ජලය ප්‍රශ්නයක් -අකුරැස්සේ වින්සන් ප්‍රනාන්දු 

“2020 වන විට පානීය ජල ඉල්ලුමෙන් 60% ක් සපුරනවා දැනටමටත් රුපියල් මිලියන 25000 ව්‍යාපෘති පහළොවක් ක්‍රියාත්මකයි”.

ඉහතින් උපුටා දැක්වූයේ මාර්තු 22 දාට යෙදී තිබුණ ලෝක ජල දිනය නිමිත්තෙන් ජාතික ජලසම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලයේ සූදානම සම්බන්ධයෙන් එම මණ්ඩලයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයා පුවත්පතකට පවසා තිබුණු අදහසක්. ඉහත කරුණ නැවතත් මතකයට  නැඟුණේ අනුරාධපුර ප්‍රදේශයේ  හොරොව්පතාන ප්‍රදේශයේ  මළගමට සහභාගි වීමට ගිය ගමනේ දී මුහුණ දුන් අත්දැකීමක් නිසයි. එහිදී කෑමෙන් පසුව කරාමයකින් වතුර පානය  කරන්නට ගිය මට ගෙහිමියා කීවේ කරාම ජලය නොව ෆිල්ටරයේ වතුර බොන්නට ගන්න කියයි.

කරාමයේ  තිබුණේ ළිඳෙන් පොම්ප කළ ජලයයි. ෆිල්ටරයේ ඇත්තේ මිලදී ලබාගත් පෙරන ලද ජලයයි. ගමන අතරතුර තැනින් තැන පෙරන ලද ජලය විකිණීමට ඇති බවට දැන්වීම් තිබුණු බව මතක් වූයේ එවිටයි. හේතුව හඳුනා නොගත් වකුගඩු රෝග භීතිය.

ගෙදර වත්තේ වතුර තිබියදී නළ ජලය පානය කරන නළ ජලය භාවිත කරන තැන් රටේ කොතෙකුත් තිබේ දැයි ජල සම්පාදන මණ්ඩලය හෝ භූවිද්‍යා කාර්යාංශය හෝ පරීක්ෂණයක් සමීක්ෂණයක් කර ඇතැයි දැනගන්නට නැහැ.  කාලයක් තිස්සේ භාවිතා කළ ළිඳේ ජලය භාවිතා කරන්නට නුසුදුසු තත්ත්වයට පත් වීම අද බොහෝ නාගරික ප්‍රදේශවල සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා. මිතුරුෙකු කීවේ ඔහුගේ ගෙවත්තේ ළිඳේ ජලය ට අසූචි මිශ්‍ර වී ඇති බවයි. අසූචි මිශ්‍ර වීමට හේතුව  අවට වැසිකිලි ඇතිවීම. වැසිකිලි ඇතිවීමට හේතුව අවට ඉඩම් කට්ටි වීම්. පර්චස්  9.45 ට ඉඩම් කඩා විකිණීම අද රටේ දැවෙන ප්‍රශ්නයක් වුවත් ඒ පිළිබඳ කිසිවෙකු  නිසි අවධානය යොමු කර නැහැ.  පරිසර අමාත්‍යාංශය පවා ඒ ගැන අවධානය යොමුකළ යුතුයි.  ගස් කපන චෙන් කියත්  ලියාපදිංචි කිරීමේ ක්‍රියාමාර්ග ගත්තත් ඉඩම් කට්ටි කිරීම නිසා සිදුවන ශාක විනාශය ගැන කාගේවත් අවධානයක් නැහැ. නිතර කතා කරන වන විනාශයට වඩා පරිසර හානියක් ඉඩම් කට්ටි කිරීම නිසා සිදුවන බව සිතන්නට පුළුවනි. ඉඩම් කට්ටි කරන්නන්  එය හඳුන්වන්නේ ඉඩම් සංවර්ධනය කර විකිණීම වශයෙන්. විශාල ඉඩමක් කෙරුණු පසු ඒ සෑම ඉඩම් කැබැල්ලකට වැසිකිලියක් අනිවාර්යෙන්ම ඉදි  වෙනවා. එයින් සිදුවන්නේ මළ මුත්‍ර විශාල ප්‍රමාණයක් පොළොව තුළට එකතු වීම.

ඊට අමතරව විශාල අප ජලය ප්‍රමාණයක් පොළොවට මුදා හැරීම කුත්  කුඩා ඉඩම් කට්ටි වල නිවාස  ඉදිකිරීම් නිසා සිදු වෙනවා. ඉඩම් කට්ටි කිරීම සම්බන්ධව වගකිව යුතු  ආයතනය  වන පළාත් පාලන ආයතන එම වූ ව්‍යාපාර වලින් බදු ගන්නවා  පමණයි .ඊට අමතරව  ඉඩම් කට්ටි කිරීමේදී ප්‍රාදේශීය දේශපාලන බලවතුන්ට  ලොකු කොමිස් කුට්ටි ලැබෙන බව ප්‍රසිද්ධ රහසක්.

කෙසේ වෙතත් ප්‍රාදේශීය පාලනය ආණ්ඩුව පරිසර අමාත්‍යාංශය ආදිය නිසි අවධානය යොමු කරනවානම් ඉඩම් කට්ටි කිරීම නිසා ඇතිවන පරිසර විනාශය අවම කරගන්න හැකියාව තියෙනවා. හොඳම විකල්පය ඉඩම් කට්ටි කිරීම වෙනුවට මහල් නිවාස ක්‍රමය හඳුන්වා දීම. එහිදී ගස් කැපීම පොළොව සමතලා කිරීම ආදියෙන් සිදුවන විනාශය නවත්වා ගන්නට පුළුවන් අනෙක් මල ආදිය එක තැනකට රැස් කොට පිරිසිදු කර පරිසරයට මුදා හැරීම වැනි විධිමත් වැඩ වැඩපිළිවෙලකට යොමු වෙන්න පුළුවනි. නිවාස යෝජනා ක්‍රමය අපද්‍රව්‍ය කළමනාකරණය විදුලිය වුවත් නිපදවාගත හැකිය. එය මේ වන විට රට මුහුණ දී සිටින බලශක්ති අර්බුදයට යම් ආකාරයක විසඳුමක් වශයෙන් යොදාගන්න පුළුවනි. නමුත් මේ රටේ අප තවමත් කරමින් සිටින්නේ අහස දෙසට  ජනාවාස යොමු කිරීම වෙනුවට පැතලි අතට  ජනාවාස ව්‍යාප්ත කිරීමයි.

වතුකරයේ  ජනතාවට ද ඉඩම් අයිතිය ලබා දෙන කතාවක්  පසුගිය දිනවල අසන්නට ලැබුණා. ඉන් අදහස් වන්නේ වතුකරයේ පවතින  විශාල ඉඩම් කොටස් කර ජනතාවට ඔප්පු මගින් ලබාදීම වන්නට  පුලුවනි. දේශපාලකයන්ට ජනප්‍රිය වීමටත් තමන්ටත් ඉඩමක් තිබෙනවා යන සුළු ධනේශ්වර චින්තනයේ සිත රවටා ගෙන සතුටු වීමටත් ජනතාවට  මෙවැනි වැඩසටහන් හේතු වන නමුත්, මේවා රටට දිගුකාලීනව විනාශකාරී බව කවුරුත් හිතන්නේ නැහැ.

ඉඩම් අයිතිය දෙනවා වෙනුවට වතු ජනතාවට නූතන පහසුකම්වලින් යුත් තට්ටු නිවාස ක්‍රම හඳුන්වාදීම බැරි ඇයි? වතුවල ඉඩම් කඩා කැබලි කිරීමෙන් සිදුවන්නේ පදිංචිය හැර වෙනත් ආදායම් ඉපයීමක්  ඉඩම් කට්ටි වලින් සිදුවන තත්ත්වයට පත් වීමයි. තට්ටු නිවාස ක්‍රමයේදී ඉඩමේ ඵලදායිතාව ආරක්ෂා කර ගන්නා අතර නිවාස ප්‍රශ්න විසඳා ගන්නට පුළුවනි. අප ඉහත කී ආකාරයේ අපද්‍රව්‍ය කළමනාකරණ පහසුව ද ඊටත් අදාලයි ඒ අනුව කල්පනා කරන කළ ගම උදාව  වැනි වැඩසටහන් පවා දැනට ක්‍රියාත්මක වන්නේ නිවාස ප්‍රශ්නය විසඳනවාට වඩා පරිසර ප්‍රශ්නය සංකීර්ණ කිරීමේ කටයුත්තක් වශයෙන් බව කණගාටුවෙන් වුවත් කිව යුතුයි. ඉඩම් කැබලි කර විකුණන ව්‍යාපාරිකයන් තට්ටු නිවාස ඉදිකර විකුණන ව්‍යාපාරිකයන් බවට පත් කරන්නට මැදිහත් වීමට මුදල් අමාත්‍යාංශය, නිවාස අමාත්‍යාංශය, පරිසර අමාත්‍යාංශය ආදියට විධිමත්ව මැදිහත් වන්නට පුලුවනි. එහෙත් එසේ නැතිනම් ඉඩම් කට්ටි කරන තැන්වලට අපද්‍රව්‍ය  සහ අපජලය මල මුත්‍රාදිය විද්‍යාත්මකව බැහැර කළ යුතු වීම අනිවාර්ය කරන නීති හඳුන්වා දීමට ඉක්මන් විය යුතුයි.

නැතිනම් ජල සම්පාදන මණ්ඩලයට සිදුවන්නේ ජලය ව්‍යාපෘති සඳහා තව තවත් වැඩි වැඩියෙන් මුදල් වෙන් කරමින් ඉන්නයි.   නැවත පදිංචි කිරීමේ  අමාත්‍යංශය නිවැරදි චින්තනයකින් කටයුතු කරනවානම් උතුරු නැගෙනහිර ප්‍රදේශවල මේවන විටත් සිදුවන නැවත පදිංචි කිරීම් වලදීත්  මලමුත්‍ර අපද්‍රව්‍ය අපජලය විද්‍යාත්මක බැහැර කිරීමේ  වැඩසටහන් හඳුන්වා දිය හැකියි. එසේ නොවන්නේ නම් තව අවුරුදු විස්සකින් 30කින් ඊළාම් යුද්ධයට වඩා දරුණු පරිසර යුද්ධයකට ඒ ප්‍රදේශ්වල දී මුහුණ දීමට සිදු වීම වළක්වන්නට හැකි වන්නේ නැහැ. වැව් ඇළ දොළ ගංගා දිය භූගත ජලය දුෂණය වීමත්  තවත් ගැටලුවක් විශේෂයෙන්ම නාගරික ප්‍රදේශ සහ කාර්මික ප්‍රදේශවල මේ තත්වයක්  අතිශයින් බරපතලයි.

වාහන සේවා ස්ථාන වැනි පරිසරයට අපද්‍රව්‍ය වැඩියෙන් මුදාහරින කර්මාන්ත ව්‍යාපාර ආදිය සිතූ සිතූ තැන්වල පවත්වාගෙන යාමට අවසර දීම වෙනුවට අවම පරිසර හානියකින් ඒවා පවත්වාගෙන යා හැකි තෝරාගත් ස්ථානයක ඒවා ස්ථාපිත කර අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීයකරණය  කර පිරිසිදු කර පරිසරයට මුදා හරින්නට කටයුතු කිරීම වැනි පියවර මෙහිද දී ගත හැක.  ඒත් අපේ  දේශපාලනයට හෝ එවැනි දේට උනන්දුවක් ඇල්මක් බුද්ධියත් නාගරික ප්‍රදේශවල මලමුත්‍ර කළමනාකරණය කොට එක් තැනකට  රැස් කොට ප්‍රතිචක්‍රීයකරණය පිරිසිදුකරණය ආදිය හරහා පරිසරයට මුදා හරින්නේ නම් පානීය අවශ්‍යතා සඳහා නල ජල ඉල්ලුම අතිශය විශාල ප්‍රමාණයකින් අඩු කරගන්න පුළුවන්. හේතුව එමගින් ජලය ආරක්ෂා කර ගන්නට හැකි වන නිසයි

ජල සම්පාදනයට කරන ආයෝජනය එවැනි වැඩ වැඩපිලිවෙලකට ආයෝජනය කරන්න බැරි ඇයි? නූතන මෙගාපොලිස් ව්‍යාපෘතිය වලට තවත් එවැනි වැඩපිළිවෙළක් ඇතුළත්ව තිබේ ද යන්න ප්‍රශ්නයක්.  පරිසරවාදී  දේශපාලනඥයෙකු ලෙස ප්‍රකට පාඨලී ඇමතිවරයාට  තම හැකියාව පෙන්වීමත්  එවැනි සංකල්පයක් බෙහෙවින් වැදගත් වනු ඇති.

ජල සම්පාදනයට මිලියන ගණන් වියදම් කරන ජල සම්පාදන මණ්ඩලය පිරිසිදු කර සපයන නිසි  කළමනාකරණයකින් යුතුව භාවිතය පිළිබඳ නිසි  පමණට  අවධානය යොමු කරනවාද යන්න තවත් ගැටලුවක්. නිදසුනක් වශයෙන් නල ජල සම්පාදනය පවතින ඕනෑම තැනක රථ වාහන සේදීම, මල් වැවීම, රෙදි සේදීම ආදී සියල්ලට භාවිතා කරන්නේ අධික වියදමක් දරා මණ්ඩලයේ විසින් පවිත්‍ර කර එවන  ජලයයි.

ජනතාව ඒ පිළිබඳ දැනුවත් කර සේදීම්, මල් වැවීම ආදිය සඳහා පානීය ජලය යොදා ගැනීම වැළැක්වීමට වැඩසටහනක් වත් මේ රටේ නැහැ. බීමට ගත නො නොහැකි ගෙවත්තේ ළිඳේ ජලය වාහන සේදීම මල් වැවීමට යොදා ගන්නට ජනතාව උනන්දු කරවීම ජලසම්පාදන මණ්ඩලයේ කාර්යයක් විය යුතුය. එමගින් ජලය පිරිසිදු කිරීමට වැයකරන විශාල මුදලක් ඉතිරි කර ගන්නටත්, පිරිසිදු නල ජලය නොමැතිව සිටින තවත් පිරිසකට  දැනට  පිරිසිදු කරන ජලය යොදාගෙනම  අලුතින් ජලය ලබා දීමටත් වැනි දේ කළ හැකිය. ඒ අතරතුර ගෙවතු වල දැනට  පවතින අපිරිසිදු වී  ඇති ළිංවල ජලය පිරිසිදු කළ හැකි වැඩපිළිවෙලවල් ක්‍රියාත්මක කළ හැකිය. දැනට ලංකාව පුරා  ඇති ජල නල බොහොමයක් ඉවත් කර වෙනත් රටකට විකුණා දමන්නට වුවත් බැරි වෙන එකක් නැහැ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *