාසයේ ප‍්‍රථමවතාවට යැයි කිවහැකි ප‍්‍රබුද්ධ ජනතීරුවකගේට සහාය ඇතිව ය. ඒ නිසා මහින්ද රාජපක්ෂට වෙනස්ව,  ප‍්‍රජාතන්ත‍්‍රවාදී යාන්ත‍්‍රණ ශක්තිමත් කරමින් නව සංවර්ධන මාවතට පිවිසීමට වත්මන් ආණ්ඩුවට බලකෙරී ඇත.

මේ තතු යටතේ පරාජිත ජාතිවාදි බලවේග තවමත් ක‍්‍රියාත්මක වෙමින් පවති. ජිනීවා යෝජනා හා ආණ්ඩුව පැත්තෙන් ඉදිරිපත් කළ විසඳුම් වලට එරෙහිව මහා ඝෝෂාවක් ඇතිකිරීමට උත්සාහ ගන්නේ ඒ අය විසිනි. රාජපක්ෂ ගේ බලවේගය සමග එක් වී දේශපාලන අස්ථාවරත්වයක් ගොඩනැගීම මොවුන්ගේ ඒකායන උපාය වී තිබේ. රාජපක්ෂගේ ද අනුදැනුම ඇතිව ක‍්‍රියාත්මක වන මේ බලවේගය සමන්විත වන්නේ ගැමි සමාජයේ නොදැනුවත් ජනතාවගෙනි. නගරබ ද ද ඒවැනි සමාජ තීරුවක් ඇත. ආර්ථික අමාරුකම් ප‍්‍රයෝජනයට ගෙන මේ බලවේගය ජාතිවාදි මාවත ඔස්සේ ආණ්ඩුවට එරෙහිව පෙළ ගැස්සවීම පහසු ය.

මෙයට ප‍්‍රතිචාර ලෙෂ ආණ්ඩුව උත්සාහ දරන්නේ  විදේශ ආයෝජන ඉක්මනින්ම රටට ගෙන්නාගෙන ආර්ථිකය ස්ථාවරත්වයක් ඇතිකර ගැනීමට ය. අර්ථික අමාරුකමෙන් ඉක්මනින්ම ගැලවීමට හැකි නම් මේ පහළ ජනතීරුව ඇවිස්සීම එතරම් පහසු වන්නේ නැත. මාගේ මැනීම අනුව විශාල විදේශ ආයෝජන ප‍්‍රමාණයක් පැමිණිම වැළැක්විය නොහැක. මේ අතර මන්නාරම් ද්‍රෝනියේ තෙල් සම්පත ගොඩදමා ගැනීමට හැකි වුවහොත් අපගේ සංවර්ධනට ඉතාමත් වේගයෙන් ඉදිරියට යන බවයි මගේ මැනීම. ආසියාව  සංවර්ධනයත් සමග සාධනීය ලෙස අප සම්බන්ධ වන්නේ නම් මේ වතාවේ දී අපිට කොච්චිය අතහැරෙන්නට වෙනත් හේතුවක් නැත.

ඉදිරි ආර්ථික ජයග‍්‍රහණය සඳහා අපගේ විදේශ ප‍්‍රතිපත්තිය නිවැරදි දිසාවකට ගමන් කිරීම අත්‍යවශ්‍ය  වේ. විශේෂයෙන්ම මානව හිමිකම් පිළිබඳ සැළකිල්ලක් දැක්වීම කෙරෙහි වත්මන් ආණ්ඩුවට ඇත්තේ විශාල ප‍්‍රසාදයකි. අනික් අතට  රටේ මේ කැපී පෙනෙන වෙනස ඇතිකිරීමට දායක වූ සමාජ බලවේගයන් ගේ ඉල්ලිම වන්නේ ද ප‍්‍රජාතන්ත‍්‍රවාදයයි. වෙනත් රටවලට සාපේක්ෂව ලංකාවේ පුරවැසි සංවිධාන මූලික වී කළ මේ වෙනස ජාත්‍යාන්තරව ද කැපී පෙනෙන්නකි. මැද පෙරදිග මහජන කැළඹිලි දිග හැරෙන එම සිද්ධිදාමය තවමත් කෙළවරක් නැත. එහෙයින් රාජ්‍ය ප‍්‍රජාතන්ත‍්‍රිය කිරීමේ වැඩ පිළිවෙල වත්මන් ආණ්ඩුවට අමතක කිරීමේ හැකියාවක් නැත. ඒ අනුව පළවෙනි වටයේ දී 19වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ දි කරගන්නට නොහැකි ප‍්‍රතිසංස්කරණ   ටික නිමාකළ යුතුව ඇත. දැනටමත් කොමිෂන් සභා පත්කිරීම ආරම්භ කර තිබේ. මෙය තරමක් ප‍්‍රමාද වූයේ  සම්මුති බද්ධ ආණ්ඩුවේ ස්වභාවය හේතුකොටගෙන ය. හෙමින් නමුත් නිවැරදි මාවතකට ප‍්‍රවේශවීමේ දී දේශපාලන ස්ථාවරත්වය ගොඩනගා ගැනීම අංක එකය.

මේ අතර අපගේ විදේශ ප‍්‍රතිපත්තිය කිසියම් ප‍්‍රමාණයකට බටහිරට නැඹුරු වී ඇති බව සත්‍යයකි. ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධි හා ¥ෂිත විදේශ බලවේග වලින් නිදහස්වීම කිසියම් ප‍්‍රමාණයකට අප ලැබූ ජයග‍්‍රහණයකි. කෙසේ නමුත් අපගේ විදේශ ප‍්‍රතිපත්තිය නොබැඳි ප‍්‍රතිපත්තියක පවත්වා ගැනීම වැදගත් බවයි මා කල්පනා කරන්නේ. මක් නිසා ද යත් භූ දේශපාලනයේ දී ලංකාව එක්තරා දුරකට වැදගත් කේන්ද්‍රස්ථානයකි. එහෙයින් බල කඳවුරුවල ඉත්තෙක් නොවීම අපිට ඉතා වාසිදායක ය. රාජපක්ෂ පාලනය තව දුරටත් පැවතියේ නම් ශ‍්‍රි ලංකාව චීනයේ කොලනියක් වනවාට නොඅනුමාන ය. ඒ අකාරයට ම ඊට ප‍්‍රතිවිරුද්ධ බල කඳවුරේ ද කොළනියක්වීමට ශ‍්‍රි ලංකාවට අවශ්‍ය නැත. මා මේ කථා කරන්නේ බටහිර සංවර්ධන ආකෘතියට විරුද්ධව නොවන බව ද මේ සමගම කිව යුතු ය. ආසියාව ලෝක සංවර්ධනයේ කේන්ද්‍රස්ථානයවීමට නියමිත නම් මහා බලවතුන්ගේ බල තරගයට මැදිවී නොවී සිටීමේ වැදගත් කමයි මා එයින් අදහස් කරන්නේ. මධ්‍යස්ථ ප‍්‍රතිපත්තිවය සිට ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා සංවර්ධනය අත්කර ගැනීමට තරම් අප උපායික  වියයුතුව ඇත.

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *