|

ආර්ථිකයේ යාන්ත්‍රණය 1 – වෙළඳ භාණ්ඩ, මිල හා වටිනාකම – සී ජේ අමරතුංග

ලෝකය සැබැවින්ම වඩා හොඳ ස්ථානයක් බවට පත්වෙමින් තිබෙන බව පෙන්වන වගු හතක් පිළිබඳ ලිපියක් පසුගිය දිනෙක විද්‍යුත් තැපෑලෙන් මා වෙත ලැබිණි. නව අදහස් හා ලෝක තත්ත්වය පිළිබඳ විමසිල්ලන් සිටින මිතුරෙකු විසින් එය එවා තිබිණි. ඒ වනවිටත් මා මෙම ප්‍රශ්නය ලියන්නට කල්පනා කරමින් සිටියෙමි. මට පෙනීගියේ ඉහත කී ලිපිය සංවාදය ආරම්භ කිරීමට ඉතා සුදුසු බවයි.

 

ස්විඩනයේ ලුන්ඩ් සරසවියේ ආචාර්ය උපාධි අපේක්ෂක ජූලියස් ප්‍රොබ්ස්ට් විසින් ඉහත කී ලිපිය ලියා තිබිණි. ලිපිය ආරම්භ කර තිබුණේ ස්විඩනයේ විද්‍යාර්ථිකයකු වන හාන්ස් රොස්ලින් විසින් හඳුනාගෙන තිබූ බියජනන ප්‍රවනතාවයක් ගැන සඳහන් කරමිනි. එනම් ලෝකය වඩා යහපත් තැනක් බවට පත්වෙමින් තිබුණ ද එසේ වන බව දියුණු ආර්ථිකයක් ඇති රටවල ජනයා අතරින් බොහෝ දෙනෙකු නොදන්නවා පමණක් නොව ඔවුන් ඇත්තටම විශ්වාස කරන්නේ ලෝකය දිනෙන් දින පිරිහීමට නැතහොත් විනාශය දෙසට ගමන් කරමින් සිටින බවයි. අපට ලැබෙන ප්‍රවෘත්ති මගින් කියන්නේ විනාශයන්, ත්‍රස්තවාදී ප්‍රහාර හා ඝාතන ආදිය වන විට එබඳු තත්ත්වයක් ඇතිවීම පුදුමයක් නොවන බවද එහි සඳහන් විය.

මේවා ඇත්ත නොවේද?

ලෝක දරිද්‍රතා සීමාව ලෙස හඳුනාගෙන ඇති දිනකට ඇමෙරිකානු ඩොලර් දෙකක සීමාව ඉක්මවා ඉදිරියට යන සංඛ්‍යාව සෑම දිනකම ලක්ෂ දෙකකි. ලක්ෂ තුනක ජනතාවට ජීවිතයේ පළමු වතාවට විදුලි බලය ලැබේ. එමෙන්ම පිරිසිදු ජලය ලැබේ. මෙම සංඛ්‍යා ලේඛන අවධානයට ලක් නොවන්නේ ඒවා සිත් කම්පා කරවන ප්‍රවෘත්ති බවට පත් නොවීම නිසාය යන්න රොඩ්ලින්ගේ අදහසයි.

ජුලියස් ප්‍රොබ්ස්ට් ලෝකය වඩා හොඳ තැනක් බවට පත්වෙන බව පෙන්වා දෙන වගු හතක් ඉදිරිපත් කොට තිබිණි. 1.උපතේදී ජීවිත අපේක්ෂාව ඉහළ යමින් පැවතීම. 2.ළදරු මරණ දිගින් දිගටම අඩුවෙමින් පැවතීම. 3.දරු උපත් සංඛ්‍යාව අඩුවීම. 4.දියුණු රටවල දළ ජාතික නිෂ්පාදිතය ඉහළයාම. 5.ගෝලීය ආදායම් විශමතා අඩුවීම. 6.ප්‍රජාතන්ත්‍රවාදය යටතේ ජීවත්වන ජන සංඛ්‍යාව වැඩිවීම. 7.ලෝකයේ ගැටුම් අඩුවෙමින් පැවතීම ආදිය එම වගු මගින් පෙන්නුම් කොට තිබිණි. පහසුවෙන් තේරුම්යන ආකාරයට එම කරුණු ඉදිරිපත් කොට තිබූ බවද ‍පෙනෙන්නට තිබිණි.

ජුලියන් ප්‍රොබ්ස්ට්ගේ ලිපිය බැලූවිට එක්වරම පෙනීගියේ එය විවාදයකින් තොරවම පිළිගත හැකි තත්ත්වයක පැවති බවයි. එහෙත් එය එසේ සිදුවූයේ නැත. පළමුවෙන්ම ප්‍රශ්නය පැනනැගුණේ මෙය විය හැක්කක්ද? යනුවෙනි. එනම් පවතින ක්‍රමය යටතේ මෙය සිදුවිය නොහැකිය යන අදහසයි. ඉන් දින කීපයකට පසුව දිගු ලිපියක් ලැබිණි. එයින් වෙනස් විදිහේ තර්ක වගු ඉදිරිපත් කරමින් තර්ක කොට තිබුණේ ලෝකය තුළ යහපත් වර්ධනයක් සිදු වී ඇත යන්න මිත්‍යාවක් බවයි. ඒ සඳහා ගැළපෙන ලෙස කුරුණු හා සංඛ්‍යා ලේඛන තෝරාගෙන තිබූ අතර ඇතැම් කරුණු සංදර්භයෙන් පිට ඉදිරිපත් කොට තිබුණි. කෙසේ වෙතත් එය හොඳ විග්‍රහයක් ලෙස ඇතැමුන් අදහස් දක්වාද තිබිණි.

ඇත්ත ප්‍රශ්නය

එම විවේචනයේ කරුණු එකින් එක ගෙන ප්‍රතිවිවේචනයක් ඉදිරිපත් කළ හැකිව තිබුණු ද පෙනී ගියේ එවැන්නක් එතරම් ප්‍රයෝජනවත් නොවන බවයි. ඇත්ත වශයෙන්ම වැදගත් වන්නේ එම කරුණු නොව එය පිටුපස තිබූ හා තිබෙන මතවාදයයි. එනම් වත්මන් විශම සමාජය තුළ යහපත් වර්ධනයන් සිදුවිය නොහැකිය යන කාරණයයි . මෙම සමාජය දිනෙන් දින විනාශය කරා පරිහානියට පත්වන්නේය යන ආකල්පයයි. මෙය අඩු කරමින් වසර හැටක් හැත්තෑවක් තිස්සේ සමාජයේ මුල්බැසගත් දැක්මකි. වරෙක වාමාංශික දැක්මක් ලෙසත්, වරෙක අතීත කාමය ලෙසත් මෙම මතවාද ඉදරිපත් වන අතර සමාජයේ මුල්බැසගෙන පවතියි. ඇත්ත වශයෙන් සාකච්ඡාවට ගතයුතු වන්නේ සමාජයේ මුල්බැසගත් එම මතවාදයයි.

එම මතවාදය මෙලෙස සරල ලෙස ඉදිරිපත් කළ හැකිය.

අප ජීවත් වන්නේ අතලොස්සක් ධනපතියන් විසින් මෙහෙයවන ධනවාදය නම් ආර්ථික ක්‍රමය යටතේය. එය තුළ සිදුවන්නේ කෑදර, කුරීරු, මසුරු, කපටි, දුෂ්ඨ පිරිසක් වන ධනපතියන් විසින් රාජ්‍ය බලය හා ධන බලය යොදාගෙන ජනතාව පීඩාවට ලක්කරමින් ඔවුන් සූරාකෑමයි. කම්කරුවන්ට අඩු වැටුප් ගෙවමින් ඔවුන්ගේ ශ්‍රමය සූරාකමින් භාණ්ඩ නිපදවන ධනපතියන් එම භාණ්ඩ වැඩි මිලට ජනතාවට විකුණමින් අසාධාරණ ලාබ ලබති. එම ක්‍රමය තුළ සිදුවන්නේ දුප්පතුන් තවත් දුප්පත් වීම හා ධනපතියන් තවත් පොහොසත් වීමයි. ධනපතියන් සුපිරි ධනපතියන් බවට පත්වීමයි. ජනතාව දිගින් දිගටම පීඩාවට ලක්වීමයි.

මෙම අදහස් හෝ අඩුවැඩි වශයෙන් මීට සමාන අදහස් වාමාංශික පුවත්පත් සඟරාවල මෙන්ම මෙම ක්‍රමය විවේචිනයට ලක් කරන බොහෝ විවේචකයන්ගේ අදහස් තුළ දැකිය හැකිය.

මෙම මතවාදය තුළ ඉදිරිපත් වන අදහස් වඩා ශක්තිමත් වන්නේ ලෝකයේ අපට අසන්නට දකින්නට ලැබෙන සිදුවීම් නිසාය. වෘත්තීය අරගල ආදියේදී ඉදිරිපත්වන කරුණු හා මතවාද එය වඩාත් ශක්තිමත් කරයි.

මේ අප සමාජය මතුපිටින් දකින ආකාරය  යැයි කිව හැකිය. එසේ වුවද සත්‍ය වශයෙන් මෙම සමාජය හා ආර්ථිකය ක්‍රියාත්මක වන ආකාරය තේරුම් ගැනීමට නම් ඒ සම්බන්ධයෙන් යම් ආකාරයක විද්‍යාත්මක විග්‍රහයක් කරගත යුතුය.

ඇඩම් ස්මිත්

වෙළඳපොළ ආර්ථික ක්‍රමයක් නැතහොත් ධනවාදය ලෙස හඳුන්වන මෙම ක්‍රමය පිළිබඳව පළමුවරට ගැඹුරු විග්‍රහයක් ඉදිරිපත් කළේ ආර්ථික විද්‍යාවේ පියා ලෙස හඳුන්වනු ලබන ඇඩම් ස්මිත් විසිනි. ඔහු කීවේ ඉහත මතවාදයට වඩා වෙනස් වූ කතාවකි.

ධනපති නිෂ්පාදන ක්‍රමය සම්බන්ධයෙන් ඇඩම් ස්මිත්ගේ ප්‍රධාන සංකල්පය ලෙස බෙහෝ දෙනා සලකන්නේ ශ්‍රම විභජනය මගින් නිෂ්පාදනයේ සිදුවන වර්ධණය පිළිබඳ ප්‍රවාදයයි. ඔහු කීවේ තනි තනි කම්කරුවන් භාණ්ඩයක් නිෂ්පාදනය කරනවාට වඩා එක් එක් කාර්ය සඳහා වෙන වෙනම කම්කරුවන් යෙදවීමෙන් නිෂ්පාදනය වේගවත් කළ හැකි බවයි. ඇල්පෙනිත්තක් නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලිය කොටස් දහඅටකට කඩා කම්කරුවන් දහඅට දෙනෙකු යොදවා වඩා වැඩි නිෂ්පාදනයක් කළ හැකි බව ඇඩම් ස්මිත් පෙන්වා දුන්නේය.

කෙසේ වෙතත් අපට මෙහිදී වඩාත් වැදගත් වන්නේ මෙම ක්‍රමයේ සමස්ථ ක්‍රියාකාරිත්වය ගැන ඇඩම් ස්මිත් ඉදිරිපත් කළ අදහස්ය. ඔහු කීවේ මෙම ක්‍රමය තුළ හැමදෙනාම තම තමන්ගේ ආත්මාර්තය වෙනුවෙන් ක්‍රියාත්මක වන විට ජාතියේ ධනය වර්ධනය වන බවයි. පුද්ගලයන් ක්‍රියා කරන්නේ තම තමන්ගේ ධනය වර්ධනය කර ගැනීමටය. ‘රටවෙනුවෙන් වැඩ කළ යුතු’ බවට හැඟීමක් ඔවුන්ට නැත. එසේ වුවද ප්‍රතිඵලය වනනේ ජාතියේ ධනය වර්ධනයයි. ඔහු කීවේ මිනිසුන් ‘මා රට වෙනුවෙන් කටයුතු කළ යුතුය’ සිතා කරනවාට වඩා හොඳින් එසේ නොසිතා ආත්මාර්ථය ගැනම සිතමින් ක්‍රියාකරන විට ජාතියේ ධනය වර්ධනය වන බවයි. එලෙස හැමදෙනාම තම තමන්ගේ ආත්මාර්ථය වෙනුවෙන් ක්‍රියාකිරීමෙන් ජමාජයේ සියලු අවශ්‍යතා සපිරෙන බව ඇඩම් ස්මිත් ප්‍රකාශ කළේය.

‘අපේ රාත්‍රි ආහාරය ලැබෙන්නේ මස්කඩකරුගේ, බීම නිෂ්පාදක‍යගේ හා බේකරිකරුගේ පරිත්‍යාගශීලි බව නිසා නොවෙයි. ඔවුන් තම තමන්ගේ වුවමනාවන් වෙනුවෙන් ක්‍රියාකිරීම නිසාය.’ යන්න ස්මිත්ගේ ප්‍රකට කියමනකි.

ඇඩම් ස්මිත්ගේ අනෙක් වැදගත්ම ඉගැන්වීම නම් වෙළඳ පොළේ ශක්තිය ගැන ඔහුගේ විග්‍රහයයි. ස්මිත් වෙළද පොළ දැක්කේ ආර්ථිකයේ කළමනාකරණය ස්වයං සිද්ධ ලෙස මෙහෙයවන ඉතා සාර්ථක ක්‍රියාවලියක් වශයෙනි. එ‍හිදී මහජනයාගේ ඉල්ලුම හා සැපයුම ආදිය මගින් සිදුවන්නේ දත්ත හුවමාරු ක්‍රියාවලියකි. ඉල්ලුම ඉහළ යන විට මිල ඉහළ යයි. එම භාණ්ඩ වැඩියෙන් නිපදවිය යුතු බවට එමගින් සැපයුම් කරුවන්ට දැනුම් දීමක් සිදුවෙයි. ඒ අනුව සැපයුම වැඩිවෙයි. සැපයුම පමණට වඩා වැඩිනම් මිල බසි. එවිට සංඥාව යන්නේ එම භාණ්ඩය නිෂ්පාදනය අඩු කළ යුතු බවය. මෙලෙස සියලු ප්‍රශ්න විසඳීමේ හා නිවැරදි කි‍රීමේ හැකියාවක් වෙළෙඳ පොළට ඇති බව ඇඩම් ස්මිත් පෙන්වා දුන‍්නේය.

අදෘෂ්‍යමාන හස්තය

ඇඩම් ස්මිත් කීවේ වෙළෙඳ පොළේ අදෘෂ්‍යමාන හස්තයක් මගින් සියල්ල නිවැරදි කරන බවයි. මෙම අදෘෂ්‍යමාන හස්තය යන අදහස ඔහු ගො‍ඩනැගුවේ ජ්‍යොතිෂය ඇසුරින් බව කියති. බ්‍රහස්පතිගේ අදෘෂ්‍යමාන හස්තයෙන් කෙනෙකුගේ ඉරණම තීරණය වනවා යන අදහස  වැනිය. වෙළෙඳ පොළේ දී කවුරුන් හෝ වරදක් කළත් ඒ සියල්ල නිවැරදි කිරීමේ හැකියාවක් මේ අදෘෂ්‍යමාන හස්තයට ඇති බව ඇඩම් ස්මිතගේ අදහසය විය.

වෙළඳාම පිළිබඳව ඇඩම් ස්මිත්ට තිබුණේ සුබවාදි ආකල්පයකි. ලෝක වෙළෙඳාම තුළින් සියලු රටවල් වාසි ලබන බව ඔහු පෙන්වා දුන්නේය.

ක්‍රි.ව.1500 සිට 1770 පමණ දක්වා ලො‍්කයේ වෙළෙඳ කටයුතු ක්‍රියාත්මක වූයේ එක් එක් රටවල් තමන් සඳහා වෙළෙඳ අතිරික්තයක් තබා ගැනීමට උත්සාහ දැරීමේ පදනම මතය. එනම් හැකිතාක් භාණ්ඩ විකිණීම හා භාණ්ඩ අඩුවෙන් මිල දී ගැනීම යහපත් බව විශ්වාස කරමිනි. එම යුගය හා මතවාදය හඳුන්වනු ලබන්නේ වාණිජවාදි යුගය හා වාණිජවාදය වශයෙනි.

ස්මිත් මෙම මතවාදයට අභියෝග කළේය. ඔහු කීවේ භාණ්ඩ විකිණීම හා මිල දී ගැනීම යන දෙකම රටට යහපත් වන බවයි. එනිසා කළ යුතු වන්නේ නිදහස් වෙළඳාමට ඉඩදීමයි. ජාතීන්ගේ ධනය වර්ධනය වන්නේ ඒ ක්‍රියාදාමය තුළිනි. ස්මිත්ගේ මෙම අදහස පසු කා‍ලයේ ඩේවිඩ් රිකාඩෝ හා ජෝන් ස්ටුවර්ට් මිල් ආදී ආර්ථික විද්‍යඥයන් විසින් වැඩිදුරටත් වර්ධනය කරනු ලැබීය. එක් එක් රටවල්වල තිබෙන සාපේක්ෂ වාසි අනුව නිෂ්පාදනය බෙදී යාමෙන් සියලු රටවලට යහපතක් සිදුවෙන බව ඔවුහු පෙන්වා දුන්හ.

රිකාර්ඩෝගේ ශ්‍රම න්‍යාය

නූතන ආර්ථික විද්‍යාවට මුල් පදනම දැමූ ඇඩම් ස්මිත් ආර්ථික විද්‍යාඥයාට පසුව අපට වඩාත් වැදගත් වනනේ ඩේවිඩ් රි‍කාඩෝ නම් ආර්ථික විද්‍යාඥයාය. බොහෝ කරුණු වලින් ඇඩම් ස්මිත් හා සම අදහස් දැරූ රිකාඩෝගේ වැදගත්ම අදහස නම් භාණ්ඩයක වටිනාකම තීරණය වන ආකාරය පිළිබඳ අදහසයි. භාණ්ඩයක වටිනාකම තීරණය වන්නේ එහි අඩංගුවන ශ්‍රම කාලය මඟින් බව රිකාඩෝ ප්‍රකාශ කළේය. එලෙස කම්කරුවන්ගේ ශ්‍රමයෙන් නිපදවන භාණ්ඩවල වටිනාකමින් කොටසක් ලාභය ලෙස ධනපතියන් අත්පත් කරගන්නා බව මුලින්ම ප්‍රකාශ කළේ රිකා‍ඩෝය. වැටුප් හා ලාභය එකිනෙකට ප්‍රතිවිරුද්ධ බවත් වැඩුප් වැඩිවන විට ලාභය අඩුවන බවත් වැටුප් අඩුවන විට ලාභය වැඩිවන බවත් රිකාඩෝ පෙන්වා දුන්නේය.

මෙම අදහස් එකල සැලකුණේ සමාජවාදි අදහස් වශයෙන්ය. රිකාඩෝවාදී සමාජවාදීන් සම්බන්ධයෙන් ද යම් වාර්තා එම කාලයේ ආර්ථික දේශපාලන ප්‍රශ්න ගැන ලියැවුණු කෘතිවල සඳහන්ව ඇත.

කෙසේ වෙතත් සමාජයේ (සාමාන්‍ය ජනයා අතර) මුල් බැස ගත් අදහස් ලෙස නැතහොත් වත්මන් ආර්ථිකය ගැන මහජන දැක්ම හා ඇඩම් ස්මිත් වැඩි ආර්ථික විද්‍යාඥයන් ඉදිරිපත් කළ හා  වෙනත් ආර්ථික විද්‍යාඥයන් විසින් වර්ධනය කරන ලද අදහස් අතර පවතින්නේ විශාල පරතරයක් බව පැහැදිලිය.

කාර්ල් මාක්ස්

මේ සියලු දෙනාට වැඩියෙන් අපට වැදගත් වන්නේ කාල් මාක්ස්ගේ අදහස්ය. ඔහු පෙනී සිටියේ ධනපති ආර්ථික ක්‍රමය වෙනස් කිරීම වෙනුවෙනි. ඒ සඳහා එක් පියවරක් ලෙස ඔහු කළේ එම ක්‍රමය වවේචනාත්මකව විග්‍රහකිරීමයි. ඇඩම් ස්මිත්, රිකාඩෝ ඇතුළු ආර්ථික විද්‍යාඥයන් ඉදිරිපත් කොට තිබූ අදහස් මාක්ස් හැඳින් වූ‍යේ දේශපාලන ආර්ථික විද්‍යාව වශයෙනි. මාක්ස්ගේ ප්‍රධානතම න්‍යායික කෘතිය වන ‘ප්‍රාග්ධනය’ හඳුන්වන ලද්දේ ‘දේශපාලන ආර්ථික විද්‍යාවේ විවේචනය’ වශයෙනි. එම විවේචනය මෙම ක්‍රමය පිළිබඳව මෙතෙක් ලියැවී ඇති සවිස්තරාත්මක හා වඩා සම්පූර්ණ විග්‍රහයක් ලෙස සඳහන් ක‍ළහොත් එය නිවැරදි යැයි සිතමු.

කාල් මාර්ක්ස්ගේ අදහස් සාකච්ඡාවට ගන්නා විට වඩාත් වැදගත් වන්නේ ඔහු ප්‍රශ්න සාකච්ඡා කරන ක්‍රමවේදය ද හඳුනාගැනීමයි.

ප්‍රාග්ධනය කෘතිය කාල් මාක්ස් ආරම්භ කරන්නේ වෙළෙඳ භාණ්ඩ පිළිබඳ සාකච්ඡාවකිනි. වෙළෙඳ භාණ්ඩයක ප්‍රධාන ගුණාංග දෙකක් කාල් මාක්ස් හඳුනාගනියි. එකක් නම් ප්‍රායෝජ්‍ය වටිනාකමයි. (Use Value) එනම් එය මිනිසාට යම් ප්‍රයෝජනයක් ඇති භාණඩයක් වීමයි. ප්‍රයෝජ්‍ය වටිනාකම නැති භාණ්ඩයක්  වෙළෙඳ භාණ්ඩයක් වන්නේ නැත.

වෙළෙඳ භාණ්ඩයක තිබිය යුතු දෙවන ගුණාංගය වන්නේ හුවමාරු වටිනාකමක් (Exchange Value) තිබීමයි. එනම් එය ශ්‍රමය යොදවා නිපදවා තිබිය යුතුයි. හුවමාරු වටිනාකම ලැබෙන්නේ එවිටය.

අපට ස්වාභාවධර්මයාගෙන් නොමිලයේ ලැබෙන ප්‍රයෝජ්‍ය වටිනාකම් රාශියක් ඇත. වාතය, ජලය, හිරු එළිය, ගංගා, ඇල දොළ, වර්ෂාව ආදි බොහෝ දේ එයට අයත්වේ. එවා අපට ලැබෙන්නේ ශ්‍රමය යෙදවීමකින් තොරවය. එවිට ඒවාට හුවමාරු වටිනාකමක් නැත. යම් හෙයකින් අපි එයට ශ්‍රමය යෙදුවහොත් හුවමාරු වටිනාකමක් ඇතිවෙයි. වැහි ජලය එකතු කොට පිරිසිදු කොට බෝතල් කළහොත් එයට හුවමාරු වටිනාකම ලැබේ. හිරු එළියට හුවමාරු වටිනාකමක් නැත.

අනෙක් අතට කෙනෙකු ශ්‍රමය යොදවා භාණඩයක් නිෂ්පාදනය කළ ද එහි ප්‍රයෝජ්‍ය වටිනාකමක් නැති නම් එනම් මිනිසාට ප්‍රයෝජනයක් නැත්නම් එයට හුවමාරු වටිනාකමක් නැත. පොඩි ළමයින් හදන කෝම් පිට්ටුවකට හුවමාරු වටිනාකමක් නැත.

ප්‍රතිවිරෝධී වටිනාකම්

වෙළෙඳ භාණ්ඩයක් තුළ තිබෙන මෙම ගුණාංග දෙක එනම් ප්‍රයෝජ්‍ය වටිනාකම හා හුවමාරු වටිනාකම මාක්ස් හඳුනාගන්නේ ප්‍රතිවිරෝධි තත්ත්වයක් වශයෙනි. ඒවා පවතින්නේ එකකින් අනික බැහැර කරන ආකාරයෙනි. ඔබ හුවමාරු වටිනාකම ලබාගතහොත් ඔබට ප්‍රයෝජ්‍ය වටිනාකම අහිමි වෙයි. ඔබ ප්‍රයෝජ්‍ය වටිනාකම ලබාගතහොත් හුවමාරු වටිනාකම ඔබට අහිමි වෙයි.

ඔබගේ කේක් ගෙඩිය වෙළෙඳ පොලේ විකුණා දැමුවහොත් ඔබට එය කන්නට බැරිය. ඔබ කේක් කැවොත් විකුණන්නට බැරිය. එමෙන්ම කේක් ගෙඩිය වෙළෙඳ භාණ්ඩයක් වන්නේ කැමේ හැකියාවත් විකිණීමේ හැකියාවත් දෙකම තිබෙන විටය.

මෙය මාක්ස්ගේ දයලෙන්තික ක්‍රමවේදිය තේරුම් ගත හැකි අවස්ථාවකි. එකක් හා එහි ප්‍රතිවිරුද්ධය එකට පවතින ආකාරය මෙමඟින් පෙන්නුම් කරයි. ප්‍රතිවිරෝධය ලෙස මාක්ස් හඳුනාගන්නේ මෙයයි.

වෙළඳ භාණ්ඩයක හුවමාරු වටිනාකම ගැන දැන් අපි කතා කළෙමු. හුවමාරු වටිනාකම මුදල්මය ලෙස ප්‍රකාශ කරනුයේ භාණ්ඩයක මිල වශයෙනි. වෙළෙඳ භාණ්ඩයක වටිනාකම කියා තවත් සංකල්පයක් මාක්ස් ඉදිරිපත් කරයි. එය හුවමාරු වටිනාකම හෝ මිල නොවේ. හුවමාරු වටිනාකම භාණ්ඩයක වටිනාකමේ යම් ප්‍රකාශනයකි. නියෝජනයකි. ඉල්ලුම හා සැපයුම තත්ත්වය තුළ භාණ්ඩයක් එහි වටිනාකමට වඩා වැඩි මිලකට හෝ අඩු මිලකට අලෙවි විය හැකිය. එසේ වුවද දිගුකාලීන වශයෙන් භාණ්ඩවල ඉල්ලුම හා සැපයුම තුලනය වන බවත් එවිට භාණ්ඩ හුවමාරු වන්නේ එහි වටිනාකමට බවත් යන්න මාක්ස් ගේ අදහසයි.

භාණ්ඩයක වටිනාකම තීරණය වන්නේ කෙලෙසද යන්න ඊළඟ ප්‍රශ්නයයි. ඩේවඩ් රිකාඩෝ කීවේ භාණ්ඩයක් නිෂ්පාදනයට වැය වන ශ්‍රම කාලය අනුව වටිනාකම තීරණය වන බවයි. කාල් මාක්ස් එය වඩාත් නිශ්චිතව හා තර්කානුකූලව ඉදිරිපත් කළේය. ඔහු කීවේ, භාණ්ඩයක වටිනාකම වන්නේ එය නිෂ්පාදනය සඳහා සමාජයීය වශයෙන් අවශ්‍ය ශ්‍රම කාලය බවයි. එනම් සමාජයීය වශයෙන් අවශ්‍ය ශ්‍රම කාලයට වඩා වැඩියෙන් යොදන කෙනෙකු භාණ්ඩ නිෂ්පාද‍නයේ යෙදුනොත් එම භාණ්ඩවල වටිනාකම වැඩිවන්නේ නැති බවයි.

ශ්‍රමය සහ වටිනාකම

ප්‍රාග්ධනය කෘතියේම එන උදාහරණයක් වන්නේ අත්යන්ත්‍ර රෙදිපිලි කාර්මාන්තයේ සිට බලවේග කම්හල් දක්වා පරිවර්තනයයි. අත්යන්ත්‍ර‍යකින් පැය දොළහක් වැඩ කොට කම්කරුවෙක් යම් වටිනාකමක් නිෂ්පාදනය කරයි. එම වටිනාකම එම රෙදිපිලි ප්‍රමාණයට ඔහුට වෙළෙඳ පොළෙන් ලබාගත හැකිවෙයි. ඒ අතර බලවේග යන්ත්‍ර පැමිණෙයි. අර කම්කරුවා පැය දොළහක් කරන නිෂ්පාදනය නව ක්‍රමය මගින් පැය හයකින් නිෂ්පාදනය කළ හැකි වෙයි. එවිට වටිනාකම අඩකින් අඩුවෙයි. අර කම්කරුවා තවදුරටත් අත්යන්ත්‍රයකින් වැඩ කරමින් පැය දොළොහක් ශ්‍රමය යෙදුවද දැන් ඔහුගේ නිෂ්පාදනයේ වටිනාකම වන්නේ පැය හයක ශ්‍රමයේ වටිනාකමයි. එසේ වන්නේ දැන් සමාජමය වශයෙන් අවශ්‍ය ශ්‍රම කාලය පැය හයක් වන නිසාය. එසේ වුයේ අත්යන්ත්‍රකරුවාගේ කිසිදු වරදක් නිසා නොවේ. සමාජයීය වශයෙන් සිදු වූ වර්ධනයක් නිසාය. අත්යන්ත්‍ර කරුවාටද බල කෙරෙන්නේ බලවේග කර්මාන්තයට මාරු වීමටය. නැතහොත් ඔහුට ජීවත්වීම අපහසු වෙයි. මෙම ක්‍රියාවලිය ධනපති නිෂ්පාදන ක්‍රමය තුළ දිගින් දිගට සිදුවන්නකි. ඇතැම් විට එය පීඩාකාරී වුව ද එයින් ගැලවීමක් නැත.

කාල් මාක්ස් කියන්නේ වෙළෙඳ පොළේ දී භාණ්ඩයක් තවත් භාණ්ඩයක කුමන ප්‍රමාණයක් සමග හුවමාරු වන්නේ ද යන්න තීරණය වන්නේ එම භාණ්ඩය නිෂ්පාදනයට යන සමාජයීය වශයෙන් අවශ්‍ය ශ්‍රම කාලය අනුව බවයි. වෙළෙඳ පොළේ දී හුවමාරුවන්නේ සමාන වටිනාකම් ය. ඇතැම් ගනුදෙනුවක දී එම පවතින තත්ත්වය අනුව වෙනස් විය හැකි වුවද දිගුකාලීන වශයෙන් වෙළෙඳ පොළේ භාණ්ඩ හුවමාරු වන්නේ ඒවායේ වටිනාකම අනුවය යන්න කාල් මාක්ස්ගේ අදහසයි.

මෙහි දී කාල් මාක්ස් සලකන්නේ මුදල් ද වෙළෙඳ භාණ්ඩයක් වශයෙනි. ඔහු ප්‍රාග්ධනය කෘතිය අරඹන්නේ විග්‍රහයේ පහසුව සඳහා මුදල් වෙළෙඳ භාණ්ඩය ලෙස තමා රත්තරන් සලකන බව කියමිනි .. එකල මුදල් භාණ්ඩ ලෙස පැවතියේ රත්රන්, රිදී, තඹ ආදියයි. රන් පවුම ලෙස අද සම්මත වී ඇත්තේ එදා රිදී රාත්තලක වටිනාකමයි. Pound යනු රාත්තලයි. අද වන විට මුදල් වෙළඳ භාණ්ඩය ලෝහමය පදනමෙන් වෙනස් වී ඇත.

භාණ්ඩයක හුවමාරු වටිනාකම හෝ මිල ඉහළ පහළ ගිය ද එහි වටිනාකම වෙනස් නොවන බවත් වෙළෙඳ පොළේ දී හුවමාරු වන්නේ වටිනාකම බවත් මාක්ස්ගේ අදහස බව පෙනී යයි. මෙය මෙලෙස තේරුම් ගත හැකි යයි සිතමි. මහ මුහුද දෙස බලා සිටිය දී අපට දකින්නට ලැබෙන්නේ රළ ඉහළ පහළ යන ආකාරයයි. ටික කලක් බලා සිටින විට වඩදිය හා බාදිය ලෙස නැතහොත් වාරකන් හා වලාලය ලෙස ඇතිවන වෙනස්කම් ද හඳුනාගත හැකිවෙයි. වඩදිය බාදිය හා රළ ආදි සියල්ල ඇතිවන්නේ මුහුදු වට්ටමෙන් ඉහළට හෝ පහලටය. භාණ්ඩයක නිශ්චිත වන වටිනාකමත් ඉහළ පහල යන මිලත් අතර සම්බන්ධය එවැන්නක් යැයි සිතිය හැකිය.

වටිනාකම යනු සමාජ සබඳතාවයකි

භාණ්ඩයක වටිනාකම තීරණය වන්නේ එය නිපදවීම සඳහා යන සමාජයීය වශයෙන් අවශ්‍ය ශ්‍රම කාලයය යන්න දැන් අපි දනිමු. එහෙත් ප්‍රශ්නය වන්නේ එය නිශ්චිත වශයෙන් සොයාගන්නේ කෙසේ ද? යන්නයි. භාණ්ඩයක රසායනික, භෞතික විශ්ලේෂණයක් කොට මෙය සොයාගත නොහැකිය. වටිනාකම යන්න වෙළෙඳ භාණ්ඩයක රසායනික හෝ භෞතික ගුණයක් නොවේ. භාණ්ඩයක නිෂ්පාදන ක්‍රියාවලිය, අමුද්‍රව්‍ය මිල, වැටුප් හා නිෂ්පාදිත භාණ්ඩ ප්‍රමාණය, ප්‍රාග්ධනය, සාමාන්‍ය ලාභ අනුපාතය ආදිය ගණන් බලා භාණ්ඩයක දළ මිලක් නියම කළ හැකිය. එහෙත් එය  භාණ්ඩයක වටිනාකම වන්නේ නැත. කාල් මාක්ස් කියන්නේ භාණ්ඩයක නියම වටිනාකම තීරණය වන්නේ වෙළෙඳ පොළේ භාණ්ඩයක් තවත් භාණ්ඩයක් හුවමාරුව සඳහා තැබූ විට බවයි.

කාල් මාක්ස්ගේ අදහස නම් වෙළෙඳ භාණ්ඩයක වටිනාකම යනු වෙළෙඳ පොළේ දී භාණ්ඩය හා භාණ්ඩ අතර ඇතිවෙන සමාජ සබඳතාවයක් බවයි. ඒ අනුව වටිනාකම යනු සමාජ සම්බන්ධතාවයකි. භාණ්ඩ හා  භාණ්ඩ අතර සමාජ සම්බන්ධතාවයක් ඇතිවෙයි. භාණ්ඩ හුවමාරුව සිදුවන්නේ එම සමාජ සම්බන්ධතාවය මගිනි. ඒවායේ වටිනාකම තීරණය වන්නේ එම සමාජ සම්බන්ධතාවයෙනි. වෙළෙඳ පොළ ක්‍රියාකාරිත්වය ගැන කාල් මාක්ස්ගේ විග්‍රහය එබදුය.

ප්‍රාග්ධනය කෘතියේ වෙළෙඳ භාණ්ඩයක් ගැන සඳහන් වන පළමුවන පරිච්ඡේදයේ අවසානයේ ප්‍රයෝජ්‍ය වටිනාකම, වටිනාකම හා හුවමාරු වටිනාකම සම්බන්ධයෙන් කාල් මාක්ස් මෙසේ සඳහන් කරයි. වෙ‍ළෙඳ භාණ්ඩවලට කතා කළ හැකි නම් ඔවුන් මෙසේ කියනු ඇති. “මිනිසුන් උනන්දුවන්නේ  අපගේ ප්‍රයෝජ්‍ය වටිනාකම ගැන විය හැකිය. එය වස්තූන් ලෙස අපගේ කොටසක් නොවේ. එසේ වුවද වස්තූන් ලෙස අපට අයත් වන්නේ අපගේ වටිනාකමයි. වෙළෙඳ භාණ්ඩ ලෙස අපගේ ස්වාභාවික සහසම්බන්ධතාවයෙන් එය ඔප්පු වෙයි. එකිනෙකාගේ දෘෂ්ටිකෝණයෙන්  බලන විට පෙනී යන්නේ අප හුවමාරු වටිනාකම් මිස අන් කිසිවක් නොවන බවයි.” වෙළෙඳ භාණ්ඩවලට කතාකළ හැකිනම් ඔවුන් තමන් ගැන කියන්නේ එහෙමය .

ඇඩම් ස්මිත් හා කාල් මාක්ස්

ජාතීන්ගේ ධනය කෘතියේ දී ඇඩම් ස්මිත් වෙළෙඳ පොළ ගැනත් එහි ක්‍රියාත්මක වන අදෘෂ්‍යමාන හස්තය ගැනත් ප්‍රකාශ කළේය. මෙතෙක් අප කතා කළ කාල් මාක්ස්ගේ විග්‍රහයේ අදහස් අනුව ප්‍රධාන කරුණු දෙකක් පැහැදිලිය. එනම් (1) වෙළෙඳ පොළේ භාණ්ඩ හුවමාරුවන්නේ ඒ වායේ වටිනාකම අනුවය. (2) භාණ්ඩයක වටිනාකම වන්නේ එය නිෂ්පාදනය සඳහා සමාජමය වශයෙන් අවශ්‍යවන ශ්‍රම කාලයයි. මෙහි දී කාල් මාක්ස් වචනයෙන් කියා නැති කරුණක්ද තේරුම්ගත යුතුය. එනම් ධනේශ්වර වෙළෙඳ පොළ කිසිවෙකු විසින් මෙහෙයවන්නක් නො‍ව එයටම අදාළ ස්වභාවික රීති අනුව ක්‍රියාත්මක වන්නක් බවයි. කාල් මාක්ස්ගේ වෙනත් අදහස් වලින් මෙය තවදුරටත් තහවුරු කර ඇත.

එසේ වුවද තවත් කාරණයක් මෙහිදී සටහන් කොට තැබීම වැදගත්ය. එනම් ධනයේ එකම මූලය ශ්‍රමය නොවන බවද මාක්ස් සඳහන් කළ බවයි. විලියම් පෙටී උපුටා දක්වමින් මාක්ස් කියන‍්නේ “ශ්‍රමය ධනයේ පියා වන විට එහි මව වන්නේ ස්වභාව ධර්මයයි” යනුවෙනි.

( මෙය වත්මන් ආර්ථික ක්‍රියාවලියේ ගතිකයන් ගැන ලියවෙන ලිපි පෙළක පළමුවැන්නයි . විවාදාත්මක ප්‍රශ්න සාකච්චා කිරීම එහි අරමුණ නොවන අතර ප්‍රශ්න තේරුම් ගැනීමට අවශ්‍ය දැනුම ලබාදීම මෙහි අරමුණයි . සංවාදයට විවෘතය  – cjamaratunge@gmail.com )

 

 සී ජේ අමරතුංග

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *