එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැලිගම ජංගම සේවයෙන් 1327කට ණය

මාතර, වැලිගමදී ඉකුත් 23 හා 24 දෙදින පැවැත් වූ “එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා” ප්‍රථම ජංගම සේවා වැඩසටහනට එක්වූ අයගෙන් 1327 දෙනකු ණය ලබා ගැනීමට සුදුසුකම් සපුරාගෙන ඇතැයි මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ පිළිබඳව අදහස් දක්වන මුදල් අමාත්‍යාංශය මෙසේද කියා සිටියි.

ලංකා බැංකුව මඟින් 620 දෙනකු ණය ලබා ගැනීම සඳහා සුදුස්සන් බවට ලියාපදිංචි කරන ලද අතර ප්‍රාදේශීය සංවර්ධන බැංකුව මඟින් 387 දෙනකු, මහජන බැංකුව මඟින් 300 දෙනෙකුද ලියාපදිංචි කර ඇත.

රජය මඟින් සහන පොලී යටතේ රුපියල් මිලියන 750 දක්වා විවිධ ණය යෝජනා ක්‍රම ඔස්සේ ව්‍යාපාර හා කර්මාන්තවලට අවශ්‍ය ණය ලබාදෙන නමුදු ණයලාභීන් මේ සඳහා තම ව්‍යාපාර යෝජනා (Business proposal) බැංකු වෙත ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍ය කරුණකි. බොහෝ ණයලාභීන්ට ව්‍යාපාර යෝජනා සකස් කිරීමට අවශ්‍ය දැනුම හා අවබෝධය නොමැතිකමින් ණය ලබා ගැනීමේ දුෂ්කරතාවයන්ට මුහුණදීමට සිදුවේ. මෙම එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ජංගම සේවය මඟින් මේ සඳහා වැඩපිළිවෙළක් යොදා ඇති අතර විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන්ගේ සහයෝගයෙන් ණයලාභීන් වෙනුවෙන් මෙම ජංගම සේවයේදී ව්‍යාපාර යෝජනා 45ක් සකස්කර දීමට හැකිවීම විශේෂත්වයකි.

දකුණු පළාත සංචාරක ව්‍යාපාරයට ප්‍රචලිත හෙයින් රජය මඟින් හඳුන්වා දී ඇති සංචාරක සත්කාර සේවා සඳහා ද 450ක පමණ පුද්ගලයින් ලියාපදිංචි වී ඇත. එයින් 50කට පමණ එම ස්ථානයේදීම අනුමැතිය ලැබිණි. සෙසු ණය ඉල්ලුම්කරුවන්ට සංචාරක සංවර්ධන අධිකාරියේ නිලධාරීන් විසින් කරනු ලබන ක්ෂේත්‍ර පරික්ෂාවෙන් පසුව අනුමැතිය හිමිවනු ඇත.

විවිධ ව්‍යාපාර සඳහා අවශ්‍ය අනුමැතිය ලබාගත යුතු සංචාරක සංවර්ධන මණ්ඩලය, අපනයන සංවර්ධන මණ්ඩලය, කාර්මික සංවර්ධන මණ්ඩලයේ කාර්යාල ද මෙම ජංගම සේවාව තුළ ක්‍රියාත්මක විය.

ණය අපේක්ෂා කරන්නන් හට බැංකු වෙත ඉදිරිපත් කළ යුතු සියලු ලිපි ලේඛන මෙහිදී සකස්කර ගත හැකිවීමද විශේෂත්වයක් විය.

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක මෙම ණය යෝජනා වැඩසටහන මඟින් 2018 වසර තුළ රුපියල් මිලියන 60,000ක් වටිනා ප්‍රාග්ධන 39000ක් පමණ පුද්ගලයින් වෙත ණය වශයෙන් ලබාදී ඇත. 2019 වසරේදී එම වැඩසටහන තවදුරටත් පුළුල් කරමින් ලබාදෙන ණය පොලිය ගෙවීමට පමණක් රුපියල් මිලියන 6100ක් වෙන්කර ඇත.

ජයසිරි මුණසිංහ

දිනමිණ

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *