රාජපක්ෂ පාලන සමයේ කටුනායක වෙළෙඳ කලාපයේ වෙඩි තැබීමෙන් අගතියට පත්වූවන්ට වන්දි ගෙවන්න නියෝග

2011 වසරේ මැයි 30 වැනිදා කටුනායක නිදහස් වෙළඳ කලාපය තුළ පැවති සේවක විශ‍්‍රාම වැටුප් කෙටුම්පතට එරෙහිව පැවති උද්ඝෝෂණයේදී ආරක්ෂක අංශ වලින් පහරකෑමට ලක්වී තුවාල ලැබූ සේවකයින් 16 දෙනෙකු ගොනු කළ  මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමෙන් පසු ඔවුන්ගේ නිදහස් අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතිය උල්ලංඝණය වී ඇතැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය එලෙස පහර කෑමට ලක්වූ සේවකයින්ට වන්දි ගෙවන ලෙස රජයට අද (5) නියෝග කළේය.

ඒ අනුව වෙඩි වැදී බරපතල තුවාල ලැබූ පළමු පෙත්සම්කරුට රුපියල් දෙලක්ෂ පනස් දහසක වන්දි මුදලක් ද , ඉතිරි සෙසු පෙත්සම්කරුවන්ට රුපියල් 50,000 සිට රුපියල් 75,000 දක්වා වන්දි මුදල් ගෙවීමට ද ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග කෙරිණි.

මෙලෙස වන්දි හිමි වූයේ අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කර තිබූ මංගල සම්පත් (කම්කරු) , රෝහිත (ට‍්‍රාන්ස්ෆෝමර් කාර්මික) , බුද්ධික අතපත්තු (යන්ත‍්‍ර ක‍්‍රියාකරු) , දනුෂ්ක සංජීව (කම්කරු) අනිෂ් ඉමල්කා (ට‍්‍රාන්ස්ෆෝමර් කාර්මික ) , නිශ්ශංක වනිගසේකර ( සුපරීක්ෂක ) , ජයතිස්ස රාජකරුණා (රියදුරු ) , ලසන්ත පෙරේරා ( ඇගළුම් කැපුම්කරු ) , ලලින්ද හේරත් (උදව්කරු) ප‍්‍රදීප් කුමාර , නලින් සංජය ජයතිලක සහ සඳරුවන් හෙට්ටිආරච්චි යන නැමැත්තන් ඇතුළු 16 දෙනෙකුටය.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස සීදුව සහ කටුනායක පොලිස් ස්ථානාධිපතිවරුන් ,මීගමුව නියෝජ්‍ය පොලිස්පති , පොලිස්පති , ආයෝජන මණ්ඩලය , හමුදාපති සහ නීතිපති නම් කරනු ලැබ සිටිති. මෙම නඩුවේ තීන්දුව විනිසුරු විජිත් මළල්ගොඩ මහතා විසින් ප‍්‍රකාශයට පත් කරන ලදී.

2011 මැයි 30 වැනිදින සේවක විශ‍්‍රාම වැටුප් අරමුදල් පනත් කෙටුම්පතට එරෙහිව සේවකයින් 600ක් පමණ කටුනායක නිදහස් වෙළඳ කලාපයේ උද්ඝෝෂණය කළ අතර ඊට පෙත්සම්කරුවන් සහභාගී වී ඇත.

කිසිදු පූර්ව දැනුම් දීමකින් තොරව එම ස්ථානයට කඩා වැදුණු පොලීසිය උද්ඝෝෂකයින් කඳුළු ගෑස් එල්ල කරමින් පහර දෙන්නට වූ බව ඉදිරිපත් වූ කරුණු වලින් පැහැදිලි වේ.සමහර පොලිස් නිලධාරීහු ගල් වලින්ද පහරදී ඇත.මෙහිදී පෙත්සම්කරුවන් ඇතුළු සෑහෙන පිරිසකට තුවාල සිදු වූහ.

ඒ අනුව වෙඩි වැදී බරපතල ලෙස තුවාල ලැබූ පළමු පෙත්සම්කරුට රුපියල් 2,50,000 ක වන්දි මුදලක්ද , ඉතිරි පෙත්සම්කරුවන්ට රුපියල් 50000 සිට 75,000 දක්වා වන්දි මුදල් ගෙවන ලෙසද රජයට නියෝග කරන බවද තීන්දුවේ වැඩිදුරටත් සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *