ආචාර ධර්ම සහ හෘද සාක්ෂිය – නිශාන්ත කමලදාස

ලස්සනට අතුගා ඇති පාරේ පොඩි මිනිහා කුණු දමන්නේ ඇතැම් විට සමාජ විරෝධය පෙන්නන්නට ය. ලොකු මිනිහා මේ දේම කරන්නේ ඇතැම් විට තමන්ගේ බලපුළුවන්කාරකම පෙන්වන්නට ය. ඒ දෙක තුළ වස කම්මැළිකම ද හරි හරියට මිශ්‍ර වෙන්නට පුළුවන.

පාරේ කුණු දැමීම නීති විරෝධී ය. නීතියට අසුවන්නේ පරිසර පොලීසිය සිටියොත් ය.

පාරේ කුණු දැමීම බොහෝ මිනිසුන්ගේ විරෝධයට හේතු වේ. එතැන ඇත්තේ සමාජයෙන් එල්ල වන විරෝධය ය. එහෙත් කවුරුත් නැති තැනක කුණු දැමීම නිසා එවැනි විරෝධයක් ඇති වන්නේ නැත.

ඒ නිසා බොහෝ තැන්වල කුණු දැමීම හෝ කුණු නොදැමීම කෙනකුගේ හෘද සාක්ෂිය සම්බන්ධ කාරණයකි. හැදියාව පිළිබඳ කාරණයකි. කෙනකු ආචාර ධාර්මික ද යන්න පිළිබඳ කාරණයකි.

සිරිපාද වන්දනාවේ යන බැතිමතුන් සතුව එවැනි ආචාර ධර්ම නැත. ඔවුහු මුළු සිරිපාද පුණ්‍ය භූමියම එක ම කුණු වළක් කර එන්නට සැදි පැහැදී සිටිති. ඔවුන්ට හැදියාවක් නැතැයි අපට කිව හැකි ද? ආචාර ධර්ම නැතැයි කිව හැකි ද? නොහැකි ය. එසේ කිව නොහැකි ය.

ඔවුන් පන්සිල් සමාදන් වෙන බැතිමතුන් ය. පර පණ නොනසන අනුන් සතු දේ නොගන්නා උපාසික උපාසිකාවන් ය. ඒවා ආචාර ධර්ම ය. එසේ නම් ඔවුන් කුණු දමා එන්නේ ඇයි? ඒ පන්සිල් පද පහට කුණු දැමිම ඇතුළත් නොවන නිසා ය. කුණු දැම්මාට පව් යැයි ආගමේ නූගන්වන නිසා ය.

විනෝදය පතා සංචාරය කරන කිසිම හැදියාවක් නැති සුද්දන් අපේ රටට පැමිණ, ලජ්ජා බයට හැදුණු අපේ මිනිසුන් හෙලූ, කුණු සුද්ද කරනු, අපට බොහෝ තැනක දී දැක ගන්නට ලැබුණේ ය. ඒ ආගමික ආචාර ධර්ම ගැන වගේ වගක් නැති විය හැකි වුව ද ඉන්න තැන පිරිසිදුව තබාගත යුතු ය යන අවබෝධය උන්ට ඇති නිසා ය. එය ආචාර ධර්මයක් ලෙස උන් විසින් සලකන නිසා ය.

මෙයින් පෙනෙන්නේ ආගම් අදහන අය ආගමේ ඉගැන්වෙන ආචාර ධර්මවලින් සිමා වෙන විට එසේ නො අදහන අය ඊට වඩා එහා ගිය ආචාර ධර්ම පද්ධතියකට උරුම කියන බව ද? ඒ ප්‍රශ්නයට පිළිතුරු සොයා ගැනීම ඔබට බාර කොට අපි මේ සාකච්ඡාව තව මානයකට ගෙන යන්නෙමු.

අපේ ඉතිහාසය

අපට මිනිස් ගුණාංග එන්නේ ශිෂ්ටාචාරයක් හැටියට අප සංවිධානය වීමෙන් පසු ය. නැතිනම් අප ද ඊට කලින් හැසිරෙන්නට ඇත්තේ සතුන් මෙන් හැම තැනම ඉතුරු බිතුරු ඉතිරි කරමින් ය. එහෙත් ශිෂ්ටාචාරයක් ගොඩ නැගුණු දා පටන් මේ දේ කළ යුතුය, මේ දේ නොකළ යුතුය, යන සම්මුතීන් අපි ඇති කර ගත්තෙමු. ඒ සම්මුතීන්ට ගරු කිරීම අපේ යුතුකමක් ලෙස සැලකුවෙමු.

මිනිසුන් ලෙස අප පරිණාමය වූව ද ඕනෑ ම තැනක රිලවෙක් දෙන්නෙක් ඉතිරි වෙන නිසා ඇතැම් තැනක මේ සම්මුති කඩා දමනු දක්නට ලැබිණි. ඒ සම්මුති කඩන අයට නඩු අසා දඬුවම් කරන ආයතන බිහිවුණේ ඒ අනුව ය. ඒ ක්‍රියාවලිය තුළ සමාජ සම්මුති නීති බවට පත් වුණේ ය. සම්මුති කඩ කරන්නන්ට ප්‍රජාවගෙන් විරෝධයන් එල්ල වීමෙන් නොනැවතී නීතිය රකින ආයතනවල දණ්ඩනයට ද යටත් වීමට සිදු වුණේ ඒ අනුව ය.

ඇතැම්හු දණ්ඩනයෙන් ද පාලනය කිරීමට නොහැකි වූ නමුත් ඇතැම්හු දණ්ඩනයට ඉඩ කඩක් නැති විට වූව ද සමාජයෙන් එල්ල විය හැකි අපවාද වලින් ගැලවෙනු වස් සම්මුතියට යටත් වූහ. තව සමහරු කවරකු නැති තැන වුව ද රහසින්වත් ඒ සම්මුති කඩා බිඳ නොදැමීමට පරිස්සම් වූහ. ආචාර ධාර්මික ජිවිතයක් ගත කරනවා යැයි කිව හැක්කේ ‍එසේ අවසානයට කී අයට ය.

ඇතැම් තැනක එසේ වූයේ පවට ඇති බිය නිසා ය. ඒ කියන්නේ උඩ සිට බලා සිටින දෙව් කෙනකු හෝ රහසින් කරන වැඩ ද අල්ලා පව් පින් පල දෙවන කරුමය නම් බලවේගයක් හෝ සිටින නිසා, නීතිය රකින පොලීසියේ මහත්තුරු නැති වුව ද, අපවාද එල්ල කරන මිනිසුන් නැතිව වුව ද, පරිස්සම් වීමට ඔවුන් වග බලා ගත් බව ය. පව්වලට බිය වුව ද පවක් යැයි ආගමේ දක්වා නැති සමාජයට හානිකර වැඩ කිරීමට ඔවුන්ට චකිතයක් තිබුණේ නැත. සිරිපාදේ කුණු දැම්මේ ඒ අනුව ය. ඒ නිසා මේ කියන පිරිසේ ආචාර ධර්ම ආගමික ඉගැන්වීමවල වපසරිය තුළ හිර ව තිබුණේ ය.

තවත් තැනක මිනිසුන් ඒ සීමා ඉවත් කරමින් එළියට ගොස් තිබුණේ ය. ඒ හොඳ නරක පිළිබඳ තමන්ගේ නිර්ණායකයන් හදාගෙන ය. ඒ නිර්ණායක පදනම් වූයේ වඩා බුද්ධිමය වූ ස්වයං වුවමනාවන් මත ය. ඔවුන් පිරිසිදුව ජීවත් වීමට කැමති ය. ඒ නිසා කුණුවලට අකමැති ය. තමන්ගේ ගෙදර හා වත්තේ පමණක් නොව තමන් යන එන තැන ද පිරිසිදුව තිබෙනු දැක්මට ඔවුන් කැමති ය. වෙන අය ද එසේ කරනවා නම් ඔවුන් කැමති ය. එක තැනක කුණු තව තැනකට යන මැස්සන් බිහි කරන බව ඔවුන් අවබෝධ කර ගෙන තිබේ. විෂබීජ තාප්ප හරහා ද වැට කඩොලු හරහා ද ගමන් කරන බව ඔවුහු දන්නෝ ය. මේ නිසා කුණු තාප්පයෙන් එහාට තල්ලු කර දැමීමෙන් වැඩක් නොවන බවට දැනුමක් ඔවුන් සතු ය.

ඒ නිසා මිනිසුන් බලා නොසිටිය ද පොලීසිය නොසිටිය ද පවක් පිනක් ගැන හැගීමක් නැතිව ම ඔවුහු කුණු දැමීමෙන් වළකින්නෝ ය. එය ආචාර ධර්මයක් ලෙස රකින්නෝ ය. කිසිවකට ඇති බියෙන් නොව දැනුමෙන් මෙහෙයවනු ලබන්නෝ ය.

බොහෝ දෙනකු වග කියන්නේ තමන් ගැන පමණ ය. ඊට එහා යන අය තමන්ගේ සහකරුවා, සහකාරිය සහ දරුවන් ගැන ද වගකියන්නෝ ය. ඇතැම් අය ඒ පිරිසට යාළු මිත්‍රාදීන් ද එකතු කර ගන්නෝ ය. ඇතැම්හු තමන් ජීවත් වන වපසරියේ ප්‍රජාව ද එක් කර ගන්නෝ ය. ඇතැම් තැනක එය තමන්ගේ ජාතිය, ආගම හෝ රට යන පුළුල් වපසරියකට විහිදෙන්නේ ය. තවත් තැනක එය මුළු මහත් මිනිස් සංහතියම බවට පත් වන්නේ ය.

නුවරඑළියේ ගිය දිනක හිතවතකුගෙන් මට එළවළු මල්ලක් ලැබිණි. තමන් වෙනුවෙන් වවන කොරටුවෙන් ඒවා කඩා ගත් බව ඔහු කීවේ හිතෛෂිවන්තකම වඩාත් දැඩිව පෙන්නන්නට ය. ඔහු වගකියන්නේ ඔහුගේ දරු මල්ලන් හා යාළු මිත්‍රාදීන් ගැන පමණ ය. එතැනින් එහා ඉන්නේ තමන් නොදන්නා වග නොකියන පාරිභෝගිකයන් ය. ඔවුන් වස කෑවාට මේ තැනැත්තාට කමක් නැත. එහෙත් ඔහුට නොතේරෙන කාරණය නම් ඔහු වෙළඳපොළට සපයන එළවළු වෙන යම් පළාතක දී ඔහුගේ හිතෛෂීන් ද පරිභෝජනය කරන බව ය. කරවවලවලට මැලතීන් දමන වෙළෙන්දා ඔහුට ඒ ආකාරයට ම වස කවන බව ය. මාළුවලට ෆෝමලීන් දමන වෙළෙන්දා ද එයම කරන බව ය.

අප බොහෝ විට මිනිසුන් මනින්නේ ඔවුන් අප ගැන දක්වන සැලකිල්ල, දයාව, කරුණාව, අනුග්‍රහය, උදව්ව සැලකිල්ලටගෙන ය. අපට සහයක් වන එවන් අය අපේ ඉහළ අගැයීමට ලක් වන්නේ ය. මේ අගැයීම ඇතැම් විට නිවැරදි නොවිය හැකි ය. ඒ තැනැත්තා අපට අනුග්‍රහ දක්වන්නේ අප සමග ඇසුරෙන් කිසියම් ලාභයක් ලැබේය යන චේතනාවෙන් විය හැකි ය. එවිට ඔහුගේ අනුග්‍රහය අපට නොවේ. අපෙන් ලැබිය හැකි දේට ය.

ඔබට තරු දැකිය හැක්කේ, වඩාත් නිවැරදිව කිවහොත්, ඒවා නිශ්චය ලෙස හඳුනාගත හැක්කේ කළුවර රැයක දී ය. එයින් කියන්නේ අපට මිතුරන් හා මිනිසුන් සැබෑවට හඳුනාගත හැක්කේ අප අඳුරට නැත්නම් අගතියට පත් වූ විට බව ය. එහෙත් මිනිසුන් හඳුනාගැනීම උදෙසා අගතියට පත් වන්නට අපට බැරි ය. ඒ නිසා අප ඊට මෙහා ක්‍රමයක්, උපායක්, මේ සඳහා යොදා ගත යුතු ය.

අප නැතත් අගතියට පත් මිනිස්සු, නොසැලකිල්ලට පත් මිනිස්සු, අප වටා කොතෙකුත් සිටිති. අප මනින මිනිසා මේ මිනිසුන් කෙරෙහි කෙසේ හැසිරෙන්නේ ද යන්න විමසීමෙන් අපට, අප මනින ඒ මිනිසා සම්බන්ධයෙන්, නිසි අගැයීමක් කළ හැකි ය.

එපමණක් නොවේ. ප්‍රතිඋපකාරයක් කළ නොහැකි ගහ කොළ සතා සරුපයා ඇතුළු අප හැම ඉන්නා පරිසරය සම්බන්ධයෙන් ඔහු හෝ ඇය කෙතරම් සංවේදී ද? යමක් කළ නොහැකි අසරණ සතුන් වෙනුවෙන් ඔහු ඇය සංවේදී ද? යන කාරණා ද මෙහි දී අපේ සැලකිල්ලට ගත හැකි ය.

එපමණක් නොවේ. ඍජු ප්‍රතිඋපකාරයක් අපේක්ෂා කළ නොහැකි පොදු සමාජය සම්බන්ධයෙන් ඔහු හෝ ඇය කොතෙක් සංවේදී ද යන්නත් අපට යොදා ගත හැකි තව නිර්ණායකයකි.

මේ සියල්ලෙන් කියන්නේ කෙනෙක් කෙතරම් ආචාර ධාර්මික ද යන්න අපේ සැලකිල්ලට යොමු විය යුතු බව ය. එවැනි මිනිසුන්ගෙන් යුත් සමාජයක් හැදීම අපේ ඉලක්කය විය යුතු බව ය. අපට සැබෑ සැනසුමක් ලැබිය හැක්කේ එවන් වටපිටාවක පමණ ය.

එහෙත් බොහෝ දෙනකු තමන් ද ඒ කිසිවකට සංවේදී නොවන නිසා මිම්ම හැටියට ගන්නේ කෙනකු තමන් සම්බන්ධයෙන් දරණ ස්ථාවරය ය. තමන්ගේකම ය.

රැවටීමෙන් ඇද නොවැටීමට

ඒ බොහෝ දෙනකු, තමන් අසරණ වූ විට තේරුම් ගන්නේ, තමන්ගේ ලැයිස්තුවේ ප්‍රියමනාප යහපත් පුද්ගලයෙකැයි තමන් හඳුනාගෙන සිටි ඒ පුද්ගලයා, තමන් සිතා සිටි පුද්ගලයා නොවන බව ය. ඔහු හෝ ඇය කර ඇත්තේ රඟපෑමක් බව ය. රැවටීමක් බව ය.

බොහෝ දෙනකු මානසිකව වැටෙන්නේ තමන් අගතියට පත් වූ නිසා ම නොවේ. ඒ ඇසිල්ලෙන් තමන් හැර යන එතෙක් සිටි පරිවාර සෙනඟ දැකීමෙන් ය. එසේ නොවැටී සිටිය හැක්කේ මිනිසුන් ගැන නිවැරදි අගැයීමක් කළ පුද්ගලයන්ට පමණ ය. පරිවාර සෙනග ඉවත් වීමටත් පෙර මේ මේ අය දැන් ඉවත් වෙතැයි ඔවුන් දන්නා නිසා ය. ඔවුන්ට ඒ ඉවත් වීම පුදුමය ගෙන දෙන්නක් නොවන නිසා ය. ඒ නිසා ම සැලෙන්නට දෙයක් ඔහුට, ඇයට, නැති නිසා ය.

ඇතැම් මිනිසුන්ට රැවටිමට, තමන්ට කළ අනුග්‍රහයක්, කිසියම් උදව්වක්වත්, බොහෝ විට ඕනෑ නැත. ලොක්කෙක් තමන්ගේ පිටට තට්ටු කර හායි කීම ම ඒ පුද්ගලයා ගැන යහපත් මිම්මක් හදා ගැනීමට මේ කියන අයට සෑහෙන්නේ ය. ඉදින් කිසියම් කෙනකු වචනයෙන් සංග්‍රහ කළ ද එය රසවත් අහරක් සේ බුදින්නට ඒ මත අපූරු අගැයීමක් ගොඩ නගා ගන්නට සමහරු සූදානම් ය. බොහෝ විට ඒ වචනය, මවාපාන හිනාවක් සමග, අංග චලනයෙන් එන ළෙන්ගතුකමක් සමග, කියැවෙන්නේ නම්, නැවත විමසන්නටවත් දෙයක් ඔවුන්ට නැත. ඇතැම් දේශපාලනඥයන් කෙතරම් නොපනත්කම් කළත් මිනිසුන් ඔවුන්ට වශී වී පස්සෙන් යන්නේ මේ කියන ආකාරයේ රැවටීමට බොහෝ දෙනකු ගොදුරුවන නිසා ය.

අප දේශපාලකයන් සම්බන්ධයෙන් ද සොයා බැලිය යුත්තේ ඔවුන් අපට, නැත්නම් අපේ කණ්ඩායමට, පෞද්ගලිකව දෙන්න යන්නේ මොනවා ද යන්න නොවේ. ඔවුන් කොතෙක් දුරට ආචාර ධාර්මික ද යන්න ය. කල්‍යාණ මිත්‍රයන් ලෙස සැලකිය යුත්තේ එවන් අය ය.

නීතිගරුකවීමත් ආචාර ධර්මයන්ට අනුව හැසිරීමත් එකක් නොව දෙකකි. ඒවා සමපාත වන තැන් තිබිය හැකි වුව ද ආචාර ධර්මයන්ට අනුව හැසිරෙන කෙනකු ඇතැම් තැනක නීතියට ද පිටු පා කටයුතු කළ හැකි ය.

ගබ්සාව වැරැද්දකි. දූෂණයට ලක්ව තිරිසනකුගේ දරු ගැබක් දරා සිටින, බලෙන් මව් පදවියට තල්ලු කර ඇති කාන්තාවකට, එයින් නිදහස් වීමට උදව් කරන වෛද්‍යවරයකු කරන්නේ නීති විරෝධි කටයුත්තක් වුව ද ඔහුගේ හෘද සාක්ෂිය අනුව එය වැරැද්දක් වන්නේ නැත. එය කරන්නේ මුදල් ලබා ගැනීමේ පරමාර්ථයෙන් නොව කාන්තාවට පිහිට වීමේ පරමාර්ථයෙන් නම් තමන්ගේ ආචාර ධර්මයන්ට ඔහු පිටු පාන්නේ නැත.

එහෙත් ඔහුට ,ඇයට එතැනින් නතර විය නොහැකි ය. ඔහු හෝ ඇය එවැනි ගබ්සාවක් නීත්‍යානුකූල කිරීම උදෙසා පෙනී සිටිය යුතු ය. වැඩ කළ යුතු ය. ඒ තමන්ට එසේ කළ හැකි වුව ද බොහෝ වෛද්‍යවරුන්ට එසේ කළ නොහැකි බව ඔහු දන්නා නිසා ය.

බුද්ධිමය ස්වයං වුවමනාවන් වෙනුවෙන් පෙනී සිටින කෙනකුගේ ආචාර ධර්ම වපසරිය ආගමික ඉගැන්වීම් ඉක්මවන බව අපි කලින් සඳහන් කළෙමු. එය පදනම් වන්නේ තමන් කරන කටයුත්තකින් කිසිවකුට හානියක් වන්නේ ද කිසි කෙනකුට අනාගතයේ දී හානියක් විය හැක්කේ ද යන නිර්ණායක පදනම් කර ගෙන ය. ඒ නිසා ම ඔහු හෝ ඇය කිසිවකුට හානියක් වන සහ කිසිවකුට හානියක් වීමට ඉඩ ඇති කටයුතුවලින් ඉවත් ව කටයුතු කරනු ඇත. ප්‍රශ්නයක් ලෙස ඉතිරි වන්නේ තමන් එසේ නොකර සිටීම පමණක් සෑහේ ද යන්න ය.

වගකීමේ ඉම

ජාතිවාදී කෝලාහලවලට නොයන සමහරු ඒ ගැන ආශ්වාදයෙන් කතා කරති. උන්ට හොඳ වැඩේ යැයි කියති. වැඩේ වැරදි වුනත් එහෙම නොකර බැරි යැයි කියති. ඔවුන් ද කෝලාහලයට ගිය උන් තරමට අනුන්ට හිරි හැර කිරීමට අත්වැල් අල්ලන අය ය. ඒ උන්ගේ කතා කෝලාහල කරන්නන්ට අනුබලයක් නිසා ය.

තමන් කරන කිසියම් කටයුත්තක් හෝ නොකරන කිසියම් කටයුත්තක් නිසා, වෙන කිසිවකුට, තවත් තුන්වෙනි පාර්ශ්වයකට, හානියක් කළ හැකි ඉඩක් වෙනත් කෙනකුට ලැබෙන්නේ නම්, එහි වගකීම තමන්ට නො පැවරෙන්නේ නැත.

තමන් නොකර සිටිම මදි ය. ඒ සඳහා ඉඩ හසර විවෘත කරන කටයුතුවලින් ද වැළකිය යුතු ය. ඇත්තට ම කියන්නේ නම් එය ද ප්‍රමාණවත් නැත. එවන් හානි කිසිවකු විසින් නොකරන බවට ද වග බලාගත යුතු ය. කවුරුන් හෝ කරන්නේ නම් ඒ සඳහා මැදිහත් විය හැකි තැනක, මැදිහත් විය හැකි ප්‍රමාණයට, මැදිහත් වී, ඒවා වැළැක්වීමට ද කටයුතු කළ යුතු ය.

සමහරු කෝලාහලවලට නොයනවා පමණක් නොව ඒවා ප්‍රසිද්ධියේ අනුමත කිරීමට ද නොයති. එහෙත් උන් ඒවා නැවැත්වීමට කළ හැකි, කළ යුතු, කිසි දෙයක් කරන්නේ නැත. එවැන්නන්ට ද තමන්ගේ හෘද සාක්ෂියෙන් මිදිය නොහැකි ය.

මේ ලෝකය නපුරු වී ඇත්තේ නරක මිනිසුන් නිසා පමණක් නොවේ. උන්ගේ වැඩ ඉදිරියේ මුණිවත රැකීමට තීන්දු කර සිටින හොඳ මිනිසුන් ද නිසා ය.

එසේ මුණිවත රකින මිනිසුන් බොහෝ දෙනකු කරන්නේ තමන් නිවැරදි නම් එය ඇතැයි යන හැඟීම නිසා ම නොවේ. ඇතැම් විටක විරුද්ධ වන්නට යෑමෙන් තමන්ට ද වෙනත් වැරැද්දක් කරන්නට සිදු වෙතැයි යන හැඟීමෙනි. තමන්ගේ බවුන් බිඳෙතැයි බියෙනි. ඔවුන්ගේ අදහස තමන් වැරදි කරුවකු නොවී ඉන්නා එක ය. වෙන කිසිවකු වැරදිකරුවෙකු වීම ඔවුන්ට ප්‍රශ්නයක් නොවේ. වෙනත් විදිහකට කියන්නේ නම් ඔවුන් කරන්නේ තවුස් දම් වැඩීම ය. දරුණු අපරාධ සිදු වෙද්දීත් පැත්තකට වී තවුස් දම් රැකීම ය. තනියම විමුක්තිය සොයා යෑම ය. ඔවුන්ගේ උත්සාහය තනිවම බුදු වීමට ය.

අප ශිෂ්ටාචාරයක් ගොඩ නගා ගෙන ඇති බව ඇත්ත ය. එහෙත් අදටත් මෙය පවතින්නේ සමාජ අපවාදයට හා නීතියට ඇති බිය නිසා ය. අප පැතිය යුත්තේ ඒ දෙක නිසා යහපත් වන මිනිසුන් නොවේ. ඒ දෙක නැතුව ද යහපත් වන මිනිසුන් ය. වඩා පළල් ආචාරධර්මයන්ට හිමිකම් කියන මිනිසුන් ය. එවන් දිනයක අප සියල්ලන්ට සුරක්ෂිතව බියෙන් තොරව ජීවත් වන්නට පුළුවන. දැනට පෙනෙන විදිහට එ දවසට තව දුර ය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *