|

කිරි ප්‍රශ්නය – 2 : – හරක් හදන හරක් ක්‍රමය

කිරිපිටි සම්බන්ධයෙන් දැන් කෙරෙන සාකච්ඡාවේ දී කිරි නිෂ්පාදකයා මතු කළ ප්‍රශ්නයක් වූයේ හරක් ලක්ෂ දොළහක් ඉන්න රටක කිරිපිටි ගෙන්නන්නේ මොකටද? කියාය. වෙනත් පැත්තකින් කියැවුණේ ඔය කුමක් කිව්වත් රටට අවශ්‍ය කිරි නිෂ්පාදනය නොකෙරෙන බවයි. ප්‍රශ්නය තිබෙන්නේ ඒ ඇයි? කියාය.

පාර්ලිමේන්තුවේ දී මතුවූ තවත් ප්‍රශ්නයක් නම්, පිටරටින් ගෙන් වූ හරක් 5000ක ගෙන් බලාපොරොත්තු කිරි නිෂ්පාදනය නොලැබෙන බවයි. දිනකට කිරි ලීටර් 20ක් 25ක් ලැබෙන බව කීව ද ගොවියාට ලැබෙන්නේ 8-9ක් බවද කියැවුණි. හරක් හය සීයකට වැඩි ප්‍රමාණයක් විවිධ රෝග නිසා මියගිය බව ද වාර්තා විය.

කෙසේ වෙතත් පශු සම්පත් ඇමති පී. හැරිසන් මහතා පාර්ලිමේන්තුවේ දී කීවේ කිරි ඵලදාව නොලැබෙන බව ගොවීන් කීව ද ලක්ෂ්මන් වසන්න මන්ත්‍රිවරයාගේ ගොවි පොළේ හැදෙන එළදෙනුන්ගෙන් කිරි ලීටර් 25ක් පමණ ලබාගන්නා බවයි.

පිටරටින් ගෙනා හරකුන්ගේ ප්‍රශ්නයට දේශගුණය හා වෙනත් සාධක ද බල පෑ හැකිය. කෙසේ වෙතත් කෘෂි කාර්මික පළාත්වල සිටින උදවිය දන්න කතාවක් නම්, හරකුන්ට හරි කෑමක් නොලැබෙන බවයි. මේ ගම්වල තන පිට්ටනි නැත. ගොවීන් තවමත් හරකුන් හදන්නේ පැරණි ගමක හැදූ ක්‍රමයටය. එනම් ප්‍රදේශයේ ඇවිද කෑම සොයාගැනීමේ ක්‍රමයටය. ඒත් එදා තිබූ තන පිට්ටනි හිස් ඉඩම් අද නැත. එදා නිතරම වගා කෙරෙන්ණේ කුඹුරු ඉඩම් වලින් කොටසකි. වැවේ වතුර තිබෙන ප්‍රමාණය අනුවය. දැන් මහවැලි ය හා වෙනත් වාරි ක්‍රම නිසා කුඹුරු සියල්ල වගා කෙරෙයි. ගොයම් නැතිනම් වෙන බෝගයන් වවති.

හරකුන්ට වැඩියෙන්ම කෑම හිගවෙන්නේ වගා කරන කාලයටය. ජනයා තමන්ට කොටුකර ගත හැකි ඉඩම් සියල්ල වගා කරති. මාර්ග රක්ෂිත පවා අල්ලාගෙනය. හරකුන්ට කන්නට තනකොළ තියෙන තැන් නැත. උන් නගරයේ ඇවිද කඩදාසි පෝස්ටර් වැනි දේ කෑම සුලභ දර්ශනයකි. විටෙක වගාවකට පැන බඩ කට පුරවා ගන්නේත් ගොරියකිනි. මිනිසුන් තවමත් හරක් හදන‍්නේ මේ ක්‍රමයටය. නිසි පෝෂණයක් නැති සතුන්ගෙන් ඉහළ කිරි ඵලදාවක් ‍බලාපොරොත්තු වීම විහිළුවකි.

හරක් ලක්ෂ දොළහක් හිටියත් රටට අවශ්‍ය කිරි නිපදවෙන්නේ නැත්තේ ඒකය. මේ හරක් ඉන්නේ බඩගින්නේය. යන්තම් කුස පුරවා ගෙනය. එහෙම හරක් හදන එක අපරාධයකි.

කෘෂිකාර්මික ප්‍රදේශවල ජනයා මෙන්ම නිලධාරිහු ද මෙම ප්‍රශ්නය දනිති. වරෙක මේ ගැන සාකච්ඡාවක් පොළොන්නරුව දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවේ ඇති විය. එහි දී ප්‍රශ්නයට පිළිතුරක් සෙවීමට නිලධාරියෙකුට භාර විය. ඔහුගේ යෝජනාව වූයේ කුඹුරු ඉඩම් වලින් කොටසක් තන බිම් ලෙස වෙන් කිරීමයි. එම යෝජනාව උපහාසයෙන් හා අපහාසයෙන් බැහැර කෙරිණ. ප්‍රදේශයේ ජනමාධ්‍යවේදීහු මෙම ප්‍රශ්නය දනිති.

මෙම ප්‍රදේශවල ජනයා දන්න තවත් කාරණයක් නම්, පායන කාලයට එළදෙනුන්ගේ කිරි අඩු බවයි. එම කිරිවල ජලය ප්‍රතිශතය ද අඩුය. ඒ බොන්නට ප්‍රමාණවත් ජලය නැති නිසාය. මෙහෙම හරක් හදා කිරි කර්මාන්තය නගා සිටුවන්නට බැරිය.

පසුගිය කාලයේ ත්‍රිකුණාමලය එක් ප්‍රදේශයක හරකුන් මැරෙන්නට පටන් ගත්තේය. ගොවීන් පැමිණිලි කළේ රෝගී තත්ත්වයක් කියාය. පශු වෛද්‍යවරුන් කීවේ හරක් මැරෙන්නේ කන්න නැතිව කියාය.

කෑම නැති වූ සත්තු දුර්වල වෙති. එවිට රෝග වැළඳීමද සිදුවිය හැකිය. පිටරටින් ගෙන්වන හරක් හයසීයක් මිය ගියේ එබඳු තත්ත්වයක් නිසා වීමට හොඳටම ඉඩ ඇත.

බලධාරින්ට අපට කියන්නට තියෙන්නේ ඉන්න හරකුන්ට හරියට කන්න බොන්න දෙන්න ක්‍රමයක් හදාන්නේ නැතිව පිටරටින් නම් තවත් හරක් ගෙන්වන්න එපා කියාය. මේ රටේ ඉන්න හරක්ටික දැනට හොඳටම ඇතිය. කරන්න තියෙන්නේ මුන්ට හොඳට කන්න බොන්න දෙන එකය.

එතෙක් කිරි වලින් ස්වයං පෝෂිත වීමේ හරක් කතා කීමෙන් වැළකී සිටිය යුතුය.

ජයවීර සෙනෙවිරත්න

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *