|

ගොඩ පෙරකදෝරුවන්ගේ පණ්ඩිත කතා ගැන කිරිඅල්ලගෙන් විග්‍රහයක්

පසුගිය සති අන්තයේ අගමැතිවරයා අනුරාධපුරයට ගියේ ජනාධිපතිවරයා සමග අලුත් සහල් මංගල්‍යයට එක්වීමටය. අනතුරුව අටමස්ථානාධිපති හිමියන් බැහැදුටු ඔහු අටමස්ථාන වලින් කිහිපයක් වැඳ පුදාගන්නටද අමතක කළේ නැත. පැමිණ සිටි ජනතාව සමගද අදහස් හුවමාරු කරගත් අගමැතිවරයා ඔවුන් හා සෙල්ෆි ඡායාරූප රැසකට පෙනී සිටියේය. ඇමති හැරිසන්ගේ අදහසක් මත  ශ්‍රී මහා බෝධිය අසල ඉඩමක ඉදිකිරීමට යෝජිත වන්දනාකරුවන් සඳහා වන දේශීය ආහාරපාන සැපයීම සඳහා වන හෙළ බොජුන් හලට මුල්ගල තැබීමද අගමැතිවරයා එදින සිදුකළේය. අනතුරුව රටේ විවිධ ප්‍රදේශ වල සංවර්ධන ව්‍යාපෘති කිහිපයක විවෘත කිරීම් හා ආරම්භ කිරීමේ අවස්ථා වලටද අගමැතිවරයා ගෙවීගිය සතියේදී එක්විය.

බ්‍රහස්පතින්දා අගමැතිවරයා අරලියගහ මැදුරට පැමිණියේ සිංහල දෙමළ අලුත් අවුරුද්දට පෙර එහි සේවක සේවිකාවන්ට සුබ ප්‍රාර්ථනා කිරීමේ අවස්ථාවට එක්වීමටය. සිකුරාදා දකුණු පළාත් මුහුදු තීරයට අගමැති සහ බිරිඳ මෛත්‍රී ගියේ දින කිහිපයක විවේකයක් සඳහාය. බ්‍රහස්පතින්දා නව වසරට අගමැතිවරයාට සුබපැතීම  සඳහා අරලියගහ මැදුරට පැමිණ සිටි මැති ඇමතිවරු, රාජ්‍ය නිලධාරින් හා මාධ්‍යවේදීන් සමඟද සුපූරුදු කතාබහකට එක්විය.

“විවේක ගන්න තමන්ගෙ මව් රට ඇමරිකාවට හියපු ගෝඨට මාර හෙනයක් පාත්වුණේ. ඉස්සර කරපු කියපුවට විරුද්ධව නඩු 3ක් ම වැටිලා.” සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල කතාවට මුලපිරීය.

“ලංකාවෙ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න ඇමරිකාවෙ පුරවැසිකම ඉවත්කරගන්න මේ නඩු අවුලක් වේවිද?” චමින්ද විජේසිරි සජුවම විමසුවේ අගමැතිගෙනි.

“ඒක මට හරියට කියන්න අමාරුයි. ලොකු ප්‍රශ්නාර්ථයක් තියනවා.” අගමැතිවරයා සැහැල්ලුවෙන් පිළිතුරු දුන්නේය.

“මේව සිවිල් නඩු වුණාට ඊට පස්සේ මානව හිමිකම් උල්ලංඝනයට කළා කියල විභාග සිදුකරන පසුබිමකුත් ඇතිවෙන්න පුළුවන් කියල ආරංචියි. ඇමරිකාව හා යුරෝපයේ අපරාධ නඩු වලටත් වඩා මානව හිමිකම් චෝදනා වලට දැඩි බලපෑම් එනවා. මොකද ජාත්‍යන්තර මානව හිමිකම් එකේ එකඟතා අනුවයි ඊටපස්සෙ වැඩේ ඉදිරියට යන්නේ.” නවීන් දිසානායක කළ විග්‍රහයට කාගේත් එකඟත්වය පළවිය.

“ඒත් ලංකාවේ කළු මාධ්‍ය දිගටම කියන්නෙ ගෝඨාබයට කිසිම ප්‍රශ්නයක් නෑ එයා ලගදීම එනවා කියලයි. අපි බලමු මොකද වෙන්නෙ කියලා” හේෂා විතානගේ කීවේ එවැන්නකි.

“මේ නඩු හබ මානව හිමිකම් ප්‍රශ්න ඔක්කොගෙන්ම බේරිලා ගෝඨාභය ඇමරිකානු පුරවැසිකම ඉවත්කරගත්තත් එයා ඊටපස්සෙ ජනාධිපතිවරණෙට ඉල්ලන්න නම් ලංකාවේ පුරවැසිකම ගන්න ඕනෑ. ඇමරිකාවෙ පුරවැසිකම අයින්කරගත්තටත් වඩා ඒ වැඩේ අමාරු වේව්ද දන්නෙ නෑ.” චමින්ද විජේසිරි කීවේ මද සිනහවක්ද සමගිනි.

“දැනට ආගමන විගමන වගකීම් තියෙන්නෙ ඇමති වජිරටයි. පුරවැසිකම් ලබාදීම් තීන්දු වෙන්නෙ ඇමතිගේ අනුමතියට යටත්වයි. ඒ ඇමතිකම ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකට දෙන්න කියල ආණ්ඩුව යෝජනා කරන්න බලාපොරොත්තු වෙනවා කියන ආරංචිය ඇත්තද?” නවීන් දිසානායක විමසුවේ අගමැතිගෙනි.

“ෆීල්ස් මාර්ෂල් ෆොන්සේකට දැනටත් අභ්‍යන්තර කටයුතු අධීක්ෂණ මන්ත්‍රී හැටියට වැඩ බලන්න කියල ආණ්ඩුව කියල තියනවා. ඒ කැබිනට් ඇමතිකම ඔහුට දෙන්නැයි ජනාධිපතිට යෝජනා කරන්න කියලා මැති ඇමතිවරු හා පසුපෙළ මගෙන් විශාල ඉල්ලීම් කරන තත්වයක් දැන් තියෙන්නෙ.” අගමැතිවරයා කීය.

“ගෝඨගෙ පුරවැසිකමේ ප්‍රශ්නයට ෆොන්සේකා අතගහවි කියල හිතලා ජනාධිපතිතුමා ඒ ඇමතිකම ෆොන්සේකට නොදුන්නොත් මොකද කරන්නෙ?” ලක්ෂ්මන් කිරිඇල්ල යොමුකළ ප්‍රශ්නය ඉතා වැදගත් එකක් විය.

“කිරිඇල්ල, ෆීල්ඩ් මාර්ෂල්, රංගබණ්ඩාර වගේ අපේ ජ්‍යෙෂ්ඨයන්ට ජනාධිපතිතුමා දිගටම කෙනෙහිලිකම් කරොත් ඇමතිකම් බෙදීමෙදි කවුරු අභ්‍යන්තර ඇමති වුණත් ගෝඨාභයට ලංකාවෙ පුරවැසිකම අපේ ආණ්ඩුවක් යටතේ ලබාදීම ගැන සියදහස් වාරයක් හිතලා එහෙමනම් ගේමට ගේම ගහන්න මේ අපේ ආණ්ඩුව කොන්ද ශක්තිමත් කරගන්න ඕනෑ.” හේෂා විතානගේ කළ ගිනියම් ප්‍රකාශය හමුවේ අගමැති ඇතුලු සියලුදෙනාම මුහුණට මුහුණ බලාගත්තේ එය ඉතා වැදගත් අදහසක් බව තම ඉරියව් වලින් ප්‍රකට කරමිනි.

“අයවැයෙන් ආණ්ඩුව පෙරලන්න හිටපු පොහොට්ටුවට අන්තිමට දෙවනවර කියවීමෙදි තිබුණු ඡන්ද 76 නුත් 2ක් අඩුවුණා. ජවිපෙ ඡන්ද 6යි දෙවනි වතාවටත් පොහොට්ටුවට පොල්ල තියපු ශ්‍රීලනිප ඡන්දයි අයින් කළාම පොහොට්ටුවට තියෙන්නෙ ඡන්ද 68යි. 68න් ආණ්ඩු පෙරලන්න දගලන එක මොනතරම් විහිලුවක්ද. එතනදී පොහොට්ටුවට කඩේ ගියපු මාධ්‍ය ආයතනත් අනාත වුණා.” දයා ගමගේ කළ විග්‍රහයට අගමැති ඇතුළු කාගේත් එකඟත්වය පළවිය.

“ජනාධිපතිගෙ ප්‍රධානත්වයෙන් තියන ආණ්ඩුවට විරුද්ධව ඡන්දෙ දෙන්න ජනාධිපතිගෙ නායකත්වයෙන් තියන පක්ෂයට බැහැ කියලා මහින්දම ඊටපස්සෙ රටට කිව්වා. ආණ්ඩු පෙරලන්න දගලන පොහොට්ටුවේ අනිත් අයට මේක නොතේරෙන එකයි පුදුමෙ” යයි කී අගමැතිවරයා ඉවත බලාගත්තේය.

“තමන්ගෙ ධූර කාලය වසර 6 ක් නේද කියල අහලායි ඊටපස්සෙ ඔක්තෝබර් 26 කුමන්ත්‍රණයෙන් පස්සෙ පාර්ලිමේන්තුව විසුරවලයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් හොද කනේ පාරවල් 2ක් කාපු අපේ ජනාධිපතිතුමා 2020 ජුනි වෙනකන් ජනාධිපති ධූරයේ ඉන්න පුළුවන්ද කියල අහන්න උත්සාහ කළොත් ඒක තුන්වෙනි කනේ පාර වෙන්නත් බැරි නෑ කියලයි නීති විශාරදයො කියන්නෙ” මුජිබර් රහුමාන් ගිනියම් තැනකට කතාව යොමුකළේය.

“77 ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරණයේ ප්‍රථිපල නිකුත් වූ දා සිට වසර 6 කටයි වලංගු ධූර කාලය නියම වෙන්නේ. 19 වෙනි සංශෝධනයෙන් සිදු වුණේ වසර 6 වසර 5 දක්වා අඩුවීම විතරක් බවයි මම කතාකරපු මේ රටේ ප්‍රවීණතම නීති විශාරදයින්ගෙ ස්ථාවරය වෙන්නේ” නවීන් දිසානායක කීවේ එවැන්නකි.

“වාසුලා දයාසිරිලා වගේ ගොඩ පෙරකදෝරුවො ව්‍යවස්ථාව වත් හරියට කියවන්නෙ නැතුවයි ඔය පණ්ඩිත කතා කියනවා ඇත්තේ. 2015 ජනවාරි 8 දායි ජනපතිවරණ ප්‍රතිඵල ආවේ. මේ ජනාධිපතිට හිමි ධූර කාලය වසර 5යි කියලත් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා. එහෙනම් 2015 ජනවාරි 8 ඉදලා වසර 5ක ධූර කාලයකුයි මේ ජනාධිපතිට හිමිවෙන්නේ.ඒ අනුව මේ අවුරුද්දේ අගදී ධූර කාලය ඉවරවෙන්වා. ඕකට වෙන මහාප්‍රාණ තර්ක අවශ්‍ය නෑ.” ලක්ෂ්මන් කිරිඇල්ල කීවේ උස් හඬින් සිනාසෙමිනි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *