මහින්ද රාජපක්ෂ ගෝඨාභයට අපේක්ෂකත්වය කවදාකවත් දෙන්නෙ නෑ – එක්සත් සමාජවාදී පක්ෂයේ සිරිතුංග ජයසූරිය

ප්‍රශ්නය – ප්‍රධාන විපක්ෂ වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දෙකට බෙදුණු පසු විරුද්ධ මතවාදයන් ඇති කණ්ඩායම් දෙකක් වශයෙනුයි ජනතාව ආමන්ත්‍රණය කෙරුවෙ. පසුගිය කාලේ මේ කණ්ඩායම් දෙක යළි එක පිලකට ඒමට පිඹුරුපත් සැකසුව. ඒ තුළ වත්මන් ජනධිපති යළිත් වරක් ජනාධිපතිවරණයට තරඟ කිරීමට අපේක්ෂාවෙන් පසු වූ බවක් පෙනුණා. ඒ අතර රාජපක්ෂ පවුලේ සාකච්ඡාවකින් ගෝඨාභය පොහොට්ටුවේ අපේක්ෂකත්වයට නම් කර බව ප්‍රකාශයට පත්වුණා. මෙයින් විපක්ෂයේ යම් අවුලක් නිර්මාණය වෙනව නේද?

පිළිතුර – මේක අපේ රටේ තියෙන බලු පොරයේ එක් විචිත්‍ර අවස්ථාවක්. දැන් බැලූ බැල්මට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් පොහොට්ටුවටත් එකතුවෙන්න කිසිම බාදාවක් තියනව කියල පෙන්නෙ නෑ. බාදාවක් ඇත්තෙත් නෑ. ඒ වගේම බාදාවක් නොතිබිය යුතුයි. එහෙම නම් මොකක් ද ප්‍රශ්නය? ප්‍රශ්නය මම කියන්නෙ පෞද්ගලිකත්වය, පෞද්ගලික වුවමනාව මිසක් මේ අය එකතු වෙන්න හදන්නෙ රටේ අනාගතය වෙනුවෙන් නෙමෙයි.

එහෙම තියෙද්දි කොහොමද ප්‍රශ්නයක් අවුලක් මතුවෙන්නෙ? ගෝඨාභය මහත්තයා ජනාධිපති අපේක්ෂකයා වශයෙන් තාම පත්කරල නෑ. නමුත් ඔහු තමයි එන්නේ කියල පිළිගැනීමට ලක්වෙලයි තියෙන්නෙ. තවම මහරජාගෙ කටින් වදනක් එළියට ආවේ නැහැ. මහින්ද රාජපක්ෂගෙන් කවුද අපේක්ෂකයා කියන එක එළියට ආවේ නැහැ. එයා කියන්න ඕනනෙ කවුද සුදුසු අපේක්ෂකයා කියල. නමුත් පවුලේ සාමාජිකයො එකතුවෙලා ප්‍රශ්නය බේරගත්තා කියන එක තමයි පුවත්පත්වල, විශේෂයෙන්ම ඉංග්‍රිසි පුවත්පත්වල පළ වුණේ ඒක ඇත්තක් වෙන්න පුලුවන්.

එසේ වුවත් මහින්ද මහත්තයට තියෙන ප්‍රශ්නය අවසන් වෙලා නෑ. ‘මහින්ද මහත්තයා ගෝඨාභයට ජනාධිපති අපේක්ෂකත්වය කවදාවත් දෙන්නෙ නෑ’ කියන මතයක හිටපු කෙනෙක් මම. මම තාමත් ඒ මතයේ ඉන්නව. එ මොකද මහින්ද මහත්තයට ඕනකම තියෙන්නෙ තම පුතා නාමල්ව ජනාධිපති ධුරයට පත්කරල තම පරපුර ඉදිරියට ගෙනයෑමේ දිගු කාලීන ව්‍යාපෘතියක්. ඒ ව්‍යාපෘතිය සම්පූර්ණයෙන් බිඳවැටෙනවා ගෝඨාභය හෝ බැසිල් හෝ වෙ‍න කෙනෙක් අපේක්ෂකත්වය ලබාගැනීමෙන්. එතනින් ඉස්සරහට යන්නෙ ගෝඨාභය ගෙ හෝ බැසිල්ගෙ හෝ වෙ‍නකෙනෙකුගෙ ව්‍යාපෘතිය. මේ ගැටලුව තියෙන නිසා මම හැමදාම කිව්වෙ, පාර්ලිමේන්තු කුමන්ත්‍රණයකින් පාර්ලිමේන්තුවෙ බලය අල්ලගෙන ඉවරවෙලා, කොයිආකාර‍යකින් හෝ පාර්ලිමේන්තුව වෙනස් කරල එක්කො මහ මැතිවරණයක් අරන් මේ ගමන් මග වෙනස් කිරීමට උත්සාහ කරයි කියන එකයි මම දරපු මතය. ඒක තමයි ඒ ගොල්ල ගිය අවුරුද්දෙ ඔක්තෝබර් මාසෙ කෙරුවෙ. ඒක අසාර්ථක වුණා. ඒක සාර්ථක වුණා නම් අද ලංකාවේ දේශපාලන හැඩගැස්ම සම්පූර්ණයෙන් වෙනස්.

ඒක දෙ‍පැත්තටම භූමරංගයක් බවට පත්වුණා. ඊට පස්සේ මෛත්‍රිපාල මහත්තයා හිතනව, මේ තත්ත්වය තුළ මාව ජනාධිපති අපේක්ෂකයා බවට පත්කරයි කියල. මෛත්‍රි මහත්තයා ජනාධිපති අපේක්ෂකය බවට පත්කළොත්, ඔහු ජනාධිපති තනතුරේ ඉන්නෙ තව අවුරුදු පහයි. එතකොට පුළුවන් මහින්ද රාජපක්ෂට නාමල්ව දක්කගෙන ඉස්සරහට යන්න. ගෝඨාභය හෝ බැසිල් හෝ චමල් හෝ වෙනයම් කෙනෙක් දැම්මොත් ඒ න්‍යායපත්‍රය කෙරෙන්නෑ කියන කාරණය  මහින්ද මහත්තයා දන්නව. ඒක තමයි මෛත්‍රිපාල මහත්තයා තවමත් එළු බිජ්ජ වැටෙනකම් බලා ඉන්නවා වගේ තරඟ කරන්න ඕනැ. තරඟ කරන්න ඕනැ කියල කියන‍්නෙ.

මෛත්‍රි බලන්නෙ, මහින්දට තියෙන පවුලේ අරබූදය තුළ හිඩැසෙන් තමන් අපේක්ෂකත්වයට රිංග ගන්න. දේශපාලඥයො වශයෙන් අපි පිටස්තරව සිට මේ ප්‍රශ්නය දිහා බැලීමේ දී මම හිතනව මෛත්‍රිපාල මහත්තයගෙ ව්‍යාපෘතිය පරාදයි. මෛත්‍රිපාල මහත්තයගෙ දේශපාලන අනාගතය ඉවරවේගෙනයි යන්නෙ. මම හිතනව, මෛත්‍රිපාල මහතා ජනාධිපති අපේක්ෂකත්වයට පත්වීම පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉතිරිවෙලා ඉන්න සුළු පිරිස දරණ අදහස කවදාවත් යථාර්ථයක් වෙන තත්ත්වයක් නෑ. හොඳම උදාහරණය තමයි ජාත්‍යන්තර කම්කරු දිනය වන මැයි දිනයට තව සති හතරක විතර කාලයක් තමයි තියෙන්නෙ. මැයි දිනය එකට තියාගන්න බැරිතරමට විරසකය බරපතල වෙලා තියෙනව. පොහොට්ටුවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි එකතුවීම අඩමානයි.

ප්‍රශ්නය – යම්කිසි තත්ත්වයක් නිර්මාණය වෙලා එජාප විරුද්ධ අපේක්ෂකයා වශයෙන් ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් වුවහොත් ඊට මුහුණ දීමේ තත්ත්වයක් එක්සත් ජාතික පක්ෂයට තියෙනවද?

පිළිතුර – එකසත් ජාතික පක්ෂය හිතනවා ගෝඨාභය තමයි දුර්වලම අපේක්ෂකයා කියල. ඒක එක එජාප ප්‍රබලයෙක් මාධ්‍යයට ප්‍රකාශ කරල තිබුණා. මම හිතනව ඒක වැරදියි කියල. මේ රටේ බහුතර සිංහල බෞද්ධ ජනතාව පෙළගැසෙන්නේ පොහොට්ටුව හා මහින්ද තීන්දු කරන අපේක්ෂකයා වටා. ඒකෙදි ගෝඨාභය ද වෙන කවුද කියන කාරණය ද්විතිකයි. පොල්පිත්තක් ඉදිරිපත් කෙරුවත් දිනනව කියල කතාවක් තියනව. ඒක ඔප්පු වුණා පසුගිය පළාත් පාලන ඡන්දයෙදි මහරගම නගර සභා ප්‍රතිඵල වලින්.

ගෝඨාභයට දකුණෙන් වැඩි ප්‍රතිශතයක් ගන්න පුළුවන් වේවි. උතුරේ හා නැගෙනහිර හා කඳුකරයේ ඡන්ද ගන්න පුලුවන්ද කියන එක අඩමානයි. එක්සත් ජාතික පක්ෂය හිතාගෙන ඉන්නව ඒ ඡන්ද සමස්ථයක් වශයෙන් ඔවුන්ට ලැබෙනව කියල. නැත්නම් ඔවුන් හිතනවා ඒ චන්ද ඔප්පුවකින් ඔවුන්ට ලියල දීලා තියෙනව කියල.

නමුත් ඒ තත්ත්වය වෙනස් වෙලා තියෙන්නෙ. ඒ මිනිස්සුන්ගෙ ප්‍රශ්න දිහා මේ ආණ්ඩුව බැලුවෙ නෑ. ඔවුන් සමඟ සංවාදයකට ගියේ නැහැ. ඒ වගේම ටී.එන්.ඒ. එකට දෙමළ ජනතාව තුළ තිබුණු ආධිපත්‍ය, ඒ ගොල්ලන්නට තිබුණු ගෞරවණීය පිළිගැනීම සීඝ්‍රයෙන් බිඳවැටෙමින් යනව. එක්සත් ජාතික පක්ෂයට උතුරෙ ප්‍රබල කොටසගෙ ඡන්දය අහිමි වෙනව. දෙමළ ජනතාවගේ පැත්තෙන් වෙනම අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නට බොහෝදුරට ඉඩතියෙනව ඉඩ තියෙනව. විග්නේශ්වරන් වගේ කෙනෙක් ඉදිරිපත් වුණොත් දෙමළ ජනතාවගේ ඡන්ද වලින් සැලකියයුතු ප්‍රතිශතයක් ඔහුට ලැබෙයි. ඒනිසා ගෝඨාභය ඉදිරිපත් වුණොත් එක්සත් ජාතික පක්ෂයට වාසිසහගතයි කියන තත්ත්වය වෙනස් වෙන්ව.

ඒ ගොල්ලන්ගෙ ලෝකේ ඒ ගොල්ල ජීවත්වෙන ගතියක් තියෙනව. මෛත්‍රි මහත්තයයි පොහොට්ටුවයි තරඟ කරන කොට අපිට නිකන් බණ්ඩක්කා වගේ ලෙ‍ස්සල එන්න පුළුවන් කියල එක්සත් ජාතික පක්ෂය හිතනව. ඒත් පහුගිය පළාත් පාලන ඡන්දෙදිත් ඒක ‍එහෙම වුණේ නෑ. දැන් ඒ තත්ත්වය ඊට වඩා ප්‍රබලයි. මම හිතනව එක්සත් ජාතික පක්ෂය ඔයිට වඩා දියුණු විදිහට ප්‍රශ්න දිහා බැලිය යුතුයි. ඒත් ඒක අපිට අදාල කාරණයක් නෙමෙයි.

ප්‍රශ්නය – ඔබ අදහස් කරන විදිහට විග්නේශ්වරන් හෝ වෙනත් ද්‍රවිඩ කණ්ඩායමක් සැලකියයුතු ඡන්ද ප්‍රතිශතයක් ලබාගන්නව. ජේ.වී.පී. ප්‍රමුඛ සන්ධානයක් ඉදිරිපත් වීමෙන් දකුණෙන් ඡන්ද කොටසක් ගන්නව. මේ තත්ත්වය තුළ සියයට පණහක ප්‍රතිශතය ඉක්මවන්නට බැරිවෙයිද කිසිවෙකුටත්.

පිළිතුර – ඒක නම් ඉතාම හොඳ ප්‍රශ්නයක්. ඕක තමයි මම ගිය වතාවේ ජනාධිපතිවරණ ඡන්දෙට ඉදිරිපත්වලා ජනතාවට දුන්න පණිවිඩය. හැම දාම ඒ ගොඩ හෝ මේ‍ ගොඩ දිනනව කියන සංකල්පයෙන් පොඩ්ඩක් ඉවත් වෙලා තමුන්නා‍න්සේලා විකල්ප අපේක්ෂකයෙක් තෝරාගෙන ඔහුට හෝ ඇයට ඡන්දය දීලා කිසි කෙනෙකුට එකවරම ජනාධිපති වරමක් දිනාගැනීමේ තත්ත්වය අහෝසි කරන්න කියලයි මම කිව්වෙ. එතකොට සිද්ධ වෙන්නෙ, එතකොට බලයට පත්වෙන කෙනා බලයට පත්වෙන්නෙ දුර්වල ජනාධිපති කෙනෙක් විදිහට. දෙවෙනි එක තු‍නවෙනි මානපය ගණන් කිරීම කියන සාධකයට යන්න වෙනව. මම හිතනව ඒ තත්ත්වය ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට යතාර්ථයක් වීමේ ලකුණු මෙවර තියෙනව.

ජනතා විමුක්ති පෙරමුණ තරඟ කරයි ද නැද්ද කියන එක කෙසේ වෙතත් උතුරේ හා තවත් අපේක්ෂකයන් ගණනාවක් එන තත්ත්වය තුළ මම හිතනව එක්කෙනෙකුටවත් සියයට පණහ අභිබවා යන්න බැරි තත්ත්වයක් උදා වෙන්න ඉඩකඩ තියෙනව.

ප්‍රශ්නය – ඉතිහාසයේ ප්‍රථමවතාවට තම ප්‍රථම ඡන්දය පාවිච්චිකරණ ප්‍රමාණය විශාල වශයෙන් වැඩිවෙලා තියෙනව. ඒ ප්‍රමාණය දහඅට ලක්ෂය ඉක්මවා ගොස් ඇති බවයි සංඛ්‍යා ලේඛන පවසන්නෙ. පවතින දේශපාලන වතාවරණය අනුව ඔවුන් එළඹෙන ජනාධිපතිවරණයේ දී මොනවගේ තීරණයක් ගනියි කියල හිතනවද?

පිළිතුර – ඒ දහඅට ලක්ෂය තමයි මේවර බලය යන්නෙ කාටද කියල තීන්දු කරන්නෙ. ඒ අලුත් ඡන්ද හැසිරෙන ආකාරය ගැන පූර්ව නිගමනයක් කරන්නට අපහසුයි. ඒ අය එක මතවාදයක ඉඳලා තීන්දු ගන්න අය නෙමෙයි. ඔවුන් සම්ප්‍රදායික සිතුම් පැතුම් වලින් බැහැරව ඉන්නව. සම්ප්‍රදායික පක්ෂ රටාවෙන් කැඩිල ඉන්නව. ඒ ගොල්ල අලුත් ලෝකය දිහා බලනව. නවීන තාක්ෂණය සමග ඒ ගොල්ලන්ගෙ අදහස් හුවමාරු වෙන්නෙ. ඒ නිසා ඒක මිශ්‍ර ප්‍රකාශනයක් බවට පත්වෙයි. ඒ නිසා තමයි මේ ඡන්දයට ඉදිරිපත් වන ප්‍රධාන තරගකරුවන් උත්සාහ කරන්නෙ ඒ ඡන්දවලට බලපෑමක් ඇතිවෙන දේවල් කරන්න. ඩිජිටල් අනාගතයක් ගැන දැන් කතා කරනව ඇහෙනව. ඒක ලොකු පරීක්ෂණයක් බවට පත්වේවි.

ප්‍රශ්නය – තව මාස අටක පමණ කාලයක් තමයි තියෙන්නෙ ජනාධිපතිවරණයට. ඒ කාලයේ එ.ජා.ප. ය ට ජනාධිපතිවරණයකට සූදානම් වෙන්න පුළුවන්ද? තාම අපේක්ෂකයා කවුද කියා තීරණය කර නෑ. රට ආර්ථික වශයෙන් කඩාවැටිලා තියෙන්නෙ. රුපියල අවප්‍රමාණ වෙලා තියෙනව. බඩු මිල ඉහළ යනව. එක්සත් ජාතික පක්ෂයට මේ තියන ජනප්‍රසාදයවත් තවදුරටත් රැකගැනීමට හැකියාවක් තියෙයි ද?

පිළිතුර – ඔක්තෝම්බර් මාසයේ ඇති වෙච්ච කලබගෑනිය තුළ එක්සත් ජාතික පක්ෂයේ පොඩි පිබිදීමක් රටතුළ දකින්නට ලැබුණා. ඒක දැකල ඒ ගොල්ල කීවේ, තනි යූ.එන්.පී. ආණ්ඩුවක් හදාගෙන අපි ඉදිරියට  ගමන් කරල, ජනතාවට පොරොන්දු වුණ දේවල් ඉෂ්ට කරල ජනතා ප්‍රසාදය ලබාගන්නව කියල. නමුත් දැන් මාස 5ක් පමණ කාලය ගෙවිල. මොනවද කරල තියෙන්නෙ? අය වැයත් පහු වුණා දැන් තව දෙන්න දෙයක් නෑ. ලොකුවට කතා කළත්, එක්සත් ජාතික පක්ෂ අසාර්ථකම පක්ෂයක් හා අසාර්ථකම නායකත්වයක් ඇති පක්ෂය බවට පත්වෙලා තියෙනව.

ඒ නිසා මේ ඉදිරි හත්අට මාස ඇතුළෙ එක්සත් ජාතික පක්ෂයට කරන්න පුළුවන් ලොකු වික්‍රමයක් නෑ. තමන්ගෙ අපේක්ෂකයා තෝරගන්න බැරි ගැටළුවක ඒ ගොල්ල ඉන්නව. පොහොට්ටුවත් තමන්ගෙ අපේක්ෂකයා තෝරාගන්න බැරි තත්ත්වයක ඉන්නව. ගෝඨාභය තමන් අපේක්ෂකයා කියල කියා ගත්තත් තාමත් ගෝඨාභයට අපේක්ෂකත්වය දීලා නෑ. එයාගේ දිවිත්ව පුරවැසිභාවය පිළිබඳ ගැටළුව වත් එයා තවම විසඳගෙන නෑ. දෙපත්තෙම තත්ත්වය ඒකයි. එයින් පෙන්නුම් කරන්නෙ මේ රටේ කවදාවත් නොතිබුණු තරම් අවිනිශ්චිත ඉතාම ගැඹුරු දේශපාලන අර්බූදයකට මුළු රටම ගමන් කරනව. ඒ ගමන් කරන විදිහට මේ ප්‍රධාන ප්‍රවාහයේ ඉන්න පක්ෂ උත්සාහ කරන්නෙ තමන් ගේ ගොඩ යෑම ගැන මිසක්, තමන්ගේ ජයග්‍රහණය ගැන මිසක් රට දිනවීම ගැන මොවුන්ට කිසිම වැඩපිළිවෙලක් නෑ ඒකයි මේ රටට වෙලා තියෙන විපත්තිය විනාශය.

ප්‍රශ්නය – වතු කම්කරුවන්ගේ රුපියල් 1000/- දීමනාව නොදී ඉන්නේ ඇයි? ඒක දෙන්න බැරි තත්ත්වයකද තේ වතු ආර්ථිකය තියෙන්නෙ?

පිළිතුර – වතු කම්කරුවන්ගේ රු.1000/- දිමනාව පිළිබදව  මීට අවුරුදු දෙකකට පෙර ඔවුන් උද්ඝෝෂණ කෙරුවා. ඒවා කවුරුත් ගණන් ගත්තෙ නෑ. ‍නමුත් මෙදාපාර ගුණාත්මක වෙනසක් වතු කම්කරුවන් අතර අපි දකිනව. වතුකම්කරුවන් තෝන්ඩමාන්ලා හෝ වඩිවෙල්ලා හෝ රාධක්‍රිෂ්ණන්ලා හෝ දිගම්බරන්ලා කියන දේවල් අහන්නේ නැතුව, ඒ ගොල්ල අඛණ්ඩව තමන්ගේ අරගලය ඉස්සරහට ගෙනයමින් තියෙනව.

වතු පාලකයන් රු.1000/- නොදීමෙන් සම්පූර්ණයෙන්ම ප්‍රෝඩාවක් කරන්නෙ. රුපියල් දාහක් නෙමෙයි ඒ අයට රුපියල් එක්දහස් පන්සීයකවත් දීමනාවක් දියයුතුයි. වතු පාලක‍යන් තමුන්ගේ පවුල්වල සුඛවිහරණය වෙනුවෙන් අති විශාල මුදලක් වියදම් කරනව. වතුපාලකගෙ ගෙදර වැඩ කරන්න සේවකයන් ගණනාවක් ඉන්නව. ඒ ගොල්ල නිෂ්පාදනයට කිසි දායකත්වයක් දක්වන්නේ නෑ. ඒ ගොල්ල කරන්නේ උයන පිහින ඒවා, බේබිලා පාසැලට එක්කරගෙන යන ඒවා, මල් වලට වතුර දානව වගේ නොයෙකුත් දේවල්. මේ වැරදි පාලනය ඉවත් කරනව නම් වතු විශාල ලාභ ගන්න තැනකට ගෙනියන්න පුළුවන්.

අපි කියන්නේ වතු කම්කරුවන්ට රුපියල් දාහ දීපල්ල. දෙන්න බැරි නම් උඹලා වතු දාලා පලයල්ලා. වතු කම්කරුවන්ට මේ වතු පාලනය බාරදීමේ වැඩපිළිවෙලක් අපි හදමු. වතු කම්කරුවන්ගේ වෘත්තිය සමිති වලින් අපි හදමු ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක්. එවිට විශාල වශයෙන් ලාබ ගන්න පුළුවන්. වතු කම්කරුවන්ගේ ජීවන තත්ත්වය අද තියනවාට වඩා විශාල පෙරළියකට වෙනසකට ගමන් කරන්න පුළුවන්. එම නිසා රුපියල් දාහේ ඉල්ලීම යටපත් කරන්න බෑ.

තවත් කාරණාවක් තියෙනව. අද වතුකම්කරුවන් තුළ පැරණි පරම්පරාව නෙමෙයි ඉන්නෙ. බුද්ධිමත් අධ්‍යාපනයක් ලබල තියෙන තරුණ පරම්පරාවක් ඉන්නෙ. ඒ ගොල්ලන්ට ප්‍රශ්නයේ ස්වභාවය තේරෙනව. පොතපත කියවනව. ඉස්සර වගේ නායකයා කියන දේ අහල අරක්කු ටිකක් බීලා, කසිප්පු ටිකක් බීලා ගෙදර යන කට්ටියක් නෙමෙයි. මේ කණ්ඩායම බුද්ධිමත් පරම්පරාවක්. ඒ ගොල්ල ඉස්සරහට යන්න ඕනැ. මේ සටනට වතු කම්කරුවන්ගෙ සටනට ආණ්ඩුව ප්‍රතිචාර දැක්වුවෙ නැත්නම් වතුවල වැඩ කරන්න කම්කරුවන් නැති වෙන තත්ත්වයක් කරා මේක ගමන් කරන්න පුළුවන්. මොන තාක්ෂණය ආවත් තේ දල්ල කඩන්න මේ ඇඟිලි දෙක අවශ්‍යයි. ඒක නැතුව මේ වැඩේ සාර්ථකව කරන්න බෑ. ඒ නිසා වතුකම්කරුවන්ගෙ වටිනාකම ඉහළ යමින් තිබෙන්නෙ. මේ සටන අත්හරින්නෙ නැතුව දිගටම කරගෙන යමු කියන එකයි එක්සත් සමාජවාදි පෙරමුණ පක්ෂය හැටියට කියන්න ත‍යෙන්නෙ.

 මනෝජ් රූපසිංහ

 

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *