ව්‍යවස්ථාවේ බලයෙන් ජනාධිපතිවරු පිස්සු වට්ටනවා – ආචාර්ය උපුල් අබේරත්න-ජේ්‍යෂ්ට කථාකාචාර්ය – රුහුණු සරසවිය

නව ආණ්ඩුක‍්‍රම ව්‍යස්ථාවක් ගැන මේ දිනවල අසන්නට ලැබෙන නමුත් ඒ පිළිබඳව වැඩි විස්තරයක් දැනගන්නට නැත. සැබවින්ම නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කරන්නේ නම් එය  මේ සමාජය කබලෙන් ලිපට නොවැටෙන ව්‍යවස්ථාවක් වියයුතු ය. ආණ්ඩුව පමණක් නොව ආණ්ඩුව බලයට පත්කළ ජනතාව මත ද ඒ වගකීම පැවරී තිබේ. මා එසේ කියන්නේ කරුණු නැතිව නොව කරුණු ඇතිව ය. 1972 ව්‍යවස්ථාව නිර්මාණය නොකළා නම් මීට වඩා ලංකාව හොඳ වෙන්නට තිබුණා.  ඊට පසු 1978 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ද එයට නොදෙවෙනි යි.  මේ ව්‍යවස්ථා දෙක තමයි  අපි පසුගිය කාලයේ අත්දැක්ක මහින්ද රාජපක්ෂගේ අධිපතිවාදි,  ඉතා කෲරතර ඒකාධිපතිවාදි පාලන රාමුවකට ගමන් කරන්නට  මුල්ගල තිබ්බේ. 18වෙනි ව්‍යවස්ථා සංශෝධනය  ඒකාධිපතිවාදයේ කූඨප්ප‍්‍රාප්තිය ලෙස සළකන්නට පුළුවන්.  ඒක එක පැතිකඩක්.  1972 ව්‍යවස්ථාවෙන් පටන්ගන්නවා  ආගමයි දේශපාලනයයි එකට අරන් යන්නට.  සංස්කෘතික පුණර්ජීවනය කියන වැඩසටහන යටතේ ඊට කලිනුත් මේ දේ සිද්ධවුනා. ඊට පෙරත් වෙනත් ආගමික,  සංස්කාතික පසුබිම් වල ඉන්න අයගේ  ඇවතුම් පැවතුම්වලට  අභියෝග එල්ලවන ආකාරයේ සංස්කෘතියක් නිර්මානය වීමට අවශ්‍ය  කරන පසුබිම නිර්මාණය වූයේ ඒ හරහා. 72 ව්‍යවස්ථාවෙන් වූනේ එය නීතියක් බවට පත්වීම යි.
මා දුටු දේ තමයි  ලංකාවේ  ඡුන්දදායකයෝ  1931 සිට ඉතා සබුද්ධිකව ඡුන්දය පාවිච්චි කළ ඡුන්ද දායකයෝ පිරිසක්.  ඒ සබුද්ධික භාවය යම් ආකාරයකට වෙන අතකට හැරුණා නම් හැරවුණේ 1978 ජේ. ආර්. ජයවර්ධන මහත්මයා හඳුන්වා දුන්  විධායක ජනාධිපති ක‍්‍රමය  හා සමානුපාතික නියෝජන ක‍්‍රමයත්  සමග. ජේ . ආර්. ජයවර්ධන මහත්මයා ගේ  සිට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා දක්වා  සියළු ජනාධිපතිවරු  අඩුවැඩි වශයෙන්  තම විධායක බලය  අයුතු විදියට පාවිච්චි කළා.
දේශපාලන බලය මිනිසා දූෂණයට ලක්කරනවා  යනුවෙන් කථාවක් තිබේ.  මම කියන්නේ ලංකාවේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් හදලා තියෙන මේ  විධායක ජනාධිපති තනතුරේ ඇති අසීමිත බලය නිසා,  බලයට පත්වෙන ජනාධිපතිවරු  පිස්සු වට්ටනවා කියලා.  අඩු වැඩි වශයෙන් මේ ජනාධිපතිවරු පසුගිය කාලයේ ක‍්‍රියා කළේ  පිස්සො වගේ. නැත්නම්  බලය හැසිරෙව්වේ  සමාජ ප‍්‍රතිමාන  ශත පහකට ගණන් ගන්නේ නැතිව. පිස්සෙක් කියන්නේ සමාජයේ ප‍්‍රතිමානවලට  අනුරූපව හැසිරෙන්නේ නැති මිනිසෙකුට.  ලංකාවේ ජනාධිපතිවරු හැසිරුණෙත්,  දේශපාලනික සාරධර්මවලට  ඉඳුරාම පටහැනි ආකාරයට.  පසුගිය ජනාධිපතිවරණය සහ පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයයෙන් ප‍්‍රකාශයට පත්වුනේ,  මෙරට කල්පනා කරන,  සමාජය නිවැරදි කරගත යුතුයැයි   විශ්වාස කරන  කණඩායමේ ජන විඤ්ඤාණය යි.  එතකොට මේ මැතිවරණ දෙකේ දීම මිනිසුන් අපේක්ෂා කළ   දිසාවට  අපි ගමන්කරමින් සිටින බව පෙනෙනවා.  අපි සමාජයක් ලෙස බොහොම අවදියෙන්  සිටිය යුතු කාරණාවක් ඒක.
මුල් දවස් කිහිපයේ දී මහජන අවකාශය තුළ, බලාපොරොත්තු වූ  දේවල්වලට අදාල දිසාවට  අගමැති රනිල් වික‍්‍රමසිංහ හා ජනාධිපති මෛත‍්‍රිපාලන සිරිසේන ගමන්කරන බව පෙනෙන්නට තිබුණි.  මේ දෙදෙනාගේ කෙතරම් කැපවීමක් තිබුණත්, දැන් මට පෙනෙන දේ තමයි  නැවත වතාවක්  මේ දෙදෙනාට පහළින් සිටින අය  තුළ ඒ අදහස නැතිවීම.  මම ගාලූ දිස්ත‍්‍රික්කයේ ඡුන්ද දායකයෙක්.  ඡුන්දයෙන් පස්සේ  මා දැකපු දේ තමයි  අර මහින්ද රාජපක්ෂවාදි යුගයේ  දේශපාලන සංස්කෘතියේ  ප‍්‍රකාශ වූ දේ තමයි ප‍්‍රකාශවෙන්නේ. ඒ ඒ ඇමතිවරු  දැන් තරගයට රැුකියා දෙන්නට  ඉල්ලුම්පත‍්‍ර බෙදනවා. නොයෙක් දේ කරනවා. මේ අකාරයට දේශපාලනිකව සම්පත් බෙදා හැරීම ඉදිරියට අරන් යනවා කියන එකයි මෙයින් කියැවෙන්නේ.  ජනාධිපති සහ අගමැති  ඇදහිලි ලෙස ජාතික මට්ටමෙන් රූපාන්තරනය වනවිට  ප‍්‍රාදේශිය මට්ටමෙන් ඉන්න ඇමතිවරු  මන්ත‍්‍රිවරු  ක‍්‍රියාකරගෙන යන්නේ ද ඒ ආකාරයට ය. මෙන්න මේක වලක්වන්නට  මෛත‍්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාත්,  රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයාත් කටයුතු කළ යුතු ය.  නායකයින් ලෙස  එය ඔවුන්ට පැවරී ඇති අනිවාර්ය වගකීමකි. අපි  පුරවැසි සමාජයක් විදියට,  දැනුවත් පුරවැසියන් විදියට වගකීමක් තිබෙනවා  මේ ගැන ඔවුන්ට කියන්නට.  අපි මේක අතහැරියොත් මෙයාලා  ඒක අතඇරලා තමන්ගේ අර පරණ  වැඩටික ම තමයි කරගෙන යන්නේ.
ජනවාර්ගික ප‍්‍රශ්නය පිළිබඳ කාරණාව,  මම කියන්නේ  මෛත‍්‍රිපාල සිරිසේනගේවත් රනිල් වික‍්‍රමසිංහගේවත් තියෙන පෞද්ගලික  කැපවීම මත  විසඳෙන කාරණාවක්  ලෙස මා දකින්නේ නෑ
ජාත්‍යන්තර සමාජය  වඩ වඩා වේගයෙන් මානවවාදී  සමාජයක් බවට පත්වෙමින් පවතිනවා.  අයි. එස්. අයි. එස්.  ත‍්‍රස්තයින්ගෙන් ගැලවීමට  සමාජයේ විඤ්ඤාණයක් ගොඩනැගිලා තියෙනවා අයිලාන්  කියන දරුවා මැරිලා වැටිලා ඉන්න  පින්තූරය දැක්කාම.  ඒකට යුරෝපයේ ආණ්ඩුවල ඇස් ඇරුණේ අයිලාන් මැරිලා ඉන්නවා දැකපු නායකයින්ගේ කම්පාවීම නිසා නොවෙයි.  ඒ සමාජය වඩා මානුෂිකව කල්පනා කරන  සමාජයක් බවට පත්වූ නිසායායි එසේ වුණේ.  ඒ සමාජයේ බලපෑමට ඒ නායකයින්ට නතුවීමට සිද්ධ වුණා කියන්නට පුළුවන්.  ජාත්‍යාන්තර සමාජය දැන්  වඩ වඩාත් ශිෂ්ඨවෙමින් යන බවයි එයින් පෙනෙන්නේ.  මෙහි ශිෂ්ඨ සහ අශිෂ්ඨ බව අතර බෙදීම පැහැදිළි වෙමින් පවතිනවා.  මේ නිසා තමයි  අද එක්සත් ජාතීන්ගේ  සංවිධානය මානව හිමිකම්  පිළිබඳ කමිටුව ඉදිරියේ  ලංකාව පොරොන්දු වෙන්නේ  යුධ අපරාධ  පරික්ෂා කරන්නටත්,  ඒ වගේම ජනවාර්ගික  ගැටළුවට සාධනීය  විසඳුමක්  ලබා දෙන්නටත්.  එසේ නැතිනම් ලංකාවේ දේශපාලනඥයින්ගේ තිබෙන  ශිෂ්ඨ හා මානවවාදි ලක්ෂණ  හෝ විශිෂ්ඨ පෙර දැක්මක් නිසා නොවේ.  එසේ වූයේ මේ ජාත්‍යන්තර සමාජයෙන් එල්ලවී තිබෙන බලපෑම නිසා ය.
මෙවැනි තත්ත්වයක් තිබෙන අතරම  මෙයට විරුද්ධ පිරිසකුත් සිටිනවා. ඔවුන් වැඩියෙන්ම  ප‍්‍රතිවිරෝධය දක්වන්නේ  ජාතිකවාදි ආකාරයට.  ඇත්තටම සාමාන්‍ය මිනිසාට ජනවාර්ගික ප‍්‍රශ්නයක් නෑ .  නාගරික  පැල්පත්වාසි ජනතාව හා  ගම්වල සිටින සාමාන්‍ය මිනිසුන්ට ජනවර්ගය කියන එක එතරම්ම දෙයක් නොවන බවයි මගේ විහ්වාසය.  මම කියන්නේ මෙය  වාර්ගික ස්වරූපයකින් අරන් එන්නේ දේශපාලන  උවමනා මත බලය  පිළිබඳ අරගලයේ සි්ටින අයයි.  උදාහරණයක් ලෙසට  ලංකාවේ ජාතක ව්‍යවාපාර ගතහොත්,  කම්කරු පංතියේ ඉතිහාසය ගතහොත්,  ඒ. ඊ. ගුණසිංහලා  තමයි ලංකාවේ වැඩකළ  සාමාන්‍ය දෙමළ කම්කරුවන්ට විරුද්ධව  කම්කරු පංති විඤ්ඤාණය මුදාහරින්නේ.  ඒ අය තමයි සිංහළ කම්කරුවන් පොළඹවන්නේ උඔලාට රක්ෂාව නැත්තේ දෙමළ කම්කරුවන් නිසා යැයි ආදි වශයෙන්.  දැන්  ඕක  යුරෝපයෙත් සමහර තැන්වල තිබෙනවා. ආසියාවෙන් සංක‍්‍රමණය වෙන මිනිසුන් නිසා  තමයි අපිට රස්සා නැතිවෙන්නේ කියලා. මෙය පෙරට දමාගෙන ව්‍යවාපාර ගොඩනගන්නට උත්සාහ දරණ  කණ්ඩායම් සිටිනවා.  ඒකට මුහුණ දෙන්න නම් දැඩි ලෙස සමාජය් යුක්තිය සාධාරණත්වය ගැන  කල්පනා කරන දේශපාලන වමක අවශ්‍යතාවයක් තිබෙනවා.  දේශපාලන වමට තමයි පුළුවන් වෙන්නේ  ඔය ජාති, ජනවර්ග හා  කුල වැනි දෙයින් ඔබ්බට ගොස්,  ආගමික කණ්ඩායම්  විනිවිද ගොස්,  පොදුවේ  මානව වර්ගයා  මුහුණ දෙන ප‍්‍රශ්න පිළිබඳව සංවේදී  විදියට හා යථාර්තවාදි විදිටයට  විග‍්‍රහයක් කරන්නට.   පසුගිය කාලයේ වූ අවාසනාව තමයි ලංකාවේ  වමේ ව්‍යාපාරයේ තිබෙන  පරිහානිය. වමේ ව්‍යාපාරයක්  නැතිවීමේ එක් ප‍්‍රතිඵලයක් තමයි අපි මේ භුක්්ති විඳින්නේ.
ජනතා විමුක්ති පෙරමුණ වම ලෙස  සමහර අය විශ්වාස කරනවා.  මම කියන්නේ ජනතා විමුක්ති පෙරමුණ  කියන්නේ   අන්ත ජාතිකවාදි පක්ෂයක්. ඔවුන් ඉතාම දැඩි ජාතිවාදියි.  දැන් තියෙන මේ ලිබරල් ධනේශ්වර ආර්ථික ය තුළ සිට ඒ අය  සමාජයේ එන ජනප‍්‍රිය  ව්‍යවස්ථානූකූල සංශෝධනයක් හරහා මේ සමාජයේ ප‍්‍රශ්න විසඳන්නට පුළුවන් කියලා හිතනවා. ඊට පස්සේ අපි ගතහොත්,  සම්ප‍්‍රදායික වම එනම්  සමසමාජ පක්ෂය  හා  කොමියුනිස්ට් පක්ෂ ය. මේ පක්ෂ නිර්මාණය කළ ඇන්. ඇම්. පෙරේරා, කොල්වින් ආර්. ද. සිල්වා,  එස්. ඒ. වික‍්‍රමසිංහ  වැනි අයට  අවමානයක් මේ කොමියුනිස්ට් හා සමසමාජ අය කරන්නේ.  ඒ අයට කරන තියන  හොඳම දේ තමයි  ජනතා විමුක්ති පෙරමුණත් ඇතුළු  සාම්ප‍්‍රදායක වමේ පක්ෂ විසුරුවා හැරීම. ඒක මේ සමාජයට කරන යහපත් කාර්යක්.  එතකොට විකල්ප වමකට  අවස්ථාවක් ලැබෙයි.
ඊ ළග කාරණාව තමයි,  ඔබ පහුගිය මැතිවරණය විශ්ලේෂණය කලොත්  පෙනෙන දේ තමයි  ජනතා විමුක්ති පෙරමුණ  ආමන්ත‍්‍රණය කරන ලද  බලවේගය  ක‍්‍රමානුකූලව ඔවුන් ගෙන්  ගැලවෙමින් සිටින බව.  ජනතා විමුක්ති පෙරමුණට ඡුන්දය දී තිබෙන්නේ  මධ්‍යම පංතික නාගරික සහ  ගම්බද ඡුන්දදායකයෝ.  එහෙම නැතිව  පිඩිත කම්කරු  හෝ වෙනත් කණ්ඩායම්  ජනතාවිමුක්ති පෙරමුණට ඡුන්දය දුන්නේ නෑ. දැන් එයාලා  කලක දි විශ්වාස කළ දේ තමයි  තරුණයෝ. එදා එයාලගේ දේශපාලන ආකාර්ෂණය  මෙ තරුණ කොටස. නමුත් අද ඒ කොටස ඔවුන් සමග නැ. ඒ නිසා තමයි ජනතා විමුක්ති පෙරමුනේ ඡුන්ද සංඛ්‍යාව එතරම් පහලට වැටෙන්නේ.  හෙට අනිද්දා වෙනවිට  අපිට කථා කරන්නට වෙන්නේ තරුණ අසහනය නොව නාකි අසහනය ගැන ය.   2025 වන විට ලංකාවේ වැඩිහිටි ජනගහනය වැඩි යි.  ඒ ජන සමාජය සමග  කතා කලා නම් ඔයට වඩා ඡුන්ද ගන්නට තිබුණි.
මම කියන්නේ පුලූල් සමාජ යුක්තිය හා සාධාරණත්වය ගැන.  සිංහළ, දෙමළ, මුස්ලිම් භේදයකින් තොරව  යන සමාජ සාධාරණත්වයක් ගැනය.  දේශපාලනයෙන් ආගම වෙන්කළ යුතු ය. අපි ව්‍යවථාවෙන්ම  අපට සුදුසු ආර්ථික හා සමාජ  දර්ශනයකුත් සකසාගත යුතු ය. 72 ව්‍යවස්ථාවේ දේශපාලන  දර්ශනය වුනේ  සමුපකාර, හා රාජ්‍ය සතු දේපොල ක‍්‍රමයත් ඉලක්ක වූ ක‍්‍රමයක්. 78 ව්‍යවස්ථාවේ  දේශපාලන දර්ශනය තමයි පෞද්ගලික  දේ පොල ක‍්‍රමය  ස්ථාපිත කිරීම. මේ දෙකම අද ලෝකයේ අසාර්ථකත්වයට පත්වෙලා තිබෙන්නේ. ඒ නිසා ඒ අඩුපාඩ සළකා බලා නිර්මාණශිලී  ආර්ථික ක‍්‍රමයක් ගැන  කල්පනා කිරීමට  කාලය ඇවිත් තිබෙන්නේ. නව ව්‍යවස්ථාවක් හදන්නේ නම්  මේවා සැළකිල්ලට ගතයුතු වෙනවා.

මහින්ද රත්නායක

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *