|

නැවු දෙකකින් විදුලිය ගේන හැටි

පසුගිය සති අන්තයේ අගමැතිවරයා හම්බන්තොටදී පැවැති යොවුන් පුරයට එක්ව නව ලෝකය සමඟ ඉදිරියට යන ගමනේදී නව තාක්ෂණය හරහා තරුණ පරපුරට ලෝකය තුල ලබාගත හැකි ඉහළම ස්ථානය ලඟා කර දීම එජාපෙ අරමුණ බව ප්‍රකාශ කළේය. අනතුරුව කොට්ටාව බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය විවෘත කිරීමද අගමැති අතින් ඉටුවිය. එය දියුණු රටවල මෙන් එකම ස්ථානයකින් සියළුම පොදු ප්‍රවාහන කටයුතු ඉටුකරදීම ඇරැඹින.

“අපි කරන හැම වැඩකටමත් රාජපක්ෂ නඩය හොර උප්පැන්න දෙන්න එනවා. පස්ස දොරෙන් හොර ආණ්ඩු ගත්ත කට්ටිය අද එසේ ක්‍රියා කිරීම විහිලුවක්. මෙවැනි බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන රටේ අත්‍යවශ්‍ය සෑම තැනකම අපි ඉදිකරනවා.” ඇමති චම්පික කීවේය.

මේ රජය යටතේ ඉදිවූ තවත් සංවර්ධන ව්‍යාපෘති රැසක් අගමැති අතින් රටේ විවිධ ප්‍රදේශ වලදී ජනතා අයිතියට පත් කෙරින. එසේම පසුගිය ඉරිදා එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාසට මල්වතු පාර්ෂවයෙන් ලැබුණු ගෞරව සම්මානය සඳහාද අගමැතිවරයා එක්විය.

“ජනාධිපතිතුමයි ඔබතුමයි අතර හදිසි රහස් සාකච්ඡාවක් නුවරදි තිබුණ කියල ආරංචියි.” ලක්ෂ්මන් කිරිඇල්ල මෙන්ම සජිත්ගේ උත්සවයට පැමිණ සිටි බොහෝ දෙනෙක් එහිදී අගමැතිවරයාගෙන් විමසීය.

“නෑ. එහෙම විශේෂ සාකච්ඡාවක් තිබුණෙ නෑ. සජිත්ගෙ උත්සවයට එන්න කලින් මම දවල් කෑමට මලික්ගෙ ගෙදර ගියා. ජනාධිපතිත් එතෙන්ට ආවා. කෑම කමුයි යෝජනා කළාම නෑ මම කාලයි ආවෙ කිව්වා. එච්චරයි” අගමැතිවරයා කීවේ මද සිනහවක්ද පාමිණි.

බ්‍රහස්පතින්දා අගමැතිවරයා අරලියගහ මැදුරට පැමිණියේ මේ සතියේත් ඇමති රුවන් විජයවර්ධන ඇතුළු ජනමාධ්‍ය කණ්ඩායම සමග පැවැත්මීමට නියමිත හමුවකට එක්වීමටය.

“චම්පික රණවකගේ වජිර අබේවර්ධනගෙයි වැය ශීර්ෂ බාල වර්ගයේ ගේම් එකක් ගහලා පැරැද්දවීමෙන් විපක්ෂෙට ලැබුණෙ මොනවද දන්නෑ.” දයා ගමගේ කතාවට මුලපිරුවේය.

“පක්ෂ නායක රැස්වීමකදි ඡන්දයක් ඉල්ලන්නෙ නෑ කියල පොරොන්දු වෙලා ලැජ්ජ නැති විදියට එකපාරට ඡන්දයක් ඉල්ලල තියනවා. ඡන්දයක් ඉල්ලල තිබුණනම් උත්තර දෙනහැටි අපි පෙන්වනවා.” ලක්ෂ්මන් කිරිඇල්ල කීවේ එවැන්නකි.

“මම ඒ වෙලාවෙ පාර්ලිමේන්තුවේ ඉදලා සියල්ල හොයා බලලා අරලියගහ මන්දිරයේ සාකච්ඡාවකට ගියා. රෑ 7 වෙනකනුත් අපේ මන්ත්‍රීවරු හුඟ දෙනෙක් පාර්ලිමේන්තුවේ හිටියා. 7:30ටයි පොහොට්ටුව සදාචාරාත්මක නොවන මේ වැඩේ කරල තියෙන්නේ. ලක්ෂ්මන් එකපාරට ඒ වෙලාවෙ කොහෙද ගියේ. ඔයා හිටියනම් මෙහෙම වෙන්නෙ නෑ. අනිවාරෙන්ම ගැටයක් ගහල ආණ්ඩුව බේරනවා.” අගමැති කීවේ උස් හඩින් සිනාසෙමිනි.

“පිටරට අපේ නෑදෑයො කට්ටියක් එදා අපේ ගෙදරට අවිල්ලා. එදා රෑම ඒ ගොල්ලො රටින් පිටවෙනවා. අපේ මැණිකෙ මට කතාකරල කිව්වා විනාඩි 5කට එන්න කියලා. පාර්ලිමේන්තුවේ ඉදලා කිලෝමීටරයක්වත් අපේ ගෙදරට දුර නැති නිසා මම දුවල එන්න ගිය ටිකටයි මේක වෙලා තියෙන්නේ” ලක්ෂ්මන් කිරිඇල්ල කීවේද සිනාසෙමිනි.

“අමාත්‍යාංශ 2 විකෘති විදියට පැරැද්දෙව්වාම ආණ්ඩුව වැටේවි කියල විපක්ෂය හිතුවද දන්නෑ. පොහොට්ටුවේ සමහරු පාර්ලිමේන්තු සම්ප්‍රදායවත් හරියට දන්නෙ නෑ. ඒකයි මේ වගේ මෝඩ වැඩ කරන්න ඇත්තේ.” නවීන් දිසානායක කීය.

එහිදී ඇමති නවීන් හා මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී මයන්තගේ මෑණියන් මෙන්ම එජාප හිටපු නායකයෙකු වන ගාමිණී දිසානයක මහතාගේ බිරිඳ ශ්‍රීමා දිසානායක මැතිනියගේ අභාවය පිළිබඳ එහි සිටි අගමැති ඇතුළු සියළුදෙනා නවීන්ට සිය කණගාටුව ප්‍රකාශ කළහ.

“නොහිතපු වෙලාවක අප්පච්චි අපට අහිමි වුණා. ඒ සියළු අඩුව පිරෙව්වෙ අම්මායි. මද අසනීප ගතියකින් වුණත් ඇය තවත් කලක් අපිත් එක්ක හිටියානම් එය අපට මහා ශක්තියක් වෙනවා.” ඇමති නවීන් කීවේ ඉතා හැඟීම්බරවය. එහි සිටි සියළුදෙනා නවීන් අස්වසාලීය.

“එදා පාර්ලිමේන්තුවෙන් පිටවූ බව සටහන් කරපු පොහොට්ටු මන්ත්‍රීවරු ගැරේජ් එක අස්සෙ හැංගිලා ඉදලයි වැය ශීර්ෂ දෙක පරද්දන්න ආපහු ඇවිත් තියෙන්නෙ” චමින්ද විජේසිරි කීවේ කතාව වෙනතකට යොමු කරවමිනි.

“මීට පස්සෙ පාර්ලිමේන්තුවේ පිටවූ නම් ලයිස්තු විතරක් චෙක් කරල බෑ. පාර්ලිමේන්තුවෙන් පිට ගැරේජ් ටොයිලට් හා අහුමුළුත් හොයන්න වෙනවා. මොකද පොහොට්ටුවේ මිනිස්සුන්ට සදාචාරයක් නැති නිසා පාර්ලිමේන්තුවේ වාහන වල ඩිකියෙ වුණත් හැංගිලා ඉන්න බැරි නෑ.” හේෂා විතානගේ කීවේ කාගේත් සිනා මැදය.

“ඔය පොහොට්ටුවේ අයගේ දේශපාලන ස්ථාවරය මොකක්ද කියල ඔවුන්වත් දන්නේ නෑ. පලාත්සභා ඡන්ද ඉල්ලලා ටීවී මයික් ඉස්සරහා ලතෝනි දෙනවා. පාර්ලිමේන්තුවේදී පලාත් සභා වැය ශීර්ෂය පරද්දනවා. පලාත්සභා ඡන්දනම් එපා කියලයි එහෙනම් පොහොට්ටුව කියන්නේ.” අගමැතිවරයා ගෙනා තර්කය කාගේත් පැසසුමට ලක්විය.

“කොහොමහරි ඊලඟ දවසෙ ඇමති රවීගෙ විදුලිබල වැය ශීර්ෂය ඡන්ද දිනල ආණ්ඩුව පෙන්නපු එක ඉතා වටිනවා” දයා ගමගේ කීය.

“කොච්චර ප්‍රශ්න ආවත් අපි පටන්ගත්ත යමක් අතාරින්නෙ නෑ. ඒත් පලාත්සභා ඡන්ද ඕන කියල කෑගහපු අය ඡන්ද එපා කියල එයාලගෙ සටන්පාඨය එයාලම ඇතෑරල තියනවා.” අගමැති කීවේය.

“දැන් මේ ලයිට් ප්‍රශ්නය රවීගෙ කරපිටින් යන්නේ. ඒක අසාධාරණයි. දින 52දී ඒ ක්ෂේත්‍රයේ කිසි දෙයක් වෙලා නෑ. 10වැනිදා වෙනකොටවත් මේ ප්‍රශ්නෙ නිමක් දකින්න මොනවහරි ආණ්ඩුවක් විදියට අපි කරන්න ඕනෑ.” නවීන් දිසානායක කීය.

“දැන් විදුලිය වගේම වතුරත් කපන ප්‍රශ්නත් ඇති වේගෙන එනවා. එහෙම වුණොත් ප්‍රශ්නයි තව අවුල් වෙනවා.” මුජිබර් රහුමාන් කීවේය.

“වතුර දෙන්නත් විදුලිය ඕනෑ. විශාල ජල පොම්පාගාර වලටත් වෙනමම ජෙනරේටර් හයිකරන්න සලකා බලාගෙන යනවා.” අගමැති කීය.

“විදුලිය දෙන්න නැව් 2ක් එන කතාව මොකක්ද?” වජිර අබේවර්ධන ඇසුවේ අගමැතිගෙනි.

“මොන ක්‍රමේකින් හරි විදුලි ප්‍රශ්නයට විසඳුම් දීම අපේ වගකීමක්. ඒ සඳහා නැව් 2 ක් ගේන්න හදනවා. මහජන උපයෝගීතා කොමිසමයි විදුලිබල මණ්ඩලයයි, ඒකෙ වෘත්තීය සමිතියි තව තව ඉහළ තැනුයි ගහගත්තා. ප්‍රශ්නයට දිගුකාලීන විසඳුම් දෙන්න ඉඩදුන්නේ නෑ. කකුල් මාට්ටු දාල දැන් බනින්න ලේසියි.” අගමැතිවරයා කීය.

“සාම්පූර් මෙගාවොට් 500ක දැවැන්ත ගල් අඟුරු බලාගාරය රාජපක්ෂලා කොමිස් ප්‍රශ්න නිසා අතෑරියා. ඒත් අපි නවීනතම තාක්ෂණය හා පරිසර හිතකාමීව සාම්පූර් හදන්න ටෙන්ඩර් කෝල් කරන්න දින දෙකකට කලින් කිසිම සාධාරණ හේතුවක් නොදක්වා ජනාධිපතිතුමා ඒක කැන්සල් කරා. මේ රටේ විදුලි අර්බුදය සම්බන්ධයෙන් ගත්ත ඉතා නරකම තීන්දුව ඒකයි. මේ ආණ්ඩුව සාම්පූර් හැදුවේ නෑ කියල කෑගහන අය ඒ ඉතිහාසය දැනගන්න ඕනෑ.” අජිත් පී පෙරේරා කළ එළිදරව්ව කාගේත් පැසසුමට ලක්විය.

“අර.. මත්ද්‍රව්‍ය නිවාරණ ප්‍රතිඥාව දෙන උත්සවයේදී ජාතික රූපවාහිනිය අගමැතිතුමා කතානායකතුමා හා සජිත් ඇමතිතුමා වුවමණාවෙන්ම පෙන්නන්නෙ නැතුව කපාහැරිය කියල මිනිස්සු කියනවා. පෞද්ගලික රූපවාහිනී නාලිකා ආණ්ඩුවට උදේ හවස ගහද්දි ජාතික රූපවාහිනියත් ආණ්ඩුවේ ප්‍රධානීන්ට මෙහෙම කරනවනම් අපි ඊට විරුද්ධව පියවර ගන්න ඕනේ.” චමින්ද විජේසිරි කීවේය.

“ජාතික රූපවාහින්යේ දැන් ප්‍රවෘත්ති වලත් එජාපෙට ඉඩක් නැති තරම්. මත්ද්‍රව්‍ය පිටුදැකීමේ උත්සයේදී එජාප නායකයන් කපාහරියේ ඇයි කියලා පරීක්ෂණයක් සිදුකරන්න කියලා අපි ඉල්ලීමක් කරන්න බලාපොරොත්තු වෙනවා.” හේෂා විතානගේ මෙන්ම මුජිබර් රහුමාන් කීවේද එකම කතාවකි.

“අද රාජ්‍ය මාධ්‍යව ආයතන වල හරි වගකීම් ගන්න නිලධාරියෙක් පත්කරගන්නවත් ආණ්ඩුවට ඉඩක් නෑ. මේක පුදුම තත්වයක්” රංජිත් අලුවිහාරේ කීය.

“ජිනීවාහිදී ආණ්ඩුව යටවුණා කියල මහින්ද රාජපක්ෂ කියපු බොරුවට ඇමති මංගල උත්තර දීපු එක සමහරුන්ට අවුලක් වෙලා.” නවීන් දිසානායක කීවේය.

“මංගලගෙ පිලිතුරු දීමේ කිසි ගැටලුවක් නෑ. අපි හැමෝම කිව්වා මංගල මේකට උත්තර දෙන්න ඕන කියලා” යයි කී අගමැතිවරයා නළල රැළි ගන්වා ඉවත බලාගත්තේය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *