අහෝසි වූ කමිටුවක සීමා නිර්ණ වාර්තාව ජනපතිට බාර දෙන්නයි මැතිවරණ කොමිසම අගමැතිට කියයි

පළාත් සභා මැතිවරණ කොට්ඨාශ සීමා නිර්ණ සමාලෝචන වාර්තාව ජනාධිපතිවරයා වෙත බාර දෙන්නැයි මැතිවරණ කොමිෂන් සභාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත විශේෂ ලිපියක් යවමින්  ඉල්ලීමක් කර තිබේ.අග්‍රාමාත්‍යවරයා සීමා නිර්ණ සමාලෝචන වාර්තාව ජනාධිපතිවරයාට බාරදීමෙන් සහ ජනාධිපතිවරයා එම වාර්තාව රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමෙන් පසුව පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ බාධා ඉවත්ව යන බවද මැතිවරණ කොමිෂන් සභාව අග්‍රාමාත්‍යවරයාට යවා ඇති ලිපියේ සඳහන් කර ඇත.සීමානිර්ණ වාර්තාව බාරදීමෙන් රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වන අතර ජනතාවගේ මූලික අයිතිවාසිකම් සුරැකීමක් වන බවද මැතිවරණ කොමිෂන් සභාව අග්‍රාමාත්‍යවරයා වෙත යවා ඇති ලිපියේ සඳහන් වේ.පළාත් පාලන මැතිවරණය නව ක්‍රමයට හෙවත් මිශ්‍ර ක්‍රමයට පැවැත්වීම සඳහා සීමානිර්ණය කිරීම අවශ්‍යවන අතර ඒ සඳහා හිටපු මිනුම්පති කේ.තවලිංගම් මහතාගේ සභාපතීත්වයෙන් යුත් සමාලෝචන කමිටුවක් පත් කෙරිණි.ඒ අනුව තවලිංගම් කමිටුව සකස් කළ සීමා නිර්ණ සමාලෝචන වාර්තාව පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යවරයාට බාර දුන් අතර ඔහු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාව පරාජයට පත්විය.ඉන්පසු අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවකට එම වාර්තාව සමාලෝචනයට බාර දුන් අතර එම වාර්තාව මස තුනක් තුළ ලබාදිය යුතුව තිබිණි . එම මස තුනක කාලය ගතවීමට පෙර ජනාධිපතිවරයා නව ආණ්ඩුවක් පත්කිරීමත් , පාර්ලිමේන්තුව වාර අවසන් කිරීමත්  පසුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් නිසා අගමැතිගේ කමිටුව ද අහෝසි වීය . නැවත පාර්ලිමේන්තුව රැස්වුවද එම කමිටුව නැවත ක්‍රියාත්මක කිරීමට ප්‍රතිපාදන නොවූ බව ද වාර්තා වීය . එම තත්වය යටතේ අගමැතිගේ කමිටුව වාර්තාවක් දුන්න ද එහි නිත්‍යානුකුල භාවය පිළිබද ගැටළුවක් මතුවන බව කියති .ජනාධිපතිවරයා නව ආණ්ඩුවක් පත්කිරීමත් , පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් නීතී විරෝධී බව අධිකරණයෙන් තීන්දු වීය . එසේ වුවද පාර්ලිමේන්තුව වාර අවසන් කිරීම නීත්‍යනුකුලව සිදු වුවකි . එබඳු අවස්ථාවක පාර්ලිමේන්තුවේ සියලු කමිටු අහෝසි වෙයි . එලෙස අහෝසි වූ කමිටුවලට වාර්තා ලබාදීමේ නීත්‍යනුකුල අයිතියක් නැත . ඩිවූ ගුණසේකර මහතාගේ නායකත්වයෙන් තිබු කෝප් කමිටුව අහෝසි වුයේ පාර්ලිමේන්තුව විසුරුවා හරිම නිසාය . ඉන්පසුව එම කමිටුව වාර්තා දෙන්නට ඉදිරිපත් වයේ නැත . ඒ ආකාරයෙන්ම අගමැතිගේ නායකත්වයෙන් තිබු සීමා නිර්ණ කමිටුව ද ජනාධිපතිවරයාගේ ක්‍රියා නිසා අහෝසි වුවකි .

මැතිවරණ කොමිසම ඉල්ලන්නේ එම අහෝසි වූ කමිටුවේ වාර්තාවයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *