රට අන්දන වැඩ -අනුර සූරියබණ්ඩාර

 ඔබේ  මව්බිම ඔබේම අදහස් ඇසුරින් ගොඩ නගමු

සර්වජන ඡන්ද බලයට පමණක් දෙවෙනි ඓතිහාසික අලුත් අවස්ථාවක් ජාතිය හමුවේ නිර්මාණය කරමින් ජාතික ප්‍රතිපත්ති සම්පාදනය සඳහා රටේ සියලූ පුරවැසියන්ට සම අවස්ථා  සලසන ගම සමග පිළිසඳරක්, අප්‍රේල් 2 සිට ජුනි 2 දක්වා දින 60කින් මුළු රටම  ආවරණය කරන සංවාදශීලී ජනහමු දෙදහස් පන්සියයක්.

ඉහත  සඳහන් කළේ හිටපු ජනාධිපති කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වත්මන්  විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ මුහුණ ද සමග  2019 මාර්තු 31 ඉරිදා පුවත්පතක  පළ කර තිබුූ දැන්වීමකි. එය  පළ කර තිබුණේ පොහොට්ටු පක්ෂය හෙවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසිනි.

මහින්ද රාජපක්ෂ මහතා යනු ධුර කාල දෙකකට  තරමක් අඩු කාලයක් මෙරට  පාලනය කළ ජනාධිපතිවරයා ය. එකී ධුර කාල සඳහා බලය ලබා ගැනීම් සඳහා ඔවුහු රට හමුවේ වැඩ පිළිවෙල  දෙකක් තැබුවේය. ඉන් පළමුවැන්න මහින්ද චින්තනය යනුවෙන් නම් කළ අතර දෙවැන්න නම් කරන ලද්දේ මහින්ද චින්තන ඉදිරි දැක්ම යනුවෙනි.

මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ මහින්ද චින්තන වැඩසටහන හෝ මහින්ද චින්තන ඉදිරි දැක්ම හෝ අනුව ඒ මහතා සිය පාලන කාලයේ දී කටයුතු කළේ ද යන්න මෙහිදී විමසා බැලිය යුතුය. ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ බුද්ධිමය කේන්ද්‍රය බවට පත් කිරීම ඇතුළු අතිශය  සුන්දර සංකල්ප රැසක්  මැතිවරණය සඳහා ඔහු ඉදිරිපත් කළ  වැඩපිළිවෙල වල  තිබුණු බව සැබෑය. නමුත්  ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ සංවර්ධන යෝජනා ක්‍රම බොහෝමයක් රටේ ඉදිරිගමනට කවරාකාරයකින්වත් දායකවන ඒව  වූයේ නැත.

හම්බන්තොට වරාය මත්තල ගුවන්තොටුපල ගත්විට ඉදිකිරීමෙන් පසුව වසර ගණනක් ගත වීමත්  ඒවායින් මෙතෙක් ජාතික ආර්ථිකයට සිදු වූු යහපතක් නැත.   ඒ වෙනුවට වත්මන් ආණ්ඩුවට සිදුව ඇත්තේ එක් අතකින් ජනතාවගේ බදු මුදලින් ඒවාට මහින්ද රාජපක්ෂ පාලනය ලබාගත් අධික ණය ගෙවා දමන්නට ය.

එපමණක් නොවෙයි මත්තල ගුවන්තොටුපල සහ හම්බන්තොට වරාය වැඩදායි ව්‍යාපෘති බවට පත් කිරීමේ අසීරු කර්තව්‍යය කරගන්නට ද වත්මන් ආණ්ඩුවට සිදුව තිබේ

විදෙස් ආයෝජකයින් ගෙන්වාගැනීම හරහාත් මත්තල   ගුවන්තොට හම්බන්තොට වරාය ආදියෙන් ඔළුව බේරා ගන්නට වත්මන් ආණ්ඩුවට  හැකි වූ නමුත්  ඇඹිලිපිටිය ක්‍රීඩාංගනය වැනි ඉදිකිරීම් සඳහා වැය කළ අති විශාල මුදල් සම්භාරය සම්බන්ධයෙන් කිසිවෙකුට කිසිදා  කළ හැකි දෙයක් නොතිබෙනු ඇත. එහි අදහස වන්නේ එම ඉදි කිරීම් තවදුරටත් ජනතා මුදල් නැති නාස්ති කළ සුදු අලියන් වශයෙන් තවදුරටත් පවතිනු ඇති බව ය. ඒ අනුව ඒවාට ගත් ණය කිසිදු ප්‍රතිලාභයකින් තොරව පොලියද සමග ගෙවන්නට ජනතාව මත පැට වී තිබේ.

හම්බන්තොට සම්මන්ත්‍රණ ශාලාව, ඩි. ඒ රාජපක්ෂ අනුස්මරණ  ගොඩනැගීම ආදිය සම්බන්ධව ගත්ත ද  තත්ත්වය එය මය.

මහින්ද රාජපක්ෂ මහතාගේ පිළිවෙත වන්නේ ජනතාවට සිහින පෙන්වා බලය අත්පත් කරගෙන බලය ලබා ගත් පසු මුදල් මුලින් කී දෙයට ඉඳුරාම පටහැනි ආකාරයට කටයුතු කිරීමයි. නිදසුනක් වශයෙන් මුල් කාලයේ ඒ මහතා  දේශපාලනයේ පෙරමුණට පැමිණියේ මානව හිමිකම්  පිළිබඳ කතා කරමිනි. පැවති ප්‍රේමදාස  ආණ්ඩුවට එරෙහිව ජිනීවා ගොස් මහත් අරගල කල ඔහුම  තමා බලයේ සිටියදී සිදුකළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන්යෙන් විරෝධය පළ කළ දේශීය බලවේග සියල්ලටම එක්කෝ කොටි ලේබලය අලවන්නට නැත්නම් එන්ජීඕ හංවඩු ගසන්නට කටයුතු කළේය.

විපක්ෂයේ සිටියදී මානව  හිමිකම්  සුරැකීමේ මුදුන් මල්කඩ ලෙස මහින්ද රාජපක්ෂ මහතා සැලකූ ජිනීවා  මානව හිමිකම් සමුළුවට බලයට පත් වූ පසුව මහින්ද  රාජපක්ෂ මහතා කළේ චණ්ඩින් යොදවා පහර දීමයි.

මහින්ද රාජපක්ෂ මහතා පළමු වරට  ජනාධිපතිධූර අපේක්ෂකතත්වයට  පත්වන්නට ආසන්න සමයේ ඔහුගේ චරිතය  හුවා දැක්වීම සඳහා “කුරහන් සාටකයේ කතාව” යනුවෙන් නම් කළ පොතක් පළ කරන ලදී. එහිදී මහින්ද රාජපක්ෂ මහතා දේශීය ආර්ථික පිළිවෙත අගයන අයකු නැතහොත් ලිබරල් ආර්ථිකය පිටු  දකින්නකු ලෙස හුවා දක්වන්නට ඉදිරිපත් කර තිබුණු එක් නිදසුනක් වූයේ විකිණීමට සූදානම් කර තිබුණු හම්බන්තොට ලුණු ලේවාය සේවක අර්ථසාධක අරමුදල යොදවා බේරාගත් බවයි. ඒත් ඔහු බලයට පත් වූ පසුව සිය බාල සොයුරු ගෝඨාභය රාජපක්ෂ shangrilla හෝටලයට හමුදා  මූලස්ථාන භූමිය විකුණන විට කිසිත් නොකර බලා සිටියේ ය. සේවක අර්ථසාධක අරමුදලේ  මුදල් යොදවා ලුණු ලේවාය බේරාගත් වීරයා වන මහින්ද රාජපක්ෂ මහතා  ජනාධිපති ධුරයේ සිටියදී සේවක අර්ථසාධක අරමුදලේ මුදල් ඵලදායි නොවන ආයතන වල කොටස් මිලදී ගැනීම ආදිය සඳහා යොදවමින් එය  අවභාවිත කළා පමණක් නොවේ. ඒ හරහා එම  අරමුදලට දැවැන්ත හානියක් ද කළේය

මේ වන විට බලය අහිමි තැනැත්තෙකු ලෙස රට ගොඩ ගොඩනගන ආකාරය පිළිබඳ අසන්නට ජනතාව හමු වීමට දින හැටක් වෙන් කරන මහින්ද රාජපක්ෂ මහතා බලයේ සිටිය දී ජනතා හඬට කන් දුන්නා ද යන පැනය ජනතාවට තිබේ. සේවක අර්ථසාධක අරමුදල කප්පාදු කරන්නට එපා යැයි ඔහු බලයේ සිටි සමයේ පෙළපාලි කළ ජනතා හඬට සවන් දෙනවා වෙනුවට  මහින්ද රාජපක්ෂ මහතා කළේ තුවක්කු කටින්  ඔවුන්ට පිළිතුරු දීමය.  රතුපස්වල ජලය දූෂණය නොකරන්න  යැයි උද්ඝෝෂණය කළ ජනතා හඬට රාජපක්ෂ මහතා පිළිතුරු දුන්නේ ද එම ජනතාවට හමුදාව යොදවා එළව එළවා වෙඩි තබමිනි.

එකල මහින්ද රාජපක්ෂ මහතා පොදු ජනතාවගේ හඬට නොව මහ නාහිමිවරුන්ගේ හඬට වත් කන්න දුන්නේ නම් ඔවුන්ගේ පුතුන් දළදා මාළිගය අවට කාර් රේස්  පදින්නේ නැත. ඔහු එකල ජනතාවට කන් දුන්නේ නම් නගර  අලංකරණය  මුවාවෙන් කොම්පඤ්ඤවීදිය වැනි තැන්වල පැල්පත් බිමට සමතලා කරන්නේද නැත. යුක්තිගරුක පාලකයෙකු ලෙස මහින්ද  රාජපක්ෂ මහතා කටයුතු කළේ නම් විදේශ තරුණියක දූෂණය කර ඇගේ  පෙම්වතා ඝාතනය කළ තැන්ැත්තන් ආරක්ෂා කරන්නේද නැත. අගවිනිසුරුවරිය ධුරයෙන් පහ කරන්නේද නැත. ජනතාවගේ මුදලින් ඡන්ද වැඩට සිල්රෙදි බෙදන්නේද නැත. ඉහත සඳහන් කළ කිසිවක් තමා බලයේ සිටියදී  සිදුකල වැරදි වශයෙන් මෙතෙක් මහින්ද රාජපක්ෂ මහතා කිසි විටෙක  පිළිගෙන ද නැත. එහි අදහස වන්නේ තමා බලයේ සිටියදී කළ කී දේ සියල්ල  නිවැරදි ය කියා මහින්ද මහතා තවමත් කල්පනා කරන බවයි. ඒ අනුව සිතිය හැකි වන්නේ ඔහු නැවත බලයට පත්වුව ද කටයුතු කරනු ඇත්තේ පෙර පරිදිම බවයි.

වරක් නොව දෙවරක්ම බලයේ සිටි  නායකයකුට ජනතාවගේ අදහස් විමසන්නට මතක් වී ඇත්තේ බලය නැතිවී පස්ස බිම ඇනුණු නිසාය. මහින්ද රාජපක්ෂ මහතාගේ මේ සූදානම යළිත් වරක් ජනතාව ගොනාට අන්දවා  බලයට ඒමට බව ජනතාව තේරුම් ගත් යුත්තේ ඒ නිසාය. අනුර සූරියබණ්ඩාර

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *