|

මේ සැරේ අස්වැන්න මෙට්‍රික් ටොන් ලක්ෂ තිහයි. අපි දෙවියන්ට පින් දෙනවා වාගෙම වගා කරපු ගොවීන්ටත් පින්දෙන්න ඕනැ – අගමැති රනිල් වික්‍රමසිංහ

හෙළයේ මහා ගොවි පිළිවෙත නමින් හඳුන්වනු ලැබූ අලුත් සහල් මංගල්‍ය ඊයේ (07)  අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදී.

මෙවර මහ කන්නයේ නෙලා ගන්නා ලද නොයිඳුල් අස්වැන්නෙන් සකසා ගන්නා ලද සහලින් අලුත් සහල් මංගල්‍ය සිදු කෙරුනේ අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස හිමිපාණන්ගේ අනුසාසනා පරිදියි. එහි දී ජනාධිපතිවරයා ද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ද රන් ආලේපිත පාත්‍රය සහලින් පිරවීම සඳහා එකතුවූහ. මෙම අවස්ථාවට සමගාමීව සම්ප්‍රදායිකව ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේ වෙත පුද කෙරෙන මී පැනි බඳුන ආදීවාසී නායක ඌරු වරිගේ වන්නිලෑ ඇත්තන් විසින් ජනාධිපති තුමා වෙත පිළිගන්වනු ලැබීය.

එහිදී රැස්ව සිටි පිරිස ඇමතූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා, ආදී කාලේ රජරට සමාජය සම්පූර්ණයෙන්ම වී වලින් හැදුනෙ. එයින් විශාල ලාභ ලැබුව. කොච්චර ලාබ ලැබුවද කියල කිව්වොත්, සමහර විට රජවරු දෙපාරක් තුන්පාරක් බදු ගත්තා. ඇත්ත වශයෙන්ම දැන් ආණ්ඩුට දොස් කියන්න ඉස්සර වෙලා මතක තියා ගන්න, පරාක්‍රම බාහු රජ්ජුරුවොත් වැට් දැම්මා කියල.

වර්තමාන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා මොරගහකන්දෙන් විශාලම ජලාශය ආරම්භ කරල තියෙනව. එහෙනම් වාරිමාර්ග වෙනුවෙන් අපි විශාල ලෙස මුදල් වියදම් කරල තියෙනව. මේ සැරේ අස්වැන්න මෙට්‍රික් ටොන් ලක්ෂ තිහයි. කන්නකට වැඩිම අස්වැන්නක් ලබාගත්තෙ මේ අවුරුද්දෙ කියල මම කියන්න කැමතියි. අහස් වැස්ස ලැබෙනව නම් අපි සහල් වලින් ස්වයංපෝෂිතයි. ඒක නිසා අපි දෙවියන්ට පින් දෙනවා වාගෙම වගා කරපු ගොවීන්ටත් පින්දෙන්න ඕනැ.

අපි ඉන්න යුගයේ දේශගුණය වෙනස් වෙනව. පිලිපීනය වගේ රටවල් දැන් ජලය අඩුවෙන් භාවිතා කරන ගොවිතැන් ක්‍රම දිහා අවධානය යොමු කරනව. එහෙනම් නවීකරණයක් වී ගොවිතැනේ සිදුවෙන්න ඕනැ. ඒ වගේම අපි බලන්න ඕනැ ඊළඟ පරපුර ගොවිතැනේ රඳව ගන්න ඕනෙ කියල. ඒක තමයි අපිට තියෙන විශාලම අභියෝගය. යනුවෙන් ප්‍රකාශ කළේය.

අනතුරුව අලුත් සහල් කිරි ආහාර පූජාව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (07) පෙරවරුවේ ඓතිහාසික රුවන්වැලි සෑ රජුන් ඉදිරිපිට දී පවත්වන ලදී. අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහවැලි එච් කලාපයට අයත් තඹුත්තේගම ගල්නෑව නොච්චියාගම ආදී ප්‍රදේශවල අක්කර 65000ක භූමියෙන් නෙලන ලද අස්වැන්නේ නැවුම් කොටස රුවන්වැලි සෑ රජුන්ට පූජා කිරීම මෙහි දී සිදු කෙරිණි.

එහිදී අනුශාසනාවක් කළ පල්ලේගම හේමරතන හිමියන්, මේ කටයුත්තට අදාල නොවුනත් තවත් විශේෂ ප්‍රසංසාවක් ජනාධිපතිතුමාට පිරිනෑමිමට කැමතියි, ඔබතුමා මත් රකුසාගෙන් මේ රට බේරාගැනීමේ උදාර සංකල්පනාව ඇතුව වෙනත් කිසිදු රාජ්‍ය නායකයෙක් මෑත කාලයේ නොගත්තු තීන්දු තීරණ අරගෙන තියෙනව. අපේ රට දැහැමි රටක් බවට පරිවර්තනය කර ගැනීමට අවශ්‍ය ශක්තිය ධෛර්ය තව තවත් ලැබේවා! කියල පාර්ථනා කරනවා. යනුවෙන් වදාළේ ය.

මනෝජ් රූපසිංහ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *