කිරිපිටි උභතෝකෝටිකය – – සිරිසේන රාජපක්ෂ –

මෙරට කිරිපිටි පිලිබඳ මේ වන විට බරපතල සංවාදයක් ගොඩනැගී තිබේ. එහි ආරම්භය වශයෙන් සැළකිය හැක්කේ නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා කළ ප්‍රකශයෙනි. එම ප්‍රකාශය අනුව කිරිපිටි වල මේද සංයුතිය සකස් කිරීම සඳහා  සත්ව තෙල් හා කටු පොල් ආදිය යොදා ගැනෙන බව කියවිණි. එම ප්‍රකාශයට අලගු  තබමින් ජනාධිපතිවරයා විසින් ප්‍රකාශ කරන්නට යෙදුනේ  අප වැනි රටකට කිරිපිටි නොගැළපෙන බවයි.

මෙකි ප්‍රකාශ වලට ප්‍රතිචාරයක් වශයෙන්  සෞඛ්‍ය  පෝෂණ හා දේශීය වෛද්‍ය  අමාත්‍ය  රාජිත සේනාරත්න මහතා පවසා තිබුනේ කිරිපිටි පරිභෝජනය පිලිබඳ කිසිඳු ගැටළුවක් නොමැති බව සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ සොයා බැලීම් වලින් ඒ බව තහවුරු වී ඇති බවය

එහෙත් පාරිභෝගික සේවා අධිකාරියේ විමර්ශන නිලධාරීන්ගේ සංගමයේ මතය වන්නේ කිරිපිටි වල අන්තර්ගතය පිළිබඳව පරීක්ෂණ කිරීම දැනට රජය යටතේ පවතින පර්යේෂණ ආයතන විසින් ප්‍රතික්ෂේප කර ඇති බවය. පාරිභෝගික සේවා අධිකාරියේ විමර්ශන නිලධාරීන්ගේ සංගමය පවසන ආකාරයට කිරිපිටි ඇතුළු අහාර ද්‍රව්‍ය සම්බන්ධව කටයුතු කිරීමට පාරිභෝගික අධිකාරියට සම්පත් නැත.

බැලූ බැල්මට ඉහත ප්‍රකාශ වලට අනුව  ඒ ඒ තැනැත්තන් හා ආනයන කිරිපිටි සම්බන්ධයෙන් විවිධ මතවල පිහිටා කටයුතු කරන බව හා ප්‍රකාශ කරන බව පෙනෙන්නට තිබේ. විශේෂයෙන්  ජනපතිවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් පවතින්නේ ගැටළු සහගත තත්ත්වයකි. එනම් ජනපතිවරයා සහ සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අතර පවතින දේශපාලන ආරවුල කිරිපිටි ප්‍රශ්නය හරහා පුපුරා යමින් තිබේද යන්නයි.

නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා විසින් කිරිපිටිවල සංයුතිය පිලිබඳ ගැටලුව මතු කරන්නට පෙරත් මෙරට පාරිභෝගික ජනතාව තුළ යම් ආකාරයක කුකුසක් පැවතිණ. ඒ 2008 වසරේදී මතු වූ කිරිපිටිවල මෙලමයින් සංයුතිය සාමාන්‍යයෙන් කිරිවල පැවතිය යුතු ප්‍රමාණයට වඩා වැඩිබව එකළ කියැවිණ.

එකී ප්‍රශ්නයේදී සෞඛ්‍ය අමාත්‍යංශය ගත් පියවර වූයේ වෙළෙඳපොළෙහි ඇති කිරිපිටි තොග ඉවත් කර ගැනීමට සමාගම් වලට නියෝග කිරීමය. එය කිරිපිටි වල ප්‍රමිතිය පිලිබඳ සායනික පරීක්ෂණයක් කරන බව එකළ කීවද එවැනි පරීක්ෂණයක ප්‍රතිඵල නිකුත් වූ බවක් හෝ එම පරීක්ෂණ ඔස්සේ ගැනුණු වෙනත් ක්‍රියාමාර්ගයක් හෝ නැත. එම තත්ත්වය හේතුවෙන් ජනතාව අතර ආනයනික කිරිපිටි සම්බන්ධව යම් මට්ටමක කුකුසක් පැවතුනි. බුද්ධික පතිරණ මහතාගේ ප්‍රකාශයත් සමඟ එම කුකුස නැවතත් මුහුකුරා  ගියේය.

ශ්‍රී ලංකාවේ වාර්ෂික කිරිපිටි ආනයනය මෙට්‍රික් ටොන් 99000 බව කියවේ. ඒ සඳහා මෙරටින් වැය කෙරෙන මුදල ඩොලර් මිලියන 400 කි. ශ්‍රී ලංකාවේ  වැසියන් දිනකට පරිභෝජනය කරන කිරිපිටි ප්‍රමාණය පිටුපසට කිරීම හා ව්‍යාපාරිකයන් දෙපිරිසක් අතර පවතින ගැටුමක්ද  පවතින බව අනුමාන කළ හැකිය. එම ගැටුම නම් දේශීය වශයෙන් කිරි කර්මාන්තයේ දී සිටින්නන් හා විදේශ වලින් කිරි ගෙන්වා මෙරට බෙදාහරින සමාගම් අතර තරගයකි. නිදසුනක් වශයෙන් මවුබිම ලංකා පදනම පවසන්නේ එංගලන්තයට යවා එහි පරීක්ෂණාගාර වලදී ලබාගත් වාර්තා අනුව මෙරට ආනයනික කිරිපිටි වල 30%  දක්වා ෆාම් තෙල් අඩංගු බවයි. එසේ වුවත් ඔවුන්ගේ පාර්ශවයෙන්ද එම වාර්තා මෙතෙක් ප්‍රසිද්ධ කිරීමක් කර නැත.

ආනයනික කිරිපිටි සමාගම් පවසන්නේ සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර විද්‍යාගාර , ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය හා පරමාණුක බලශක්ති අධිකාරිය  යන ආයතන වල නිගමනයන් අනුව මෙරට වෙළෙඳ පොළේ  ඇති කිටිපිටි සුරක්ෂිත බවයි.

මෙරට ආහාර පනත අනුව සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ අධ්‍යක්ෂකවරයාගේ  නියෝගය යටතේ කිරිපිටි ආනයනයේදී අනුගමනය කළ යුතු පටිපටියක්ද පවතී.එනම් ආනයනය කරනු ලබන කිරි තොග වරායෙන් නිදහස් කිරීමේදී ඒවා නිදහස් කිරීමට නම් ඒවායෙහි අඩංගු වන්නේ කිරිමේද  පමණක් බවට සහතිකයක් ලබා දිය යුතු වීමය. එම සහතිකය ක්‍රම දෙකකින් ලබා දිය යුතුය. පළමු ආකාරය වන්නේ  ; ජාත්‍යන්තර වශයෙන් පිළිගත් පරික්ෂණාගරයකින් ලබාගත් පරීක්ෂණ වාර්තා සහතිකයක් ඉදිරිපත් කිරීම සහ කිරිපිටි වල  කිරිමේද හැර වෙනත් තෙල් වර්ග අඩංගු වී නැති බවට ප්‍රකාශයක් දීමය.

දෙවැනි ආකාරය නම් ; ආනයනික කිරිපිටි වලින් අහඹු ලෙස ලබා ගත් සාම්පල් මඟින් තත්ත්ව පරික්ෂ කිරීමයි.එහෙත් එම ක්‍රම ප්‍රයෝගිකව කොතෙක් දුරට ක්‍රියාත්මක වන්නේද යන්න පිලිබඳ විශ්වාසයක් පාරිභෝගික ජනතාවට නොමැති බව පෙනේ.මෙවැනි වාතාවරණයක් තුළ සෞඛ්‍ය අමත්‍යංශය ප්‍රමිති ආයතනය  ආදී වශයෙන් වන ප්‍රමිතිය ආරක්ෂාව සම්බන්ධයෙන් වගකිව යුතු ආනයන ගැටලුව කෙරෙහි සක්‍රියවැ මැදිහත් විය යුතු වුව ද එය එසේ වන බවත් පෙනෙන්නට නැත. එහි ප්‍රතිඵලය වි ඇත්තේ කිරිපිටි පරිභෝජනය කරන්නන් අතරමං වි වල්මත් වීමය. තමන්ගේ රාජකාරිය හෝ යුතුකම ඉටු කිරීම වෙනුවට අදාළ ආයතන කරමින් සිටින්නේ වල්පල් කියවීම බව පෙනේ. ඔවුන් විසින් මේ මොහොතේ කළ යුතුව ඇත්තේ පාරිභෝගිකයාගේ සැකය හෝ කුතුහලය සංසිදුවන තර්කානුකුල හා විද්‍යාත්මක ප්‍රතිචාරයක් දැක්වීමය.මුලින් සඳහන් කළ පරිදි මෙරටට වාර්ෂිකව කිරිපිටි  මෙට්‍රික් ටොන් 99000 ක් ආනයනය කෙරේ. ඒ සඳහා ඩොලර් මිලියන 400 ක් වැය කරනු ලැබේ. මෙරට ජනතාව දිනකට කිරිපිටි මෙට්‍රික් ටොන් 271 ක් පමණ පරිභෝජනය කරන බව කියැවේ. මේ කරුණු අනුව පෙනී යන්නේ මෙරට ජනතාවට කිරිපිටි යනු අත්‍යවශ්‍ය භාණ්ඩයක් බවට පත්වී ඇති බවයි. ආණ්ඩුව පාර්ශවයෙන්ද ඒ සඳහා ලොකු තල්ලුවක් ලබා දෙනු ලැබේ. ඒ, කිරිපිටි සමාගම් සඳහා ආණ්ඩුව වාර්ෂිකව බදු සහන රුපියල් මිලියන 1000 ක් පමණ ලබා දෙන බැවිනි.

මෑතක් වන තුරුම මෙරට ජනප්‍රියව පැවතියේ දියර කිරි පරිභෝජනයයි. එනම් ගෘහ ආශ්‍රිත ගවයන්ගෙන් දොවා ගන්නා කිරි පරිභෝජනයයි. කවර තත්ත්වයක් යටතේ වුවද මහා පරිමාණ කිරිපිටි සමාගම් කරලියට එනතුරු මෙරට ජනතාවට කිරිපිටි නැතුවම බැරි දෙයක් බවට පත්ව තිබුනේ නැත. අමතර පානයක්  වශයෙන් එළකිරිත් ,අවුල්පතක් වශයෙන් මිදවූ මී කිරිත් පරිභෝජනයට ගැනුණා පමණි.

එහෙත් මේ වන විට දැවැන්ත ප්‍රචාරණ යාන්ත්‍රණයක් හරහා කිරිපිටි නැත්නම් මරණය කියන තරමට වෙළෙඳ සමාගම් විසින් ජනතාව පත් කර තිබේ. ළදරුවාට එක් කිරි වර්ගයකි. දරුවන්ගේ ඒ ඒ වයසට වෙන වෙනම කිරි වර්ග ද තිබේ. කතුනට ,මහල්ලන්ට හා මැහැලියන්ටද  වෙන වෙනම කිරි වර්ගය. ප්‍රචාරය කරන දැන්වීම් වලට අනුව වයසට නොයා සිටීමටත් කුදු නොවී මහලු වෙන්නටත් , නිරොගීව පෝෂිතව ජිවත් වන්නටත්  කිරි වීදුරුවක් පානය කිරීම සෑහේ. එසේම වෙනත් කිසිම ආහාරයක් ගත යුතු නැතිවනු ඇත. කිරිපිටි ප්‍රචාරණය ඇරඹී මුල් කාලයේ දරුවනට මවුකිරි නොදී පිටිකිරි දෙන තත්ත්වයක් පවා උදවිය. දරුවනට මවුකිරි දීමේ වැදගත්කම පෙන්වා දෙන්නට සෞඛ්‍ය අමාත්‍යංශයට වෙනම ප්‍රචාරණයක් දියත් කරන්නට සිදු වූයේ ඒ හෙයිනි.

කිරිපිටි සම්බන්ධයෙන් ආණ්ඩුව පාර්ශවයෙන් මෙයට වැඩ වැඩි මැදිහත්වීමක් අවශ්‍ය වන්නේ මෙකී තත්ත්වය තුළය.කිරිපිටි සම්බන්ධයෙන් කටයුතු කරන නිලධාරීන් පිළිබඳ විශ්වසය ද ජනතව අතර බිඳ වැටී ඇති බව පෙනෙන්නේ සෞඛ්‍ය අමාත්‍යංශයෙන් විශ්‍රාම ගෙන කිරිපිටි සමාගම්වල ඉහළ වැටුප් වලට සේවයට එකතු වූ නිලධාරීන් ගැන තොරතුරු වැනි දේ  සමාජගතව ඇති බැවිනි. එවැනි වටපිටාවක ආණ්ඩුවට පැවරෙන වගකීම දෙගුණ තෙගුණ වේ.

ආණ්ඩුව ඒ වගකීම නිසි ලෙස ඉටු කරන්නේ ද යන්න ගැටලුවකි. කිරිපිටි වෙනුවට දියර කිරි හුරු කිරීම වැනි වැඩසටහන් ඊට නිදසුන්ය. එක අතකින් කිරිපිටි වලට වඩා දියර කිරි මිලෙන් ඉහළය. තවත් අතකින් රටට අවශ්‍ය තරමට දියර කිරි නිෂ්පදකයන්ද නැත. අනෙක් අතින් කිරි විකුණාගත නොහැකි බව කියමින් කිරි ගොවියෝ පාරේ පෙළපාලි යති. ඊට විසඳුම් ලෙස ආණ්ඩුව කරන්නේ පාසල් දරුවන්ට නොමිලේ කිරි දීමය.නොමිලේ කිරි දීමට ද නැවත වැය වෙන්නේ ද ජනතාවගේම මුදල්ය. කිරිපිටි සමාගම් වලට සහන දෙන්නත්  කිරි ගොවියාට ,කිරි ගොවියාට සහන දෙන්නටත් යන දෙකටම ජනතාව කර ගැසිය යුතුය.කළ යුතුව ඇත්තේ  ඉවතලන කිරි වලට නිෂ්පාදන විදිහක්   සැකස දීමය.රට  ආර්ථික වශයෙන් ගොඩ යනු ඇත්තේ එවිටය. එහෙත් කරන්නේ නොකළ යුතු දේය.

තමාගේ කාලයේ කිරිපිටිකාරයන් සෞඛ්‍ය අමාත්‍යංශයට වැද්ද නොගත් බව ජනාධිපතිවරයා කියයි. ඉන් රටට යහපතක් වි ඇත්ද යන්න පිළිබඳව මතුවන්නේ  සැකයකි. එතුමාද දැන් හෝ මැදිහත් විය යුත්තේ කිරිපිටි පිලිබඳ පවතින උභතෝකෝටිකය නිරාකරණය කිරීමටය.ඒ හැර දේශපාලන හෝ ව්‍යාපාරික දාම් ඇදීම් වලින් සිදුවන යහපතක්ද නැත.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *