අවුරුද්දට ගමේ ගිහින්

අපි අවුරුද්දට ගමේ යන්නට සූදානම් වුණෙමු. මම  ටෙලිවිෂනය නිහඬ කිරීමට ගියෙමි.

ඕයි මාවත් එක්කගෙන යනවකො ටෙලිවිෂනය මගෙන් ඉල්ලා සිටියේය.

අපි හිතාගෙන හිටියෙ ටී.වී., ලැප්ටොප්, හෑන්ඩ්ෆෝන් මුකුත් නැති අවුරුද්දක් ගත කරන්නනෙ මම කියා සිටියෙමි. ආවත් පැත්තකට වෙලා බකන්නිලාගෙන ඉන්නයි වෙන්නෙ.

ඕනෑම කොන්දේසියක් යටතේ ගමේ යෑමට ටෙලිවිෂනය එකඟ විය.

ගමේදී දවස ඉතා සන්සුන්ව ගෙවී ගියේය.

අවුරුද්ද ගැන කතන්දරයක් කියන ලෙස අපේ මුණුබුරා ඉල්ලා සිටියේ මේ අතරය. බිරිඳ ඔහුට කතාවක් කියන්නට වූවාය. ටික වේලාවකින් මුණුබුරා බිරිඳට බාධා කළේය.

මට එරබදු මල් බලන්න ඕන, කොහෙක් බලන්න ඕන, රෙදි හැට්ට ඇඳගෙන රබන් ගහනව බලන්න ඕන ඔහුට කතාවේ කියවෙන දේවල් දැක ගැනීමට ඕනෑවී තිබුණි.

අපි මුණුබුරාද කැටුව ගෙදරින් එළියට බැස ගම පුරා ඇවිද්දෙමු.

දැන් කොහෙන්ද එරබදු මල්? දැන් තියෙන්නෙ බෝගන්විලානෙ, කාක්කො මිසක් කොහෙක් දැක්ක කාලයක් මතක නෑ, දැන් ෂෝට් ඇන්ඩ් ටී ෂර්ට් ගහනව මිසක් කවුද රෙදි හැට්ට අඳින්නෙ? ගමේ මිනිස්සු අපට කීහ.

බිරිඳත්, මමත් මුණුබුරාගේ මුහුණ බලන්නේවත් නැතුව ගෙදර ආවෙමු.

පීඩනයෙන් මිදීමට මම ටෙලිවිෂනය ක්‍රියාත්මක කළෙමි. ටෙලිවිෂනය මට ඇහැක් ගැහුවේය.

මෙන්න පුතේ එරබදු මල් බිරිඳ කෑගෑවාය. ටෙලිවිෂනය එරබදු මල් පෙන්වමින් අවුරුදු උදාව වර්ණනා කරමින් සිටියේය.

ඊළඟට එය කොහෙක් හඬ නගනු පෙන්නුවා පමණක් නොව කොහෝ කොහෝ කියනවදෝ ගීතයද වාදනය කළේය.

එච්චර නම් මදෑ. රෙදි හැට්ට හැඳගත් තරුණියන් රබන් ගහනවා පෙන්වමින් අවුරුදු රබන් පද ගැන විවරණයක්ද කළේය.

මුණුබුරා ටෙලිවිෂනය ඉදිරියේ වාඩිවී ඉතා ප්‍රීතියෙන් අවුරුදු සිරි නරඹන්නට විය.

ඒ අතරේ අපි වැඩිහිටි පිරිමි අවුරුද්ද සැමරීමට ටී‍පෝවක් වටේ පුටු තබාගෙන වාඩිවුණෙමු.

කොච්චර හොඳද ඕගොල්ලො මේ අවුරුද්දෙ ගමේ එන්න තීරණය කිරිල්ල මස්සිනා සන්තෝෂයෙන් වීදුරුව ඔසවමින් කියා සිටියේය. කොළඹ කොහෙන්ද අනේ අවුරුදු?

කට ගැස්මක් රැගෙන එතැනට පැමිණි නෑනාද ඊට එකඟ විය.

ගම නැත්නම් අවුරුදු නෑ ඈ කියා සිටියාය. ඕගොල්ලන්ගෙ මුණුබුරාට කොච්චර හොඳ අත්දැකීමක්ද මේක?

මම දොරෙන් එළියට ඔළුව දමා මුණුබුරා මොනවා කරනවාදැයි බැලුවෙමි.

අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර ඉෂ්ට කරන සැටි ඔහු සිනාසෙමින් බලා සිටියේය.

මේ වනවිට මස්සිනා අතීතය ගැන දුක්වන්නට පටන් ගත්තේය.

දැන් මොන අවුරුදුද? ඔහු වීදුරුව ටී‍පොව උඩ තබමින් සංවේගයෙන් කියා සිටියේය. අපි ‍පොඩි කාලෙනෙ ගමේ අවුරුදු තිබුණෙ.

නෑනාද ඊට එකඟ විය.

දැන් අපේ ළමයි අවුරුද්දට කරන්නෙ හින්දි පික්චර් බලනෙකනෙ ඕ කියා සිටියාය. ඕගොල්ලො ටෙලිවිෂන්නෙක අරගෙන නාව නම් හින්දි අලුත් අවුරුද්දක් තමයි බලන්න වෙන්නෙ.

මේ වන විට මඳක් ගිනියම් වී සිටි මට මුණුබුරා අත්පුඩි ගසමින් අවුරුදු ක්‍රීඩා නරඹන සැටි පෙනුණේය.

ඔහුගේ සතුට දුටු මට අවුරුද්දට ගමේ එන්නට තීරණය කිරීම ගැන විශාල සතුටක් දැනුණි.

ටෙලිවිෂනය මට දිව දික් කළේය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *