රටක් නලවා ගී ගැයූ ඇය – රටක් හඬවා නික්ම ගියාය

හෙළ ගී අඹරේ පෑයු සුපුන් සඳක්වන් ඇන්ජලීන් ගුණතිලක දශක හයක් තිස්සේ ගීත පන්දහසකට අධික ප්‍රමාණයක ගී ගයා ලක්ෂ සංඛ්‍යාත රසික සිත්සතන් අමන්දානන්දයට පත්කළාය. ඇය සිය ආදරණීය සැමියා, දියණියන් දෙදෙනා, මුනුපුරා හා මිනිපිරිය ඇතුළු නෑ සියන් හා ගී ලොව සහෘද කලාශිල්පීන් හා ලක්ෂ සංඛ්‍යාත රසිකයන් හඬවා ඊයේ (3) වනදා මළහිරු බසිනා සැන්දෑ යාමයේ සියලු දෙනාගෙන් සමුගෙන බොරැල්ල කනත්තේ නිසල පෙදෙසක මිහිකත අතරේ සාදා සැතපුනේ දෙව් මව් තුරුලේ නිත්‍ය සැනසීම ලබමිනි.

චාම් වූත් අභිමානවත් අවමංගල උත්සව සභාවට පැමිණි පිරිස අමතමින් ගුණකථනයන් කීපයක් පැවැත්වුණි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ ජනාධිපති ගරු මෛත්‍රිපාල සේනානායක හා ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් එවන ලද ශෝක පණිවිඩ දෙකක් ද අවමංගල සභාවට ඉදිරිපත් කරන ලදී.

ගායක ගායිකා සංගමයේ ගරු සභාපති කීර්ති පැස්කුවෙල් මහතා අවමංගල සභාව අමතමින්, ‘ඇන්ජලින් ගුණතිලක මහත්මිය ගැන ගුණකථනයක් කරනව නම්, එය විනාඩියකින් දෙ‍කකින් කියා නිම කරන්න බැහැ. මේ ක්ෂේත්‍රයට ඇය පිවිසෙන කාලයේ අපි ඉතාමත් ළමා වියේ හිටියෙ. එතුමියගෙ ගීත අහල අපි පුදුමාකාර සතුටක් වින්දා. මේ හඬ එන්නේ කොහෙන්ද කියල අපි කල්පනා කෙරුව. අපි හැමදාම අහන කාන්තා හඬට වඩා වෙනස් හඬක් එතුමියට තිබුණෙ. උද‍රයෙන් එන හඬට වඩා ඉතාමත් උච්ච ස්වර වලින් ගායනා කිරීමේ හැකියාවක් එතුමියට තිබුණා. ඒ වගේම අපි කුඩා කළ නරඹපු චිත්‍රපටවල ඒ රංගන ශිල්පීන්ගෙ හඬට ඕනම විදිහට රංගනයන් සඳහා ඇයගේ හඬ ගැලපුණා. ඕනැම රංගන ශිල්පිනියක් වෙනුවෙන් ඇයගේ හඬ ගැලපුණා. මේ පුදුමාකාර දේ කොහොමද ඇයට ලැ‍බුණෙ කියන එක අපි පුංචි කාලේ චිත්‍රපට නරඹන්න ගියාම ඉතාමත් පුදුමයෙන් බලාගෙන හිටිය.

අතිශයින් දක්ෂ පුදුමකාර හැකියාවක් ඇයගේ ගායනය තුළ තිබුණා. මේක දෙවියන්වහන්සේගෙන් ඇයට ලැබුණු විශිෂ්ඨ දායාදයක් හැටියට තමයි සලකන්නෙ. මොකද අද අපේ රටේ මෙවැනි ශිල්පිනියන් අපිට සොයාගන්නටවත් නෑ. ඉදිරියේදි බිහිවෙයිද කියන්නටත් බෑ. එච්.ආර්. ජෝතිපාලයන් අප අතරින් වියෝවෙලා වසර විසිපහකටත් වැඩියි. නමුත් එතුමාගෙ හඬට ගැලපෙන එතුමාගේ ගායන ශෛලිය තියෙන තවත් ගායකයෙක් අපිට හොයාගන්න බැරිවුණා. ඒ වගේ තමයි ඇන්ජලින් ගුණතිලක ඒ ප්‍රවීන ගායන ශිල්පිනියගේ හඬට සමකළ හැකි ගායනයක් එහෙමත් නැත්නම් හඬක් අපිට කවදාවත් හොයාගන්නට ලැබෙන්නෙ නෑ. ඒ හිඩැස පුරවන්න කිසිවෙකුටත් හැකියාව නොලැබෙනවා කියන එක ඒකාන්තයි.

ඒ නිසාම ඇය මෙතෙක් ගායනා කළ ගීත පන්දහසක් පමණ වූ විශාල ගීත ගොන්න සදා අමරණීයව අනාගතය සඳහා ඉතිරි කර ඇය අද අපෙන් වෙන්ව යනව. ශ්‍රී ලංකා ගායක ගායිකා සංගමය හැටියට අපේ යුතුකම ඇය අසනීප වූ කාලයේ සිටම ඇය වෙනුවෙන් කරන්නට යුතුකමක් වශයෙන් අපි සැදී පැහැදී සිටියා.

හැම විටම ඇන්ජලින් අක්කා අපිත් එක්ක කතා කරනකොට බොහෝ නිර්භීත ලෙස ඇයට අවශ්‍ය දේ කෙළින් කතා කරන චරිතයක්. ඒක අපි හැමෝම දන්න දෙයක්. නිර්භයව ඇය ඇයගේ අදහස් ප්‍රකාශ කරන්නට ඇය කොතනකදිවත් බය වුණ් නෑ. ඇය මාධ්‍යයට බය වුණේ නෑ. කලා කරුවන්ට බය වුණේ නෑ. අසාධාරණය ඉදිරියේ ඇය තමාගේ අවංක අදහස ඉදිරිපත් කළා. සමහර විට ඒක සම්මානයක් ඇයට නොලැබෙන් බලපාන්න ඇති කියල මට හිතෙනව. මොනව වුණත් ඇය ඇ‍යගේ දක්ෂතාවය තුළින් ඇය පෙන්නුම් කළා ඇයව කාටවත් වට්ටන්න බෑ කියල. එයට ඇයට තිබුණ ශක්තිය තමයි දයාබර රසික රසිකාවියන් හා ඇයගේ හැකියාව. මේ තුළින් ඇය අපේ අනාගතයට ඉතිරිකරපු දායදය සදා අමරණීයයි.’  ප්‍රකාශ කළේය.

ඇන්ජලීන් ගුණතිලක මහත්මියගේ අවසාන කටයුතුවලට සහභාගිවීමට දුර බැහැර රටවල වෙසෙන ඇගේ රසික රසිකාවියන් ද දිවයිනේ නොයෙකුත් දුර බැහැර වලින් පැමිණි රසික රසිකාවියන් ද පැමිණි සිටිනු දක්නට ලැබුණි.

ඇගේ රසික රසිකාවියන් පිරිසක් සාකච්ඡා කරමින්, ‘අපි මේ වැඩ කටයුතු ඉවරවුණාම අරලිය මල් හොයන් ඇවිල්ලා ඇය භූම දානය කරපු තැන සරසමු’ කියනු ඇසිණි. ඇගේ රසික රසිකාවියන්ගේ ඒ අව්‍යාජ බැතිබර රසිකත්වය ඇය සම්මානයෙන් පුදනු නොලැබුවද ජනතා සම්මානයෙන් පුද ලද අමරණීය ගායිකාවක් බවට වෙනත් අටුවා ටීකා අවශ්‍ය නැත.

දයාබර ඇන්ජි අක්කේ ඔබට දෙව් මව් තුරුලේ නිත්‍ය සැනසීම ලැබේවා!

මනෝජ් රූපසිංහ

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *