අයාලේ යන ආර්ථිකය – සී ජේ අමරතුංග

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ජපානයේ සංචාරයක නිරතවීය . එහිදී මූලික අවධානය යොමුවුයේ රැුකියා දස ලක්ෂයට අවශ්‍ය ආයෝජන ගෙන්වා ගැනීම බවත් වාර්තාවී ඇත. පරිගණක ඇතුළු අධි තාක්ෂණික ක්ෂේත‍්‍රයේ දැනුම ශ්‍රී ලංකාවට ලබාගැනීමටද එහිදී කටයුතු කළ බවද වාර්තා විය. ඉහළ තාක්ෂණයෙන් යුතු කර්මාන්ත ගෙන්වා ගැනීමටත්, එවැනි කර්මාන්ත සඳහා අවශ්‍ය දැනුම ශ්‍රී ලාංකිකයන්ට ලබාගැනීමත් මෙම ගමනේ උපාය මාර්ගික අරමුණ වූ බව පෙනෙන්නට තිබිණි

රටේ කර්මාන්ත සංවර්ධනය කිරීමත්, විදේශ ආයෝජන ගෙන්වා ගැනීමත් එමගින් නව රැුකියා අවස්ථා දශ ලක්ෂයක් නිර්මාණය කිරීමත් ආණ්ඩුවේ ප‍්‍රධාන මැතිවරණ පොරොන්දුවකි. මේ කියන්නේ එම පොරොන්දුව ඉටු කිරීම සඳහා ක‍්‍රියාත්මක වන බවයි. එසේ උත්සාහයක් දැරීම අගය කළ යුතු බව ඇත්තකි. එසේ වුවද ජනතාවගේ පැත්තෙන් සැමවිටම අවධානයෙන් සිටියයුතු වන්නේ මේ කියන ඉලක්ක සපුරා ගැනීමට ඇත්තටම හැකිවන්නේද? ඒ සඳහා නිවැරදි උපාය මාර්ග ක‍්‍රියාත්මක වන්නේද යන්න පිළිබඳවය.

‘‘දැන ගියොත් කතරගම, නොදැන ගියොත් අතරමග’’ කියා පැරණි කතාවක් ඇත. ආර්ථික සංවර්ධනය පිළිබඳ ප‍්‍රශ්නයේදී එය ඉතාම නිවැරැුදි බව අපගේ අත්දැකීමය. බොහෝවිට කියන සුන්දර කතාන්දර සැබෑ යථාර්ථය වන්නේ කලාතුරකිනි. රටම විශාල රැුවටීමකට ලක්වූ බව පෙනෙන්නේ කල්ගිය පසුවය. එම නිසා මුල සිටම අවදියෙන් සිට කටයුතු කිරීම අවශ්‍යය. නිවැරැුදි මඟ තේරුම් ගැනීමට හැකිවන්නේ එවිටය.

පසුගිය කාලයේ අපට අසන්නට ලැබුණේ මේ රට ආසියාවේ ආශ්චර්යය කරන බවකි. අධිවේගී මාවත්, වරාය, ගුවන්තොට ඉදිකිරීම් පටන්ගත්තේ එබඳු සිහිනයක් රටට ලබාදෙමිනි. ඒවා කළේ ඇත්ත ආර්ථික ඵලදායිතාව පිළිබඳ හොඳ අධ්‍යයනයකින් තොරවය. එකල ඒ ගැන කවුරුන් කුමක් කීවද තුට්ටුවකට ගණන් ගත්තේ නැත. එලෙස තැනූ නැව්තොට පසුව මාළු බෑමට යොදාගත් බව වාර්තා වීය. ගුවන්තොට වී ගබඩා කිරීමටත්, එයට යන මාවත වී වේලීම සඳහාත් යොදාගෙන තිබිණි. නිවැරැුදි දැක්මකින් තොරව කළ සංවර්ධන වැඩ කටයුතුවලට අත්වී ඇති ඉරණම ඒකය.

මෙලෙස කළ ව්‍යාජ ආර්ථික සංවර්ධනයෙන් රටට ධන හානියක් මිස වාසියක් සිදුවී නැත. එම ආයෝජන වලින් අනාගතයේදී හෝ වාසි ලබාගැනීම සඳහා තවත් බොහෝ දේ කළ යුතුව ඇත.

සංවර්ධනයේ නාමයෙන් කළ මෙම ධන නාස්තිය විවේචනය කිරීම එකකි. එසේ වුවද වඩාත් වැදගත් වන්නේ එයින් ලබාගත යුතු පාඩම් ඉගෙන ගැනීමයි. සරලව ගතහොත් මෙහි වැදගත්ම පාඩම නම් මෙරටට ආයෝජකයන් නොඑන්නේ වරාය හෝ ගුවන්තොට නොමැති නිසා නොවන බවයි. විදේශ ආයෝජකයන්ට පැමිණීමට නම් වෙනත් බොහෝ දේ සිදුවිය යුතු බවයි. ඒ බොහෝ දේ තිබෙන්නේ ආර්ථික කළමනාකරණයෙහිය. නීතිරීතිවලය. ආර්ථිකය මෙහෙයැවීම සඳහා තිබිය යුතු ආයතනවලය. ආර්ථික මූලධර්ම ක‍්‍රියාවට නැඟීමෙහිය. එම ක්ෂේත‍්‍රවල ක‍්‍රියාත්මක නොවී ආයෝජකයන් එනතෙක් බලා සිටීම යථාර්ථයක් වේද යන්න ප‍්‍රශ්න කළ යුතුව ඇත.

මේ වනවිට ආර්ථිකය තිබෙන්නේ අමාරු අඩියක බව අමුතුවෙන් කිවයුතු නැත. අපගේ අපනයන පහළ ගොස් ආනයන ඉහළ යාම නිසා ගෙවීම් ශේෂ ප‍්‍රශ්නයක් පැන නැඟී ඇත. එයට එක් විසඳුමක් ලෙස දැන් රුපියලේ අගය පාවෙන්නට ඉඩහැර ඇත. මේ ලියන මොහොත වනවිට රුපියලේ අගය සියයට හතරකට වඩා වැඩි අගයකින් පහත වැටී තිබිණි. එය ස්ථාවර වනු ඇතැයි කීවද තවමත් එය යථාර්ථයක් වී නැත.

කොළඹ කොටස් වෙළඳපොළද දිගින් දිගටම පෙන්නුම් කරන්නේ අයහපත් තත්ත්වයකි. කොටස් මිල ගණන්වල දිගින් දිගටම වාර්තාවන්නේ පහළ යාමකි. එයද යහපත් අතට පත්වන බවක් පෙනෙන්නට නැත. ස්ථාවර නව රජයක් පත්වීමෙන් පසුව කොටස් වෙළෙඳපොළ යහපත් ප‍්‍රවණතාවක් පෙන්නුම් කරනු ඇතැයි බොහෝදෙනා සිතා සිටියද එවැන්නක් සිදුවූයේ නැත. එය බරපතළ ලෙස අවධානය යොමු කළ යුතු ප‍්‍රශ්නයකි.

බොහෝ ආර්ථික විද්‍යාඥයන් කියන පරිදි ආර්ථිකය මෙතැනට වැටුණේ පසුගිය කාලයේ මැතිවරණ ඉලක්ක කරගෙන අයවැය සකස් කිරීමත්, අවිනිශ්චිත දේශපාලන තත්ත්වයත් කලක් තිස්සේ පවත්වාගෙන යාමත් නිසාය. එම කාලයේ ක‍්‍රියාත්මක කළ බොහෝ දේ ජනප‍්‍රියතාව ඉලක්ක කරගත් ක‍්‍රියා මිස රටේ සුභසිද්ධියට හේතුවන ක‍්‍රියා නොවන බව කියති. එය බොහෝදුරට ඇත්තක් බව පෙනෙන්නට ඇත.

පසුගිය වසරේ නොවැම්බර් මාසයේ ඉදිරිපත් වූයේ මැතිවරණ අයවැයකි. එහි අරමුණ වූයේ මහජනයා සතුටු කිරීමයි. ආර්ථිකය ගොඩනැඟීමේ ක‍්‍රියාමාර්ග එහි නොතිබිණි.

මේ වසරේ මුලදී තවත් මැතිවරණ අයවැයක් ඉදිරිපත් වීය. රජයේ සේවක වැටුප් රුපියල් දහදාහකින් වැඩිකිරීම ඇතුළු සහන ගණනාවක් එමගින් ලබාදී තිබිණ. ඒ සඳහා මුදල් සොයාගැනීමට යෝජනාකොට තිබුණේ මන්දිර බද්ද, සුපිරි ලාභ බද්ද වැනි බදු කිහිපයක් මගිනි. එසේ වුවද පාර්ලිමේන්තු බහුතරයකගේ සහාය නොතිබූ ආණ්ඩුවට එම බදු ක‍්‍රියාත්මක කළ නොහැකිවිය. එවිට එම ආණ්ඩුවට සිදුව තිබුණේ ආදායම් නොමැතිව වියදම් කරන්නටය. රට කොටඋඩ යෑමට ප‍්‍රධාන හේතුවක් වූයේ එම තත්ත්වයයි.

මෑත කාලයේදී ආණ්ඩුව මෙම වියදම් පියවාගෙන ඇත්තේ අලූතින් මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමෙනි. මේ දක්වා එලෙස මුද්‍රණය කොට ඇති මුදල් ප‍්‍රමාණය රුපියල් බිලියන එකසිය හැත්තෑවක් බව පසුගියදා වාර්තා වීය. මෙලෙස මුදල් නෝට්ටු මුද්‍රණය කර වියදම් පියවාගැනීම යහපත් ආර්ථික ප‍්‍රතිපත්තියක් නොවන බව අමුතුවෙන් කිව යුතු නැත.

අනෙක් අතට ආණ්ඩුව මේ දක්වා රටට දී තිබෙන ආර්ථික ප‍්‍රතිපත්තිය පිළිබඳ සංඥාද ප‍්‍රශ්නකාරීය. රජයේ ආදායම් ඉපැයීමේ වැඩසටහන වී ඇත්තේ පැරණි, මුළුමනින්ම යල් පැනගිය ක‍්‍රමයකි. මන්දිර බද්ද හා සුපිරි ලාභ බද්ද වැටෙන්නේ ඒ ගණයටය. මේවාට කියන්නේ ජනප‍්‍රියවාදී ක‍්‍රියාමාර්ග කියාය. ධනපතියාගෙන් රැුගෙන දුප්පතාට සහන සැලසීමය. එයට සරදියල්වාදය කීවද වැරදි නැත. එසේ වුවද මෙම ක‍්‍රියා මගින් ආර්ථිකයට දෙන පණිවිඩය යහපත් නැත.

කොළඹ කොටස් වෙළෙඳපොළ පසු බැස්මට එක් හේතුවක් ලෙස වාර්තා වූයේ ආණ්ඩුව සුපිරි ලාභ බද්ද ක‍්‍රියාත්මක කිරීමට යෑමයි. එමගින් විශාල සමාගම් බොහොමයකට තම ආදායමෙන් විශාල කොටසක් බදු ලෙස ගෙවන්නට සිදුව තිබේ. ප‍්‍රතිඵලය නම් එම සමාගම්වල කොටස් මිල පහත වැටීමයි. එය සමස්ත ආර්ථිකයටම ඇතිකරන්නේ අයහපත් ප‍්‍රතිඵලයකි.

දින සියයේ ආණ්ඩුවත් එය තවත් මාස දෙකක් තිස්සේ ඇදගෙන යාමත් නිසා ආර්ථිකයේ අවශ්‍ය ප‍්‍රතිසංස්කරණ ගැන අවධානය යොමුවූයේ නැත. එයට කියන්නේ අරාජික තත්ත්වයක් කියාය. එම කාලයේ කළේ ආර්ථිකය ගැටගහගෙන ඇදගෙන යාමයි.

අගෝස්තු මැතිවරණයෙන් පසුව ආණ්ඩුව වහාම මෙම තත්ත්වය නිවැරැුදි කිරීමට කටයුතු කළ යුතුව තිබිණි. එසේ වුවද අපට දකින්නට ලැබුණේ ඇමැති මණ්ඩලය පත්කරන්නටත්, ඇමැතිවරුන්ට විෂය බෙදාදෙන්නටත් තවත් මාස එකහමාරක් ගතවී ඇති බවයි.

හරියට වැඩක් කරන්නට නම් මෙහෙම කල් ගත්තත් කමක් නැතැයි කවුරුන් හෝ කියන්නට පුළුවන. එසේ වුවද එබඳු තත්ත්වයක්ද පෙනෙන්නට නැත. ඇමැතිවරුන්ගේ විෂය ක්ෂේත‍්‍ර පිළිබඳවද තවමත් ඇත්තේ අවුලකි. ආණ්ඩුව කරන්නට යන්නේ මොනවාදැයි රටට තවමත් පැහැදිලි නැත. බොහෝදෙනා සිටින්නේ වෙන්නේ මොනවාදැයි අදහසක් නැතිවය. අද ඇත්තටම රටේ තිබෙන තත්ත්වය ඒකය.

ආර්ථික ක්ෂේත‍්‍රයේ පර්යේෂණ ආයතනයක් ලෙස ක‍්‍රියාත්මක පාත්ෆයින්ඩර් ආයතනය මෑත කාලයේ කියා සිටියේ ආර්ථික ප‍්‍රතිපත්තිය ගැන ආණ්ඩුවෙන් පැහැදිලි හා නිශ්චිත ප‍්‍රකාශයක් අවශ්‍ය බවයි. එහි තේරුම නම් මෙම ක්ෂේත‍්‍රයේ බරපතළ අවිනිශ්චිත තත්ත්වයක් පැවැතීමයි. ආර්ථිකයේ කිසිදු යහපත් වර්ධනයක් පෙන්නුම් නොකර කොර ගහන තත්ත්වයක පවතින්නේ ඒ නිසා විය හැකිය.

මෙයට එක හේතුවක් නම් ආණ්ඩුවේ සංයුතිය විය හැකිය. මෙය ප‍්‍රධාන පක්ෂ දෙකෙහි හා තවත් පක්ෂ ගණනාවකින් සැදුම්ලත් ආණ්ඩුවකි. පසුගිය කාලයේ මෙහි සැලකියයුතු පිරිසක් සිටියේ පැවැති ආණ්ඩුවේය. ඒ කාලයේ එම ආණ්ඩුව ගෙන ගිය ඇතැම් ක‍්‍රියාමාර්ග ඔවුහු අනුමත කළෝය. අනෙක් අතට සැබැවින්ම එම ක‍්‍රියාමාර්ග මගින් ආර්ථික සංවර්ධනයට ළඟා විය හැකි යැයි සිතා සිටියා විය හැකිය. එම පිරිස්ම මෙම ආණ්ඩුවේද ඉහළ තැන්වල සිටිනවිට ආර්ථික ප‍්‍රතිපත්තිවල කුමන වෙනසක් වනු ඇත්දැයි සිතාගැනීම ව්‍යාපාරික ප‍්‍රජාවට අසීරු කටයුත්තක් විය හැකියි. එවිට ඔවුන් කරන්නේ බරපතළ ව්‍යාපාරික තීරණ නොගෙන බලාසිටීමයි. එසේ වූවිට ආර්ථිකයක් ඉදිරියට නොයන බව අමුතුවෙන් කිව යුතු නැත.

වර්තමාන ආර්ථික තත්ත්වයත් එහි ඇති ප‍්‍රශ්න හා සිදුවිය යුතු වෙනස්කම් ගැනත් දිගු ලිපි පෙළක් මෙරට ඉංග‍්‍රීසි පුවත්පතකට සපයමින් සිටින ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්ලිව්.ඒ. විජේවර්ධන මහතා වෙනස් අදහසක්ද ඉදිරිපත් කොට තිබිණි. එය ප‍්‍රජාතන්ත‍්‍රවාදය තුළම පවතින දුර්වලතාවකි. එය නම් රට පාලනය සඳහා හෝ ආර්ථික කළමනාකරණය සඳහා හෝ අවශ්‍ය පිරිස් තෝරාගෙන ඔවුන්ට එය භාරදුන් පසුව භාරදුන් කාර්යය කරනවා වෙනුවට ඔවුන් තමන්ගේ වුවමනා වෙනුවෙන් ක‍්‍රියාකරන බවකි. එවිට ඔවුන්ට තමන්ගේ වගකීම් අමතක වෙයි. ක‍්‍රියාත්මක වන්නේ තමන්ගේ වුවමනා සඳහාය. ආචාර්ය විජේවර්ධන මහතා න්‍යායිකව පෙන්වාදෙන මෙම කාරණය බොහෝදෙනා ප‍්‍රායෝගිකව අත්දැකීමෙන් දන්නා කාරණයකි. ඔහු කියන්නේ ආර්ථික විද්‍යාවේදී එය නියෝජිත ප‍්‍රශ්නය ලෙස හඳුන්වන බවයි.

දැන් අපට දකින්නට ලැබී ඇත්තේද එබඳු තත්ත්වයකි. රටත් ආර්ථිකයත් කළමනාකරණයට පත්කර යවන ලද පිරිසගේ ප‍්‍රධාන අභිලාෂ බවට පත්වූයේ බලය රැුකගැනීම හා ස්ථාවර කර ගැනීමයි. ඒ සඳහා දැවැන්ත ඇමැති මණ්ඩලයක් පත්කොට බලතල බෙදාගත් අයුරු දක්නට ලැබිණ.
එලෙස බලය බෙදාගත් මැති ඇමැතිවරුන්ගේ මේ මොහොතේ කාර්යභාරය වී ඇත්තේ තම හිතවතුන්ට හා ආධාරකරුවන්ට රැුකියා අවස්ථා ලබාදීම, කොන්ත‍්‍රාත්, ටෙන්ඩර් ලබාදීම ආදියයි. ඒ සඳහා ගතයුතු පියවර ගැන ක‍්‍රියාකරනවා විනා රටක් වශයෙන් ආර්ථිකයට සිදුවිය යුතුදේ ගැන දැක්මක් හෝ එම ප‍්‍රශ්න විසඳීමේ හදිසි වුවමනාවක් හෝ මොවුන්ගෙන් දක්නට නැත.

පසුගිය කාලයේ රැුකියා දෙන බව කියා දේශපාලනඥයන් කළේ රජයේ ආයතන තම හෙංචයියන්ගෙන් පිරවීමය. කිසිදු ඵලදායිතාවක් නොමැතිව වැටුප් ගෙවමින් විශාල රාජ්‍ය තන්ත‍්‍රයක් නඩත්තු කිරීම රටේ ආර්ථිකයට දැන් දරාගත නොහැකි ප‍්‍රශ්නයකි.

මොවුන්ටද ආර්ථික ව්‍යාපෘති හා අයෝජන අවශ්‍යය. ඒ තමන්ගේ හිතවතුන්ට සලකන්නටය. ඒ සඳහා අගමැතිතුමා හෝ ජනාධිපතිතුමා හෝ මුදල් ඇමැතිතුමා කිසියම් රටකින් ව්‍යාපෘති කැන්දාගෙන එනතෙක් ඔවුහු බලාසිටිති. ඊට වඩා එහා ගිය ආර්ථික දැක්මක් මෙම පිරිසට ඇති බවක් පෙනෙන්නට නැත.

අනෙක් අතට ප‍්‍රශ්නය වන්නේ හුදෙක් විදේශීය ව්‍යාපෘති හා ආයෝජන බලා සිටිනවා විනා දේශීය ව්‍යාපාර බිහිවන්නට වර්ධනය වන්නට අවශ්‍ය පරිසරයක් බිහිකරන්නට සූදානමක් දක්නට නොතිබීමයි.

අනෙක් ප‍්‍රධාන ප‍්‍රශ්නය නම් හැමෝටම සහනාධාර දෙන්නට යෑමයි. වීවලට රබර්වලට තේවලට ඉහළ මිල නියම කරන්නේ සහනාධාර වශයෙනි. පවත්වාගෙන යා නොහැකි එබඳු සහනාධාර රාශියක් දැන් කි‍්‍රයාවට නඟා ඇත. එහි බර ඇදගෙන යන්නට ආර්ථිකය කිසිසේත් ශක්තිමත් නැත.
මේ තත්ත්වය යටතේ ආණ්ඩුවේ බොහෝදෙනා බලා සිටින බව පෙනෙන්නේ අගමැතිතුමාත් ඔහුගේ හිතවත් ආර්ථික විශේෂඥ කණ්ඩායමත් කිසියම් පෙළහරක් පා ආර්ථිකය ගොඩගන්නා තුරුය. මෙම කාර්යය එහෙම කිහිපදෙනෙකුට කරන්නට බැරි බවත්, එසේ පවරා සිටීම අවදානම් සහිත බවක් බොහෝදෙනාට නොතේරෙනවා විය හැකිය. එසේ වුවද ආර්ථික ක්ෂේත‍්‍රය ගැන ලියන කියන විද්වතුන්ට නම් දැන් මෙය ප‍්‍රශ්නයක් වී තිබෙන බව ඔවුන්ගේ ලියකියවිලි වලින් තහවුරු වෙයි.

මහජනයා රටත් ආර්ථිකයත් පාලනය කිරීම සඳහා ආණ්ඩුවක් පත්කරගත් බව ඇත්තකි. එම ආණ්ඩුව පත්වන විටම අවුලක්ද නිර්මාණය වූ බවත් ඒතරම්ම ඇත්තකි. දැන් මේ ආණ්ඩුව යන්නේ මහජන අභිලාෂ ඉටුකිරීමේ දිශාවටද යන්න පිළිබඳව බරපතළ ප‍්‍රශ්න මතුවී තිබෙන බවද ඒ තරම්ම ඇත්තකි.
එවිට අපට නැවතත් මතක් වන්නේ අපි කුමක් කරමුද? යන පැරණි හෝඩි පොත් පාඩමකි. නටන්නට, දුවන්නට, පනින්නට ඉඩක් නැත. කරන්නට තිබෙන්නේ තවත් බලා සිටින්නේ නැතිව ආර්ථිකය ගොඩගන්නට අවශ්‍ය ප‍්‍රතිසංස්කරණ කරන ලෙස බලකිරීමට පෙරට පැමිණීමයි. මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ ඈලිමෑලි දුබල ගතිය තුරන් කළ හැක්කේ මහජනයාගේ දැනුවත් මැදිහත්වීමකින් පමණකි.

සී ජේ අමරතුංග

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *