පරස්පරය

ඇත්තටම මෙයා ඔයා ඒක අහෝසි කරන්න උපදෙස් දුන්න ද? කියා නෝනා ඇසූ විට, මොකක්ද විධායක ජනාධිපති ධුරය ද, එහෙමත් නැත්නම් කමකට නැති ව්‍යවස්ථා සභාව ද, කොමිෂන් සභාද මොකක්ද, කියා ජනාධිපතිතුමා නෝනගෙන් ඇසුවේය.

නැහැ මෙයා, මම ඇහුවේ ශිෂ්‍යත්ව විභාගය අහෝසි කරන්න කියලා ඔයා ආණ්ඩුවට උපදෙස් දුන්නාය කියලා පොළොන්නරුවේ දී කියපු කතාව ගැන කියා එවිට නෝනා කීවාය.

ඔව් ඔව්, මම කීප වතාවක්ම ආණ්ඩුවට පහේ ශිෂ්‍යත්ව විභාගේ අහෝසි කරන්න උපදෙස් දුන්නා, කියා එවිට ජනාධිපතිතුමා කීවේය.

අනේ අපරාදේ කියා එවිට නෝනා කීවාය.

අපරාදේ කියලා කියන්නේ මොකටද මෙයා? පහේ ශිෂ්‍යත්ව විභාගයෙන් කාටවත් කිසිම සෙතක් වෙන්නේ නැහැ. ළමයින්ට හිරිහැර වෙනවා විතරයි. ඔක්කොටම වැඩියෙන් මට ඉවසන්න බැරි ශිෂ්‍යත්ව විභාගය ෆේල් වෙන ළමයින්ට දෙමාපියන්ගෙන් හිරිහැර වෙන එකය කියා ජනාධිපතිතුමා කීවේය.

එහෙම කියන්නත් එපා මෙයා. ඔය රණ්බන්ඩා සෙනවිරත්න, සයිමන් නවගත්තේගම වගේ අය ලොකු ඉස්කෝල වලට ඇවිත් ඉගෙනගත්තේ ශිෂ්‍යත්ව විභාගේ නිසා කියලා කියනවා නේද? කියා එවිට නෝනා කීවාය.

රණ්බන්ඩලා ශිෂ්‍යත්වෙ පාස් වුණා කියලා මොකක්ද වෙච්ච සෙතේ . සයිමන් නවගත්තේගම අරක්කු, සිගරට් බොන්න ඉගෙන ගත්තේ ශිෂ්‍යත්වේ පාස්වෙලා වෙන්න ඇති . සයිමන් අද වෙද්දි හිටියනම් මගේ මත්පැන්, දුම්වැටි සටනටත් ලොකු බාධාවක් වෙනවා. බක්මහේ දිවුරුමක් කරන්න බැරි වෙනවා කියා ජනාධිපතිතුමා උත්තර දුන්නේය.

එහෙම කියන්න එපා මෙයා සයිමන් මහත්තයා කොච්චර අපූරු පොත් ලියලා තියෙනවද?නාට්‍ය හදලා තියෙනවද? එයා බොහොම හොඳ නළුවෙක් කියලත් මම අහලා තියෙනවා. එතකොට රන්බණ්ඩා සෙනෙවිරත්න මහත්තයා කොච්චර දක්ෂ ගීත රචකයෙක් ද? උලලේනෝ කියලා කපුගේ මහත්තයා කියන්නේ එයා ලියපු සින්දුවක් නේද? අනික රන්බණ්ඩා මහත්තයා දක්ෂ නීතිඥයෙකු කියා නෝනා කීවාය.

පොත් ලියන්න ශිෂ්‍යත්වේ පාස් වෙන්න ඕනද මෙයා දැන් බලන්න අපේ චතුරිකා පොත් ලිව්වේ නැද්ද? එයා පොත් ලීවේ නැද්ද ? එයා පොත් ලිවේ ශිෂ්‍යත්වෙ පාස්වෙලා සෙන්ට්‍රල් කොලේජ් එකට ගිහින් ඉගෙන ගෙනද? වෙන කවුරුත් ඕනෙ නෑ මම ගැන හිතන්න. රන්බණ්ඩා සෙනෙවිරත්න මහත්තයා ශිෂ්‍යත්වය පාස් වුණ නිසා සින්දුව ලීවා කියල ඔයා කියනවා. එතකොට මම විරිඳු කියන්නේ කවි කියන්නේ ශිෂ්‍යත්වය පාස් වෙලා ද? මධ්‍යම මහා විද්‍යාලයක ඉගෙන ගත්ත නිසා ද? අනිත් අතින් ගත්තම ශිෂ්‍යත්වය පාස් වුණා කියලා සයිමන්ට හරි රන්බණ්ඩා ට හරි දවසකටවත් රටේ ජනාධිපති වෙන්න පුළුවන් වුණා ද කියා ජනාධිපතිතුමා ඇසුවේය.

ඔයා ඔහොම කිව්වට ශිෂ්‍යත්වෙ පාස්වෙලා හොඳට ඉගෙන ගත්තෙ නැත්නම් රම්බන්ඩා මහත්තයට දක්ෂ නීතිඥයෙක් වෙන්න ලැබෙයි කියලා ඔයා හිතනවද කියා එවිට නෝනා ඇසුවාය.

මොකද බැරි මෙයා දැන් බලන්න අපේ සාටක රජතුමා නීතිඥයෙක් වුණේ ශිෂ්‍යත්වේ පාස්වෙලද ? එතකොට සාටක රජතුමාගේ පුත් කුමාරයා නීති විද්‍යාල විභාගය ලියන්න යද්දි නීති විද්‍යාලයේ ප්‍රින්සිපල් බුලතුත් අරන් ද කොහෙද පිළිගන්නා ආවා කියන්නේ එයා ශිෂ්‍යත්වෙ පාස් නිසාද? එතකොට ඒ කුමාරයාට නීති විභාගය ලියන්න පූර්ණ ආරක්ෂාව ඇතුව වෙනම කාමරයක් දුන්නෙ ශිෂ්‍යත්වෙ පාස් නිසාද? කියමින් ජනාධිපතිතුමා ප්‍රශ්න වැලක් ම ඉදිරිපත් කළේ ය.

ඒ උනාට මෙයා ශිෂ්‍යත්ව නවත්වන්න කියලා ඔයා ආණ්ඩුවට උපදෙස් දුන්නේ අපරාධෙ කියා නැවතත් නෝනා කීවාය.

මොන අපරාධයක්ද ශිෂ්‍යත්ව විභාගයට ලියන්න ගියාම ළමයින්ට තමයි ලොකුම අපරාධ වෙන්නේ කියා එවිට ජනාධිපතිතුමා කීවේය.

නැහැ, මම කීවෙ ඒ ගැන නෙමෙයි. ඔයාගෙ වචන ගැන කියා නෝනා කී විට, ඔයා කියන දේ මට තේරෙන්නේ නැහැ කියා ජනාධිපතිතුමා කීවේය. ජිනීවා ගිහින් ආණ්ඩුව කරලා ඇවිත් තියෙන්නෙ ඔයා කිව්වේ දේ නෙවෙයි කියල ඔයා කීවා නේද කියා නෝනා ඇසුවාය.

ඔව්නේ මම කියලා ඇරියේ ඒකාබද්ධ ප්‍රශ්නේ කුණු කූඩෙට දාලා මානව හිමිකම් කොමසාරිස්ටත් හොඳවයින් දෙකක් කියන්න කියලයි. කෝ මේ තිලක් කාරයා ඒක ඇහුවායි.

මම කීව දේ පැත්තක තියලා අවුරුදු දෙකකට කල් ඉල්ලගෙන ආවා කියා ජනාධිපතිතුමා කීවේය.

එතකොට ඔයා උසාවියේ  තනතුරකට නෝනා කෙනෙක් ගේ  නමත් ලියලා යැව්වා නේද? ඒකට  මොකද වුණේ කියා නෝනා  ජනාධිපතිතුමාගෙන් ඇසුවාය.

ඒ යෝජනාවට වූනේ ජිනීවාවලදී වෙච්ච සන්තෑසියම තමයි. අන්තිමට ඒ අයට ඕන නම් යෝජනා කරල යවන්න මට සිද්ධ වුනා යැයි ජනාධිපතිතුමා කීවේය.

ැදැන් එතකොට අර්ජුන් මහේන්ද්‍රන්  එවන්න කියලා සිංගප්පූරුවට ඔයා කිව්වා නේද කියා නෝනා ඇසුවාය.

කීව නේන්නම්  ඒත් එව්වෙ නෑනෙ. මෙහෙන්  ඉල්ලලා නැහැ කියලා දැන් ඒ රටෙන් කියනවලු කියා ජනාධිපතිතුමා කීවේය.

අන්න ඒක තමයි මම කියන්නේ ඔයා කියන කිසිම දෙයක් ආණ්ඩුව කරන්නේ නැහැ කියලා.

ඔයා ඔහොම  කියනවා ඒ අස්සේ ඒ ආන්ඩුවට ම ශිෂ්‍යත්වය අහෝසි කරන්න කියලාත්  කියනවා. මම කියන්නේ ඔයාගේ වචන අපරාදේ  කියල යයි  නෝනා කීවාය.

අනේ හැබෑටම මට ඒක නික්මටව වත් මතක් වුණේ නැහැනේ. දැන් මොකද කරන්නේ කියා  ජනාධිපතිතුමා ඇසුවේය.

ඔය ප්‍රශ්නේ විසදගන්න ඔයාට තියෙන්නේ එකම උපක්‍රමයයි කියා නෝනා එවිට කීවාය.

මොකක්ද අපේ  හඟුරන්කෙත හාදයගෙන් වැලිමඩ පෙරේරා ගෙන් හරි උපදෙස් ගන්න එකද කියා එවිට ජනාධිපතිතුමා ඇසුවේය.

හඟුරන්කෙතින්  වැලිමඩින් උපදෙස් අරන් දවස් පනස් ගානක් තිස්සේ කරගත්තු ඒවා මදි ද කියා එවිට නෝනා කෝපයෙන් ඇසුවාය.

එහෙනම් ඔයා මොකක්ද කරන්න කියන්නේ කියා ජනාධිපතිතුමා නෝනගෙන් ඇසුවේය.

ඔයාට ආණ්ඩුවෙන් කරගන්න ඕන දෙයක් තියෙනවා නම් ඒක කරන්න එපා කියලා ආණ්ඩුවට කියන්න යැයි නෝනා කීවාය

එතකොට කියා ජනාධිපතිතුමා ඇසුවේය.

එතකොට ආණ්ඩුව ඒ වැඩේ කරනවා නෝනා කීවාය

. ඔයාට කරගන්න එපා දෙයක් තියෙනවනම් ඒක කරන්න කියලා ආණ්ඩුවට කියන්න නෝනා නැවතත් කීවාය.

එතකොට කියා නැවතත් ජනාධිපතිතුමා ඇසුවේය.

එතකොට ආණ්ඩුව ඒක කරන්නේ නැහැ නෝනා කීවාය

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *