|

පහ වසර දරුවන්ට අවුරුදු තෑග්ගක් – සම්පත් අමරසිංහ

අඩු ආදායම් ලාභී පවුල්වල දරුවන් හැරුණු විට අනෙක් සිසුන් පහ වසර ශිෂ්‍යත්ව විභාගයට ඉදිරිපත් කිරීම අනිවාර්ය නොවන බවත්, පහ වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීම සඳහා සිසුනට කිසිම අයුරකින් බලපෑම් නොකළ යුතු බවත් 08/2019 චක්‍රලේඛය මගින් අධ්‍යාපන අමාත්‍යාංශය දන්වා තිබීම සැලකිය යුත්තේ එම වයසේ දරුවන්ට දුන් මහත් වටිනාකමකින් යුත් අලුත් අවුරුදු තෑග්ගක් වශයෙනි.

පහ වසර දක්වා පමණක් පන්ති පැවැත්වෙන පාසැලක දරුවකු ශිෂ්‍යත්ව විභාගයට පෙනී නොසිටින ‍විටෙක, ඔවුන්ට ප්‍රදේශයේ පාසලක් ලබා දීමේ බලය කලාප අධ්‍යක්ෂවරයාට ඉහත චක්‍රලේඛය මගින් ලබා දී තිබීම ද වැදගත්ය.

පහ වසර ශිෂ්‍යත්ව විභාගය මෙරටට හඳුන්වා දෙනු ලැබුණේ ගම්බද පාසල්වල දක්ෂ සිසුන්ට නගරයේ  මධ්‍ය මහා විද්‍යාලවල අධ්‍යාපන පහසුකම් ලබාදීමට බව සැවොම දන්නා කරුණකි. එහෙත් මෑත කාලය වන විට ශිෂ්‍යත්ව විභාගයේ මූලික අරමුණු මුළුමනින්ම බිඳවැටුණු බවක් දක්නට ලැබුණි. හේතුව වූයේ ගම්බද අඩු පහසුකම් ඇති පාසල්වල දරුවන් පමණක් නොව නගරයේ පහසුකම් සහිත පාසල්වල සිසුන්ද ශිෂ්‍යත්ව තරගයට ඇතුළත් වීමය.

ශිෂ්‍යත්ව විභාගයේ බොහෝ වසරවල ඉහළ දක්ෂතා දැක්වූ සිසුන් ලෙස සඳහන් වුයේ නාගරික පහසුකම් සහිත පාසල් වලින් ඉදිරිපත් වූ සිසු සිසුවියන්ය. එසේ ශිෂ්‍යත්ව විභාගය ඉහළින් සමත් වූ බොහෝ සිසු සිසුවියන්ට වෙනත් පාසලකට යෑමේ  අවශ්‍යතාවක් ඇතැයි නොපෙනුණේ එම පාසල්වල අඩුවක් නොතිබුණු බැවිනි.

එසේම ඉහළ ආදායම් සහිත හෝ මධ්‍යම පාන්තික මවුපියන් ගේ දරුවන් වූ ඔවුන්ට ශිෂ්‍යාධාර අවශ්‍යතාවක් ද තිබුණේ නැත. එසේ වුවත් එවැනි දරුවන් ශිෂ්‍යත්වයට පෙනී සිටීම හේතුවෙන් ශිෂ්‍යත්ව විභාගයේ තරගකාරිත්වය කෘතිම ලෙස ඉහළ ගියේය. එපමණක් නොවේ බොහෝ පිරිසක් එම විභාගයට පෙනි සිටීම සහ නගරබද දියුණු පාසල්වල දරුවන් ඉහළ ලකුණු ප්‍රමාණ වාර්තා කිරීම නිසා ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු ප්‍රමාණයද ඉහළ යාමක් සිදු විය. ඉන් සිදුවූයේ අඩුපහසුකම්  සහිත ගම්බද හෝ නාගරික පාසල්වල දරුවන් වඩාත් අසාධාරණයකට ලක්වීමය.

ශිෂ්‍යත්ව විභාගයට දරුවන් තරග කරවීමෙන් මවුපියන් අපේක්ෂා කළ මූලික ඉලක්කය වූයේ දරුවන්ට හොඳ මට්ටමේ පාසලක් ලබා ගැනීමයි.

කවර තත්ත්වයක් යටගේ සලකා බැලුවද මෙරට අධ්‍යාපනයේ පවතින ඇති නැති පරතරය ඉතා බරපතළය. ඇතැම් පාසලක පිහිනුම් තටාක, ටෙනිස් පිටි, බැට්මින්ටන් පිටි දරුවනට තිබිය දී මූලික පහසුකම් එනම් දිය බිඳක්, වැසිකිළියක් පවා නොමති පාසල් දහස් ගණනක් මෙරට තිබේ.

නගරබද පහසුකම් සහිත පාසල්වල ගුරු අතිරික්තයක් පවතින විට තවත් පාසලකට අවශ්‍ය අවම ගුරුවරුන් සංඛ්‍යාවවත් ඇත්තේ නැත. කොළඹ නගරය ගත් කල්හි නගර කේන්ද්‍රයේ ඇති ජනප්‍රිය පාසල්වලට සියලු පහසුකම් ඇතත් දෙමටගොඩ, කොලොන්නාව ආදී ප්‍රත්‍යන්ත නාගරික ප්‍රදේශවල  පාසල්වල තත්ත්වය ඒ තරමට සුන්දර නැත. ඇතැම් තැනක කිසිදු අධ්‍යාපන පහසුකමක් නැති වීදි දරුවෝ පවා සිටිති.

පාසලේ ජනප්‍රියත්වය තීරණය කරන මිණුම් දණ්ඩක් ලෙස ද බොහෝවිට පහවසර ශිෂත්වය ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් විසින් යොදා ගැනුණු බව බොරුවක් නොවේ. ‘අපේ පාසලේ මෙතරම් සිසුන් සංඛ්‍යාවක් ශෂ්‍යත්ව විභාගයෙන් සමත් වූවාය’ යන වාගාඩම්බරය ආරක්ෂා කර ගැනීම සඳහා ගුරුවරු අහිංසක දරුවන් ශිෂ්‍යත්ව රේස් පිටියට යොමුකරන ලදහ.

ශීෂ්‍යත්ව විභාගය මැජික් යෂ්ඨියක් කළ අනෙක් පිරිස වන්නේ ටියුෂන් ගුරුවරුන්ය. ඇතැම් තැනක ඇතැම් විදුහලක පාසල් ගුරුවරයාම එම පාසලේ සිසුන්ගේම ශිෂ්‍යත්ව ටියුෂන් ගුරුවරයා ද විය. එවිට සිදු වන්නේ පාසල් වේලාවේ ඉගැන්විය යතු පාඩම අඩක් පැසලේදීත්, ඉතිරි කොටස ටියුෂන් පන්තියේදීත් ඉගැන්වීමයි. එසේ වූ විට පාසල් ගුරුවරයාගේ ඉගැන්වීම හොඳ වුව නරක් වුව එම ගුරුවරයාගෙන් මිදී යෑමට දරුවන්ට අවස්ථාවක් නැත. වෙනත් ගුරුවරයකු වෙතට යාමේ අවස්ථාව එකී දරුවන්ට අහිමි වේ.

සියල්ල එසේ වුව පහ වසර ශිෂ්‍යත්වය සම්බන්ධයෙන් වන බරපතළම විවේචනය ඒ එකක්වත් නොවේ. අධ්‍යාපනඥයන් එම විභාගය කෙරෙහි එල්ල කරන එක් චෝදනාවක් වන්නේ එම විභාගයේ දී දරුවාට අනාගතයට මුහුණු දීමට ඇති දක්ෂතාව මැන බැලීමක් සිදු නොවූ බවයි. ශිෂ්‍යත්ව විභාගයේ දී ඉහළ දක්ෂතා පෙන්වනු ලබන ගම්බද දරුවන් අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ දී ‍හෝ උසස් පෙළ විභාගයේ දී ඒ හා සමානව දක්ෂතා නොපෙනවන්නේය යන කරුණ ඔවුහු මෙහි දී උදාහරණ වශයෙන් දක්වති. එසේම පහවසර ශිෂ්‍යත්වය හේතුවෙන් දරුවනගේ ස්වාධීන චින්තනය සහ නිර්මාණාත්මක චින්තනය මොට කරන බව ද විද්වතුන්ගේ අදහසයි. එසේ වීමට හේතුව වශයෙන් ඔවුන් පෙන්වා දෙන්නේ අඩු වයසක දී දරුවාට ශිෂ්‍යත්ව විභාගය හේතුවෙන් පමණ ඉක්මවා මොළය වෙහෙසා පාඩම් කරන්නට සිද්ධවීමයි. වැඩෙන වයසේ දරුවකුගේ බුද්ධි වර්ධනයට සහ දක්ෂතා වර්ධනයට උපකාරි වන්නේ තරම ඉක්මවා පාඩම් කිරී‍ම නොවේ. ඒ සඳහා දරුවනට ක්‍රිඩා කිරීමේ නිදහස, උපකල්පනය කිරීමේ අවස්ථා, විනෝද වීමේ ඉඩකඩ, විභාගය අරමුණෙන් තොරව පොත්පත් කියවීමේ අවස්ථා ආදිය ලබා දිය යුතුවේ. එහෙත් ශිෂ්‍යත්ව විභාගය හේතුවෙන් සිදු වන්නේ ඒ සියල්ල පසෙක දමා යන්ත්‍රයක් මෙන් දරුවාව තමන්ට නොගැලෙපෙන විභාගයක් සඳහා වෙහෙස මහන්සි වීම සිද්ධ වීමයි. එහි අවසන් ඵලය වනු ඇත්තේ නිර්මාණාත්මක ‍නොවන වෘත්තිකයන් පිරිසක් රටට බිහිවීමයි. යාන්ත්‍රික වෛද්‍යවරුන්, යාන්ත්‍රික සැලසුම් ශිල්පීන් ගැටලු වලට මුහුණ දීමට හෝ තාර්කිකම ගැටලුවලට විසදුම් සෙවිය නොහැකි උගතුන් බිහිවීමට හේතු වී ඇත්තේ එය බව විද්වතුන්ගේ මතයයි.

එකී කරුණු අනුව සලකා බලන කල ශිෂ්‍යත්ව විභාගයේ බර අඩුකිරීම ළමා පරපුරට සැලසූ මහත් සහනයක් බව අමුතුවෙන් කිවයුතු ‍නැත. ප්‍රතිපත්ති අධ්‍යයන ආයත‍නයේ ජ්‍යේෂ්ඨ පාර්යේෂණ නිලධාරි අශානි අබයසේකර පවසන කරුණු අනුව ශිෂ්‍යත්ව විභාගය බලහත්කා‍රයක් වීම වෙනුවට සිදුවිය යුත්තේ එය ස්වකැමැත්තෙන් යොමු වන විභාගයක් වීමයි. ඇය පෙන්වා දෙන තවත් කරුණක් වන්නේ කොතරම් හොඳින් දරුවන් විභාගයට මුහුණ දුන්නා වුවද නගරබද ජනප්‍රිය පාසලකට ඇතුළත් වීමේ වාරය හිමිවන්නේ ඔවුන්ගෙන් පහෙන් එක් අයකුට පමණක් බවයි. එසේ වීමට හේතුව වශයෙන් ඇය සදහන් කරන්නේ එකී ජනප්‍රිය පාසල්වලට එක වසරේදී ඇතුළත් වන දරුවන් එම පාසලේ ඉදිරියටත් රැඳී සිටීමයි.

මේ කරුණු සියල්ල අනුව පහ වසර ශිෂ්‍යත්වයට දරුවන් ඉදිරිපත් කිරීම අනිවාර්ය නැතැයි චක්‍රලේඛයක් නිකුත් කිරීම වැදගත් බව පිළිගත යුතුය. එහෙත් එම චක්‍රලේඛය අඩු පහසුකම් සහිත පාසල්වල සිසුන්ගේ ජනප්‍රිය පාසල් හිහිනය හෝ හොඳ අධ්‍යාපනයක් දරුවාට ලබාදීමට මවුපියන් දකින සිහිනය සුනුබුන් වුවහොත් එයද අනුමත කළ නොහැකිය.

එස් නොවන්නට නම් ගතයුතු එකම පියවර වන්නේ පාසල් අතර ඇති නැති පරතරය නැතිකර දීමීමය. පොකරු පාසල් ක්‍රමය, ළඟම පාසල හොඳම පාසල ආදී සංකල්ප අධ්‍යාපන ක්ෂේත්‍රයට  හඳුන්වා දුන් නමුත් පාසල් අතර වෙනස හෝ තරඟය ඉවත් කිරීමට මෙතෙක් ඒ කිසිවකට හැකි වී නැත.

අධ්‍යාපනයේ පතරතරය පියවීම සඳහා කෙටිකාලීනව ගතහැකි හොඳම පියවර යවන්නේ දක්ෂ ගුරුවරුන් පිරිසක් කෙටි කාලයක් තුළ සෑම පාසලකටම සපයා දීමය. ඊට අමතරව දැනට සේවයෙහි යොදවා සිටින ගුරුමණ්ඩලවල කාර්යක්ෂමතාව හා කැපවීම සම්බනධව සොයා බැලෙන ක්‍රමයක් හඳුන්වාදීමත් කළ හැකිය. එසේම ඔවුන්ගේ කාර්යක්ෂමතා හා දක්ෂතා සංවර්ධනය කරන වැඩසටහන් ද හඳුන්වා දිය හැකිය. පාසල්වල පහසුකම් වැඩි දියුණු කිරීමද එහි දී අවශ්‍යය. එසේ නො‍වන්නේ නම් කවර අඩුපාඩු තිබුණත් ශිෂ්‍යත්වය හොඳයි කියන තැනට ජනතාව යනු ඇත.

සම්පත් අමරසිංහ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *