හයිබ්‍රිඩ් මගහරින්නේ ඇත්ත යට ගහන්නද? – සරත් ජයකොඩි

1948 වර්ෂයේ පෙබරවාරි 4 වන දින නිදහස නමින් සිංහල බහුතරය විසින් අත්පත් කරගන්නා දේශපාලන බලය පවත්වාගෙන යාම සඳහා රට සතු පොදු සම්පත් සිංහල බහුතරය විසින් දිගින් දිගටම භුක්තිවින්දීමේ හේතුවන් ඇතිකරන ලද ජාතික පිඩනයට හා රුදුරු මර්ධනයට එරෙහිව හටගත් අරගලය බිහිසුණු යුද්ධයක් බවට පත්වීමේ හේතුවෙන් අසාධාරණ ලෙස වධ බන්ධනයන්ට , ස්ත්‍රී දුෂණයන් ඇතුළු සියලු ආකාරයේ හිංසනයන්ට ලක්ව අවසානයේ රුදුරු මරණයට පවා ගොදුරුවීමට සිදුවූ සිවිල්  ජනතාවට එසේ සිදුවීමට බලපෑ සත්‍යය දැනගැනීමේ අයිතිය කිසිවෙකුටත් අහිමිකළ නොහැකි අයිතියකි.

 

සිවිල් ජනතාවට එරෙහිව ඔවුන්ගේ බදු මුදලින්ම මිලට ගත්  අවි ඔසවා හිතාමතා  ඔවුන් ඝාතනය කල වුන් යුධ විරුවන් නොව යුධ අපරාධ කරුවන් වේ. එලෙසම අහිංසක  ජනතාව ඉලක්ක කර යුධ වැදුණු එල්.ටි.ටි.ඊ,  ජේ.වී.පි. ඇතුළු අනෙක් සියලු සන්නද්ධ කණ්ඩායම් විසින් සිදුකෙරුණු සියලු වධ බන්ධන හා ඝතනයන්ටද හවුල් වුවන් යුධ අපරාධ කරුවන් හා ම්ලේච්ඡයන් ය.

 

ඉහත දැක්වෙන දෙආකාරයේ සිදුවීම් පිලිබඳ මේ දක්වා කිසිම අවස්ථාවක වින්දිතයින් උදෙසා යුක්තිය පසිඳලීමක් දේශීය නීති පද්ධතිය තුල සිදුව නැති බව පැහැදිලි සත්‍යයකි. එම හේතුව නිසාම රට තුල මානව හිමිකම් උල්ලංඝනය සිදුකිරීම කිසිදු බියකින් හෝ පැකිලීමකින් තොරව රජය හා අනෙකුත් පාර්ශ්වයන්  විසින් දිගින්දිගටම සිදු කරගෙන ගොස් ඇති අතර තව දුරටත් අඩු වැඩි වශයෙන් සිදුවෙමින් පවතින බවද  නොරහසකි.

 

මෙම ක්‍රියාදාමයේ ප්‍රතිඵලයක් ලෙස එම තත්වය තුරන්  කිරීම සඳහා අවසානයේ එක්සත් ජාතීන්ට පවා මැදිහත් වීමට සිදුවීමෙන්ම තත්වය ඔඩු දුවා ඇති බරපතල කම තේරුම්ගත හැක.

 

ශිෂ්ට සම්පන්න සමාජයක් රටතුල යලි ස්ථාපිත කිරීමට නම් වින්දිතයන් කෙරෙහි යුක්තිය පසිඳලීම අරමුනුකරගත් සත්‍යය නිරාවරණය කර ගැනීමේ ක්‍රමවත් ක්‍රියා පිළිවෙතක් උසස්ම ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුගත ලෙස ස්ථාපිත කිරීම අත්‍යවශ්‍යම කොන්දේසියකි.

 

දේශීය යාන්ත්‍රණයක් මගින් එය සිදුකිරීම සත්‍යය සොයාගැනීමකට වඩා  සත්‍යය යටපත්කිරීමේ වෑයමක්ම වනු ඇති බව ඒ වෙනුවෙන් පෙනිසිටින්නන්ගේ පසුබිම දෙස අවධානය යොමුකිරීමෙන් ඉතා පහසුවෙන් අවබෝධ කර ගත හැක. එය හොරාගේ අම්මගෙන් පේන ඇසීමක් හැර අන් කිසිවක් නොවනු ඇත.

 

කරුණු එසේ හෙයින් මෙය උසස්ම ප්‍රමිතියේ ජාත්‍යන්තර ක්‍රියා දාමයක් තුලින්  සිදු කිරීමට එකඟ වීම හැර අන් කිසි විකල්පයක් නොමැති බව වින්දිතයින්ගේ මානව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සියල්ලන්ගේ යුතුකම නොවේද?

 

එය හයිබ්‍රිඩ් හෝ අන් කුමන නමකින් හැඳින්වුවද ක්‍රියාදාමයේ අවසාන ඵලය උක්ත අරමුණ සමග සමපාත විය යුතු නොවේද?

 

සරත් ජයකොඩි

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *