හයිබ්‍රිඩ් ආණ්ඩුවේ නන්නත්තාර දේශපාලනය – මහින්ද රත්නායක
අමාත්‍ය මණ්ඩලය පත්කිරීමට මාසයක් පමණ කල්ගත් ආණ්ඩුව, බලයටපත් වී දෙමාසයකට ආසන්නව ඇති නමුත්, මේ මොහොත වනවිටත් මොන දිසාවකට යන්නේ දැයි හරි හැටි පැහැදිළි නැත. සාමාන්‍ය ජනතාව කෙසේ වෙනත් ඇමතිවරුන්ට පවා ඒ පිළිබඳ නිනව්වක් නැති ගැන ය. ආණ්ඩුව හයිබි‍්‍රඞ් වන හෙයින් ඇමතිවරුන්ට ඉදිරිය පැහැදිළි නොවීම අරුමයක් නොවේ. පරිකල්පනයෙන් පමණක් ජනසතුව, දේශීයත්වය හා ආගම මෙන්ම ඊනියා අධිරාජ්‍යවාදයට එරෙහිව ශ‍්‍රිලනිප ඇමතිවරු කල්පනා කරන්නේ අතීතය ගැන ය. කිසියම් වෙනසක් ඇති නමුත් ජනාධිපති සිරිසේන මහතා ගේ පරිකල්පනය ද මූලික වශයෙන් එයට වෙනස් බවක් පෙනෙන්නේ නැත. අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඉදිරිය පරිකල්පනය කරන්නේ එයට තරමක වෙනස් ආකාරයට ය. ඒ අනුව ඔහු සාම්ප‍්‍රදායික එක්සත් ජාතික පක්ෂයේ රාමුවෙන බැහැරවීමට අපේක්ෂා නොකරන නමුත් ඉදිරිය වෙනස් ආකාරයකට පරිකල්පනය කරන්නට උත්සාහ දරණ බවක් පෙනේ. මේ අනුව ප‍්‍රධාන පක්ෂ දෙක අතර ඇත්තේ සුසංයෝගයක් පමණක් ම නොව අසංයෝගයක් බව ද අප විසින් තේරුම්ගත යුතු ය.
පසුගිය දින 10 තුළ ප‍්‍රධාන සංසිද්ධි තුනක් දේශපාලන තලයේ සටහන් විය. යුධ අපරාධ සම්බන්ධයෙන් ජිනීවා මානවහිමිකම් සැසියේ දී සම්මත වූ යෝජනාව ඉන් පළමු වැන්න ය. දෙවැන්න ශ‍්‍රි ලංකා ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතීම ය. අග‍්‍රාමාත්‍යවරයාගේ ජපන් සංචාරය තෙවැන්න ලෙස හැඳින්විය හැක. මේ සංසිද්ධින් තුන හා ඒ හා බැඳුණු අනිකුත් කාරණා විශ්ලේෂණය කරගැනීමෙන් වත්මන් ආණ්ඩුවේ ක‍්‍රියාකාරිත්වයේ ස්වභාවය හා විරුද්ධ පාර්ශවය එයට දක්වන ප‍්‍රතිචාරය පිලිබඳව දළ සටහනක් පින්තාරු කළ හැක.
ජිනීවා මානව හිමිකම් කොමිසම
වත්මන් ආණ්ඩුවේ ස්ථාවරය වී තිබුණේ යුධ අපරාධ සම්බන්ධ පරික්ෂා කිරීමට දේශීය යාන්ත‍්‍රණයක් පිහිටුවන බව ය. ජිනීවා මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන් වූයේ දෙමුහුන් යාත්නත‍්‍රණයකි. ඇමෙරිකාවේ මැදිහත්වීම තුළ එම යෝජනාව තනුක වී ඒ මතසිට පරික්ෂණයක් පැවැත්වීමට දැන් එකඟ වී ඇත. ඒ අනුව ජාත්‍යන්තර නොවන අතරම කිසියම් ආකාරයකට ජාත්‍යාන්තර නිරීක්ෂණයකට ලක්වන පරික්ෂණයකට යුධ අපරාධ ලක්වීමට නියමිත ය. රාජපක්ෂ ප‍්‍රමුඛ වීරවංශ කල්ලිය මේවන විටත් එයට තම විරෝධය පළකර ඇත. උගතෙකුවන දයාන් ජයතිලක මහා බුද්ධියක් ආරූඪ කරගෙන මේ එකඟතාවයට තම විරෝධය පළකරයි. රෙජීමයේ හෙන්චයින් හෝ යොදාගෙන, දේශිය පරික්ෂණයක්වත් පවත්වන තැනට රාජපක්ෂව තල්ලූකරගැනීමට අසමත් වූ මේ රාජ්‍යතාන්ත‍්‍රිකයාගේ වචන සිහිබුද්ධියක් ඇති මේ රටේ ජනයා අධෝවාතයක් හෙවත් පඩයකටවත් මායිම් කරන්නේ නැත. දයාන් ජයතිලක වැන්නෙක් ස්ටැලින්ගේ නිළධාරී තන්ත‍්‍රය තුළවත් නොසිටි බව දේශපාලනය පිළිබඳ ළදරුවෝ පවා දනිති.
කෙසේ නමුත් අපක්ෂපාතිත්වය කෙසේ වෙතත් ජාතිකවාදීන්ට ඇති බිය හේතුකොටගෙන මෛතී‍්‍ර-රනිල් දෙදෙනා ද දේශිය යාන්ත‍්‍රණයකට කැමතිය. මානවහිමිකම් සැසිය ආරම්භ කිරීමට මත්තෙන් දේශිය යාන්ත‍්‍රණයක් ගැන ඔවුන් කථා කළේ එහෙයිනි. ආණ්ඩුව වෙනස් වූවත්, සිංහළ බෞද්ධ වැඩවසම් දෘශ්ඨිවාදයෙන් ඔත්පලව තිබෙන රාජ්‍ය යාන්ත‍්‍රණය වෙනස් නොවු රටක පැවැත්න, අභ්‍යන්තර පරික්ෂණයක ප‍්‍රතිඵලය සාධාරණ වන්නේ නැත. යුධ අපරාධ කෙසේ වෙතත් පසුගිය රජයේ ¥ෂණ, වංචා සහ බලය අවභාවිතා කිරීම සම්බන්ධව කෙරෙන පරික්ෂණ ස්වභාවයෙන්ම එය සනාථ වේ. අප්පුහාමිට හා මුදියාන්සේට වූ අසාධාරණයට සාධාරණය ඉටුනොවන්නේ නම් සුප්පයියාට හා කරුපයියාට වෙන දේ තේරුම් ගැනීමට අසමත් ගොබ්බයින් ජාත්‍යාන්තරයේ නැත. මේවා මෙතරම් දුරදිග ගියේ ජාත්‍යන්තරයේ සිටින්නේ ගොබ්බයින් යැයි සිතා කටයුතු කළ සිංහළ බෞද්ධ වැඩවසම්වාදි ගොබ්බයින් නිසා ය. ඔවුන් තවමත් කියන්නේ ලංකාවේ පුරවැසියන් ගොබ්බයින් ලෙස හැසිරිය යුතු බව ය. බොරුවට කොමිසන් සභා පත්කරන නමුත්, එහි වාර්තාව පවා පිටනොකර, නැතිනම් වාර්තාවේ නිර්දේශ ක‍්‍රියාත්මක නොකර සිටීමට නම් අලූත් ආණ්ඩුවක් පත් කිරීමේ අවශ්‍යතාවයක් නැත. අධිකරණය ඇතුළු සමස්ත රාජ්‍ය යන්ත‍්‍රයම ශුද්ධ පවිත‍්‍ර කරන තුරු, යුධ අපරාධවලට පමණක් නොව දකුණේ කෙරෙන අනිකුත් පරීක්ෂණ වලට ද ජාත්‍යන්තර නිරීක්ෂණයක් තිබෙන්නේ නම් රටට යහපතක් මිස අයහපතක් සිදුවන්නේ නැත. අපගේ රාජ්‍ය යන්ත‍්‍රණය ඒ තරමට ජරාජීර්ණ වී ඇති බව වත්මන් ආණ්ඩුව විසින් කෙරෙන පක්ෂණ වලින් ද සනාථ කෙරේ. වත්මන් ආණ්ඩුව ද රාජ්‍ය යාන්ත‍්‍රණය ප‍්‍රතිසංස්කරණය කිරීමට කිසිදු පියවරක් ගන්න පාටක් පෙනෙන්නට නැත. තමන්ගේ ඉදිරි වැඩකටයුතු වලට මෙවැනි රාජ්‍ය යාන්ත‍්‍රණයක් තිබීම යහපත් යැයි ඔවුන් සිතන නිසා එය එසේම තිබෙන්නට ඉඩහැර ඇතැයි ද අපි නොදනිමු.
ජනාධිපතිගේ නිව්යෝර්ක් සංචාරය
ගොබ්බ මුරණ්ඩකම අතහැර ශිෂ්ඨසම්පන්න ලෙස කටයුතු කිරීමට එකඟ වූ හෙයින් එක්සත් ජාතින්ගෙන් යහපත් ප‍්‍රතිචාරයක් ජනාධිපතිවරයාට ලැබුණි. වත්මන් ලෝකය මානව හිමිකම් සම්බන්ධයෙන් දක්වන සැළකිල්ලත්, ජනවාරි 8ට සිරිසේන මහතා බලයට පත්කළ බලවේගයේ උවමනාවත් අනුව ජනාධිපතිවරයාට වෙනත් ආකාරයට ක‍්‍රියාකළ නොහැක. අනික් අතට ලෝකය යන අතට යන්නට ජනාධිපතිවරයාට පෞද්ගලික උවමනාවක් ද තිබෙන්නට පුළුවන. කෙසේ නමුත් යහපාලනය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපතිවරයාට රජයේ වියදමින් තම පුත්තර රත්නය කැඳවාගෙන යෑමට සදාචාරමය නැත. කැඳවාගෙන ගියා පමණක් නොව නිළ උත්සවවලට ද ඔහුව සහභාගි කරවා ගත්තේ ය. වසර 5 අවසන් වූ පසු ගෙදරයන බව ප‍්‍රකාශ කළ ජනාධිපතිවරයෙකුගේ ක‍්‍රියාවක් වන නිසා මේ ගැන ජනාධිපතිවරයා ගැඹුරින් කල්පනා කළ යුතු ය.
තම දෙමාපියන් දේශපාලනය කරන හෙයින් දරුවන්ට දේශපාලනය අහිමි කිරීම ප‍්‍රජාතන්ත‍්‍රවාදය නොවේ. එහෙත් වැඩවසම් රාජාණ්ඩු පාලනයේ දී මෙන් උරුමක්කාර කමට දරුවන් දේශපාලනයට දැක්කවීම අලූත් ශි‍්‍ර ලංකාවට ගැලපෙන්නේ නැත. අප විරුද්ධ වන්නේ, ස්වාමියා මැරුණු පසු ඒ උරුමයෙන් ගැහැණිය දේශපාලනයට එන ආකාරයටම දරුවන් දේශපාලනයට දැක්කවීමට ය. මා දන්නා තරමින් දේශපාලනයට පැමිණ සිටින දේශපාලනඥයින් ගේ බොහෝ දරුවන්ට ඒ සම්බන්ධයෙන් ඇති හැකියාව බිංදුව ය. රගර් පිටියේ ගල්කොච්චි බවට පත්ව සිටි රාජපක්ෂ දරුවන් මෙයට හොඳම උදාහරණකි. රටට කෙසේ වෙතත් දරුවන් සතුටු කිරීම හැර රගර් ක‍්‍රිඩාවට යහපතකට වඩා එයින් සිදුවූයේ අයහපතක් බව කවුරුත් දනිති. තම දරුවන්ගේ හැකියාව අනුව ඔවුන්ට හැකි යමක් කිරීමට සහාය වී ජනාධිපති සිරිසේන රටට ආදර්ශයක් සැපයූවේ නම් කොතරම් යහපත් ද ?
අගමැති රනිල්ගේ ජපාන සංචාරය
අගමැතිවරයාගේ ජපන් සංචාරය පසුගිය සතියේ සිදු වූ තුන් වැනි වැදගත් සිදුවීම ය. පෙරදිග ආසියාවේ වේගයෙන් නවීකරණය වූ රටක් වන ජපානය රනිල්ගේ දැක්මට ගැලපෙන්නේ ය. එහෙයින් අගමැතිගේ ජපන් සංචාරය ශ‍්‍රි ලංකාවේ කාර්මික සංවර්ධනයට උපකාරවනු ඇතැයි සැළකිය හැක. විශේෂයෙන්ම නව තාක්ෂණය පැත්තෙන් ද එය වඩාත් ඵලදයි සංචාරයක් ලෙස සළකන්නට පුළුවන. අනික් අතට ජපාන රජය ද අගමැතිවරයාගේ සංචාරයට ඉහළ ප‍්‍රතිචාරයක් දැක්වීමෙන් පෙනී යන්නේ සැළකිය යුතු තරමේ ආයෝජනයක් කිරීමට ඔවුන් කැමැත්තෙන් සිටින බව ය. අනික් මැති ඇමතිවරු සහ රාජ්‍ය නිළධාරීන්ට අමතරව මෛත‍්‍රී වික‍්‍රමසිංහ මැතිණිය ද මේ සංචාරයට එක්වූවා ය. තම බිරිඳ කැටුව අගමැතිවරයා ජපාන සංචාරයේ යෙදීම කිසිවෙකුට විවේචනය කළ නොහැකි නමුත් අගමැතිවරයාට ද එය අපහසුවක් ගෙනදුන් කාරණයක් නොවේ. කෙසේ නමුත් රූපවාහිනී කැමරාවට මුහුණ නොදී එයින් මෑත් වී සිටිමට මෛත‍්‍රී වික‍්‍රමසිංහ මැතිණිය උත්සාහ දැරූබවක් පෙනෙන්නට තිබුණි. ඇයගේ සහභාගිවීම පිළිබඳ කිසිවෙකුට දොසක් පැවරිය නොහැකි වූවත්, මිනිසුන්ගේ දොස් අසන්නට ඇති අකැමැත්ත නිසා ඇය එසේ ක‍්‍රියාකළා විය හැක. ජනතාවගෙන් එල්ලවිය හැකි දෝෂාරෝපණ කෙරෙහි ලැජ්ජා බය තිබීම, නායකයෙකුගේ බිරිඳකට තිබිය යුතුම ගුණාංගයක් බව මතක් කළ යුතු ය.
අගමැතිවරයා නවීකරණය සොයා ජපාන සංචාරයේ නිරතවන අතර ජනාධිපතිවරයා කලිනොච්චියේ සංචාරයක් කළේ ය. පක්ෂයේ මහා ලේකම් හැරෙන්නට තම පක්ෂයෙන් සැළකියයුතු වෙනත් නායකයෙකු කැටුව ගියබවක් පෙනෙන්නට නොතිබුණි. මහ ඇමති විග්නේශ්වරන්ගේ ද සහභාගිත්වයෙන් වප් මඟුලකට සහභාගි වූ ජනාධිපතිවරයා පසුගිය කාලයේ අත්පත්කරගෙන තිබු ඉඩම් වගයක් ඒවායේ හිමිකරුවන්ට පවරාදුන්නේ ය. සංහිඳියාව වෙනුවෙන් මේ සංචාරය අගය කළහැකි අතරම එහිදි ජනාධිපතිවරයා කළ කථාවෙන්, මෙරට කෘෂිකර්මය පිළිබඳ ප‍්‍රශ්නයට ඔහුගේ දැක්ම තුළ විසඳුමක් නැති බව නම් පැහැදිළි විය. ආහාර සුරක්ෂිත භාවය වෙනුවෙන් සියලූ ඉඩම් වගාකළ යුතු බව පැවසූ ජනාධිපතිවරයා එසේ නොකරන ඉඩම් අත්පත් කරගන්නා බවක් ද කීවේ ය. ආහාර සුරක්ෂිතභාවය පිළිබඳ අදහසට ජනාධිපතිවරයාට දොසක් කිව නොහැක. කැළෑවට යන ඉඩම්වල ඵලදායි දෙයක් වගා කිරීම ද යහපත් ය. එහෙත් වියදම පිරිමහගන්නටවත් මිළක් නැති වී, තවතවත් වගා කරන්නේ අහවල් දේකට ද? වී ගොවිතැන සඳහා දෙන සහනාධාරට අමතරව සහතික මිල ක‍්‍රමය යනු වෙනත් බද්ධකින් අයකර ගෙවන ක‍්‍රමයකි. ආනයන කෘෂිකාර්මික භාණ්ඩ මිල අඩු හෙයින් එය පාරිභෝගිකයාට වාසි සහගත ය. දේශිය කාෂිකර්මය රැුකගන්නට කියා පාරිභෝගිකයාමත බර පැටවීම සුදුසු නැත. පැහැදිළි විද්‍යාත්මක හේතුවක් නොමැතිව ග්යිෆෝසෙට් වල්නාශක තහනම් කිරීම හේතු කොටගෙන අපගේ කෘෂිභාණ්ඩ මිල ඉදිරියේ දි තවත් ඉහළ යෑමට නියමිත ය. අපේ කෘෂිභාණ්ඩ මිල ඉහළ අගයක් ගන්නටත්, විදේශිය කෘෂිභාණ්ඩ මිල පහළ අගයක් ගන්නටත් හේතුවක් තිබිය යුතු ය.
නවීකරණය හා වැඩවසම් චින්තන එකට ගමන කරන්නේ නැත. එයට මිත්‍යා මත ඇතුල් වනවිට ප‍්‍රතිඵලය ඉතාමත් අහිතකර ය. සහනාධාර නොමැතිව කෘෂිකර්මයට පවතින්නට නොහැකි බව සත්‍යයකි. දියුණු රටවල ද කෘෂිකර්මයට සහනාධාර ලබාදෙන්නේ ඒ නිසා ය. ඒ ඉපැයීම් ඔවුන් අත්කරගන්නේ කාර්මික භාණ්ඩ නිෂ්පාදනයෙනි. අනික් අතට බිම තිබුණු පලියට කුමක් හෝ වගාකර පිරිවැය අවමකරගත නොහැක. පිරිවැය අවමකරගත හැකි භූමියක වූවත් කෘෂිකර්මය නවීකරණය කළයුතුව ඇත. පිරිවැය අවම කළහැක්කේ ඒ මගින්ම පමණි. ඒ මගිනුත් සාධාරණ මිලක් නොලැබෙන්නේ නම් සහනාධාර ලබාදීම සාධාරණය.
මේ අනුව කෘෂිකාර්මික ප‍්‍රශ්නය, විසඳිය යුතු ප‍්‍රශ්නයක් වන අතරම ශ‍්‍රි ලංකාවේ ඇති බැරැරුම් ප‍්‍රශ්න අතර ඇති එක් ප‍්‍රශ්නයක් ලෙස ද එය හඳුනාගත යුතු ය. කෘෂිකර්මයේ ව්‍යුහිය වෙනසක් නොකර වප් මඟුල් පැවැත්වීමෙන් ඒ ප‍්‍රශ්නය ජයගත නොහැකි අතර වප්මඟුල සිංහළ බොද්ධ වැඩවසම් මනස කුල්මත් කරන්නට නම් අගනේ ය.
මහින්ද රත්නායක