දියර කිරි මාෆියාව – ගිනි ගණන් ගෙවා දියර කිරිම බොනු!
“කිරිපිටි බොන්න එපා – දියර කිරි බොන්න” කියා විශාල ඝෝෂාවක් නගනු දකින්නට ඇත. එහි පෙරමුණ ගෙන සිටින්නෝ කිරි නිෂ්පාදකයෝ වෙති. මේ කිරි බොන්නට කියන්නේ කිරිපිටි වලට පුරුදු වී සිටින සාමාන්‍ය ජනතාවටය. ඔවුන් කියන විදිහට කිරිපිටි බීම අගුණය. දියර කිරි බීම ගුණය. ඒ පොෂණවේදය අපි නොදනිමු. සාමාන්‍ය ජනයා අඩු තරමින් වසර පණහක් හැටක් තිසසේ කිරිපිටි බොන්නට හුරුවී සිටිති. ඔවුන්ගේ අත්දැකීම නම්, ඉන් තමන්ට පෝෂණයක් ලැබෙන බවයි. ඇතැම්විට බඩගින්න නිවා ගන්නේ ද කිරිපිටි වලින් හදාගත් කිරි කෝප්පයක් බීමෙනි.
තිරිපිටි බොන්න එපා දියර කිරි බොන්න කියා කීවාට සාමාන්‍ය ජනයාට උණ ගැනෙන්නේ ඒ කියන දියර කිරිවල මිල ගණන් අසන විටය. ලීටරයක කිරි පැකැට්ට්වුක් රුපියල් 210ක් 220ක් තරම් මිලය. දියර කිරි බොන්න කියන්නේ එවැනි මිලක් ගෙවමිනි.
ග්‍රෑම් හාරසීයේ කිරිපිටි පැකැට්ටුවක් රුපියල් 350ක් පමණ මිලකට ගබාගත හැකිය. එහි අඩංගු කිරිපිටි වලින් කිරි ලීටර් 4කට මදක් වැඩියෙන් සාදාගත හැකිය. එහෙම බැලුවොත් ලීටරයක මිල රුපියල් සියයකට අඩුය. සාමාන්‍ය ජනයා මෙය තේරුම් ගන්නේ ගණන් හදා නොවේ. එදිනෙදා අත්දැකීමෙනි.
ජනතාවට රුපියල් 220කට විකුණන කිරි ලීටරයක් කිරි ගොවියාගෙන් මිල දී ගන්නේ බෝතලයක් රුපියල් 60 සිට 80 දක්වා මිලකටය. එනම් ලීටරය රුපියල් 80 – 100 දක්වා මිලකටය. එය පැකැට් කර විකුණන්නේ දෙගුණයක වැඩි මිලකටය. කිරි නිෂ්පාදනයේ සිටින රජයේ ආයතනවල අකාර්යක්ෂම තාවය මෙම වැඩි මිල නියම වීමට එක හේතුවකි. ඒවායේ තිබෙන නාස්තියට දූෂණයට මිල ගෙවන්නේ පාරිභෝගිකයාය. ඒ අතර පෞද්ගලික කිරි නිෂ්පාදකයන්ගේ කල්ල මරේය.
කිරි බෝතලයක් රුපියල් 60 -80 මිලකට ගත්තද ඒ ගම් නගර වල ම කිරි වීදුරුවක් විකුණන්නේ රුපියල් 40-50 වැනි මිල ගණන් වලටය. ඒ වතුර ද සමගය. එවිට කිරි බෝතලයක් විකිණෙන්නේ රුපියල් 200කට ඉහළ මිලකටය.
සාමාන්‍ය ජනයා දියර කිරි බොන්නට හුරුවන්නේ නම් ශීකරණද තිබිය යුතුය. කිරි පැකට් කැඩුවාට පසු ශීතකරණයේ තිබිය යුතුමය. එවිට නොකඩවා විදුලිය සැපයිය යුතුය. සාමාන්‍ය ජනයාට මෙම වියදම දරන්නට සිදුවෙයි.
දියර කිරි ජනතාවට හුරු කිරීමට නම්, පළමුවෙන් කළ යුතු වන්නේ ජනතාවට දැරිය හැකි මිලකට සහ පාවිච්චිය පහසු වන ලෙස දියර කිරි සැපයීම සහතික කිරීමයි. කළුකඩ මිලට කිරි විකුණමින් දියර කිරි ජනප්‍රිය කිරීම කළ නොහැකිය. දියර කිරට හඬන මුදලාලි මාෆියාව තේරුම්ගත යුතු කාරණය එයයි.